තරාතිරම බලා නීතිය නැවීම

  👤  3674 readers have read this article !
2018-03-18

පුරාණ ලංකාවේ සියලු රටවැසියන්ට පොදුවේ බලපාන එක සමාන නීති පද්ධතියක් තිබිණි. රජුගේ ආධිපත්‍යය යටතේ පැවැති එම නීති අලිඛිතව සම්ප්‍රදායන් මත ශක්තිමත් ලෙස තහවුරු විය. ඇති හැකි බලපුළුවන්කාරයන් සඳහා නීතිය නැවීමේ ඉඩක් නම් එකල තිබුණේ නැත. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන වීමත් සියලු වැසියන් එකම නීතියක් යටතට ගැනීමත් සිංහල රාජ්‍යයේ ආගම් හෝ ජාති අතර එක්සත්කම පවත්වා ගැනීමට තුඩුදුන් තුමුල බලවේගය වූයේය. සමස්තයක් ලෙස රට තුළ සාමාජයීය හා සංස්කෘතික වර්ධනයට ද ඒ තුළින් මහත් පිටිවහලක් ලැබිණි.

රෝම - ලන්දේසි නීතිය, ඉංගී්‍රසි නීතිය, මුස්ලිම් නීතිය හා තේසවලමේ නීතිය (දෙමළ) වැනි විජාතික නීති භාවිත වන්නට පෙර ලංකාවේ මනා සිංහල නීති පද්ධතියක් පැවතුණු බවට නිසැක සාක්ෂි තිබේ. වර්තමානයේ ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයා මුහුණ දෙන ප්‍රශ්නවලට මූලික හේතුව රට තුළ නීතියක්, විනයක් නැතිවීමය. නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන්න හුදු වාක්‍ය ඛණ්ඩයක් බවට පත්ව තිබේ. සියලු අපරාධකරුවන්ට, දූෂිතයන්ට තරාතිරම නොබලා නීතියෙන් දඬුවම් කළ යුතු බව රටවැසියෝ ආණ්ඩුවට කියති. තමන් බලයට පැමිණි වහාම සොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බව දේශපාලනඥයෝද පවසති.

මම කඩුව අතට ගත්තේ මගේ කඩුවෙන් කැපෙන්නේ නෑයාද, මිත්‍රයාද, පාක්ෂිකයාද කියා තීරණ ගන්නට නොවේ යැයි ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කළේය. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව වගකිවයුත්තන් පුන පුනා කියන විට අප තේරුම් ගත යුත්තේ ලංකාවේ නීතිය වනාහි පුද්ගලයන්ගේ තරාතිරම අනුව ක්‍රියාවට නැඟෙන්නක් බවය. බලයේ සිටි ආණ්ඩු තමන්ට අභිමත පරිදි නීතිය නවන ක්‍රම බොහෝ වූ අතර මෙතෙක් අප්‍රකටව පැවැති එකී ක්‍රමවේද දැන් ප්‍රසිද්ධියේ එළියට පැමිණ ඇති අතර කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව ක්‍රියාවටද නඟනු පෙනේ.

මහජනයාට පාර අවහිර කළ බවට චෝදනා කොට අන්තරේ ළහිරු වීරසේකරලා සහ තඹුත්තේගම ගොවි නියෝජිතයන් ඇප නොදී හිරේට දක්කන පොලිසිය සුදු ඉරේ බුදියන නාවලපිටියේ අලුත්ගමගේ මන්ත්‍රිට සහ මතුගම පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිට සිසිල් බීම බෝතලය ළඟට ගෙනැවිත් දෙන්නේ තරාතිරම සලකා මිස වෙන හේතුවක් නිසා නොවේ.

ජාතීන් අතර අසමඟිය ඇති කිරීමට කටයුතු කළා යැයි සාමාන්‍ය අපරාධ නීතිය යටතේ බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උසාවියට ඉදිරිපත් කර ශරීර ඇප මත පන්සලට යවන පොලිසිය 16 හැවිරිදි පාසල් සිසුවා ජාතිභේද ඇති කිරීමට වෑයම් කළාය යන චෝදනාවටම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ උසාවියට ඉදිරිපත් කොට ඇප ලබාගත නොහැකි ලෙස සිරගත කරන්නේද නීතියේ සමානත්වය මොනවට පෙන්වා දෙමිනි. චෝදනා පත්‍රය ලියන ක්‍රමය අනුව නීතිය නැවීම ලංකා පොලිසියට කජු කනවා වැනි ලෙහෙසි කටයුත්තකි. ඔවුහු ඒ සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තබා තිබේ.

මෙවැනි තත්ත්වයක් දෙකෝටියක ජනතාවක් බොහෝ කලක් ඉවසා සිටිනු ඇතැයි ආණ්ඩුව සිතන්නේ නම් එය බලවත් අනුවණකමකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්