රට අනතුරේද?

  👤  3725 readers have read this article !
2018-03-16

ශ්‍රී ලනිපයේ මෛත්‍රි පිල හා රනිල්ගේ එ.ජා.ප. පිල අතර සීතල යුද්ධය මඳකට නතර වීමක් පෙන්නුම් කළද එය කොයි මොහොතේ යළි සක්‍රිය වේදෝයි කිව නොහැකි වාතාවරණය තවමත් එසේමය. මහනුවර ගිනිගත් සිදුවීමේදී හා ඉන් පසුවද ප්‍රසිද්ධියේ රඟදැක්වූ නාටකයේ නාට්‍යමය අවස්ථා බොහෝ සාමකාමී වුවද තිරය පිටුපස විස්සෝපයන්, කලකිරීම්, කකුලෙන් ඇදීම්, විරෝධතාවන්, කේලාම් කීම්, කැපිලි කෙටිලි දැමීම් තවමත් එසේමය.


''සර් මේ මොහොතේ යූ.එන්.පී.යේ තීන්දු තීරණවලට බාධා කරන්න ගියොත් රටේ අර්බුද තියෙද්දී ඔබතුමා තවමත් ගේම් ගහනවා කියලා රට්ටු හිතාවි. ඒ නිසා මේ මොහොතේ කල්පනාවෙන් වැඩ කරන්න''යි කියලා දෙපිටකාට්ටු ක්‍රියාධරයෝ මෛත්‍රිට උපදෙස් දෙන්න ළංවී සිටියේ මහනුවර ගින්නේ වාසිය හා එහි ක්‍ෂණික මැදිහත් වීමේ ගෞරවය මෛත්‍රිටම ලබා දෙන්නට කැප වූ බව පෙන්වමිනි.

එසේ කියන උපදේශකයන් කියන්නේ...
''මෛත්‍රි ජනාධිපතිතුමා තමයි හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරලා ගින්න නිවන්න හමුදාව කැඳවන්න තීන්දු කළේ. පොලිසිය භාර ඇමැතිකම තියාගෙන ඉන්න යූ.එන්.පී.ය මේ ගින්න නිවන්න කරපු දෙයක් නෑ. චෝදනා ඔක්කෝම එන්නේ පොලිසියට. හරියට වැඩේ කළා නම් මේ තරම් දුරට ප්‍රශ්නය දුරදිග යන්නේ නෑ'' කියලයි. ඒ නිසා මෛත්‍රි ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටින ඇතැමුන් මෛත්‍රි තවමත් සාමය වෙනුවෙන් මුල් පෙළේ ක්‍රියාකාරිකයෙක් බව මතු කරන්නට උත්සාහ ගනිමින් සිටින මොහොතකි.

මෛත්‍රිට හිතවත් යැයි කියාගන්නා මහින්දගේ ආලින්දයේද සැරිසරන, රහසින් කතාබහද කරන අපූරු ශ්‍රී ල.නි.ප. උපදේශකයෝ රොත්තක් තැන තැන කතා වුණේ වාසිය මෛත්‍රිට හරවන නාටකීය රංගන දක්වමිනි. තවත් සමහරු කියා සිටියේ ''කැබිනට් රැස්වීමට එන්න ඉස්සර ජනාධිපතිතුමා හදිසි නීතිය පනවන්න තීන්දු කරලා ඉවරයි. රනිල් පවා දන්නේ කැබිනට් එකට ආවට පස්සෙයි. ඒ නිසා උදේ තියන්න හිටපු කැබිනට් රැස්වීම තිබ්බේ හවස් වරුවේ. ඒ කියන්නේ සවස 7ට විතර. ඉස්සර වගේ රනිල්ගෙනුත් අහලා එයාවත් දැනුවත් කරලා එහෙම නොවෙයි හදිසි නීතිය දාන්න තීන්දු ගත්තේ. ඒක හොඳයි''යි කියලාය. අපි මොකටද රනිල්ට කිය කියා ඉන්නේ.

මෛත්‍රිගේ මේ තීරණය ගැන රනිල්ටද දන්වා ඔහුද දැනුවත් කළ යුතු වුවත් එය සිදු වූයේ නැති බව කියැවේ. කෙසේ වෙතත් පොලිසිය භාර ඇමැති සිටින්නේ එ.ජා.ප. පාර්ශ්වයේ නිසාම මහනුවර ගින්නේ වැඩි විවේචන පොලිසියට එල්ල කරන්නේද දේශපාලනික අර්ථයෙන් බවටද දැනුණේය. එක්තරා ඇමැතිවරයකුට චෝදනා එල්ල කරන්නේද ඒ නිසාය. කෙසේ වෙතත් පොලිසියේ යම් යම් අයගේ ක්‍රියාකලාපයන් හා සාධාරණ රාජකාරි ඉටු කිරීමකට යොමු වූවාද යන්න ගැටලු ඇතත් එය එ.ජා.ප.යම මෙහෙය වූවා යැයි මතයක් ගොඩනඟන්නට වූ මෙහෙයුම ප්‍රබලය. මේ තත්ත්වය නිසාම,

''නායකතුමා අතේ නීතිය හා සාමය තියා ගන්න එපා. ඒක ෆොන්සේකාට දෙන්නත් එපා. එයා එඩිතර කෙනෙක් වුණාට මේ වගේ වගකිවයුතු තනතුරකදී ආවේගයෙන් වැඩ කරන්න පුළුවන්. ඒ නිසා රංජිත් මද්දුම බණ්ඩාර සමබරව හිතන කෙනෙක්. එයා ගැන විරුද්ධ පක්‍ෂයේ පවා දරුණු විවේචන නැහැනේ. ඒ නිසා රංජිත්ට නීතිය හා සාමය දීලා සර් පැත්තකට වෙන්න''

එ.ජා.ප.යේ සුවිශේෂී කණ්ඩායමක් රනිල්ට දන්වා සිටියේ එසේය. එසැණින් මද්දුම බණ්ඩාරට නීතිය හා සාමය ලැබිණි. ඊට පෙර සිටම රනිල් තත්ත්වය හොඳින් අධ්‍යයනය කර, පොලිස්පති හරහා මෙන්ම තමන්ට විශ්වාසවන්ත ක්‍රියාධරයන්ගේද තොරතුරු ලබාගෙන වැඩට බැස තිබුණේය. තමන්ගේම පාර්ශ්වයේ හකීම්, හලීම් වැනි මුස්ලිම් නායකයන් හා නිරතුරුව අදහස් හුවමාරු කරගෙන තිබුණේය.

බොහෝ තැන්වලදී ගැටුම දුරදිග යන්නට නොදී පාලනය කරගන්නට පොලිසිය යොදවා කටයුතු කිරීමට මේ තොරතුරු අනුව පහසුවක් වුණේය.
''නීතිය හා සාමය භාර අපටයි. ඒ නිසා අපි නුවර සිද්ධිය අවුළුවන්න උදවු කළාය කියන දේ තමයි මෛත්‍රිගේ කට්ටියත්, මහින්දගේ කට්ටියත් රටට කියන්න හදන්නේ. පතුරුවන්නේ. ඒ නිසා තමුන්නාන්සේලා ඉවසීමෙන් ඇත්ත වටහාගෙන මේ තත්ත්වය පාලනය කරගන්න උදවු වෙන්න ඕනෑ. නැත්නම් ඔය කොයි කාටත් ඡන්ද කරන්නත්, ඡන්දේ දිනන්නත් රටක් නැති වේවි'' යි කියා රනිල් නොකියා කියමින් තමන් වටා සිටින මුස්ලිම් නායකයන් නිසි පරිදි යොමු කළේය.
රනිල් මෙහිදී කිසිදු පාර්ශ්වයකට බර නොවී විපතේ ඇත්තම තත්ත්වය ජනමාධ්‍යයටත්, මුස්ලිම් නායකයන්ටත් නොසඟවා කීම විශේෂත්වයක් ගත්තේය. එය කා අතරත් කතාබහටද ලක් වූයේය.

කොළඹ මුස්ලිම් මන්ත්‍රිවරයකු හැරෙන්නට රනිල් හා එ.ජා.ප.යේ අති බහුතරයත්, මුස්ලිම් නායක කාරකාදීනුත් තත්ත්වය සිහිනුවණින් වටහා ගෙන තිබිණි. කොළඹ මුස්ලිම් මන්ත්‍රිවරයකු සැරසුණේ පොලිසිය මතම ‍ෙදාස් පවරා සෙසු මුස්ලිම් නායක කාරකාදීන්ට වඩා වෙනස් කතාවක් කර මුස්ලිම් ජනතාවගේ අවධානය දිනා ගන්නට බවටත් කතාවක් තිබුණේය.

කෙසේ වෙතත් බල අරගලයේම වෙසෙස් වූ ප්‍රවේශයන් මත වුවද මෛත්‍රි රනිල්ට කලින් මහනුවරට ගොස් මුස්ලිම් ජන ප්‍රජාව හමුවී ''සාමය ස්ථාපිත කරන්න කළ යුතු හැමදේම කළා. මොනවාද මට තවත් කරන්න කියන්නේ. කියන්න ඒ ටිකත් මට'' කියා කීවේය. මුස්ලිම් ජන ප්‍රජාව එහිදි ව්‍යංගයෙන් පවා මෛත්‍රිට කියා සිටියේ "අපි ඔබතුමාට ඡන්දේ දීලා පත් කර ගත්තේ සාමයත් සංහිඳියාවත් සඳහා හැබෑම නායකයෙක් කියා හිතාගෙනයි'' කියලාය.
එහි රැස්වූ විවිධ මත දැරූ මුස්ලිම් ජන ප්‍රජාව අනාගතයේදී හෝ යළිත් මෙවැන්නක් සිදු වන්නට ඉඩ තබන්නට එපා යැයි කීවේද මෛත්‍රි රජයේ සේනාධි නායකයා බව යළිත් සිහිපත් කරවන්නට මෙනි.

''ජනාධිපති ශ්‍රී ලංකා එකේ නායකයා විදියට හිතනවා නම් එතුමාත් මහින්ද මහත්තයත් අතර වෙනසක් නෑ. දැන් ජනාධිපතිතුමාට කාටවත් ඇඟිල්ල දික් කරලා කියන්න බෑ එයා නිසයි මේක වුණේ කියලා. අපි කියන්නේ ආණ්ඩුවක් හැටියට මෛත්‍රි මහත්තයා රනිල් මහත්තයාත් එක්ක එකට හිටගෙන එක ආණ්ඩුවක් රටට තියෙන බව තහවුරු කරමින් මේ ජාතිවාදී ගින්න නිවන්න කියලයි. එච්චරයි''
සාකච්ඡාවට සහභාගි වූ ජන ප්‍රධානීන් එසේ අදහස් හුවමාරු කර ගත්තේ කාටවත් බෝලේ පාස් කරලා ඡන්ද ලැබෙන්නේ නැති බව නොකියා කියමිනුයි.
මේ ප්‍රශ්නයේ බැරෑරුම් බව හොඳින් අවබෝධ කර ගනිමින් මහින්ද පවා ආණ්ඩුවට චෝදනා කළා වුවත් ගිනි ගන්නා ප්‍රකාශ කිරීමෙන් බොහෝ දුරට වැළැකුණේය. ඒ එහි තරම ඔහුද දන්නා බැවින් විය යුතුය.

''අපි හිටියා නම් ඔහොම වෙන්න දෙන්නේ නෑ.'' කියා මහින්ද කීවේ නැති වුණත් ඔහුට ආවේණික දේශපාලන උපාය උපක්‍රම අනුගමනය කරමින් මුස්ලිම් ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න උත්සාහයක්ද නොතිබුණා නොවේ.

මේ සියල්ල මැද ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, කැනඩාව හා තවත් රටවල් කිහිපයක් මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස නිවේදනය කිරීම තවමත් එසේමය. ඇතැමුන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය යම් තහනමකට ලක් කිරීම එකසේ ගෙන කතා කළේය. ජාතික ආරක්‍ෂාව හා රටේ ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය වටපිටාව ඉක්මනින් උදා කරලීමට සමාජ මාධ්‍ය තහනම් කිරීම කළ යුතුම තැනක තිබිණි. එහෙත් බුද්ධි අංශවල කඩා වැටීමත්, පොලිසියේ ක්‍ෂණික ක්‍රියාමාර්ග නොගැනීමත් මෙවන් විපතක් දුරදිග යෑමට හේතුවූ බව තවදුරටත් වටහාගත යුතුව ඇත. හමුදා බුද්ධි අංශ හා පොලිස් හා සෙසු බුද්ධි අංශ රට තුළ කොතෙක් සක්‍රියද ඒ සඳහා නිවැරැදිම පිරිස අනුයුක්ත කළාද යන්න තවමත් ගැටලුවක් මතුකර වන්නේය.


''ෆේස්බුක් තහනම් කළේ නැත්නම් මීට වඩා විපතක් වන්න තිබුණා'' යන්න පොදු මහජතාවගේ අදහසයි. එහෙත් ඉතාමත් සුළු පිරිසක් පමණක් තම තමන්ගේ දේශපාලන මතය ජය ගන්නට ඒ අනුව විවේචනය කරන්නේ, ජාතිවාදී ගිනිදලු නිවීම ප්‍රමුඛ විය යුතු බව අමතක කරමිනි.
''හදිසි තත්ත්වයත්, ෆේස්බුක් තහනමත් දිගින් දිගටම තියේවි. ආණ්ඩුවට එරෙහි ජනමතය පාගා දමන්න මේවා දිය කරාවි'' යනුවෙන් බෙරිහන් දෙන දේශපාලන ක්‍රියාකාරීහු කාලයක්ම හදිසි නීතිය යටතේ මේ රට ඇදගෙන ගිය අතීතය අමතක කර දමා ඇත.

එහෙත් කවුරුත් අමතක කර දමන තවත් දෙයක් ඇත. එනම් ජාත්‍යන්තරයට මහනුවර ගිනි ගැනීම ගියේ සිංහල ජනතාව පිළිබඳව වැරැදි තොරතුරු රැගෙන වීමත්, ඉන් සිංහල ජනතාවට කැළලක් ඇති වීමත්ය.
''සුළු ජාතිකයන් එක්ක වෛරයක් ඇත්තේ බහුතර සිංහල ජාතිකයන්ගේ ඡන්දයෙන්ම ජයගන්න හිතන දේශපාලන බලවේගයි. ඔවුන්ට සුළු ජාතික ඡන්ද නොලැබෙන නිසා සුළු ජාතියට පහරදෙන, ඔවුන් අවුළුවන තැනකට රට තල්ලු කරනවා. එකෙන් වන්නේ තව තවත් සුළු ජාතිකයන් තමන්ගේ ආරක්‍ෂාව, අනාගතය පතා මෙය රැකගන්න දේශපාලන බලයක් වෙත තල්ලු වීමයි. විරුද්ධ පක්‍ෂය එම ගින්නෙන් අත පුච්චා ගත්තා'' යැයි කියන්නේ බහුතර විද්වත් මුස්ලිම් ප්‍රජාවයි. එය නොවන්නට සිංහලයන්ට වැදුණු නරක නාමය ඒ හැටි හොඳ නැත.

මේ අතර ජපානයට ගොස් එරට ආයෝජකයන් අමතා මෛත්‍රි කියා සිටියේ ලංකාවට පැමිණ ජපන් ව්‍යාපාරික ප්‍රජාවට ආයෝජනය කරන්නට කියලාය. එහෙත් රට තුළ නොසන්සුන් වාතාවරණයක් තිබීම විදෙස් ආයෝජකයන්ට අහිතකරය. එබැවින් ආයෝජන ඇති කරවන රටක් හැදීමේ කටයුතු මෛත්‍රිට තනිව කරන්නට බැරි බව නම් වටහාගත යුතුව ඇත.

රට තුළ ඉදිරි වසර දෙකක කාලයක් වෙනුවෙන් මෛත්‍රිට තනි ගමනක් යන්නට බැරිය. වෙනස් වූ දේශපාලන කණ්ඩායමක් සමඟ යෑමටද දැන් දැන් කල් මදිය. කරන්නට තිබෙන්නේ බල අරගලයේ රහසිගත තිර පිටපත පසෙක දමා නායකයන් දෙදෙනා එකට වාඩි වී රට ගැන හිතා ඉදිරි වසර දෙක තුළ කළ යුතු හොඳම දේ පිළිබඳව එකඟතාවකට ඒමයි.

ආර්ථික අර්බුද ජය ගැනීම වෙනුවෙන් බදු බර තවත් වැඩි කරන කොළඹ හතේ තීන්දු ගෙන පක්‍ෂයත් රටත් අනතුරක හෙළන රනිල්ගේ අතළොස්සක් වූ මිතුරන්ගේ සභාවකින් පාලනය වන තීන්දු ද නතර කළ යුතුය. මෛත්‍රිට ලණු දෙන දෙපැත්තේ කකුල් තියාගෙන සිටින උපදේශකයන්ගේ තීන්දු ද අහිතකරය.
එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් රහසේ සූදානම් වනවා වන්නට පුළුවන. මෛත්‍රි යළි ඉල්ලන්නේ නැත කියා කල් තියා කියා තිබෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් හෝ එක්සත් ජනතා සන්ධානයෙන් හෝ අපේක්‍ෂකයෙක් වෙනුවෙන් අමුතුවෙන් වෙහෙසෙන්නට ඕනෑද යන්නද විමසිය යුතුය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ රනිල් පිලේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුද? මෛත්‍රිගේ ඊළඟ පිම්ම මොකක්ද? යන්නට වඩා රට සැබෑ ලෙසම යථා තත්ත්වයට පත් කරවීමය. රට ස්ථාවර නොවුණොත් මෛත්‍රිටත්, රනිල්ටත්, මහින්දටත් ජය ගන්නට රටක් ඉතිරි නොවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්