හත් පණ

  👤  3998 readers have read this article !
2018-03-15

උපන් පණ
දිනය 2014 නොවැම්බර් 21 දා ය. අලුත් ඉරක් පෑව්වේ ය. අලුත් බලාපොරොත්තුවක් එළියට ආවේ ය. චන්ද්‍රිකාට ගේමක් වුණේ ය. ජවිපෙට පිදුරු ගහක් වුණේ ය. රනිල්ට සිහිනයක් වුණේ ය. මෛත්‍රිට සිහිනෙන්වත් නොසිතූ දෙයක් වුණේ ය. පොදු අපේක්ෂකයා කරළියට ආවේ ය. සියලු බලයන් එකතු විය. පොරොන්දු ගොඩකි. දූෂණයට, වංචාවට තිත තැබීමත්, දූෂිතයන්ට දඬුවම් දීමත් ඒ අතර ප්‍රබලම පොරොන්දු ය. තරුණයන්ට සිහින මල්ලක් දුන්නේ ය. කාර්, බයිසිකල්, ෆී්‍ර වයි-ෆයි, ජොබ්ස්, වොක්ස්වැගන් කොම්පැනි ඒ අතර විය. 2015 ජනවාරි 8 උදා විය. පොදු අපේක්ෂක මෛත්‍රි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය. සම්මුතිවාදී යහපාලන ආණ්ඩුව උපත ලැබුවේ ය.

මැරෙන දවස
යහපාලන ආණ්ඩුවට අයිතිකරුවන් ගොඩකි. පාර්ශ්වකරුවන්ගෙන් ද අඩුවක් නැත. යහපාලන ආණ්ඩුව අතුරක් වැනිය. එක් ලණුවක් යූඑන්පීය ය. අනෙක් ලණුව ශ්‍රීලනිපය ය. නැග්ගා වගේ නොව යෑම ලේසි නැත. එක ලණුවක් මඟහැරුණොත් අනාථ ය. බිම ය. කුඩේකුඩු ය. පණ රැකගන්න එක ලේසි නැති බව වැඩිකල් යන්නට පෙර ආණ්ඩුවට තේරුණේ ය. මැරෙන්නේ හිසත් පයත් සීතල වූ දා ටය. යහමින් නාගත්විට හිසත් පයත් සීතල වෙන්නේ ය.
හරකාගේ බෙල්ලේ ගැට ගහපු කඹේ මැද ඉණේ ගැට ගසා අනෙක් කොන කළයේ බැඳ දිය නෑවොත් වෙන දේ ගැන මාදුළුවාවේ සෝභිත හිමියන් කල් තියාම අනතුරු හඟවා තිබුණේ ය. බලාගෙන ඉන්න බැරිම තැන උන්වහන්සේ කට ඇරියේ ය.
"සියල්ල එක තැන පල්වෙනවා. ජනාධිපතිතුමනි,
දුෂ්කරම දේ අපි කළා. තැටිය රත් කරන්න අපි අවුරුදු ගාණක් දුම් පිම්බා. තැටිය රත් කරලා දුන්නේ රොටිය පුච්චන්න. දැන් බැලුවාම ගිනි තපිනවා. අපි ඕක හැදුවේ ගිනි තපින්න නෙමෙයි, ඕක හැදුවේ රොටිය පුච්චන්න."

පළමුවැනි මරණය
ආණ්ඩුව බලයට පත් වී මාස 2ක් යන්නට මත්තෙන් පළමු මරණය සිදුවිය. අගමැති රනිල් ආනුභාවයෙන් මහ බැංකු අධිපති වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා මහ බැංකුවේ බිලියන ගාණක් මහ දවල් හොරා කෑවේ ය. එක කඹයක් හෙල්ලුණේ ය. ආණ්ඩුව වෙව්ලුවේ ය. ගොනා දිව්වේ ය. කළය බි½දුණේ ය. ආණ්ඩුවට තුවාල ය. හොඳටම නාගත්තේ ය. හිසත් පයත් සීතල විය. පළමුවැනි මරණය සිදුවිය.

දෙවැනි පණ
මළා යැයි සිතා මළා සේ සිටි ආණ්ඩුවට පණ ආවේ රිදෙන්න ගහනකොට ය. බැඳුම්කර වංචාවෙන් වසර දෙකකට පසුව ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළේ ය. 2017 මාර්තු 31 වැනිදා කොමිසම වැඩ පටන් ගත්තේ ය.

දෙවැනි මරණය
යහපාලන ආණ්ඩුව දූෂිතයන්ට එරෙහිව වහ වහා ක්‍රියාත්මක වූයේ ය. දිගට හරහට චූදිතයන්ගෙන් ප්‍රශ්න කළේ ය. එෆ්සීඅයිඩියේ හැමදාම පෝලිම් ය. "සතියෙන් හිරේ දෙකෙන් හිරේ" ඒ කැබිනට් ප්‍රකාශක රාජිත ය. කිහිප දෙනකු ඇතුළට දැම්මේ ය. සැප දුන්නේ ය. එළියට දැම්මේ ය. මාධ්‍ය සන්දර්ශන බොහෝ ය. තැටිය රත් වී ඇත. රොටිය තාම අනනවා ය. අනන ගමන් නානවා ය. හිසත් පයත් සීතල විය. දෙවැනි මරණය සිදු විය.

තුන්වැනි පණ
මළා යැයි සිතා මළා සේ සිටි ආණ්ඩුවට පණ ආවේ ආයෙත් රිදෙන්න ගහනකොට ය. නැවතත් කොමිසම මතක් විය. දවසින් දවස වැඩේ නැඟලා ගියේ ය. චෝදනා ගොඩකි. කන්නලව් රැසකි. ඒත් මෛත්‍රි තදින් ය.

තුන්වැනි මරණය
ඇඟ පිහදා ගන්න හදනකොටම තවත් වැස්සකි. අනෝරා වැස්සකි. ප්‍රශ්නය 'සයිටම්' ය. වෛද්‍ය ශිෂ්‍යයන් කුපිත විය. රජයේ වෛද්‍ය සංගමය සටනට බැස්සේ ය. රට පුරා උද්ඝෝෂණ ය. පා ගමන් ය. කඳුළු ගෑස්, බැටන් පොලු, ජල ප්‍රහාර, දවස ගාණේ ය. කොළඹ පාරවල් වැසී ගියේ ය. සරසවි සිසුන් මාරාන්තික සටනක ය. අපමණ අගයක් ඉල්ලූ තාරුණ්‍ය මාරාන්තික සටනක ය. දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් යනතෙත් ආණ්ඩුවට විසඳුමක් තිබුණේ නැත. තුවාලය කුණු වුණේ ය. ආණ්ඩුව තෙමුණේ ය. හිසත් පයත් සීතල විය. තුන්වැනි මරණය සිදු විය.
හතරවැනි පණ
මළා යැයි සිතා මළා සේ සිටි ආණ්ඩුවට පණ ආවේ ආයෙත් රිදෙන්න ගහනකොට ය. නැවතත් කොමිසම ම මතක් විය. ආයෙත් දවසින් දවස වැඩේ නැඟලා ගියේ ය. පලිසේනලා, මහේන්ද්‍රන්ලා ප්‍රශ්න කරන්න කොමිසමට ගෙනාවේ ය. දප්පුලලා වැඩේ අතෑරියේ නැත. අඩි පොළොවේ හප්පා ප්‍රශ්න කළේ ය. කන්නලව් රැසකි. ඒත් මෛත්‍රි තදින් ය.

හතරවැනි මරණය
අගමැති රනිල් මුලින් කීවේ මත්තල ගුවන් තොටුපළ වී ගබඩා කරන්න හොඳ බවත්, හම්බන්තොට වරාය ස්විමිං පූල් එකකට සුදුසු බවත් ය. වැඩි කල් නොගොස් හම්බන්තොට ස්විමිං පූල් එක චීනයට විකුණන්න රනිල් ප්ලෑන් ගැසුවේ ය. අක්කර 15,000ක් චීනයට පවරා දෙන්නටත් එකඟ වුණේ ය. ගිවිසුම් ගැසුවේ ය. චීන සමාගම වරාය සේවකයන් නෙරපුවේ ය. සේවකයෝ දිගටම සටන් කළහ. ප්‍රශ්නයට නාවික හමුදාපතිත් අත දැම්මේ ය. ජැටිය නාවික හමුදාවට පවරා ගත්තේ ය. කැඳ හැළියකි. අවුල් ජාලයකි. කතා ගොඩකි. හොඳටම වැස්සේ ය. ආණ්ඩුව තෙමුණේ ය. හිසත් පයත් සීතල විය. හතරවැනි මරණය සිදු විය.

පස්වැනි පණ
මළා යැයි සිතා මළා සේ සිටි ආණ්ඩුවට පණ ආවේ ආයෙත් රිදෙන්න ගහනකොට ය. නැවතත් කොමිසම ම මතක් විය. වැඩේ නැඟලාම ගියේ ය. මුදල් ඇමැති රවි සාක්ෂි කූඩුවට නැග්ගුවේ ය. රවිට හීන් දාඩිය දැම්මේ ය. කට උත්තර නැති විය. ඇමැති රවි නොදැනුවත්වම ඇලෝසියස් රවිගෙ බිරියට අපාර්මන්ට් එකක් තෑගි දීලා ය. චෝදනා ගොඩකි. කන්නලව් රැසකි. ඒත් මෛත්‍රි තදින් ය. රවිට මුදල් ඇමැති කමත් නැති විය. ගෙදරම යන්න සිදු විය.

පස්වැනි මරණය
පළාත් පාලන ඡන්දයට කල් හරි ය. ඒත් ආණ්ඩුව සිටියේ දෙගිඩියාවෙන් ය. වැඩේ ටික ටික කල් ඇද්දේ ය. කඹේ මැදින් ඇමැති ෆයිසර්ගේ ඉණේ ගැට ගැසුවේ ය. කොන සීමා නිර්ණයේ ගැට ගැසුවේ ය. පයිසර් ඇදගෙන නෑවේ ය. හරකා දුවනකන්ම නෑවේ ය. කලබල වූ හරකා දිව්වේ ය. කළේ බිඳුණේ ය. ෆයිසර්ට තුවාල ය. හොඳටම වැස්සේ ය. ආණ්ඩුව තෙමුණේ ය. හිසත් පයත් සීතල විය. පස්වැනි මරණය සිදු විය.

හයවැනි පණ
මළා යැයි සිතා මළා සේ සිටි ආණ්ඩුවට පණ ආවේ ආයෙත් රිදෙන්න ගහනකොට ය. නැවතත් කොමිසම ය. වැඩේ උපරිමයට ආවේ ය. මහේන්ද්‍රන්ගේ බෑනා ඇලෝසියස් සාක්ෂි කූඩුවට නැග්ගුවේ ය. ඔහුගේ ව්‍යාපාර බැංකු ගිණුම් අත් හිටෙව්වේ ය. අවසානයේ අගමැති රනිල් සාක්ෂි කූඩුවට නැග්ගුවේ ය. පහුවෙනිදා සිට ඔහු 'බය නැති අගමැති' ද විය. චෝදනා ගොඩකි. කන්නලව් රැසකි. මෛත්‍රි තදින්ම ය. සාක්ෂි සියල්ල නිම වුණේ ය. 2017 දෙසැම්බර් 30 වැනිදා බැඳුම්කර කොමිෂන් වාර්තාව ජනපති මෛත්‍රි අතට පත් විය. 2018 පෙබරවාරි 04 වැනිදා ඇලෝසියස් සීඅයිඩී අත්අඩංගුවට පත්විය.

හයවැනි මරණය
2018 පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දය පැවැත්වූයේ ය. අනෝරා වැස්සකි. සෝදා පාළු විය. ආණ්ඩුව හොඳටම තෙමුණේ ය. හිසත් පයත් සීතල විය. හයවැනි මරණය සිදු විය. චෝදනාව රනිල්ට ය. සෝදාපාළුවට ප්‍රධාන හේතුව බැඳුම්කර හොරකම යැයි පූර්ව නිගමනය වූයේ ය. ආණ්ඩුව අතුරේ මැද ය. එක කඹයක් අත හැරෙන්නට ඔන්න ය. මෙන්න ය. ආණ්ඩුව වෙව්ලුම් කෑවේ ය. වැටෙන්නට ඔන්න ය. මෙන්න ය. රනිල් අගමැතිකම රැක ගැනීමේ හුදෙකලා සටනක ය.

හත්වැනි පණ
මළා යැයි සිතා මළා සේ සිටි ආණ්ඩුවට මේ වතාවේ දී නම් කොතරම් ගැහුවත් පණ එන පාටක් නැත. කැබිනට් එකත් මාරු කළේය. රනිල් අගමැතිකම අත්හරිනවා කෙසේ වෙතත් පොලිස් ඇමැතිකම භාර ගත්තේ ය. මේ අල්ල පනල්ලේ කන්ද උඩරට ජාතිවාදී දුමක් නැග්ගේය. ගින්නක් අත ළඟය. චෝදනාව පොලිසියට ය. පොලිස් ඇමැති රනිල් ය. රනිල් නිහඬ ය. රනිල් වහාම පොලිස් ඇමැතිකම මද්දුමබණ්ඩාරගේ ඇඟේ ගැසුවේ ය. මද්දුමබණ්ඩාරලා දංගෙඩියට බෙල්ල තියන්න දක්ෂයෝ ය.
සෝභිත හිමි රත් කළ තැටිය දැන් නිවී ඇත. රොටිය තාමත් අනනවා ය. රොටිය පුච්ච ගන්න බැරිකම කෙසේ වෙතත්, ආණ්ඩුව මේ ගින්නෙන් තැටිය නැවතත් රත් කර ගන්න මාන බලනවා වෙන්නට බැරි නැත.

යහපාලන ආණ්ඩුව බලයට ආවේ 'වයිබර්'-'ෆේස්බුක්' විප්ලවයකින් ය. ඇවිළෙන්නට ගිය ජාතිවාදී ගින්න මැඩ පවත්වා ගන්නට නොහැකි තැන එය 'වයිබර්' 'ෆේස්බුක්' පිට පැටෙව්වේ ය. ඉණිමගට පයින් ගැසුවේය. කෙළින්ම එල්ලවූයේ පොරෝ පහර ය. නියාමනය වෙනුවට වහාම සෝෂල් මීඩියා අත්හිටෙව්වේ ය. මෛත්‍රි නම් කියන්නේ සෝෂල් මීඩියා නැවැත් වූ නිසා වැඩේ ගොඩ දාගත්තා කියා ය. මේ ආණ්ඩුව පටන් ගත් දා සිටම අල්ලන්නේ වැරදි තැනින්ය. කෙසෙල් ගස් දෙක තුනක් නරක් වූ විට කෙසෙල් වත්තම කපා දමා හරියන්නේ නැත. දිගටම වහින්නේ ය. ආණ්ඩුව දිගටම නාන්නේ ය. හිසත් පයත් දිගටම සීතලය. හතර වටින්ම රිදෙන්නම ගසයි. ඒත් පණ එන පාටක් නම් නැත. පණ ගන්නට නම් මේ උන්මාදයෙන් ආණ්ඩුව ගැලවිය යුතුව ඇත. දැන් නම් තොවිලය නටන්නට කාලය හරිය. නැති නම් ආතුරයා ගොඩගෙන හමාරය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon