මල් කියන්නෙ කාට කාට!

  👤  3317 readers have read this article !
2018-03-15

'මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට' යැයි කවියෝ ලියූහ. සෝවියට් රුසියන් විප්ලවයෙන් පසු ලෙනින් පැවැසුවේ හොඳම දේ දරුවන්ට හිමි විය යුතු බවය. ලෝකයේ දියුණු රටවල දරුවන්ට ලැබෙන්නේ ඉහළ සැලකිල්ලකි. දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය හා අධ්‍යාපනය ලබාදීම ඔවුහු ප්‍රමුඛ කාර්යයන් සේ සලකති. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔක්තෝබර් පළමුවැනිදා ජගත් ළමා දිනය ලෙස නම් කර ඇත්තේ ලෝකයේ ජීවත් වන දරුවන් සියලු දෙනා තවමත් සුරක්ෂිත නොවන නිසාත්, සැලකිය යුතු පිරිසක් හිංසනයටත්, පීඩාවටත් අපයෝජනයටත් ලක්වන නිසාය.

දෙකෝටියකට වැඩි ජනතාවක් ජීවත් වන ලංකාව වැනි රටක පවා දරුවන්ට රැකවරණය, ආරක්ෂාව ලබාදීමට හැකි වී නැත.
මේ වසරේ ගත වූ මුල් මාස දෙක තුළදී පමණක් ළමා අපයෝජන සිද්ධින් සම්බන්ධයෙන් පැමිණිලි 1,532ක් ලැබී ඇතැයි ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කර ඇත. ළමයින් කායික හා මානසික වශයෙන් කෘෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 364කි. අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීමට අදාළව පැමිණිලි 241ක් ලැබී ඇත. පැමිණිලි 95ක් ළමයින්ව නොසලකා හැරීම්වලට අදාළවය. ළමා ශ්‍රමිකයන් සම්බන්ධ පැමිණිලි 56ක් ලැබී තිබේ. බරපතළ ලිංගික අපයෝජන සිද්ධි 61ක් හා ලිංගික අතවර කිරීම් 58ක් අදාළ පැමිණිලි අතර ඇත.

කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම හා රත්නපුරය යන දිස්ත්‍රික්කවලින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති අතර මඩකළපුව, යාපනය, මුලතිව්, මන්නාරම හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලින්ද පැමිණිලි ලැබී තිබේ. පැමිණිලි ලැබී නොතිබුණද සෙසු දිස්ත්‍රික්කවල ළමා අපයෝජන සිදු නොවේ යැයි කිව නොහැකිය. අනෙක් අතට පැමිණිලි නොකෙරුණු ළමා අපයෝජන සිද්ධි තිබෙන බව විශ්වාස කළ හැකිය.

අවාසනාව වන්නේ නිවෙස්වල මවුපියන් භාරයේ සිටින දරුවන් පමණක් නොව ළමා නිවාසවල සිටින දරුවන්ද අපයෝජනයට ලක් වීමය. ආසන්නම සිද්ධි දෙකකි. පළමුවැන්න හබරාදුව ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 5 දෙනකු අපයෝජනයට ලක්කිරීමය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ළමා නිවාසයක දරුවන් 18 දෙනකු අපයෝජනයට ලක්කිරීම අනෙක් සිද්ධියයි. පරිස්සමට තැබූ දේ අෑලියාවට ගොස් ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ දරුවන් ආයතනගත කිරීම අවසන් විකල්පය වශයෙන් පාවිච්චි කළ යුතු බවය. පවුල තුළද, ආයතන තුළද දරුවන්ට ආරක්ෂාවක් නැති වෙමින් තිබෙන බව පැහැදිලිය. විශේෂයෙන් වියපත් වැඩිහිටියන් අතින් දරුවන් අපයෝජනයට ලක්වීමේ සිද්ධිවල වර්ධනයක් සිදු වී ඇත. ළමා නිවාස ආශ්‍රිතව හෝ නිවෙසකදී හෝ දරුවන් කායික, මානසික, ලිංගික හෝ නොසලකා හැරීම් ආදී වශයෙන් අපයෝජනයට අදාළ සියලුම සිදුවීම් පිළිබඳව 1929 දුරකතන අංකයට දැන්විය හැකිය. ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ සියලුම පැමිණිලි පිළිබඳව අනිවාර්යයෙන් සොයා බලන බවය.

ගැහැනු දරුවන් පමණක් නොව පිරිමි දරුවෝද මේ සමාජය තුළ අනාරක්ෂිත වී සිටිති. ඔවුන්ව ඉන් මුදාගන්නේ කෙලෙසද යන්න ප්‍රශ්නයකි. එය ළමා ආරක්ෂක අධිකාරියට පමණක් කළ නොහැකිය. සමස්ත සමාජයටම එහි වගකීම පැවැරේ. ප්‍රශ්නය වන්නේ වැඩිහිටියන් නිසා අනාරක්ෂිත වී ඇති දරුවන්, වැඩිහිටියන් රජ කරන සමාජයක් තුළ ආරක්ෂා කළ හැකිද යන්නය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon