අපේ කාන්තාවෝ

  👤  2776 readers have read this article !
2018-03-14

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 'මාර්තු 8' ජගත් කාන්තා දිනය ලෙස නම් කර ඇත්තේ 'කාන්තාන්' ලෝකයේ අවධානයට ලක්විය යුතු පිරිසක් ලෙස සැලැකෙන නිසාය. හිංසනය, පීඩනය, නොසලකා හැරීම හා අඩු සැලැකිල්ල කාන්තාව තවමත් අත්විඳිමින් සිටින්නීය.

ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව මෙරට කාන්තාවට යම් සුරක්ෂිතතාවක් පවතී. එහෙත් දිවයිනේ පළාත් පහක් කේන්ද්‍රකර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇති කරුණුවලින් පෙනී යන්නේ ලාංකික කාන්තාව හමුවේ ගැටලු රැසක් පවතින බවයි.
මේ අධ්‍යයනය කර ඇත්තේ මෙරට කාන්තාවන්ගේ හා ගැහැනු ළමයින්ගේ අස්වාභාවික හා රහස් මරණ පිළිබඳවය. 'අස්වාභාවික මරණ ලෙස හඳුන්වන්නේ තුවාල, කම්පනය හෝ වස දීම වැනි බාහිර හේතුවක් මත සිදුවන මරණ ගැනය. එවැනි මරණ මිනීමැරුමක්, හදිසි අනතුරක්, සියදිවි නසාගැනීමක් හෝ ඇතැම් විට හඳුනානොගත් ආකාරයකින් සිදුවිය හැකිය.

මේ අධ්‍යයන වාර්තාවට අනුව මෙරට කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් මියයන්නේ මාර්ග අනතුරු නිසාය. එය මුළු අනතුරුවලින් 60%ක ප්‍රතිශතයකි. දියේ ගිලීමෙන් 11%ක්ද, පිලිස්සීම් මඟින් 11%ක්ද මරු දකිති.

දිවිනසාගන්නා කාන්තාවන් සංඛ්‍යාවද ඉහළ මට්ටමක පවති. විස ශරීරගතකර ගැනීම, ගෙල වැලලා ගැනීම හා ගිනි තබා ගැනීම දිවිනසාගන්නා ක්‍රම ලෙස හඳුනාගෙන ඇත. අවුරුදු 25ත් - 60ත් අතර කාන්තාවන් 50%ක් දිවිනසා ගැනීමට පෙලඹී සිටින අතර අවුරුදු 25ට අඩු ගැහැනු ළමයින් දිවිනසා ගැනීමේ ප්‍රතිශතය 40%කි. පොදුවේ ගත් කල 43%ක් විස ශරීරගත කර ගැනීමෙන්ද, 40%ක් ගෙලවැලලා ගැනීමෙන්ද, 9%ක් ගිනිතබා ගැනීමෙන්ද දිවිනසා ගෙන ඇත.
කාන්තා මිනීමැරුම්වලදී බහුතරයක් මිය යන්නේ අවුරුදු 25ත් - 60ත් අතර වයසේ පසුවන්නියන්ය. වැඩි සංඛ්‍යාවක් මරා දැමෙන්නේ තියුණු ආයුධවලින් පහර දීමෙන් වන අතර ගෙල සිර කිරීමෙන්ද සැලකිය යුතු පිරිසක් මරා දැමේ.

ශ්‍රී ලංකාවේ සිදුවන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප භාරකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ වන බව මින් අනාවරණය කර ඇත. පර්යේෂණ වාර්තාවට යොදා ගැනුණු මිනීමැරුම් 243න් 128කම අපරාධකරුවා වී ඇත්තේ නීත්‍යනුකූල සැමියාය. අධිකරණ ක්‍රියාවලියේදී මහාධිකරණය දක්වා ගොස් ඇත්තේ අදාළ මිනී මැරුම්වලින් 30%ක පමණ ප්‍රමාණයකි.

බස්නාහිර, උතුර මැද, දකුණ, නැඟෙනහිර හා සබරගමුව යන පළාත් පහ කේන්ද්‍රකර ගනිමින් කර ඇති මේ අධ්‍යයනයට අනුව අනතුරුවලින් මියයන සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 25ත් - 60ත් අතර කාන්තාවන් වන අතර අවුරුදු 25ට අඩු ගැහැනු දරුවන් අනතුරුවලට ලක්වීමේ සම්භාවිතාව සෙසු වයස් කාණ්ඩවලට සාපේක්ෂව අඩුය.

මේ අධ්‍යයනයෙන් පැහැදිලි වන්නේ මෙරට කාන්තාවන් ගෘහස්ථ වශයෙන් විඳින පීඩාව ඉහළ අගයක් ගන්නා බවය. 'ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය' කාන්තාවන් මුහුණදෙන බරපතළම අනතුර බවට හඳුනාගෙන ඊට පිළියම් යෙදීම බලධාරීන්ගේ වගකීමය. පවත්නා නීතිය දැඩි කිරීම එක් පියවරකි. කාන්තාව දැනුවත් කිරීම, සවිබල ගැන්වීම හා ජිවන කුසලතා ප්‍රගුණ කිරීම සඳහා පාසල් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, කළ යුතු බව අධ්‍යයන වාර්තාව නිර්දේශ කර ඇත. කාන්තාව පිළිබඳ වාර්තාකරණයේදී මාධ්‍ය වගකීම් සහගත වීමද අත්‍යවශ්‍යය.

කාන්තාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී, ඔවුන්ගේ අයිතීන් සුරැකීමේදී මාධ්‍යයට ද විශාල දායකත්වයක් ලබාදිය හැකිය. ප්‍රශ්නය වන්නේ 'මාධ්‍ය' ඒ පිළිබඳ දැනුවත්ද යන්නය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්