ගිනි අවි හරඹ

  👤  3280 readers have read this article !
2018-03-13

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. රංජිත් හෙවත් චණ්ඩි මල්ලිගේ පුත්‍රයකු වන පළාත් සභා මන්ත්‍රි එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිය තාරකා පෙරේරා එකතු වී පෞද්ගලික බස් රථ රියැදුරකුට තලංගම, කොස්වත්ත මංසන්ධියේදී දෙනෝදාහක් බලා සිටියදී බිම දමාගෙන පහර දුන්නේ ඉකුත් අඟහරුවාදා මහ දවාලේය.

සැමියා රියදුරාට බිම පෙරළාගෙන පහර දෙද්දී බිරිය ඔහුට සහාය වූයේ පිස්තෝලයක්ද අතැතිවය. පිස්තෝලය ලෙළවමින් අවට සිටි පිරිසට
තර්ජනය කළ ඇය රියැදුරාගේ හිසට ඉන් පහර දෙනු පෞද්ගලික බස් රථයේ සිටි මගියකු විසින් සිය ජංගම දුරකතනයෙන් රූගත කර තිබිණි. දෙමළ චිත්‍රපටයක බිහිසුණු දර්ශනයක් මෙන්වූ මේ පහරදීම රටටම දැක බලා ගැනීමට ඉන් ඉඩ සැලසුණේය.

තලංගම පොලිසිය සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙළිවී තිබුණේ ගිනි අවිය මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් බවත්, ඒ තුළ ජීව උණ්ඩ 5ක් තිබූ බවත්ය. පළාත් සභා මන්ත්‍රිවරයාගේ නිල පිස්තෝලය මෙලෙස බිරිය විසින් රියැදුරාට පහරදීමට යොදා ගෙන තිබිණි.

මේ අතර ඉකුත් 9 වැනිදා නාරාහේන්පිට පොලිසිය මඟින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත්‍රයකු වන ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලව අත්අඩංගුවට ගෙන තිබිණි. නාවල විවෘත විශ්වවිද්‍යාලය ආසන්නයේදී සිදු වූ සුළු රිය අනතුරක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමේදී විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවකුට පිස්තෝලයකින් හිසට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. මන්ත්‍රිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේ රමිත් රඹුක්වැල්ල මහතා සිට ඇත්තේ බීමතිනි. සිසුවාගේ හිසට පහර දුන් බව කියන පිස්තෝලය සොයා ගැනීමට පොලිසිය අසමත්ව සිටියද බීමත්ව රිය ධාවනය කිරීම හා අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා මත ඔහුට නඩු පවරා ඇත.

ක්‍රිකට් ක්‍රීඩක රමිත් අත තිබූ පිස්තෝලයේ හිමිකරුවා කවුද? යන්න හෙළිවී නැතත් 'පිස්තෝලය' අතුරුදන් වීමත්, ඉන් පහර කෑමට ලක්වූ සිසුවා පොලිසියට කළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමත් තුළින් ඒ පිළිබඳ යම් හෝඩුවාවක් සොයා ගැනීමට බැරිකමක්

නැත.
කාරණය අනෙකකි.

දේශපඥයන්ගේ බිරින්දෑවරුන්ට, පුත්‍රයන්ට හා හෙන්චයියන්ට ගිනි අවි රැගෙන ප්‍රසිද්ධියේ ගිනි කෙළි පෙන්වීමට හැකිවී තිබීමෙන් තත්ත්වය අන්තරාදායක බව පෙනී යයි. එනිසා මැති ඇමැතිවරුන්ට නීත්‍යනුකූලව ගිනි අවි නිකුත් කළ යුතුද යන්න ගැන යළි සිතා බැලිය යුතුය. මහජන නියෝජිතයන්ට ලබාදෙන ගිනි අවි අන් අය අතට පත්වීමත් ඉන් සාමාන්‍ය වැසියන් පීඩාවට පත් කිරීමත් බරපතළ කාරණයකි.

1988-89 ධවල භීෂණ සමයේ කැරැලිකරුවන්ට එරෙහි පිරිස්වලටත්, ආණ්ඩු පක්‍ෂයටත්, විපක්‍ෂයේ ඇතැම් පක්‍ෂවලටත් ගිනි අවි ලබා දුන්නේය. කැරැලිකරුවන් අතේද ගිනි අවි තිබිණි. කැරැල්ල මැඬපැවැත්වුවද මේ ගිනි අවි සියල්ල එක තැනකට එකතු කෙරුණේ නැත. 80 දශකයේ මැද භාගයේ ඇරැඹි මේ ගිනි අවි සංස්කෘතිය යුද්ධයෙන් පෝෂණය විය. යුද්ධය අවසන් වුවද කැරැලිකරුවන් අතේ තිබූ ගිනි අවි සියල්ල එක තැනකට එකතු වූ බව කිව නොහැකිය. තවමත් පළාත් සභා මන්ත්‍රිවරුන්ට පවා නිල ගිනි අවියක් පරිහරණය කිරීමේ හා අදාළ ගිනි අවිය රජයෙන් ලබාදීමේ නීතිය වෙනස් වී නැත. ගිනි අවි අතේ තියාගෙන ගමනේ යෙදෙන ඔවුහු අද කොස්වත්ත, නාවල වැනි ජනාකීර්ණ නගරවල ගිනි කෙළි පෙන්වති.

මේ 'ගිනි අවි' සංස්කෘතිය සමාජයෙන් මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍යය. කඩු, පොලුවලින් චණ්ඩිකම් පෑ යුගය කෙළවර වී ඇත. පිස්තෝල, බෝම්බ, තුවක්කු කරළියට පැමිණ තිබේ. ජාති, කුල ආගම් පක්‍ෂ ලෙස බෙදෙමින් කුළල් කා ගනිමින් සිටින රටකට මේ 'ගිනි අවි' විනාශයට ‍ෙදාරටුව විවෘත කිරීමකි. මේ බව සියල්ලන්ට පෙර තේරුම් ගත යුත්තේ දේශපාලනඥයන්ය. විශේෂයෙන් ආණ්ඩු බලය දරනවුන්ය. එහෙත් මහ පාරේ සුදු ඉරි මත පැදුරු එළාගෙන නරිනාඩගම් නටන ඊනියා මහජන නියෝජිතයන් ඉන්නා රටක සබුද්ධිකව යම් පියවරක් බලධාරීන් ගනීවි යැයි සිතීම
දුෂ්කරය. පොලිසියද තකට තකය.

මෙහිදී නව නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාට පැවරෙන වගකීම අති විශාලය. ඇමැති රංජිත් මද්දුමබණ්ඩාරට කරනවා නම් කරන්න වැඩ ගොඩක් තිබේ. 'ගිනි අවි' ප්‍රශ්නයද ඉන් එකකි. ඒ බව කොස්වත්තේදි හා නාවලදී ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon