නීතිය හා සාමය රංජිත්ගේ ඔඩොක්කුවට වැටුණු හැටි

  👤  6275 readers have read this article !
2018-03-11

ගත වූ සතියේ ජනතාව අතර වැඩි කතා බහට මාතෘකාවක් වූයේ නීතිය හා සාමය අමාත්‍යාංශයයි. ඉකුත් සතියේ රටේ වැඩි තර්ජනයක් එල්ල වූයේත් අභාග්‍ය සම්පන්න ලෙස බිඳ වැටුණේත් නීතිය හා සාමයයි. ජාතිවාදී ගිනිදැල් ජීවිත දෙකක් බිලි ගත් අර බොහෝ දේපොළද වැනසී ගියේය. පමා වී නමුත් තත්ත්වය පාලනය කිරීම ගැනත් ජාතිවාදී උන්මන්තකයන්ගේ මන ‍ෙදාළ සපුරා ගැනීමට ඉඩ නොදීම ගැනත් කෘතවේදිත්වය පිරිනැමිය යුතු අංශ බොහෝය.

බෞද්ධ, හින්දු, කතෝලික හා මුස්ලිම් පූජක පක්ෂය එක්සත්ව සාමය හා සංහිඳියාව උදෙසා පෙනී සිටි අන්දම අගය කළ යුතුය. බොහෝ ජනමාධ්‍යයද ජාතික වගකීමෙන් යුතුව හඬ අවදි කරන්නටත් පන්හිඳ හසුරුවන්නටත් කටයුතු කළ අයුරු අගනේය. ජාතිවාදී සර්පයාට එරෙහිවූ ජනතාවටද ගෞරවය හිමිවේ.
කාලයෙන් කාලයට උනුන් මරා ගනිමින් ලේ හලන ම්ලේච්ඡයන්ගේ රටක් බවට ශ්‍රී ලංකාවේ පින්තූරය කැත කරන අධමයන්ට නැවත ඉඩ නොදිය යුතුය. ඒ සඳහා කළයුතු පළමු රාජකාරිය වන්නේ ජාතිවාදී සර්පයාට සැඟවෙන්නට ඉඩ නොදී එළියට ඇද තළා දැමීමය.


පළාත් මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ දැනෙන වෙනසක් සිදුවන බව කල් ඇතිව ප්‍රකාශ කර තිබූ නමුත් එවැන්නක් සිදු වූයේ නැත. එජාපය පැත්තෙන් සිදු වූ කැබිනට් සංශෝධනයද ජනතාවට ඇඟට දැනෙන වෙනසක් නොවීය. නීතිය හා සාමය අගමැති ගත්තේ සතියකට පමණක් බව කියැවිණි. අනතුරුව සරත් ෆොන්සේකා දිවුරුම් දෙනු ඇතැයි වගකිවයුත්තෝ මාධ්‍යයට කීහ. එහෙත් හිටි අඩියේ රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් නීතිය සාමය ඇමැති ලෙස දිවුරුම් දුන්නේය.
කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබූ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මුලින් නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා කැමැත්තෙන් පසු වුවත් එජාපයේම ඇතැම් මැති ඇමැතිවරුන් ඊට දැක්වූ නොකැමැත්ත හේතුකොටගෙන වෙනත් අයකු පත් කිරීම කෙරෙහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබිණි.
සරත් ෆොන්සේකාට වඩා මැදහත් අයකුට නීතිය හා සාමය අමාත්‍ය ධුරය ලබාදිය යුතු බවට අගමැතිවරයාට මෙන්ම ජනාධිපතිවරයාටද ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි. මේ පිළිබඳව එජාප ජේ‍යෂ්ඨයන් සමඟ කළ කතාබහේදී අගමැතිවරයාට ඒත්තු ගියේ අදාළ තනතුරට සුදුසුම පුද්ගලයා රංජිත් මද්දුමබණ්ඩාර බවය.
මේ පිළිබඳව රංජිත්ගෙන් විමසන්නටත් කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා සමඟ කතාබහක නිරත විය. එහිදී ජනාධිපතිවරයාගේ කැමැත්තද එකහෙළාම අගමැතිවරයාට ලැබිණි.

රංජිත් දන්නේ අන්තිම මොහොතේ
ඒ අනුව පසුගිය බදාදා උදේ වරුවේ අග්‍රාමාත්‍යවරයා තම යෝජනාව රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා හමුවේ තැබීය. මඳ වේලාවක් කල්පනාවේ නිමග්න වූ ඇමැතිවරයා ඒ සඳහා එකඟතාව පළ කළේය. තමන්ට මෙම තනතුර ලැබෙන්නට යන බවක් ගැන නොදැන සිටියද මේ මොහොතේ නීතිය හා සාමය ඇමැති පදවිය ලැබුණොත් එය භාර ගැනීමට සූදානම් වන්නැයි ඉහළ පෙළේ ආගමික නායකයන්ගෙන් හා එජාපයේ ඇතැම් ජේ‍යෂ්ඨ හිතවතුන්ගෙන්ද මද්දුමබණ්ඩාර මහතාට ඉල්ලීම් ඉදිරිපත්ව තිබිණි.

නව ඇමැති
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ
නව පදවියෙහි දිවුරුම් දුන් ඇමැතිවරයා ඊළඟට මහ සඟරුවනගේ ආශීර්වාදය ලබාගැනීම සඳහා සිය බිරියද කැටුව හුනුපිටිය ගංගාරාමයට ගියේය. ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමිපාණන් ඇතුළු මහ සඟරුවනෙන් ආශීර්වාදය ලබාගත් ඇමැතිවරයා ඊළඟට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගියේ සිය ඥාති දියණියකගේ මංගල්‍යයට සහභාගිවීමටය.
අමාත්‍යවරයාගේ ඥාති දියණිය වූ සියාන් ප්‍රකට ව්‍යාපාරික හිරාන් හා ඉෂානි විචක්ෂණගේ දියණියයි. ඇගේ අතගත්ත මනාලයා වූයේ හොරණ ප්‍රකට ව්‍යාපාරික ලෙස්ලි විජේසිරිවර්ධන යුවළගේ පුතණුවන් වූ ඉන්ජිනේරුවරයකු හා ව්‍යාපාරිකයකු වන චන්දිකය.

මෙම විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අස්සන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ය. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් විවාහයට අස්සන් කිරීමෙන් පසුවද බොහෝ වේලාවක් එහි රැඳී සිටියහ. ඒ අතරවාරයේ නීතිය හා සාමය පිළිබඳ නව ඇමැතිවරයා වූ රංජිත් සමඟ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තෙල්දෙණිය හා දිගන ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව මෙන්ම තත්ත්වය සමනය වෙමින් යන ආකාරය පිළිබඳවද එහිදී කතාබහ කළහ. ඉන් පසුව පොළොන්නරුවේ පැවැත්වෙන කාන්තා දින උළෙලට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා සමුගෙන ගියේය.

මෙම මංගල උළෙලට හිටපු අමාත්‍ය රවි කරුණානායක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හා බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය සහ දිවුලපිටිය එජාප ප්‍රධාන සංවිධායක කිත්සිරි මංචනායක මහත්වරුද එක්ව සිටියහ. අග්‍රාමාත්‍යවරයා මංගල උළෙලින් නික්ම ගියේ දිවා භෝජන සංග්‍රහයටද එක්වීමෙන් අනතුරුවය.

මුස්ලිම් නායකයෝ මහින්ද හමුවෙති
මහනුවර නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ හිටපු ජනපති මහින්දටද සිංහල මුස්ලිම් දෙපාර්ශ්වයෙන්ම දුක් ගැනවිලි ඉදිරිපත් වෙමින් තිබිණි. අඟහරුවාදා මහින්ද හමුවන්නට ඉස්ලාම් ආගමික නායකයන් කිහිප දෙනකු පැමිණ සිටියහ.
'අද අපට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ගැන කතා කරන්න කෙනෙක් නැතිකම.'

අපිත් එක්ක කතා කරන්න කෙනෙක් හිටිය නම් මේ ගැටලු ඉක්මනින් විසඳන්න පහසුවෙන්න තිබුණා. ඉස්සර නම් ඔබතුමා අපේ ප්‍රශ්නයක් කිව්වාම ආරක්ෂක ලේකම්තුමාව සම්බන්ධ කරල දෙනවා. එතකොට එතුමා ප්‍රශ්නය විසඳනවා.
පවතින තත්ත්වය දුරදිගය නොයා සාමකාමීව විස¼දාගත යුතුබව කී මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන බවද ඔවුන් හමුවේ ප්‍රකාශ කළේය.

එයින් පසුව පසුගිය බදාදාද කොළඹ ප්‍රදේශයේ මුස්ලිම් නියෝජිත පිරිසක් හිටපු ජනාධිපතිවරයා හමුවන්නට විජේරාම නිල නිවෙසට පැමිණියහ.
එම පිරිසේ සිටි එක් නියෝජිතයකු මුලින්ම කතාව අරඹද්දී මෙසේ සඳහන් කළේය.

'2015දී අපි කරගත්තු වැරැද්දක් තියෙනවා. ජනාධිපතිතුමනි, ඒකට ඔබතුමා, අපට සමාවෙන්න ඕනෑ.' ඔවුන් සමඟ ද බොහෝ වේලාවක් කතාබහ කළ මහින්ද රාජපක්ෂ මහතා මෙම ගැටලුව විසඳන්නට තමන්ට දියහැකි උපරිම සහාය පළ කරන බවද පැවැසීය.

ජනවාරි 8 න්‍යාය පත්‍රය දැන් නෑ
රංජිත් මද්දුම බණ්ඩාර නීතිය හා සාමය ඇමැති තනතුරේ දිවුරුම් දුන් බව දැනගත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ පැවැසීය.
'මේ තීරණය මම පිළිකුලෙන් හෙළා දකිනවා. මට ලැබුණ නම් නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. මට මේ ඇමැතිකම දෙනවට සමහර නාළිකා විරුද්ධ වුණා. රාජපක්ෂවාදීන් විරුද්ධ වුණා. ඔවුන් දන්නවා මම තනතුර ගත්තොත් හරියට කරන බව. දූෂිතයන්ගෙන් පිරුණු රාජපක්ෂ කල්ලිය ඒක අභියෝගයක් වෙයි කියා බය වුණා.
මහින්ද අමරවීරත්, ජනාධිපතිත් මට ඒ තනතුර දියයුතුයි කියන තැන හිටියා. සාමයට කැමැති කවුරුත් මට ආශීර්වාද කළා. මට පේන විදියට ජනවාරි 8 න්‍යාය පත්‍රය දැන් නෑ.'

නීතිය හා සාමය
රංජිත්ට දෙනවා
අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැඳුරට ආවේ රාජකාරි හා මහනුවර ගිනි නිවීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමටය. එදින රංජිත් මද්දුමබණ්ඩාරද පැමිණ තිබිණි.
"නීතිය හා සාමය ඇමැතිකමට මම රංජිත්ව යෝජනා කළා. තව ටික වේලාවකින් ඔහු ඒ ඇමැතිකමේ දිවුරුම් දෙනවා" අගමැතිවරයා මුල්වරට එම ප්‍රවෘත්තිය එළිකළේ ඔහු හමුවූ සමීපතම මාධ්‍යවේදීන් දෙදෙනකුටය. ඔවුන් දෙදෙනා හා සෙසු ඇමැතිවරු නව ඇමැතිවරයාට සුබ පැතුවේ ඉන් අනතුරුවය.

රංජිත්ගෙ මුල් වගකීම නීතිය ක්‍රියාත්මක කිරීම
"මහනුවර ගැටලුව ඒ පළාතේ ජනතාවට වඩා සංවිධානාත්මකව පිටින් ගෙනාපු අයයි කරල තියෙන්නේ. විපක්ෂයේ එක්තරා දේශපාලන පක්ෂයක දේශපාලකයන් හිතවතුන් හා ඒ පක්ෂයට සමීප හාමුදුරුවරුත් ඒ මෙහෙයුමේ හිටපු බව බුද්ධි අංශ හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම රංජිත්ගෙ මුල්ම වගකීමයි" සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
"අම්පාරේ සිද්ධිය ටිකක් දිගට ඇදුනේ පොලිසිය වැරැදි 'බී' වාර්තාවක් දුන් නිසා ප්‍රදේශය ගිනි තියපු අයට ඇප ලැබීම බව ප්‍රදේශයේ පවතින මතයයි." සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"අම්පාර ගිනි තියන්න විපක්ෂ මන්ත්‍රි කෙනකුත් හවුල්ලු. ගිනි තියලා ජිනීවා යෑම එයාගේ ජොබ් එකලු. ගුවන් හමුදා බස් එකට ගහන්න කට්ටිය මෙහෙයවලත් තිබෙනවාලු" එජාප නීති නිලධාරියෙක් කීය.
"නීතිය හා සාමය ෆොන්සේකාට නොදුන්නාට ඔහු වගේම එජාපයත් හිතේ අමාරුවෙන් ඉන්නේ. ජාත්‍යන්තර බලවේග මේ සඳහා විපක්ෂ කණ්ඩායම් මෙහෙයවීම පොලිසියේ හා පූජ්‍ය පක්ෂයේ ඇතැම් අයත් මේ වැඩේ ෆොන්සේකාට භාරදෙනවාට විරුද්ධව මෙහෙයවලා තියෙනවා. ශ්‍රී ලනිපයත් ෆොන්සේකාට විරුද්ධ වුණා. ඒක කනගාටුදායක තත්ත්වයක්" ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළහ.
"මම ඔය ඇමැතිකම ගත්තෙ සති 02කට විතරයි. ඔඩොක්කුවට වැටුණාට ඉක්මනින් මේ වගකීම වෙන කෙනකුට පවරන්නයි හිටියෙ" අගමැති කීය.
"මහනුවර පළාතේ පොහොට්ටුවේ අයට විරුද්ධව පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියලයි ජනතාව කියන්නේ. පොලිස්පතිගේ උනන්දුව පහළට ගලා ගියේ නෑ" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"පොලිස් කොමිසම සිද්ධියක් වුණාම වාර්තා ඉල්ලනවා විතරයි. රාජාංගණේ සිද්ධිය නිදසුනක්. ස්ථානාධිපති මාරුවීම් පවා ඉවක් බවක් නැතුව කරන වෙලාවල් තියෙනවා. මේ අවුල් නිවැරැදි කරන්න ඕනෑ." වජිර අබේවර්ධන කීය.
"බිබිලේ හාමුදුරු කෙනෙක් උද්ඝෝෂණයක් පටන් අරන්ලු. මම නීතිය හා සාමය භාරගන්න එක ආරංචි වෙලා තිබුණු කළු කොඩි දෙකත් ගලවලාලු" රංජිත් මද්දුමබණ්ඩාර කීවේ සිනාමැදය.

ෆේස්බුක් තහනම් කිරීමෙන් තත්ත්වය පාලනය වුණා
"නුවරට බස්වලින් සෙනඟ ඇදලා කලබල කරවල තියෙන්නෙ. සිවුරක් දැක්කම පොලිසිය ගරු කරනවා. ඒත් සිවුරු දාගෙන ඉන්නෙ ඇත්ත හාමුදුරුවොද කියලත් ජනතාව ප්‍රශ්න කරනවා" පී. හැරිසන් කීය.

"ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, ඉන්ස්ටග්‍රැම් වගේ දේවල් නවත්තපු එකේ දෙපැත්තක් තියෙනවා. සුළු පිරිසක් කරන වැඩ නිසා දසලක්ෂ ගණනකට ඒ අයිතිය නැතිවුණා. රට ගිනි තියෙන පෝස්ට් දාන අය හා ඒවා ෂෙයාර් කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ගැනයි බලන්න තිබුණේ. ඒත් ගිනි පැතිරවීම මේ තහනම නිසා නැවතුණා." නවීන් දිසානායක කළ පළල් විග්‍රහයට අගමැති ප්‍රමුඛ කාගේත් එකඟත්වය හිමිවිය.
"ඒවාට දින කීපයක තහනමක් දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්බුක් නිසා සිදුවන හානිය තහනම හරහා වළක්වාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක් දී තිබෙනවා" අගමැති කීය.

"ජර්මනිය, පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්ස්ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවුඩ ලැබෙමින් තිබෙනවා" අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ගිනිගත් රැවුලෙන් සුරුට්ටු පත්තු කරන්න ගිහින්
"මේ ගිනි නිසා අගමැති හා ආණ්ඩු මාරුවයි විශ්වාසභංගයෙයි ගැන දැන් ආරංචියකුත් නෑ. ඒකාබද්ධෙ කණ්ඩායම් රැස්වීමකදී වීරවංශ විශ්වාසභංගය ගැන කතා කළාම රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්ටු පත්තු කරල ලැජ්ජ වෙන්න එපා කියල මහින්ද කෑගහල කියලත් ආරංචියි. පී. හැරිසන් කීවේ එවැන්නකි"
"නුවර ප්‍රශ්නය නිසා ජනාධිපති හා අගමැති අතර තිබුණු සීතල අරගලයත් ඉවරයි කියලයි දැන් ජනතාව කියන්නෙ" දයා ගමගේ කී විට අගමැතිවරයා සිනාසී ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.
"ගැටුම්වලදී හරියට ක්‍රියා නොකළොත් අගමැතිට විරුද්ධ විශ්වාසභංගයේදී මුස්ලිම් පක්ෂ ඒකට සහාය දෙනවා කියලා හාරිස් නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවේදී කියපු කතාවට මුස්ලිම් පක්ෂ සියල්ලම හාරිස්ට විරෝධය පළ කරලා කියල ආරංචියි' ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේ කීවේ ඔවුන්ට ලැබුණු ආරංචියත් එළිදක්වමිනි.
ආණ්ඩුව වෙලාවට මැදිහත් වුණානම් ප්‍රශ්න දුරදිග යන්නේ නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 7 වැනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වඳින්න ගියේය. එහිදී මහින්ද හමුවූ මාධ්‍ය වර්තමාන දේශපාලනය සම්බන්ධව කතාබහක නිරත විය.

මාධ්‍ය
මොකද දැන් රටට වෙන්නේ
හිටපු ජනපති
රටට ලොකු විනාශයක් වෙන්නේ. ආර්ථිකය හැම පැත්තකින්ම මේ විනාශය පේනවා. ඇත්ත වශයෙන්ම මේ කනගාටුදායක තත්ත්වය මුලින්ම ගොඩදාන්න තිබුණා. ඒවට අවශ්‍ය වෙලාවේදී රජය මැදිහත් වුණේ නැහැ. ඒ ප්‍රශ්නයත් එක්කයි මේක පැතිරුණේ.

මාධ්‍ය
එතකොට දැන් මේක රටේම පැතිරෙන තත්ත්වයක් ඇති වෙයිද?
හිටපු ජනපති
නෑ. මම එහෙම හිතන්නෙ නැහැ. එහෙම තත්ත්වයක් ඇති වෙයි කියල. දැන් හදිසි නීතිය දමල අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා.
වහෙන් ඔරෝ කියන්න එපා

7 වැනි බදාදා කැබිනට් මාධ්‍ය හමුවට ආරක්ෂ මාණ්ඩලික නිලධාරි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන එක්විය.
කබීර් හෂීම්
දිගන සිද්ධියට මුස්ලිම් තරුණයන් හතර දෙනෙක් සම්බන්ධ වී තිබුණා. ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත්තා. උපරිම දඬුවම දිය යුතුයි. ඒක පදනම් කරගෙන යම් සමාජ කණ්ඩායමකට පහරදීම නොවිය යුතු දෙයක් කියන එක මගේ අදහස.

රාජිත සේනාරත්න
දිගන සිදුවීමට හතර දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඉන් දෙදෙනෙක් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු. භික්ෂුන් වහන්සේ නමකුත් ඉන්නවා. තෙල්දෙණියේ සිදුවීම්වලට උඩරට මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රි ලේකම් අත්අඩංගුවේ සිටිනවා. ඔවුන් දන්නවා රටේ ඡන්ද 50% පන්නන්න ආණ්ඩුව කෙරෙහි සුළු ජන කොටස් බිඳවන්න ඕන. ඔවුන්ගේ ඉලක්කය තව 11% ලබාගැනීම. ඊයෙ පාර්ලිමේන්තුවේදී ඔවුන් කීවා අපට ගන්න බැරිවුණු ඡන්ද මේ වැඩෙන් හරියනවා කියලා.

මාධ්‍ය
ඊයෙත් රෑ ගහලා තියෙනවා. ගිනි තියලා තිබුණා. ඇඳිරිනීතිය දමා තිබියදී කොහොමද මේවා වෙන්නේ?
අද්මිරාල් රවීන්ද්‍ර විජේවර්ධන
මේ වගේ අවස්ථාවල ප්ලැටූන් ගේන පිළිවෙළක් තියෙනවා. ඊයෙ රෑ වුණේ ඉන්සිඩන්ට් එකයි. අපේ හමුදා ඒ ස්ථානවලට ගිහින් රාජකාරි කළා ආරක්ෂාව ලබාදුන්නා. කෙනෙකුට බයිසිකලෙන් යන ගමන් ගලක් ගහගෙන යන්න පුළුවන්.
ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගන්න එපා

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ සිදුවීම් සැලසුම් සහගත ක්‍රියාවක් බවත් එය කිසිසේත්ම ක්ෂණික කෝපය නිසා සිදුවූවක් නොවන බව ජවිපෙ නායක අනුර දිසානායක 6 වැනිදා මාධ්‍ය හමුවකදී පැවැසීය.
"මෙම ගැටුම් ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද්දක් නොවුණත් කඩා වැටුණු ආණ්ඩුව එය වාසි සහගත දෙයක් බවට පත්කරගෙන තිබෙන බවත් ආණ්ඩුව බොර දියේ මාළු බාමින් සිටින බවත් හෙතෙම කීය.

"අපේ රටේ 2009 ජුනි මාසෙ අලුත්ගම සිද්ධිය වුණා. 2009 දෙසැම්බර් ගිංතොට සිදුවීම වුණා. සතියකට පෙර අම්පාරෙ කෑමවල තිබුණු පිටි ගුළියක් වඳ පෙත්තක් කර ගත්තා. පෙරේදා මහනුවර සිදුවීම ජාතිවාදී ගැටුම් ඇතිවන පූර්ව ලක්ෂණ හඳුනාගත නොහැකි මන්ද මානසිකත්වයක් ආණ්ඩුවට තියෙනවා කියා අපි හිතන්නේ නෑ.

අපි දන්නවා අපේ රටේ 2015 මිනීමැරුම් 507යි
2017 මිනීමැරුම් 452යි.
2016 ළමා දූෂණ 290යි.
2017 232යි. එහෙම අපරාධ සිදුවන රටක මහනුවර සිද්ධිය සිංහල - මුස්ලිම් ගැටුමක් නිසා එය ජාතිවාදය වපුරන්න යොදා ගත්තා. රාජ්‍ය බුද්ධි අංශ තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු, බුද්ධි අංශ, ඔත්තු සේවා ලොකු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. විශාල වැටුප් ගෙවනවා. මේ වගේ සිදුවීම් ගැන පූර්ව මැන බැලීමක් සිදුකර ක්‍රියාමාර්ග ගන්න මොකක්ද තියෙන බාධාව. නමුත් ආණ්ඩුව වගකීම අත් හැරියා.

ආණ්ඩුවට කල්තියා උපකල්පනය කළ හැකි දේවල් ආණ්ඩුවේ බල අරගලය මුල්කරගෙන යටපත් කළා. දේශපාලනිකව මොන ගැටුම තිබුණත් ජාතිවාදය කිසිම දේකට යොදවන්න එපා. ආණ්ඩුව ආර්ථික අතින් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න අසමත් වූවා වගේම රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නත් අසමත්ව තිබෙනවා. ආණ්ඩුව අද කටයුතු කරමින් සිටින්නේ තම බලපොරය වෙනුවෙන් සිංහල ජනයාට එරෙහිව මුස්ලිම් ජනයා කුපිත කරවනවා. මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජනයා කුපිත කරනවා. ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව සාමාන්‍ය ජනයා නැඟී සිටිය යුතු මොහොතක ජාතිවාදය ආණ්ඩුවේ වාසියට යොදා ගන්නවා. පරාජිත දේශපාලන කල්ලි බලයට එන්නට ජාතිවාදය යොදාගන්නවා. ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගත්තොත් යළි බෝතලයට ඇතුළු කිරීම පහසු නෑ.

උෟව වෙල්ලස්සේ හෙළසිහ ගම
මෙම මාර්තු මාසයට 1818 උෟව වෙල්ලස්ස කැරැල්ලට වසර 200 සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ විශේෂ යමක් සිදු කළ යුතු යැයි සජිත් ප්‍රේමදාස ඇමැති තීරණය කළේය. ආනන්ද කුමාරසිරි වැල්ලවාය ආසනය නියෝජනය කරන එජාප මන්ත්‍රිවරයාය. "ආනන්ද මම මොනරාගල නව උදාගම්මාන 11ක් හදලා 1818 කැරැල්ලේ වීරයන් සමරනවා" නිවාස ඇමැති සජිත් කීවේ වෙල්ලස්සට ඇති ගෞරවය පෙන්වමිනි.
"හරි වටින වැඩක් ඇමැතිතුමා අපේ ආසනේ නිවාස ප්‍රශ්නය බරපතළනෙ" ආනන්ද කීය.

ඔවුන් දෙපළ හමුවූයේ නිවාස 22කින් සමන්විත 48 වැනි උදාගම වැල්ලවාය කිතුල්කොටේදී විවෘත කළ අවස්ථාවේදීය. එය 'හෙළසිහ ගම' නමින් නම් කෙරිණි.

හදිසි නීතිය දැම්මේ පොලිසියට කොස් කොටන්න නොවේ
ආණ්ඩුව හදිසි නීතිය දැම්මේ පොලිසියට කොස් කොටන්නට නොවේ යැයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී පැවැසීය.
'මහනුවර සමහර තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා වෙද්දී පොලිසිය නිකං බලා ඉඳලා තිබුණා. පොලිසියට අවම බලය පාවිච්චි කරන්න පුළුවන්. උඩට වෙඩි තියල මේ වගේ ප්‍රශ්න විසඳන්න බැහැ. කලබල සිදුවන ප්‍රදේශවල රෑට විතරක් ඇඳිරි නීතිය දමලා වැඩක් නැහැ. දවල්ටත් දාන්න ඕනෑ.

වඳ පෙත්ත
අම්පාරේ හෝටලයක තිබූ වඳ පෙති යැයි කියමින් පොලිසියට දුන් ආහාරවල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කළ බව රජයේ රස පරීක්ෂක ඒ. වැලිඅංග පොලිසියට දන්වා තිබිණි.
ඒ වනවිටත් ආන්දෝලනාත්මක පිටි කැබැල්ල මහත් විනාශයක් සිදුකර තිබුණේ වැරැදි අර්ථකථන හේතුවෙනි. මිනිසුන් වඳ භාවයට පත් කළ හැකි ඔෟෂධයක් හෝ පෙත්තක් ලෝකයේ තවමත් සොයාගෙන නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහද ප්‍රකාශකර තිබිණි.

අම්පාරේ ඊනියා වඳ පෙත්තෙන් හොඳක්ද සිදුව තිබේ. එනම් පසුගිය කාලය පුරා සමාජ ජාල වෙබ් අඩවි විසින් වපුරන ලද මිනිසුන් වඳ භාවයට පත් කරන ටැබ්ලට්, වඳ ජෙල් තැවරූ බව කියූ බේ‍රෂියර් කාන්තා යට ඇඳුම් ආදිය පිළිබඳව මිත්‍යාවද තුරන් වීමය. වන්ධ්‍යාකරණය වූ කලී සැත්කම් තුළින් සිදු කෙරෙන ශල්‍ය වෛද්‍යවරයකුගේ කාර්යයකි.
දුරදිග ගියොත් ලොකු විනාශයක්
සඳුදා උදෑසන හිටපු ජනාධිපති මහින්දට දිලුම් අමුණුගමගෙන් ඇමතුමක් ලැබිණි. ඒ වනවිට මහනුවර සිටි දිලුම් මහින්දට දැනුම් දුන්නේ මහනුවර තත්ත්වය අයහපත් වීගෙන එන බවය. දිගන වැනි ප්‍රදේශවල කලබලකාරී තත්ත්වයක් ඇතිවෙමින් තිබෙන බවත් දිලුම් මහින්දට කීවේය.
අපිට පේන්න තියෙන විදියට පොලිසිය හරියට රාජකාරිය කරන්නේ නැහැ. ආණ්ඩුවට මේකට මුහුණ දෙන්න පුළුවන්කමක් නැහැ වගෙයි සර්" දිලුම් පැවැසීය.
"ඕක දුරදිග ගියොත් ලොකු විනාශයක් වෙනවා. පුළුවන් ඉක්මනින් මැදිහත් වෙලා අවශ්‍ය දේවල් කරන්න. දිලුම්ට උපදෙස් දුන් මහින්ද යළිත් දුරකතන ඇමතුමක් ගෙන ලොහාන් රත්වත්තේට ද උපදෙස් දුන්නේ සිද්ධියට වහාම මැදිහත්ව අවශ්‍ය කටයුතු කරන ලෙසටය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අඟහරුවාදා උදෑසන පාර්ලිමේන්තුවේදී රැස්වූයේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒ වනවිට මහනුවර කලබලකාරී තත්ත්වය පාලනය කරනු වස් රජය ඇඳිරි නීතිය පනවා තිබිණි. පාර්ලිමේන්තු කණ්ඩායමේ දී වැඩි අවධානයක් යොමුවූයේ මහනුවර තත්ත්වය ගැනය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ පොදු අදහස වූයේ මෙම කලබල පසුපස ප්‍රබල හස්තයක් තිබෙන්නට පුළුවන් බවය. බොහෝදෙනා කීවේ පසුගිය මැතිවරණයේදී ආණ්ඩුව ලැබූ පරාජයත් අනතුරුව ඇති වුණු දේශපාලන අස්ථාවරත්වයත් පිළිබඳ කතාබහ වෙනතක යොමු කරන්නට සිතාමතා මෙවැනි ක්‍රියාවක් කළාදැයි සැකසහිත බවය.

ආණ්ඩුව පිට පොට ගහන්නේ මොකටද සැකයි
"දැන් ආණ්ඩුව ලැහැස්ති වෙන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන්නයි. මේ කලබල පිටදාලා ජනතා විරෝධය මර්දනය කිරීමේ උත්සාහයකුත් දරන බවක් තමයි ඒකෙන් පේන්න තියෙන්නේ. මොකද හදිසි නීතිය තියෙන කොට උද්ඝෝෂණ, පෙළපාළි මොකක්වත් කරන්න බැහැ. ආණ්ඩුව පිටපොට ගහන්නේ මොකටද කියන එක ගැන අපිට ලොකු සැකයක් තියෙනවා." වාසුදේව පෙන්වා දුන්නේය.

"සංහිඳියාව බලෙන් මිනිස්සු පිට පටවන්න ගියාම වෙන දේවල් තමයි මේ. මේකෙන් වුණේ මෙච්චර කල් සිංහල මිනිස්සු සහ අනෙක් ජාතීන් අතර තිබුණු ඇයි හොඳයියත් නැති වුණ එකයි" පවිත්‍රා කීවාය.

මේ අතර මන්ත්‍රිවරුන්ගේ අවධානය යොමුවූයේ බදාදා පැවැත්වීමට නියමිතව තිබුණු ඒකාබද්ධ විපක්ෂයේ නුගේගොඩ ජනරැලිය සම්බන්ධයෙනි. පසුගිය මැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේ වහාම මහ මැතිවරණයකට යා යුතු බවට ආණ්ඩුවට බල කරමින් රට පුරා ජනරැලි මාලාවක් පවත්වන්නටය.
එහි ප්‍රථම රැලිය පැවැත්වීමට නියමිතව තිබුණේ නුගේගොඩදීය. ඒ මාර්තු මස 07 වැනිදාය. එහෙත් රටේ පැවැති කලබලකාරී තත්ත්වය මත හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක ජනරැලිය පැවැත්වීමේ අවදානම සම්බන්ධයෙන් මෙහිදී මන්ත්‍රිවරුන්ගේ අදහස් ඉදිරිපත් කෙරිණි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් තීන්දු කළේ පසුදින පැවැත්වීමට නියමිතව තිබුණු ජනරැලිය නවතා දැමීමටය.

"ආණ්ඩුව මේ කලබල පටන්ගත්තේ අපේ රැලිය නතර කරන්න හිතා ගෙනමද දන්නේ නැහැ" ප්‍රසන්න පැවැසීය.
"ඒකත් කියන්න බැහැ. ආණ්ඩුව හො¼දාකාරවම දන්නවා පසුගිය ඡන්ද ප්‍රතිඵලත් එක්ක ජනමතය තියෙන්නේ කොතැනද කියලා. ගිය අවුරුද්දේ මැයි රැලියට ආවටත් වඩා සෙනඟක් මේ රැලියට එයි කියන එකත් ආණ්ඩුවට රහසක් නෙවෙයි. ඒ හින්දා මේ කලබල පිටින් දාලා අපේ රැලිය කඩාකප්පල් කරන්න කටයුතු කළාද කියලා කවුද දන්නේ" පියල් නිශාන්ත කීවේය.

"මොනවා වුණත් අපි රැලිය කල්දාන එක තමයි හොඳම දේ. මොකද අපේ රැලිය යන අතරතුරේ ආණ්ඩුව තමන්ගේ හෙංචයියෝ කිහිපදෙනෙක් රැලියට එවලා කඩාකප්පල්කාරී වැඩක් කළොත් සේරගෙම වගකීම ගන්න වෙන්නේ අපිට. ඒක අපේ කණ්ඩායමට නරක විදියට බලපාන්න පුළුවන්" දිනේෂ් කී කරුණ සැවොම අනුමත කළහ.

රනිල්ගේ මාමා 83 දීත් ඔය වගේ දෙයක් කළා
"මම නම් කියන්නෙම මේ මහනුවර ආශි්‍රතව හටගත්ත සිද්ධිය හදිසියේ හටගත්ත එකක් නෙවෙයි කියලයි. ආණ්ඩුවට, ජනාධිපතිට, අගමැතිට විරුද්ධ මතයක් තමයි දැන් රට තුළ ඇති වෙලා තියෙන්නේ. ඡන්දෙන් පස්සේ ජනතාව කතා කරන්නේ ඒ ගැන විතරයි. අන්න ඒක වෙනස් කරන්න වෙනත් ප්‍රබල කාරණයක් ඉදිරියට ගන්න ඕනේ කියලා හිතපු පිරිසක් මේක පසුපස ඉන්නවා කියලයි මට හිතෙන්නේ" සිසිර පැවැසීය.

"ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද රනිල්ගේ මාමා 83දී කළෙත් ඔය වගේම දෙයක්. එදා තිබුණු දේශපාලන තත්ත්වය උඩ ආණ්ඩුව බේරගන්න බොරු ජාතිවාදී කෝලාහලයක් ඇති කළා. අද ඒ මාමගේ බෑනා කරන්නෙත් තමන්ගේ බලය රැකගන්න ජාතිවාදී කෝලාහල ඇති කරන එකයි." සනත් නිශාන්ත පැවැසීය. "හැබැයි මේකෙන් වෙන්නේ රට තවත් අරාජික වෙන එකයි. මැතිවරණයෙන් පස්සේ මාසයකට කිට්ටු කාලයක් ගෙවිලා ගියත් අදටත් රටේ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා මිනිස්සුන්ට වැටහීමක් නැහැ. දවසින් දවස රට අගාධයට යනවා. මේ වගේ දේවල් නිසා ඒ ගමන වේගවත් වෙන එක විතරයි වෙන්නේ" ප්‍රසන්න පෙන්වා දුන්නේය. "මේක අසමත් ආණ්ඩුවක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. තවදුරටත් බලයේ එල්ලීගෙන ඉන්න ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා වහාම ආණ්ඩුව ගෙදර යා යුතුමයි." පියල් පැවැසීය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය
මේ අතර, පසුගිය බදාදා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් එම කාර්යාලයේ වර්තමාන ක්‍රියාකාරීත්වය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ පැහැදිලි කර අවශ්‍ය මඟ පෙන්වීම් ලබා ගැනීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන්ව හමු වූහ. මෙම හමුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 14 දරන පනත මඟින් ස්ථාපිත කරන ලද ආයතනයක් වන අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශිෂ්ට සම්පන්න සමාජයක් උදෙසා විශාල වගකීමක් සහ යුතුකමක් දරා සිටින ව්‍යවස්ථාපිත ආයතනයක් බවයි. අතුරුදන් වූ තම සමීපතමයන් පිළිබඳ වේදනා විඳිමින් තවදුරටත් අපේක්ෂාවෙන් සිටින පවුල් වෙනුවෙන් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධානතම වගකීම සත්‍ය සෙවීම බව කතානායකවරයා සඳහන් කළේය.
පොහොර සහනාධාරය නැවතත්
වී ගොවීන් සඳහා පොහොර හොණ්ඩරය රු. 500කටත් අතුරු බෝග සඳහා රු. 1,500කටත් යල් කන්නයේ සිට ලබාදීමට රජය තීරණය කර තිබේ. පසුගිය පළාත් මැතිවරණයටද සෑහෙන බලපෑමක් එල්ල කළ පොහොර සහනාධාරය නැවත ලබාදීමට කැබිනට්ටුව තුළ සජිත් ප්‍රේමදාස දිගටම අරගල කරනු දැකිය හැකි විය. දුමින්ද ගෙනා යෝජනාවට පසුගිය කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබිණි.
ප්‍රියංක ප්‍රනාන්දු ගැන නවීන් කතා කරයි
බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මේ දිනවල සිටින්නේ චිනයේය. ලංකාවට කැඳවනු ලැබූ ඔහු විශේෂ පුහුණුවක් සඳහා චීනයට යවන ලද්දේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසිනි. පසුගියදා අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අරලිය ගහ මැඳුරේ රැස්වූ විට ඇමැති නවීන් ප්‍රියංකගේ ප්‍රශ්නය නැවත සංවාදයට ගත්තේය.

"බි්‍රතාන්‍ය රජය කියනදේම නොකර අපි ප්‍රියංක නැවත මහ කොමසාරිස් කාර්යාලයට යවන්න ඕන. ඔහු ආරක්ෂක උපදේශක තනතුරේ දිගටම තියන්න ඕන. බි්‍රතාන්‍ය විදේශ ප්‍රතිපත්තිය මෙහෙය වන්නේ ඩයස්පෝරාව කියන විදියට අපි වැඩ කළ යුතු නැහැ. අපේ රණවිරුවන් වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනෑ. අපි හරියට රණවිරුවන් වෙනුවෙන් පෙනී නොසිටි නිසා පසුගිය ඡන්දෙදි ඡන්ද ලක්ෂ තුනක් විතර අපට අහිමි වුණා."
"ඔහු නැවත බි්‍රතාන්‍යයට යැව්වොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්"
නවීන්ගේ කතාවට විරුද්ධව අදහස් ඉදිරිපත් විය.

"තානාපති සේවයේ නිලධාරීන්ට ආරක්ෂාව දීම බි්‍රතාන්‍ය ආණ්ඩුවේ වගකීමක්" නවීන් කීවේය.
මහින්ද කොහොමද අහයි ෆොන්සේකා හොඳයි කියයි
පාර්ලිමේන්තුවෙන් පිටතට එමින් සිටි මහින්දට හදිසියේ සරත් ෆොන්සේකා මුණගැසුණේය. "කොහොමද..? මහින්ද ඇසුවේය. "හොඳයි" කියා පිළිතුරු දුන් ෆොන්සේකා වැඩිදුරට කතාබහ නොකට යන්නට ගියේය.

පසුදා මහින්ද අනුරාධපුරය බලා පිටත්ව ගියේ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රිවරයාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. අවමඟුලට සහභාගි වන්න පෙරතුව මහින්ද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව මහින්ද අටමස්ථානාධිපති හිමියන් බැහැ දුටුවේය.
"මොකක්ද මහින්ද මහත්තයා මේ රටට වෙමින් තියෙන්නේ" අටමස්ථානාධිපති හිමියෝ මහින්දගෙන් ඇසූහ.

"ඒක තමයි හාමුදුරුවනේ අපිත් මේ කතා කරන්නේ. ආණ්ඩුව මේ වගේ දේවල්වලට ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුය. අපි මේ අවස්ථාවේදී ආණ්ඩුවේ කකුලෙන් අදින්න සූදානම් නැහැ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවට මේ වගේ දේවල් නිසි විදියට කළමනාකරණය කරගන්න පුළුවන්ද කියන එකයි. දුවන්නන් වාලේ ඔහේ දුවනවා වගේ මේ දේවල් පාලනය කරන්න බැහැ. අපි ත්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධයක් කරන ගමනුත් දකුණේ ජාතිවාදී කලකෝලාහල වෙන එක වළක්වාගෙන රට පාලනය කළා. මේ අයට යුද්ධයකුත් නැතුව මේ වගේ සුළුදෙයක්වත් පාලනය කරගන්න පුළුවන්කමක් නැහැ" මහින්ද පැහැදිලි කළේය.

අනතුරුව මහින්ද මිරිසවැටියේ නායක හිමියන්ද මුණගැසුණේය. උන්වහන්සේ මහින්ද සමඟ කීවේ මේ සිද්ධ වන දේවලින් රටට යහපතක් සිදුනොවන බවය. එය අනුමත කළ මහින්ද කීවේ "මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යවන්නේ නැතුව විසඳගන්න ආණ්ඩුවට තිබුණා. හැබැයි ඒ ඒ අවස්ථාවට නියමිත දේවල් නොකර වෙන වෙන දේවල් කරන්න ගිය එකෙන් ආණ්ඩුව වැඩේ වැඩි කරගත්තා" කියාය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පියල් නිශාන්තට සරත් ෆොන්සේකා මුණගැසුණේය.
"කොහොමද බේරුවල පැත්ත? ෆොන්සේකා ඇසුවේය.
"ප්‍රශ්නයක් නැහැ. අපි බේරුවල පාලනය කරගෙන යනවා" පියල් කීවේය.
"රාජිත වැඩකරගෙන යනවා නේද..? ෆොන්සේකා යළි ඇසුවේය.
"මොන පිස්සුද එයා ඒ පැත්ත පළාතේ එන්නෙවත් නැහැ. අපි තමයි බේරුවල දිනුවේ" පියල් පැවැසීය.
"කොහොමද බේරුවල දිනුවේ? ෆොන්සේකා ඇසුවේය.

"අපි ස්වාධීන කණ්ඩායමකින් තරග කළා. අපෙන් ඉල්ලුවේ ඉමිටියාස්ගේ මස්සිනා" පියල් පැවැසීය.
"ආ ඇත්තද..? මම 2010 ජනාධිපතිවරණය වෙලාවේ එයාගේ ගෙදර ගිහින් තේ බීලත් තියෙනවා. ෆොන්සේකා කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon