මිනිස් සිරුර විනිවිද දැක විස්තර කරන අපූරු රුසියන් කෙල්ල මෙන්න

  👤  5170 readers have read this article !
2018-03-11

එක්ස් කිරණ මඟින් ශරීර අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි බව සැම දෙනාම දන්නා කරුණකි. නමුත් පියවි ඇසින් එවැන්නක් කළ හැකි බව ඔබ කිසිදා අසා නැතිවාට සැක නැත. පියවි ඇසින් මනුෂ්‍ය ශරීර විනිවිද ශරීර අභ්‍යන්තරය දැකිය හැකි තරුණියක් ජීවත් වන බව ඇසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය. වර්ෂ 1987 බටහිර රුසියාවේ සරන්ස්ක් ප්‍රදේශයේ උපත ලද නටාෂා ඩෙම්කිනා පවසන්නේ තමන්ට මිනිසුන්ගේ ශරීර අභ්‍යන්තරය විනිවිද දැකීමේ හැකියාවක් පවතින බවයි. තත්යානා ඩෙම්කිනා හා නිකලොයි ඩෙම්කින් නටාෂාගේ මවුපියෝ වෙති. නටාෂාගේ මව පවසන්නේ නටාෂා කුඩා කල ඉක්මනින් දේවල් ඉගෙන ගත් බවයි. ඒ හැර අන් ළමයින් සේම ඇය සාමාන්‍ය ළමයකුව සිට ඇත. වයස අවු. 10දී ඇපෙන්ඩිස් රෝගය හේතුවෙන් ඇයට ශල්‍ය කර්මයකට මුහුණදීමට සිදුවී ඇත. ඇගේ විශේෂ හැකියාව ඇයට ලැබී ඇත්තේ ඉන් අනතුරුවය. දිනක් ඇය මව සමඟ නිවෙසේ සිටියදී ඇයට හදිසියෙන්ම මවගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් දැක ගැනීමට හැකි වී ඇත. හෘදය වස්තුව, පෙණහලු, වකුගඩු ආදී ඉන්ද්‍රියන් ඇයට හඳුනා ගැනීමට හැකි වී ඇත. නටාෂා සම්බන්ධ මෙම සිදුවීම ඇය වාසය කළ නගරය පුරා ප්‍රසිද්ධ වූ අතර විවිධ රෝගයන්ට ගොදුරු වූ අය තම රෝගවලට හේතුව දැනගැනීමට ඇය සොයා වැල නොකැඩී ඇදී එන්නට වූහ. ඇගේ කතාව ප්‍රාදේශීය පුවත්පතක හා රූපවාහිනි සේවාවක පළ වීමත් සමඟ ඇගේ ජනප්‍රියත්වය ලොව පුරා පැතිරිණි.

ඇය පිළිබඳ ආරංචි වීමත් සමඟ ප්‍රාදේශීය වෛද්‍යවරු ඇය උමතුවෙන් බව සිතූහ. මන්ද කිසිදු වෛද්‍ය නියමයකට අනුව මෙවැනි දෙයක් සිදුවිය නොහැකි බැවිණි. නටාෂාව පරීක්ෂා කිරීමට සිතූ ඔවුහු ඇයව ළමා රෝහලට කැඳවාගෙන ගියහ. රෝහලේ නොයකුත් ලෙඩ රෝගවලින් පීඩා විඳිමින් සිටි ළමයින්ව නිවැරැදිව විනිශ්චය කිරීමට ඇය සමත් වූවාය. ඒ අතර අසාධ්‍ය තත්ත්වයේ අයකුද විය. වැරැදි රෝග විනිශ්චයකට ලක්ව සිටිය කෙනකුද ඇය හඳුනා ගත්තාය. ඒ අනුව පිළිකාවක් ලෙස හඳුනාගෙන සිටි එම රෝගියාගේ රෝග තත්ත්වය අහිංසක අනවශ්‍ය වර්ධනයක් පමණක් බව ඇය පැවැසුවාය. නැවත වෛද්‍යවරු රෝගියාව පරීක්ෂා කිරීමේදී ඇය නිවැරැදි බව තහවුරු විය. වසර 2003දී ඇගේ කතාව බි්‍රතාන්‍යයේ 'සන්' පුවත්පතේ පළ විය. එහි පුවත් වාර්තාකරු නටාෂා බි්‍රතාන්‍යයට කැඳවූයේ තවදුරටත් පරීක්ෂා කිරීමටය. බි්‍රයොනි වෝර්ඩන් නම් එම වාර්තාකරු ඊට පෙර වර්ෂයේදී රිය අනතුරකට මුහුණදී තිබිණි. එයින් ඔහුගේ අස්ථි කීපයකටම බරපතළ හානි සිදු වී තිබිණි. නටාෂාව පරීක්ෂාකිරීමට ඔහු තම ශරීරයම යොදා ගත්තේය. නටාෂා පහසුවෙන්ම ඔහුට සිදුව ඇති අනතුරු හා ඒවා ඇති ස්ථාන නිවැරැදිව හඳුනා ගත්තාය. ඉන්පසු බි්‍රතාන්‍යයේ රූපවාහිනි වැඩසටහනකට සහභාගි වූ නටාෂා එය මෙහෙය වූ පුද්ගලයාට වැලඳී ඇති රෝගයක්ද පෙන්වා දීමට සමත් වූවාය.

නටාෂා පිළිබඳ ලොව පුරා ප්‍රචලිත වෙද්දී බොහෝ දෙනා ඇයව විවිධ පරීක්ෂණවලටද ලක් කිරීමට උනන්දු වූහ. ඒ අනුව ඩිස්කවරි චැනලය මඟින් ඇය වෙනුවෙන් පරීක්ෂණයක් සූදානම් කෙරිණි. එහිදී රෝගීන් හත්දෙනකු ඇයට ඉදිරිපත් කළ අතර එයින් පස්දෙනකු නිවැරැදිව හඳුනාගතහොත් ඇය පරීක්ෂණය සමත් බව තීරණය වන බව දන්වා තිබිණි. නමුත් ඇයට නිවැරැදිව හඳුනා ගැනීමට හැකි වූයේ හතර දෙනකු පමණි. ඇය පසුව පවසා සිටියේ පරීක්ෂණය සිදු කෙරුණු ආකාරය හා වටපිටාවේ ස්වභාවය ඇගේ ඒකාග්‍රතාවට බාධා වූ බවයි. කෙසේ නමුත් ඉන් පසුව ජපානයේ ටෝකියෝ නුවරදී මහාචාර්යවරු කීපදෙනකු යටතේ ඇය පරීක්ෂණයකට මුහුණ දුන්නාය. මේ අවස්ථාවේ ඇය පරීක්ෂණය සිදුවිය යුතු ආකාරය පිළිබඳ කොන්දේසි කීපයක් පැනවූවාය. ඒ අනුව පර්යේෂණය සිදුවිය. ඇය ඉතා පහසුවෙන් එයින් සමත් වූවාය. නටාෂා යනු විශේෂ දක්ෂතාවක් ඇති අයකු බව මේ වනවිට මුළුමහත් ලොවම පිළිගෙන ඇත. එසේ නමුත් ඇයට එම හැකියාව ලැබුණේ කෙසේද යන්න අදටද නොවිසඳුණු අබිරහසක් වී ඇත.

එල්. ජයසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon