පාද ලාංඡනයේ ඇඟිලි දෙකක් චීනුන් ගලවාගෙන ගොස් තිබූණා -ඉබන් බතුතා

  👤  5402 readers have read this article !
2018-03-11

ශි්‍රයානි අජන්තා විතාන

ඉබන් බතුතා ලංකාවට පැමිණියේ ක්‍රි.ව. 1344දීය. ඔහු දකුණු අප්‍රිකාවේ ටැන්ජියර්හිදී 1304දී උපත ලැබුවෙකි. ඔහුගේ මවුපියෝ ධනවතුන් වූහ. වයස 21දී බතුතා මැකා නගරයේ සංචාරයක නිරත විය. ඒ ගමනේදී සිරියාවේ, ඊජිප්තුවේ නගරවල ඇවිදීමෙන් ඔහුගේ සංචාරය කිරීමේ ආශාව කුළුගැන්විණි. ඔහුගේ ඉලක්කය වූයේ ආසියාව දැක බලා ගැනීමය.

මැකාහි අවුරුදු තුනක් ගත කළ හෙතෙම ඉන්දියාවට යෑමට තීරණය කළේය. නමුත් ජෙඩාහිදී නෞකාවක් සොයාගැනීමට ඔහුට නොහැකි විය. ඉන් පසුබට නොවූ ඉබන් බතුතා තුර්කිය, බොක්හාරා, සමරන් හා ඇෆ්ගනිස්ථානය ඔස්සේ ගොඩබිමින් ඉන්දියාවට පැමිණියේය. මොහොමඩ් බීන් තුන් ලක් අධිරාජයා ඉබන් බතුතාව දිල්ලියේ විනිශ්චයකාරයකු ලෙස පත් කළේය. කලක් ඉන්දියාවේ සිටි හෙතෙම ඉන් අනතුරුව මාලදිවයිනට පැමිණියේය.

මාලදිවයිනේ සිට මලබාර් දේශයට යන අතරතුර 1344දී ඔහු ලංකාවට පැමිණ ඇත. ඔහු මෙසේ සඳහන් කරයි.

"අත්දැකීම් සපිරි නැවියකු නැතිව අපි යාත්‍රා කළෙමු. මාලේ සිට කොරමැන්ඩල් දූපත අතර දුර දවස් තුනකි. අපි දවස් 9ක් යාත්‍රා කොට සෙරන්ඩිප් දිවයිනට පැමිණියෙමු. මේ දූපත අහසට එසවී තිබෙන අයුරු අපි දිටියෙමු. මෙහි වරාය තොටුපොළ ප්‍රදේශයේ වෙළඳුනට නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් නැත. ආර්ය චක්‍රවර්ති නම් අධාර්මික කෘෘර පාලකයෙක් මෙහි සිටී. ඔහු සතුව මුහුදු මංකොල්ලකරුවෝ සිටිති. එබැවින් ඒ තොටුපොළෙන් ගොඩ බැසීමට අපි බිය වුණෙමු. නමුත් සුළං ප්‍රචණ්ඩ නිසා ගමන් ඇරැඹීමටද බිය වුණෙමු. කොරමැන්ඩල් සුල්තාන්ගේ මස්සිනා මිතුරකු බව පවසා අපට ඔහු හමුවීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටි විට ඊට ඉඩ ලැබිණි. ස්වදේශිකයෝ මා ඔවුන්ගේ රජු වෙත කැටුව ගියහ.

ඔහුගේ අගනුවර වූ පුත්තලමේදී (බත්තලග්) මම ඔහු මුණගැසුණෙමි. එය කුඩා නමුත් පිළිවෙළක් සහිත පියකරු ස්ථානයකි. තාප්පයකින් හා දැවමය පවුරකින් වටව තිබිණි. යාබද බිම් කුරුඳු ගස්වලින් වටවී තිබූ අතර ගලාගිය ජල පහර දක්නට හැකි විය. කුරුඳු දැව වෙරළේ ගොඩගසා ඇති අයුරුද දුටුවෙමි. කොරමැන්ඩල් සහ මලබාර් යන නැව් මුදල් නොගෙවා කුරුඳු දැව ගෙනයති. එයට ත්‍යාග ලෙස රෙදිපිළි දෙති. කොරමැන්ඩල් සහ ලංකාව අතර දුර එක් රැයක් හා එක දහවලකි. මේ දූපතේ බොහෝ දැව වර්ග මෙන්ම ශාක වර්ගද ඇත.

මා රජු හමුවට (ආර්ය චක්‍රවර්ති රජු විය හැකිය) පැමිණි විට ඔහු නැඟිට පසෙකින් වාඩිවීමට සලස්වා සුහදව කතා කළේය.

"ප්‍රියාදර සහෝදරය, ඔබ පිටව යනතුරු මාගේ අමුත්තකු වන්න. මමත් කොරමැන්ඩල් සුල්තාන් අතරත් මිත්‍ර සන්ධානයක් ඇත."

මම දවස් තුනක් ඔහුගේ සැලකිලි වින්දෙමි. අප අතර සුහදතාව දිනෙන් දින වර්ධනය විය. රජු පර්සියානු භාෂාව දැන සිටියේය. මා විදේශ රටවල් හා රජුන් ගැන කියූ කතා ඔහු උනන්දුවෙන් අසා සිටියේය. දිනක් මා රජු වෙත යනවිට හෙතෙම මුතු පරීක්ෂා කරමින් සිටියේය.

"මේ මුතුවලට සමාන මුතු වෙනත් රටවල දැක තිබෙනවාද..?"

රජු ඇසීය.

මෙවැනි අලංකාර මුතු දැක නැතැයි පැවැසූ විට හෙතෙම සතුටට පත්ව,

"මේවා ඔබ සතුය. ඔබ කැමැති ඕනෑම දෙයක් පවසන්නැයි" මට දැන්වීය.

ආදම්ගේ පාදය නැරඹීමේ ආශාවෙන් සිටින බව මා පැවැසූ විට එය සුළු දෙයකැයි මට පවසා එම ගමන යෑමට මිනිසුන් සූදානම් කර දුන්නේය. ඔහු මට දෝලාවක් සහ එය රැගෙන යෑමට ඔහුගේ වහලුන්ද දුන්නේය. බ්‍රාහ්මණයන් තිදෙනකුද බඩු ගෙන යන්නන් 15 දෙදෙනකුද ගමනට එකතු විය. පළමු දින ගංගාවක් අසල අපි නතර වීමු. පසුව උණබටවලින් තැනූ බෝට්ටුවකින් ගංගාව හරහා යාත්‍රා කළෙමු. අප පළමුව පැමිණියේ "වේනර් මැන්ඩලි" නම් නගරයටය.

එය දර්ශනීය නගරයක්. අපට බොහෝ සත්කාර ලැබිණි. එකද මුසල්මානුවකු හෝ එහි නොවීය. දින කිහිපයකට පසු රටේ ප්‍රධාන රජු වූ මහා බුවනෙකබාහු රජුගේ පුරවරය වූ කොකාකර් (කුරුණෑගල) වෙත ආවෙමු.

අපි කන්ද නඟින විට වලාකුළු අපට පහළින් පාවී ගියේය. එතරම් උස කන්දක් ලෝකයේ නැත. කන්දේ බොහෝ ගස් වර්ග හා නානා ප්‍රකාර මල් වර්ගද ඇත. එම කඳු ශිඛරයේ ආදම්ගේ පාදයට යන මාවත් දෙකකි. එකක් පියාගේ මාවතය. අනෙක මවගේ මාවතය. පියාගේ මාවත දුෂ්කරය. කඳු පාමුල ස්කන්ධ නම් ලෙනකි. එහි ජල උල්පත් ඇත. අතීතයේ විසූ මිනිසුන් පඩිපෙළ කපා යකඩ දම්වැල් අමුණා ඇති නිසා ගමන පහසුය.

අපගේ පියා වූ ආදම්ගේ පාද ලාංඡනය කඳු මුදුනෙහිදී නැරඹිය හැකිවිය. පාද සලකුණ ගලෙහි තරමක් ගිලී ඇත. දිග වියත් එකොළහකි. පෙර කලෙක මෙහි පැමිණි චීන ජාතීහු පාදයේ මහපට ඇඟිල්ලේ සහ ඊට යාබද ඇඟිල්ලේ ලාංඡනය ගලෙන් කපාගෙන ගොස් ඇත. පසුව දුරබැහැර ප්‍රදේශයකින් පැමිණි මිනිසුන් එය අලුත්වැඩියා කර තිබේ. දවස් 3කට පසු අපි මවගේ මාවත ඔස්සේ ආපසු ආවෙමු.

පසුව සෙරන්ඩිප්හි විශාලම නගරය වූ තාලම්බු වෙත ගියෙමු. එහි ඇබ්නීසියන්වරු 500ක් පමණ වාසය කරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්