සිහිබුද්ධිය ඕනෑ කර තිබේ

  👤  4571 readers have read this article !
2018-03-09

"සුළි කුණාටු අත ළඟයි" කියා පසුගිය සතියේ ශීර්ෂ පාඨ තබමින් පැවසූ දේ එක් පාර්ශ්වයකින් සනාථ කරමින් හිස ඔසවා ඇත. තැන තැන රොද බැඳගනිමින් සිටි කඩාකප්පල්කාරී සුළු පිරිසක් හිටි ගමන් හේතුවක් හදා ගනිමින් මතුවූවා සේ විය. රටම මොහොතකට ගල් ගැසුණාක් මෙනි. අවසානයේදී තෙල්දෙණිය, මැද මහනුවර, අම්බාලේ පදිංචිව සිටි 41 හැවිරිදි දෙදරු පියකු මැර ප්‍රහාරයකට ලක්ව මියයෑමේ සිද්ධිය මුල් කරගෙන තෙල්දෙණිය අවට ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බල පැවැත්වෙන පරිදි 6දා සිට පොලිස් ඇඳිරි නීතිය පනවන්නටත්, රට පුරා හදිසි නීතිය පනවන්නටත් සිදුවන තරමට තත්ත්වය දරුණු වී ඇත.

ඒ එක් පාර්ශ්වයකින් හිස එසැවූ සුළි කුණාටුවේ රඟය. මීට වෙනස් වූ ආකාරයකින් මීට දින කිහිපයකට උඩදී මහජන උද්ඝෝෂණයක කූටප්‍රාප්ති අවස්ථාවක් මතු කරමින් තඹුත්තේගම ගොවි උද්ඝෝෂණයක් ද විය. එහිදී හඬ නැඟීම අයිතියක් බව සත්‍ය වුවද, ගොවීන්ට අමතරව එය දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය කාරකාරදීන් හා සගයන් පසුබිම්ගතව මෙහෙයවූ තිර පිටපතක්ද විය.

"ආණ්ඩුව ගොවියන්ගේ හඬට කන් දෙන්නෙ නෑ. ගොවිතැනට ජලය දෙන්නේ නෑ" යන මුඛ්‍ය සටන් පාඨයට හේතු වූ ඇතැම් කාරණා ඒ වනවිටත් සාකච්ඡා කර නිමාවට පත්වී තිබුණද...

"නෑ උද්ඝෝෂණයක් කරලම අපේ පක්ෂයේ හඬ පෙන්වන්න ඕනෑ" ය කියන මතයේ පිහිටා ඔවුන් ගොවියන් පාරට ගත්තාදැයි සිතෙන තරමට නාටකයේ තිරපිටපත සකසා තිබුණු බවක් පෙනිණි. ගොවි සමිති පෙරට ගෙන ගොවියන්ගේ සැබෑ ගැටලුව කතා කරන ආකාරයක් පෙන්වා දුන්නා වුවද, ඉන් එය මෙහෙයවූ දේශපාලන ක්‍රියාධරයන් වාසි ලබා ගත්තා යැයි සිතුවා වුවද උද්ඝෝෂකයන් 50ක් අයුතු ජන රාශිය යටතේ රිමාන්ඩ් කෙරිණි.

"ගොවියා වතුර ඉල්ලලා හඬ නඟද්දී ආණ්ඩුව තිරිසන් විදියට පහර දෙනවා. හිරේ දානවා මේකද යහපාලනේ"ය කියා මොරදෙන්නට ගත්තේ ගොවියන් පිටුපස සිට මෙහෙයවූ අයට පරිබාහිර වෙනත් දේශපාලන බලවේගයන්ය.

ඒ මොරදීමේ වාර්තා සටහන් කිහිපයක් මෙසේ පෙළ ගැස්විය හැකිය.
"ගොවි ජනතාවට ත්‍රස්තවාදීන්ට වගේ පහරදීම පිළිකුලෙන් හෙළා දකිනවා"
උතුරු මැද හිටපු මහ ඇමැති
"නීතිය හා සාමය අතට ගත් අගමැති වතුර ටික රැකගන්න පාරට ආපු ජනතාවට පහර දුන්නා"

මොහොමඩ් මුසම්මිල්
"රජයට එරෙහිව විරෝධතා දක්වන අයට රජය ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ඉඟියක් දුන්නා"
මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ
"සැබැවින්ම ගොවියන්ට අසාධාරණයක් වුණාම ඒකට විරුද්ධව හඬ නඟන්න අයිතිය තියෙන්න ඕන. ඒත් විරෝධතාවේදී ගොවියන්ට පොලිසිය පන්න පන්නා පහර දුන්නු විදියේ වෙනසක් පෙනෙනවා. ආණ්ඩුවේ කවුරුත් මේ වෙලාවෙ ඔය විදියට පහර දීලා ජනතා අප්‍රසාදය ලබාගන්න තැනට වැඩ කරාවිද? විරෝධතාකල්ප කෙසේ වුවත් පොලිස් පහරදීම ගැන සැක සිතුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක් තැන තැන කතා වූයේ එසේය. ඒ අතර...

"මේකෙ මොනවා හරි සැලැස්මක් තියෙනවා. එක්කෝ නීතිය හා සාමය ඇමැතිකම දරන අගමැතිට වරද පටවන්න ආණ්ඩුව ඇතුළෙම මෛත්‍රිගෙ පිලේ ගේමක්" ය කියා කියන කතාද තිබුණේය.

ඒකාබද්ධයේ ඇතැමුන් මෙම ගැටලුව පෙන්වා දුන්නේ එය මෛත්‍රි පිලේ ප්‍රබලයකු වූ දුමින්ද දිසානායක ඇමැතිවරයාගේ පිට පටවලාය.
"පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් දුමින්දලා කිපිලා. තමන්ට ඡන්දය නොදුන් ගොවි ජනතාවට පන්න පන්නා පහර දෙන්න තමන්ට අවනත පොලිසියේ සමහර කොටස් යොදා ගත්තා"

මේ කතා කෙසේ වුවත් ඉන් ජනතාව ඉදිරියේ රඟ දක්වා පෙන්වා ඒත්තු ගන්වන්නට උත්සාහ කළේ...
"ආණ්ඩුව ගොවියන්ගෙ හඬට අවනත නෑ. ගැටලුවට විසඳුම මර්දනයයි. ආයෙ ආවොත් දෙනවා රිදෙන්න" වගේ අදහසක්ය. එසේ කියන කියන තරමට, ඒත්තු ගන්වන තරමට "ආණ්ඩුවට එරෙහිව ජනමතය වැඩි වෙන්නේය. ඒ වැඩි වන ගොඩ අපට ලැබෙන්නේය" යනුවෙන් විරුද්ධ පක්ෂ බලවේග සිතන්නේය.
මේ සිදුවීම් දාමයේම එක් අවස්ථාවක් නම් හිටි ගමන්....

"සිංහල ජාතිය වඳ කරන වඳ පෙති ඇවිල්ලා. අන්න අම්පාරෙ කඩේක මස් හොද්දට වඳ පෙති දාලා. සිංහලයා ඉවරයි" හඬක් මතුවුණේද පසුගියදාකය.
එයින් හටගත් 'වඳ පෙති විරෝධය' කෙතරම් දිග්ගැස්සවීමට කටයුතු කෙරුණාද යන්න සිතාගැනීමට හැකි වන්නේ අන්තර්ජාලය හරහා එහා මෙහා ගිය ව්‍යාජ තොරතුරු හා අතේ රෝල් පුවත්පත් ගොන්න දකිද්දීය. ෆේස්බුක් හරහා හුවමාරු වූ බොහෝ පුවත් හා නිර්මාණය කෙරුණු කරුණු කාරණා බට කැලේට ගිනි තිබ්බාක් මෙන් ජාතිවාදී ගිනි අවුළුවන තරම් විය. ඒ හරහා බහුතර සිංහලයන් උසි ගැන්වීමේ ප්‍රවණතාව හමුවේ මුස්ලිම් ජනතාවද උසි ගන්වන්නට හැකි වී නම් වැඩේ පංකාදු යැයි සිතන්නෝද රොද බැඳගත් බවක් පෙනිණි.

මේ සිදුවීම් සියල්ලක්ම 'ඇඟිල්ලෙන් ඇහැට ඇනලා අඬවන්නට තරම්' සිදුවීම් බවට පරිවර්තනය කෙරුණු ඒවා බව මධ්‍යස්ථ ජනතාවට නොවැටහුණා නොවේ. එහෙත් අහම්බෙන් සිදුවූ මහනුවර සිංහල තරුණයාගේ ඝාතනය මේ ජාතිවාදී ගිනි අවුළුවන්නට මාන බැලූ අන්තවාදී දේශපාලන බලවේගවලට හොඳ ඉල්ලමක් විය.
"මහනුවර ප්‍රශ්නය හුදෙකලා සිද්ධියක්. සිංහල තරුණයාට පහර දුන් විදියත්, ඒ කළ අයත් හොයාගෙන. නීතිය අතට අරන් කාටත් වැඩ කරන්න බෑ. ඔවුන් දැන් අපි අත්අඩංගුවට ගත්තා. අපි කාට කාටත් තදින් ඉන්නවා" කියන මතය ආණ්ඩුවක් වශයෙන් ජනගත කරන්නට යෑමේදී වූ පමාව බරපතළ කාරණයකි.

"අන්තවාදීන් ඉන්න බව ආණ්ඩුව දන්නවා නම්, ඒ බව ඔත්තු සේවා දන්නවා නම් ඇයි දෙයක් වෙන්න ඉස්සර ඒ දේ කරන්නට හදන උදවිය පස්සෙ පැන්නුවෙ නැත්තෙ? නරක සිද්ධියක් නරක විදියට හරවගෙන රට වනසන තැනට යන්නට ඉඩ ඇරියේ ඇයි?" ද යන ප්‍රශ්නය ජනතාව ආණ්ඩුවෙන් විමසන්නේද මේ පෙළ ගැසෙන තත්ත්වය අනුවය.
"මේ ප්‍රශ්නයට මූලිකම හේතුව තමයි පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලයෙන් පස්සෙ ආණ්ඩුවේ පිල් දෙක අහක බලාගෙන තමන්ගෙ ගොඩ, පිල වැඩි කරගන්න, බලය තියාගන්න කරපු කුමන්ත්‍රණ. රට කරවීම පැත්තකට දාල ජනාධිපති හැදුවේ තමන්ගෙ පරාජය වහගෙන තමන්ගේ මහ ගෙදර වෙච්චි ශ්‍රී ලංකා එකේ ආණ්ඩු හැදිල්ලක්. ඒක වැරදුණා කිව්වට තවම තියෙනවා. මෛත්‍රි තවම බලාපොරොත්තුවෙන්. ඒකට මුහුණ දෙමින් රනිල් අගමැතිකමත්, පක්ෂ නායකත්වයත් රැක ගන්න සටනක. ඒවාට කාලය ගියාම රට කරවන්න කාලයක් තියේද?"

ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව එහෙම කියන්නේ ඒ බව දැනටත් රටට හොඳින් දැනෙන නිසා විය යුතුය. ඇතැම් විට මේ ගැටලු හා බැඳුණු රටේ ජනතාවගේ ගල් ගැසුණු මානසිකත්වය නිසාම ආණ්ඩුවේ අර්බුද ගැන සිතන්නට ඉඩක් නැති තරම්ය. එහෙත් මේ ගැටලු මැද ඇතැම් බලවේගවලට හොඳ තෝතැන්නක් බිහිකරදීම වරදකි.
කෙසේ වෙතත් ජාතිවාදී ගිනි පැතිරවීම සඳහා ප්‍රබලව දායකත්වයක් සපයන සමාජ මාධ්‍ය සක්‍රිය වීම ටික කලකට හෝ අක්‍රිය කරවීමට හදිසි නීතිය යටතේ වුව ආණ්ඩුව කටයුතු කිරීම වරදක් නොවේ. එය එතරමටම අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත්වී තිබෙන්නේය. අදහස් දැන ගැනීමේ අයිතියට මෙය පටහැනි දෙයක් වුවත් මේ මොහොතේ තත්ත්වය අනුව නම් නොකර බැරි දෙයක්ව ඇත.

එහෙත් මෙරට සමාජ මාධ්‍ය ජාලා තුළ සැරිසැරූ ජාතිවාදය අවුළුවන පුවත්වලට පිළිතුරු දෙන්නාක් මෙන් වෙන කවරදාකවත් නොතිබුණු මට්ටමේ සමබර පුවත් විකාශයක් විදෙස් මාධ්‍ය කිහිපයක දක්නට තිබුණේය. ඉන් කිහිපයක් මෙසේය.
"මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිංහල බෞද්ධ තරුණයකු ඝාතනය වීම, මුස්ලිම් තරුණ පිරිසක් අතින් සිදුවීම හදිසි අනතුරක් විය. එහෙත් එය පසුදින සිංහල බෞද්ධ පිරිස කෝප ගැන්වීමකට හරවා ගැනීමට පිරිසක් කටයුතු කර තිබිණි. ඒ ප්‍රදේශයට පරිබාහිරින් පැමිණි ආවේගශීලී පිරිස් නිසාවෙන් අදාළ ප්‍රදේශයේ ගැටුම් හට ගත් බවක් වාර්තා විය. එය ඉතා ඉක්මනින් පාලනය කිරීමට පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් කැඳවා තිබුණු අතර හදිසි අවස්ථා රෙගුලාසිද පැනවිණ."

ඒඹ් බ්චලඥඥපච
"සිවිල් යුද්ධයක් නිමාවට පත්වූ පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. 75%ක සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන ප්‍රදේශය තුළ සිංහල තරුණයකු හා මුස්ලිම් තරුණයකු මරණයට පත්ව ඇත. ගැටලුව පැතිර යෑමට හේතුවූ අහිතකර ලෙස බලපෑ සමාජ මාධ්‍ය ජලා භාවිතයද තාවකාලිකව රජය අත්හිටුවා තත්ත්වය පාලනය කර ගැනීමට වෙහෙස දරා ඇති බව පෙනෙයි"
ඛ්ව්ව්

කෙසේ වුවද ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව පිළිබඳ නරක නාමයක් ඇති කරන්නට ඉඩ හසර සපයා නොදී තත්ත්වය සමථයකට පත්කර ගැනීම ආණ්ඩුවේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුය. රනිල් හා මෛත්‍රි අතර පවතින විරසකයේ ප්‍රතිඵලය රට අස්ථාවර වීම බවට එය හොඳම නිදසුනකැයි හැඟෙන දැනෙන තරමට කරුණු කාරණා පහදා දුන් තත්ත්වයකි.
මේ සියල්ල සාරාංශගත කිරීමේදී මෛත්‍රිත් රනිලුත් මුහුණට මුහුණ හමුවී බලය රැක ගන්න කතා හා කුමන්ත්‍රණ මඳක් පසෙකට දමා හෝ ගැටලුව සිහිනුවණින් හඳුනාගත යුතුය.
බුද්ධි අංශ යම් අක්‍රිය වීමක් හෝ වුවමනාවෙන්ම කරුණු වාර්තා නොකර සිටියේ නම් ඒවාද නිසි අයවලුන් අනුයුක්ත කරගෙන යථා තත්ත්වයට පත් කළ යුතුය.
සමාජ මාධ්‍ය ඔස්සේ විස පැතිර වූවන් හඳුනාගත හැකි පරිගණක තාක්ෂණවේදය මේ රටේ ඕනෑ තරම්ය. එය සක්‍රිය කළ යුතුය. කණ්ඩායම් වශයෙන් හෝ හුදකලාව තනි තනිව වශයෙන් වුව ජාතීන් අතර ගැටලු මවන බිල්ලන් ඔත්තුකරුවන් හා කඩාකප්පල්කාරීන් හඳුනා ගත යුතුය.

පොලිස් කොට්ඨාස මට්ටමෙන් යළිත් "පුරවැසි සෝදිසි කමිටු" පිහිටුවා සක්‍රිය කළ යුතුය. ප්‍රශ්නයක් ඇති වූ සැණින් එය වටහා ගන්නත්, ප්‍රශ්න ඇති වෙන්නට පෙර එය වළක්වා ගන්නත් සිහිබුද්ධියෙන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය සැකසිය යුතුය. රට ආපස්සට හරවන, කවුරු බලයට පත් වුවත් රට කරවන්නට බැරි තැනකට තල්ලුවන තත්ත්වය වහා නැති කළ යුතුය. මෛත්‍රිටත් රනිල්ටත් තම තමන්ගේ ගැටලු කෙසේ වුවත් රට ගැන සිතා කටයුතු කළ යුතු වන බව නම් මේ මොහොතේ සිහිගන්වා තිබෙන්නේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්