එජාප නියෝජ්‍ය නායකකමට චම්පික කුරුමානම් අල්ලයි

  👤  6069 readers have read this article !
2018-03-04

දේශපාලන පොර පිටියෙ පැවැති අකුණු ගැසීම්, හෙණ හඬ සහිත මහ වැසි තුරල්ව ගියේය. අඟහරුවාදා (27දා) සිරිත් පරිදි කැබිනට් රැස්වීම පැවැත්විණි. ජනපති ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට අගමැති රනිල්ද එක්ව සිටියේය. ජනපති _ අගමැති දෙදෙනාගේ නොහොඳ, නොක්කාඩු සමහන් වීදැයි දැනගත නොහැකි වූයේ නෝක්කාඩු බැලුම් හෙළන නොදුටු බැවිනි. අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇති ජාතික ආර්ථික කමිටුව සම්බන්ධයෙන් ජනපති දැඩි විවේචනයක් එල්ල කිරීමෙන් වාතාවරණය පෙනෙන තරම් සතුටුදායක නොවන බව පැහැදිලි විය.

අගමැති ආර්ථික කළමනාකරණ කමිටුව පුස්සක්

''මගේ අදහස ආර්ථික කමිටුව ඉදිරියට පවත්වා ගෙන යෑම අවශ්‍ය නොවන බවයි. මොකද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් වෙනම කතා නොකළාට කැබිනට් මණ්ඩලය තුළම සාකච්ඡා කර තීරණයකට එන්න පුළුවන්. වැඩිපුර විමර්ශනයක් අවශ්‍ය නම් කැබිනට් අනුකාරක සභාවක් මඟින් එය කරන්න පුළුවන්. ආර්ථික කමිටුව කතා කරන දේවල් ගැන කැබිනට් එක දැනුවත් නෑ.

දැනට කමිටුව හරහා ආරම්භ කළ ව්‍යාපෘති ගැන මගේ කිසි පැහැදීමක් නෑ. ඒවා සාර්ථක වුණෙත් නෑ. ආණ්ඩුව නිකන් නරක නාමයක් ගාගත්තා විතරයි. කුලියාපිටියේ වොක්ස් වැගන් කර්මාන්තශාලාවේ කතාව එකක්, අනෙක හොරණ ටයර් කම්හලට ඉඩම් ලබාදී තිබුණේ රජයේ තක්සේරුවටත් වඩා බොහෝ අඩුවෙන්. මට ෆයිල් ආවමයි මේක තේරුණේ. මම අස්සන් කළේ නැහැ. බොරුවට වැරැදි මතයක් රටට ගියා. ආර්ථික කමිටුවක් අවශ්‍ය නැහැ. තියෙන යෝජනා කෙළින්ම කැබිනට් මණ්ඩලයට ගේන්න. තීරණ ගන්න කැබිනට් මණ්ඩලයට පුළුවන්''

ජනපති මෛත්‍රි දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඊට වැඩි පිරිසකගේ එකඟතාවද ලැබිණි. ඇමැති දයාසිරිද ජනපති අදහස අනුමත කළේය.
''වඩා සුදුසු විදියකට කරමු. නමුත් දැනට කටයුතු කෙරෙන ප්‍රොජෙක්ට්ස් අවසන් කළොත් හොඳයි'' අගමැති රනිල් කීවද ඊට ජනපතිගේ ප්‍රතිචාර ලැබුණේ නැත.
සඳුදා මෛත්‍රි පොළොන්නරුවේ වැලිකන්දේ සහ දිඹුලාගල වැඩසටහන් රැසකට සහභාගි විය. වැලිකන්දේදී ජනතාවට කෘෂි ආම්පන්න ලබා දීමේ අවස්ථාවකටද ජනපති එක් විය. වැලිකන්දේ සිට පොළොන්නරුවට පෙරළා එන ගමනේදී මෛත්‍රි පාර අසල වූ පලතුරු වෙළෙඳසලකට ගොඩවැදී එය පවත්වාගෙන ගිය කුඩා ව්‍යවසායකයා සමඟ සතුටු පිළිසඳරකද යෙදුණේය.

ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම නිසා එ.ජා.ප.ය අන්දුන්කුන්දුන් වෙයි
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමට අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපති තීරණය කිරීම නිසා එ.ජා.ප.ය උභතෝකෝටිකයක සිරවිණි. අගමැතිට හිතවත් එ.ජා.ප. මැති ඇමැතිවරු අතර ඇතිකළ කැලඹීම තැනින් තැන නිරන්තර සාකච්ඡාවන් දක්වා වර්ධනය විය.
'ජනපති ආර්ථික මෙහෙයුම අතට ගනී. අගමැති රනිල්ගේ ආර්ථික කමිටුව අහෝසියි' යනුවෙන් මෙම සිදුවීම පුවත්පත් වාර්තා කර තිබිණි. එහෙත් සැබෑ ලෙස ආර්ථික කමිටුව අහෝසි කළාද යන්න අගමැති ප්‍රමුඛ එ.ජා.ප. ප්‍රබලයන්ට ප්‍රශ්නයක් විය. ඒ අනුව කැබිනට් ලේකම් අමතා මේ පිළිබඳව සැකහැර දැන ගන්නට ඔවුහු තීරණය කළහ. ඊට ලැබුණු පිළිතුර වූයේ ආර්ථික කමිටුව අහෝසි කරන ලද බවට වාර්තාවේ සටහනක් යොදා ඇති බවය. තවදුරටත් බලා නොසිට එදින රාත්‍රියේම ජනපති මෛත්‍රි හමුවන්නට ඔවුහු තීරණය කළෝය.

ජනපති මෛත්‍රිට කේජු කෑල්ලක්
බදාදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, කබීරි හෂීම් හා මංගල සමරවීර යන එජාප ජේ‍යෂ්ඨයෝ ජනාධිපතිවරයා හමුවීම පිණිස ජනාධිපති නිල නිවෙසට ගියහ.

"ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුව අහෝසි කරන්න එපා කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නයි අපි මේ ආවේ."
මලික් සමරවික්‍රම ඇමැතිවරයා කීවේය.

"අනෙක් එක අපි ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ මේ අගමැතිතුමාව අපේක්ෂකයා හැටියට ගේන්නයි කතා කරගෙන තිබුණේ. නමුත් දැන් අපි එහෙම නොකරන තීරණයකට ඇවිත් තියෙනවා. ලබන වතාවෙත් ඔබතුමාවම අපේක්ෂකයා කරන එක තමයි අපේ බලාපොරොත්තුව"
සමරවික්‍රම ඇමැතිවරයා එසේ කීවද ජනාධිපති එය එතරම් කනකට ගත් බවක් නොපෙනිණි. "ආර්ථික කළමනාකරණ කමිටුවෙන් කිසි කාර්ය භාරයක් වුණේ නෑ. වෙන්නෙත් නෑ. මම ඒක අහෝසි කරන බව කිව්වේ වාචිකව විතරයිනේ. ඕන නම් මම ඒක ලිඛිතවත් දෙන්නම්"
ජනාධිපති කීවේ සියළුදෙනා තුෂ්නිම්භූත කරවමිනි.

කරුණාකර
රට කරගෙන යන්න මට ඉඩ දෙන්න
ජනාධිපතිවරයා නැවතත් හඬ අවදි කළේය.
"අගමැතිතුමා, මම ඔබතුමාට අවුරුදු දෙකහමාරක් මේ ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දුන්නා. මම කිසිදේකට ඇඟිලි ගැහැව්වේ නෑ. ඒ හින්දා කරුණාකරලා ඉතිරි අවුරුදු දෙකහමාරේ මට මේ රට කරගෙන යන්න ඉඩදෙන්න."

මේ අයුරින් මතුවුණු නොයෙකුත් කරුණු කාරණා මැද මේ සාකච්ඡාව පැය එකහමාරක් දක්වා ඇදී ගියේය. අවසානයේ සාකච්ඡාව නිමවූයේ අගමැති ඇතුළු එජාප ජේ‍යෂ්ඨත්වයට තමන් පැමිණි අරමුණ ඉටුකර ගන්නට නොහැකි වීමෙනි.
එම සාකච්ඡාවෙන් අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා හා දයාසිරි ජයසේකර ඇමැතිවරු ජනාධිපතිවරයා හමුවන්නට පැමිණියහ. ඔවුහු රටේ උද්ගතව ඇති දේශපාලන ව්‍යාකූලත්වය ගැන එහිදී බොහෝ වේලා කතා කළහ. එම හමුව නිමාවනවිට කාලය රාත්‍රි 11.30 පසුවෙමින් තිබිණි.

එජාපයේ නියෝජ්‍ය නායකකමකට චම්පිකගේ කුරුමානම්
ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් පසුගියදා පැවැත්විණි. එම රැස්වීම ඉදිරි දේශපාලන උපාය මාර්ග තීරණය කෙරෙන හමුවක්ව තිබිණි. එහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණක් වූයේ රටේ ජනමතය හැසිරෙන ආකාරය දෙස බලා ඉදිරි ගමන් මඟ තීරණය විය යුතුය යන මතයයි.
ඒ අනුව ජාතික හෙළ උරුමය වෙනම තිබියදී චම්පික රණවක ඇමැතිවරයා ඇතුළු කිහිපදෙනකු එජාපයේ ඉහළ තැන්වලට ඔසවා තැබීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කෙරිණි. එජාපය තුළ ස්ථානගතවීම හරියාකාරව නිම කරගෙන චම්පික රණවක ඇමැතිවරයා එහි නියෝජ්‍ය නායක තනතුරකට පත් කර ගැනීම පිළිබඳව එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහව පොලඹවා ගත හැකි මට්ටමේ බලපෑමක් සිදුවිය යුතු බවටද පුළුල්ව සාකච්ඡාවට බඳුන් විය.

පවතින දේශපාලන වාතාවරණය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වය අහිමි වන තත්ත්වයක් උද්ගත වන්නේ නම් ඊට පෙරාතුව කෙසේ හෝ චම්පිකට එජාපයේ නියෝජ්‍ය නායක පදවියක් ලබාගැනීමේ ක්‍රියාන්විතය දියත් කළ යුතු බවට එහිදී තීරණය විය.
දිය යටින් ගින්දර
සිංහල බෞද්ධ ජන පදනමට ආමන්ත්‍රණය කළ හැකි ඉදිරිපෙළ නායකයකු එජාපයට අවැසි වනුයේ රනිල් වික්‍රමසිංහ නායකත්වයේ සිටියදී වීම තුලය යන අවශ්‍යතාව දැඩිව අවධාරණයට ගෙන ක්‍රියා කළ යුතුය යන්න එහිදී පුළුල්ව සාකච්ඡාවට බඳුන් විය.

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වයට පැමිණියහොත් සිංහල බෞද්ධ ජන පදනමට ඇමැතීමට වෙනත් නායකයකු අවශ්‍ය නොවන වටපිටාවක් මතුවන හෙයින් දැන්මම ඒ සඳහා ක්‍රියාත්මක විය යුතුය යන්න ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩල තීරණය විය.

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ සමඟ යමින් ජාතික හෙළ උරුමය අපේක්ෂකයන් 242 දෙනකු ඉදිරිපත් කළද ජයග්‍රහණය කරන්නට හැකිවූයේ එහි අපේක්ෂකයන් තිදෙනකුට පමණක් වීම ගැන මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේදී පුළුල්ව කතාබහට ලක්විණි. ඒ තුළ ජාතික හෙළ උරුමය සිටින අවාසිදායක වාතාවරණයෙන් අත්මිදීම සඳහා මෙවර සමස්ත ඡන්ද ප්‍රතිඵලය මත සිංහල බෞද්ධ ජනතාව ආමන්ත්‍රණය කිරීම එජාපයෙන් නිසියාකාරව සිදුනොවූ බවට මතයක් ඉස්මතු කරමින් චම්පික රණවක ඇමැතිවරයා ඒ සඳහා සිටින එකම සුදුස්සා ලෙස එජාපය තුළ නියෝජ්‍ය නායක පදවියක ස්ථානගත කිරීම අනිවාර්යයෙන්ම සිදුකර ගත යුතු බවට එහිදී අවධාරණය කෙරිණි.

මේ අරමුණ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ දිනාගැනීම සඳහා මලික් සමරවික්‍රම ඇමැතිවරයා උපයෝගි කරගත යුතු බවද එහිදී සාකච්ඡා කෙරිණි. මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේදී අදහස් දැක්වූ ප්‍රමුඛයන් වූයේ චම්පික රණවක, නිශාන්ත වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් මහත්වරුන් හා හැඩිගල්ලේ විමලසාර හිමියන්ය.
ගිනි ඇවිළුණු වඳ පෙත්ත

අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ අම්පාර නගරයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන්ද අවධානය යොමු විය. ඇමැති දයා ගමගේ ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් වන අවස්ථාවේදී ජනාධිපති ප්‍රකාශ කළේ තමා සියලු කරුණු දැනගත් බවයි. මේ පිළිබඳව දීර්ඝව කතා කළ යුතුයි. තනිකරම මෙය ජාතිවාදය ඇවිස්සීමේ වැඩපිළිවෙළක පෙරනිමිත්තක්. මෙය පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයනුත් ඉන්නවා." රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සංවිධානාත්මකව අම්පාර සිද්ධිය ක්‍රියාත්මක වූ බවත්, සිදුවූ දේපළ හානිවලට වන්දි ගෙවන ලෙසත් රවුෆ් හකීම් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙය සිදුකළ බව මනෝ ගනේෂන්ගේ අදහස විය. ඉන්පසු අදහස් දැක්වූ ජනාධිපති කියා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් හඳුනාගෙන ඇති බැවින් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි. සිද්ධිය සිදුවන විට පොලිසිය නිහඬව බලා සිටි බවත්, පසුව ක්‍රියාත්මක වී ඇති බවත් අමාත්‍ය රවුෆ් හකීම් චෝදනා කළේය. ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලදී.

අගමැති නීතිය හා සාමය
පළාත් මැතිවරණයෙන් පසු රටට දැනෙන කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙන බව ආණ්ඩුව පුන පුනා ප්‍රකාශ කළේය. ඒ අනුව ඇමැතිවරු කීප දෙනකු එහා මෙහා කරමින් සිදු කළ කැබිනට් සංශෝධනය ගැන ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල වී තිබේ. බොහෝ පාර්ශ්වයන්ගෙන් දැඩි චෝදනා එල්ල වූයේ සාගල රත්නායක අත්හල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අගමැති රනිල් අතට ගැනීම පිළිබඳවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සතියකට පෙර කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත කීවේ නීතිය හා සාමය අගමැති ගත්තේ තාවකාලිකව බවය. දැනට රටින් බැහැර ගොස් සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නැවත පැමිණි වහාම එම අමාත්‍යාංශයේ දිවුරුම් දෙනු ඇතැයිද හෙතෙම පැවැසීය. අගමැති රනිල් නීතිය හා සාමය අතට ගත්තේ තාවකාලිකව යැයි ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද ද පැවැසීය.

රාජිත කැමැති ෆීල්ඩ් මාර්ෂල්ට
මේ අතර 28 වැනිදා පැවැති කැබිනට් මාධ්‍ය හමුවේ රාජිතගේ කතාව තරමක් වෙනස් විය. නීතිය හා සාමය සරත් ෆොන්සේකාට භාරදීම ගැන සාකච්ඡා පැවැත්වෙන අතර පිරිසක් ඊට පක්ෂවද තවත් පිරිසක් විපක්ෂවද අදහස් දක්වන බවත් කෙසේ වුවද අගමැති යටතේ ඇති නීතිය හා සාමය වෙනත් ඇමැතිවරයකුට ලබාදීම ස්ථිර යැයිද රාජිත කීවේය.

මාධ්‍ය
කවුද ඇත්තටම පොලිසියේ අයිතිකාරයා
රාජිත
ඇමැතිකම සරත් ෆොන්සේකා මහතාටයි තිබුණේ. එතුමා විදේශගත වෙලා ඉන්නෙ. ආවම සාකච්ඡා කරනවා.
මාධ්‍ය
එතුමාට ඇමැතිකම දෙනවට බොහෝ දෙනා විරුද්ධයි නේද?

රාජිත
ඔව් විරුද්ධ අයත් ඉන්නවා. එතුමා ආවට පස්සෙ සාකච්ඡා කර තීරණයක් ගනිවී.
මාධ්‍ය
ඔබතුමා කැමැතිද නීතිය හා සාමය සරත් ෆොන්සේකාට දෙනවාට.
රාජිත

ඔව්.
නරියාට කුකුල්ලු භාර දීම
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයද නීතිය හා සාමය පිළිබඳ ඇමැති තනතුර සරත් ෆොන්සේකාට භාර දීම ගැන අදහස් පළ කරමින් නිවේදනයක් නිකුත් කළේය. එහි මෙසේ සඳහන් විය.
"වර්තමාන අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ එවකට හමුදාපති සරත් ෆොන්සේකාටය. අද පොලිසිය අගමැති භාරයේ ඇති නිසා එදා ඔහු කළ චෝදනාව ගැන පරීක්ෂණයක් අරඹන ලෙස නියෝගයක් දීම පහසුවෙන්ම කළ හැකියි. ඒ වෙනුවට අද කුහක දේශපාලනඥයන් කරන්නේ නරියාට කුකුල්ලු භාරදුන්නාක් මෙන් සරත් ෆොන්සේකාට පොලිසිය භාර දීමට යෝජනා කිරීමයි.

මෛත්‍රිගේ ඇස්වල කඳුළු
කැබිනට් සංශෝධනය සම්බන්ධව එජාපයේ බොහෝ දෙනා සිටියේ කනස්සල්ලෙනි. ඇමැතිකම් ලැබුණු අය ලැබුණු ඇමැතිකම් නිසා නොසතුටට පත්ව සිටි අතර ඇමැතිකම් අහිමි වූ අයද කේන්තියට පත්ව අදහස් පළ කරනු පෙනිණි. තම වනජීවී අමාත්‍යාංශය අහිමි වීම ගැන ප්‍රකාශයක් කළ ජයවික්‍රම පෙරේරා කීවේ අලි හොරුන් භාරයේ සිටියදී අත්අඩංගුවට පත් අලි පැටවුන් නැවත අලි හොරුන්ට භාරදෙන ලෙස තමාට කළ බලපෑම්වලට අවනත නොවූ නිසා තමා වනජීවී ඇමැති ධුරයෙන් පහ කළ බවය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රශ්න කිරීමේදී රාජිත මෙසේ පිළිතුරු දුන්නේය.

"එදා 2010 හිටපු ජනාධිපති කැබිනට් සංශෝධනය ගෙන ආ වෙලේත් ඔහොම කලකිරීම ඇතිවුණා. ධීවර ඇමැතිකම ලැබුණු නිසා මාත් කලකිරිලා හිටියේ. නිමල් සිරිපාල මගෙන් ඇහුවා.
"ඔයාට මොකද කියලා"

"මම කලකිරිලා ඉන්නේ" කිව්වා.
"ඉතින් ධීවර ඇමැතිකම ෂෝක්නෙ"
"ඔව් අනිත් හැමෝටම ෂෝක් මට ෂෝක් නැහැ. මෛත්‍රි සෞඛ්‍ය ඇමැතිකම ලැබුණාට කලකිරී හිටියෙ. මම ඒ ගැන අහද්දී එතුමාගේ ඇස් දෙකේ කඳුළු තිබුණා. හැමෝටම තමන්ගේ විෂය වෙනස් වුණාම වෙනස දරාගන්න බැරිවෙනවා"
රංගෙ බණ්ඩාරගේ විශ්වාසභංගය
පළාත් පාලන මැතිවරණයෙන් පසුව අගමැතිවරයාගේ ධුරය මෙන්ම ආණ්ඩුවේ ස්ථාරව බව පිළිබඳ විවිධ කතා හා මෙහෙයුම් දියත් වුවද ඒවා සියල්ල දැන් ඉතා ශීඝ්‍රයෙන් යට යෑමේ ප්‍රවණතාවක් ඇතිව තිබේ.

අගමැතිවරයා හා ආණ්ඩුවේ ස්ථාවර බව තිබුණාටත් වඩා ශක්තිමත් වෙන පසුබිමක රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර ආණමඩුවේදී දෙබරයට යළිත් ගල් ගැසීය.
"මට සාධාරණය ඉටුවුණේ නෑ. තවත් එහෙම අය ඉන්නවා. ඒවා නිවැරැදි නොකරන නිසා අගමැතිට එරෙහි විශ්වාසභංගයක් ගේනවා" පාලිත රංගෙ බණ්ඩාර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

"අගමැති හොඳින් හෝ නරකින් ඉවත් කළ යුතුයි" තමාටද කිසිදු සාධාරණයක් නොවූ බව කියමින් නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායකද ප්‍රහාර එල්ල කළේය
එහෙත් ඊට අදාළ විශ්වාසභංගයට අස්සන් තැබීමට මෙතෙක් කිසිදු මැති ඇමැති කෙනකු ඉදිරිපත් නොවීම තුළ එකී උත්සාහයද ශීඝ්‍රයෙන් යට යන පසුබිමක් නිර්මාණය වී තිබේ. උඩින් මෙන්ම යටින්ද ගිනි පත්තු වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කළේය.

බල පොරයට අපි නෑ විශ්වාසභංගයට සහාය දෙනවා
අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නේ නම් එහිදී ජවිපෙ ගන්නා ස්ථාවරය නායක අනුර දිසානායක මෙසේ පවසා තිබිණි.
දේශපාලන බල පොරය වෙනුවෙන් විශ්වාසභංගය ගෙනෙනවා නම් ඒ පිළිබඳ සොයා බලා තීරණයක් ගන්න වෙනවා. නමුත් මහ බැංකු බැඳුම්කර වංචා චෝදනාවේදී අගමැතිගේ කාර්යභාරය ඉටු නොකිරීම, සිරිලිය ගිණුම ඇතුළු රාජපක්ෂ පවුලට එල්ලවූ දූෂණ, වංචා ආරක්ෂා කිරීම ඇතුළු චෝදනා අගමැතිට එල්ලවන විශ්වාසභංගයක් නම් අපි සහාය දෙනවා.

ශ්‍රීලනිප ඇමැතිවරු සංශෝධනවලට කැමැති නෑලු
"එජාපයේ ඇමැති සංශෝධනය අපි කළත් ශ්‍රීලනිපයේ එක කල් ගියා. හරිනම් දෙකම එකටයි කරන්න තිබුණේ. අපේ සංශෝධන විතරක් කරන්න ඉඩ දීම මම පෞද්ගලිකව එච්චර කැමැති නැහැ" ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.
"ආරංචි පළවෙන විදියට ශ්‍රීලනිප ඇමැති මාරුව කරන්න අමාරු තත්ත්වයක් ඇතිවෙලා.

ශ්‍රීලනිප කවුරුවත් සංශෝධනවලට කැමැති නැති කතාවකුත් තියෙනවා. මේ වෙලාවෙ කරන්න බැරි සංශෝධන පහුවෙලා නම් කරන්න බැරිවේවි. එජාපයට ශක්තිමත් සංවිධානයක් තියෙන නිසා සංශෝධන කළා. එහෙම හයියක් නැති පක්ෂයක මේවා කරන්න අමාරුයි" වජිර අබේවර්ධන කීය.
"මගේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග මාරු කළේ මගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. අපේ වෙන කෙනකුගේ ප්‍රශ්න නිසා කියලත් දැන් ඔප්පු වෙලා තියෙනවා" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
"මගේ බැංකු ගලවනවා කියලත් පත්තරවල ගියා. එහෙම වුණොත් මට බෝඩ්ලෑල්ලක් විතරයි ඉතිරි වෙන්නේ. මම ජනාධිපතිතුමා හා අගමැතිතුමා ළඟ තියල මේක ඇහුවම එතුමලා දෙන්නම බැංකු ගලවන්නෙ නැති බව කීම සහනයක්" ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කීය.
ජනතාව අපට රිදෙන්න ටොක්කක් දුන්නා

"ආණ්ඩුවේ පසුබෑමට හේතුව සමෘද්ධි හා කෘෂි අමාත්‍යාංශයේ පොහොර ඇතුළු ප්‍රශ්නයයි. අපේ නීතිය හා සාමයත් ශ්‍රීලන්කන් ප්‍රශ්නයත් නිසා ඒ ඇමැතිකම මාරු කළා. හරිනම් ශ්‍රීලනිපයේ කෘෂි හා සමෘද්ධියත් මාරු කළ යුතු බව මිනිස්සු කිනවා" බදුලු දිස්ත්‍රික් මන්ත්‍රි චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.
"අපේ දක්ෂ තරුණ අයට මීට වඩා වගකීම් ආණ්ඩුවේ හා පක්ෂය තුළ ලබාදීම කරන්න. ඒක වටිනවා" දයා ගමගේ කීය.
"දූෂණ වංචා සෙවීම සඳහා කමිටුවක් ඇතුළු ප්‍රධාන කමිටු 3ක් දැම්මා. ඒවා කඩිනමින් වැඩ කරාවි. ඊළඟට ජේ.සී. අලවතුවලගෙ ප්‍රධානත්වයෙන් එජාප පසුපෙළ මන්ත්‍රිවරුන්ට ජනතා ප්‍රශ්න විසඳීමට වැඩපිළිවෙළක් සකස් කරලා පහසුකම් දීම ගැනත් පත්කළ කමිටු වාර්තාව අලවතුවල මට ලබාදුන්නා. සජිත්, නවින්, අජිත්, හර්ෂලගෙ කමිටුව හරහා තරුණ ඇමැතිවරුන්ගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන නිර්දේශ හෙට ලැබේවි. ඒ හරහාත් ජනතාවගේ මූලික ප්‍රශ්නවලට විසඳුම් දෙනවා. රුවන් විජේවර්ධනගෙ ප්‍රධානත්වයෙන් එජාප ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු නිර්දේශ සඳුදා ලැබේවි. මේ සියලු කමිටුවල නිර්දේශ එකතු කරලා එක වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කරනවා" අගමැති කීවේ සියලු දෙනාගේ ප්‍රශංසා මැදය.

"ණය ගෙවලම හරියන්නෙ නෑ. ඒක කරන ගමන් ජනතාවට සහන තරුණයන්ට රැකියා හා රටට ගමට සංවර්ධයත් මේ හරහා වේගවත් කරන්න තීන්දු කිරීම වටිනවා. මේවා කලින් නොකළ නිසයි ජනතාව අපට රිදෙන්න ටොක්කක් දුන්නේ" ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.
හොරු ඇල්ලුවේ නැත්නම් ආණ්ඩුව ඉවරයි
"ළඟ එන සිංහල, හින්දු අලුත් අවුරුද්ද හා ඉදිරි අනාගතය වෙනුවෙන් ජනතාවගෙ ඇඟට දැනෙන වෙනස්කම් කරනවා. තරුණ මන්ත්‍රිල ඇමැතිල හා අනිත් අයටත් මීට වඩා වගකීම් හා පහසුකම් දෙනවා" අගමැති කීය.

ෆොන්සේකාට නීතිය හා සාමය ලබාදීමට එජාපය එකඟවෙලා තියෙද්දී එක යට යෑම ගැන ජනතාවට අසතුටුයි වගේ" දයා ගමගේ කීය.
"ෆීල්ඩ් මාර්ෂල්ගෙ පත්වීම වැළැක්වූයේ එජාපය නෙවෙයි බාහිර බලවේග බව දැන් එළිවෙලා" ගයන්ත කරුණාතිලක කී දේ සියල්ලෝ අනුමත කළහ.
"ඒ වගකීම් තාවකාලිකව අගමැතිතුමා ගැනීම හොඳයි. සතියකින් දෙකකින් ඒ වගකීම් සුදුසු කෙනකුට ලබාදීමට තීන්දු කළ එකත් හොඳ දෙයක්. හැබැයි හොරු ඇල්ලුවේ නැත්නම් ආණ්ඩුව ඉවරයි" ජේ.සී. අලවතුවල හා චමින්ද විජේසිරි කීවේ එකම කතාවකි.

ආයෝජකයන්ට මේ ආණ්ඩුව විශ්වාස නෑ
ඒකාබද්ධ විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂ වැඩමුළුවක් සඳුදා (26දා) පැවැත්වුණේ නෙළුම් මාවත කාර්යාලයේදීය. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ නාලක ගොඩහේවා මෙහිදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රිවරුන් දැනුවත් කළහ.
බැඳුම්කර වංචාව තුළින් රටට සිදුව ඇති හානිය සහ ඉදිරියේදී මුහුණ දීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එසේම පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තුළින් ලැබුණු ජනවරමට අනුව ආණ්ඩුවේ ජනබලය පිරිහී ඇති බැවින් විදෙස් ආයෝජකයන් මෙරට ආයෝජනය කරන්නට මැළිකමක් දැක්වීම සම්බන්ධයෙන්ද කරුණු පැහැදිලි කෙරිණි.

"පළාත් පාලන මැතිවරණයට පස්සෙ නෙමෙයි ඊට ඉස්සරත් මේ ආණ්ඩුව විශ්වාස කරලා මේ රටට ආයෝජකයෝ කවුරුත් ආවේ නැහැනේ. බොරුවට ජාත්‍යන්තරය දින්නා කියලා ජනාධිපති රටටම කිය කියා ගියාට ලෝකේ පිළිගත්ත එකම ආයෝජකයෙක්වත් පසුගිය අවුරුදු තුනේ මේ රටට ඇවිත් නැහැ" ප්‍රසන්න පැවැසීය. "ඒ කතාව හරි. වොක්ස්වැගන් එනවා කියලා කළෙත් අලි බොරුවක්නේ. මහින්ද මහත්තයාගේ කාලේ කරපු සංවර්ධන වැඩ ටිකවත් හරියට කරගන්න බැරි ආණ්ඩුව හැමදාම කළේ බොරුවෙන් මිනිස්සු රවට්ටන එකනේ" පවිත්‍රා කීවාය.

රනිල් අගමැතිකමේ එල්ලිලා ඉන්නේ හිරේ යන්න වෙයි කියන බයට
අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ අර්ජුනගේ වගකීම එයා ගන්නවා කියලනේ. දැන් මිනිස්සු බලන් ඉන්නේ රනිල් කොයි වෙලාවෙද අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලලා දෙන්නේ කියලයි" ඩලස් පැවැසීය.

මහින්දගේ නිල නිවෙසේ සාදය
පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහයණය සැමරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට විශේෂ සාදයක් සඳුදා රාත්‍රියේ පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවෙසේදීය. ඒකාබද්ධයේ සියලුදෙනාම පාහේ එම සාදයට සහභාගි වී සිටියහ.
සවස 6.30ට පමණ සාදය ආරම්භ වූ අතර මන්ත්‍රිවරුන් සමඟ පැමිණ සිටි පවුල්වල උදවිය සියලුදෙනාම වෙත ගිය මහින්ද ඔවුන් සමඟ කතාබහ කරමින් සුවදුක් විමසුවේය. "අපේ ජයග්‍රහණයට ඍජුව දායකත්වය දක්වපු අපේ මන්ත්‍රිවරුන් වගේම ගෙදර අයටත් ස්තුති කරන්නම ඕනේ. මොකද මන්ත්‍රිවරුන් මේ සටන අරගෙන යනකොට ඔයාලා තමයි ගෙදර ඉඳලා ඒකට ශක්තිය දුන්නේ. අපිට මේ මැතිවරණයේදී වගේම ඉදිරියේදී එන මැතිවරණවලදීත් ඔයාලගේ සහයෝගය ඕනේ වෙනවා. එහෙම වුණොත් තමයි අපිට ලොකු ජයග්‍රහණයකට යන්න පුළුවන් වෙන්නේ" මහින්ද පැවැසීය.

සාදයට පැමිණි මන්ත්‍රිවරු තම තමන්ගේ හිතවතුන් සමඟ අසුන්ගෙන සිටින අතරතුර මහින්දගේ අවධානය යොමු වූයේ විශේෂ පිරිසක් අසුන්ගෙන සිටි මේසයක් වෙතය. එහි සිටියේ ලන්සා, අරුන්දික, පියංකර, ඩුලිප් යන අයය. එහි විශේෂත්වය වූයේ ඔවුන් සියලුදෙනාම යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් දරා පසුව ඒකාබද්ධ විපක්ෂයට එකතු වූවන් වීමය.

විමල් "දම්පාටින් ළා සඳ බැස යනවා" ගයයි
සාදය ආරම්භ වී පැය තුනක් පමණ කාලයක් මහින්ද මන්ත්‍රිවරුන් සමඟ ගත කළේය. අනතුරුව රාත්‍රි නවයට පමණ වාදක මඬුල්ලක් විසින් සංගීත ප්‍රසංගයක්ද පවත්වන ලදී. එහිදී මුලින්ම ගීත ගායනා කරන්නට එකතු වූයේ විමල්ය. ගුණදාස කපුගේ සූරින්ගේ දවසක් පැළ නැති හේනේ ගීතයෙන් ගායනය ආරම්භ කළ විමල් එක දිගට ගීත දහයක් පමණ ගැයුවේය.

විමල් ගීත ගැයුම අවසන් කළේ ඔහුගේ දියණිය සමඟ ගැයූ දම්පාටින් ලා සඳ බැස යනවා ගීතයත් සමඟිනි. විමල්ගෙන් මයික්‍රෆෝනය ලබා ගැනීම කොතරම් දුෂ්කර වීද යත් පියල් නිශාන්තට ගීතයක් ගයන්නට බොහෝ වේලාවක් බලා සිටින්නට සිදුවිය. ගීය ගයන්නට ගිය පියල්ට අවසානයේ සිදුවූයේ බොංගෝව වයන්නටය. බොංගෝ වයමින් සිටි පියල් විමල්ගෙන් පසුව ගීත දෙකක් ගැයුවේය. ඒ නම් ආදරේ රන් විමන් සහ කුණුඩුමනී යන ගීතය. පියල් කුණුඩුමනී ගිතය ගායනා කරන විට පවිත්‍රා සහ කාංචන නැටුමකින් ගීතය වර්ණවත් කළහ. එහෙත් සැමගේ සිත් ගත්තේ ප්‍රසන්න රණවීර සාදය ආරම්භයේ සිට අවසානය දක්වාම නැටූ නොන්ස්ටොප් නැටුමය.
මහින්දගේ සාදයට ප්‍රසන්නට එන්නට නොහැකි වූයේ විශේෂ කටයුත්තකට සහභාගි වීමට සිදුවීම නිසාය. එදින පෞද්ගලික රූපවාහිනි නාළිකාවක තිබුණු දේශපාලන සංවාදයක් සඳහා ප්‍රසන්නට ඇරැයුම් ලැබී තිබීම ඊට හේතු විය. ප්‍රසන්න දකින්නට නොසිටි නිසා මහින්ද ප්‍රසන්නට දුරකතන ඇමතුමක් ගත්තේය. "මොකද ප්‍රසන්න ආවේ නැත්තේ? මහින්ද ඇසුවේය.

"නැහැ සර් මට මේ දේශපාලන සංවාදයකට යන්න වෙලානේ" ප්‍රසන්න උත්තර දුන්නේය.
"ඒ වුණාට පොඩි වෙලාවකට හරි ඇවිත් ගියා නම් තමයි හොඳ" මහින්ද පැවැසීය.
"ඒක නම් ඇත්ත සර්, ඒ වුණත් මේවට නිකම්ම ගිහිල්ලත් බැහැනේ" ප්‍රසන්න උත්තර දුන්නේය.

පාසල් සිසුන් ලවා දේශපාලනඥයන්ට වන්දවන්න එපා
මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ උත්සවයකට 26දා සහභාගි වූ ජනමාධ්‍ය ඇමැති මංගල අපූරු කතාවක් කීවේය.
"පාසලට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් ළමයි වඳිනවා. මන්ත්‍රි ආවත් ළමයි වඳිනවා. කැබිනට් ඇමැති ආවත් වඳිනවා. දැන් මටත් බුලත් දීලා වැන්දා මම ගෙදර ගිහින් මොනවගේ නීති විරෝධී වැඩ කරනවද ඔයාලා දන්නවද? එහෙම නොදැන බලය හමුවේ කොන්ද නමන්න එපා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නයි ශිෂ්‍යයෝ පුරුදු වෙන්න ඕනෑ.

ආගමික ශාස්තෘවරුන්ට, පූජ්‍ය පක්‍ෂයට, ගුරුවරුන්ට, මවුපියන්ට, වැඩිහිටියන්ට වැඳ නමස්කාර කළාම හොඳටම ඇති".
ඉදිකිරීම් සම්මාන උළෙල

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවැති වර්ණවත් උත්සවයක් වූයේ බණ්ඩාරනායක සමරු සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති 2017 ජාතික ඉදිකිරීම් සම්මාන ප්‍රදානෝත්සවයයි. එහිදී තේමාවන් 6ක් යටතේ සම්මාන 32ක් පිරිනැමිණි. ආරාධිත අමුත්තන් වෙනුවෙන් සකස් කර තිබූ විශේෂ වීඩියෝ චිත්‍රපටයෙන් වත්මන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් මුහුණදී සිටින බරපතළ ගැටලු ගැනද අවධානය යොමු කර තිබිණි.
ඒ පිළිබඳ බෙහෙවින් සංවේදීව සිටි ජනාධිපතිවරයා කීවේ "සජිත්, ඉදිරි සති 2 ඇතුළත් මේ ගැටලු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන සාකච්ඡාවේදී ඒවාට විසඳුම් ලබා දෙන බව ඔයාගේ කතාවේදී එළිපිටම ප්‍රකාශ කරන්න" කියාය. මේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා නම් සර් ඒක ක්‍ෂේත්‍රයේ ඉන්න අයට ලොකු ශක්තියක්" සජිත් කීවේය. අනතුරුව සජිත් කීවේ "තවත් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින නිසා පිටරටින් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වන්න කොන්ත්‍රාත්කරුවෝ අවසර ඉල්ලනවා. මම ඒකට එකඟ නෑ.

මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඉදිකිරීම් වෘත්තීය පුහුණුව ලබාදීලා ඒ අයට අවස්ථාවක් ලබා දීමයි වැදගත්" කියාය. "බොහෝම හොඳයි" යනුවෙන් ජනාධිපතිවරයාද ඊට සිය එකඟතාව පළ කළේය. "ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ "ශිල්ප සවිය වැඩසටහන යටතේ අපි දැනමටත් 12,000කට ඉදිකිරීම් පුහුණුව ලබාදීලයි තිබෙන්නේ" සජිත් පැහැදිලි කළේය. "ඒ විතරක් නොවෙයි සර්, කර්මාන්ත සංවර්ධන අරමුදල ක්‍රියාත්මක කිරීමට මම දැන් අවුරුදු 3ක් තිස්සේ මහන්සි වුණත් ඒකට විවිධ බාධක එල්ල වෙනවා" යැයි සජිත් කියද්දී ජනාධිපතිවරයා ඇසුවේ "මොනවද ඔයා ඔය අරමුදලින් කරන්න සැලසුම් කරලා තිබෙන්නෙ?" කියාය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පුහුණුව: මූල්‍ය ප්‍රාග්ධනය ලබාදීම: පුහුණු වන ශිල්පීන්ට රක්‍ෂණාවරණයක් සැපයීම හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම වැනි අරමුදලේ ප්‍රධාන අරමුණු සජිත් පැහැදිලි කරද්දී ජනාධිපතිවරයා විමතිය පළ කරමින් කීවේ "අයියෝ, ඇයි මේක මෙච්චර පරක්කු වුණේ? ඒ ටිකත් අපි ඉක්මනින්ම කරමු" කියාය.
හැට පැන්න දිසාපතිවරු ගන්න එපා

ජනාධිපති මෛත්‍රි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමැති වජිර අබේවර්ධනගෙන් දිස්ත්‍රික් ලේකම්වරු පිළිබඳව විමසා සිටියේය. එහිදී ජනාධිපති කියා සිටියේ වයස අවුරුදු 60 ඉක්මවූ දිසාපතිවරුන් තුනකගේ කාලය දීර්ඝ කිරීම නිසා එම ක්ෂේත්‍රයේ නිලධාරීන් අප්‍රසාදය පළකරන බවයි. තරුණ නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම් තනතුරුවලට පැමිණීමට ඇති අවස්ථාව මෙමඟින් මඟ හැරී ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසුවේ එම දිසාපතිවරුන්ට සේවා දිගුවක් ලබාදුන්නේ පළාත් පාලන මැතිවරණය නිසා බවයි. "නැවත ලබාදෙන්නේ නැහැ."
ඉන්පසු අදහස් දැක්වූ ජනාධිපතිවරයා "නියමිත කාලයට විශ්‍රාම යෑමට නියමිත නිලධාරීන් අනිවාර්යයෙන්ම විශ්‍රාම යවන්න. ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත් මෙම නීතිය ක්‍රියාත්මක කරන්න. එවිට නවක පරපුරට අවස්ථාව උදාවෙනවා. මෙය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන්න" යැයි අවධාරණය කළේය.

මහින්ද තිරුපති යයි
පසුගිය අඟහරුවාදා මහින්ද හදිසියේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. ඒ තිරුපති කෝවිලෙහි පූජාවකට සහභාගිවීම සඳහාය. මහින්ද සමඟ ලොහාන් ඇතුළු සමීපතමයෝ පිරිසක්ද ඉන්දියාව බලා ගියහ.
පළාත් පාලන මැතිවරණයෙන් ලැබුණු ජනවරමට අනුව මහමැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජනරැලි මාලාවේ ප්‍රථම ජනහමුව නුගේගොඩ නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 07 වැනිදාය. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බදාදා සවස නෙලුම් මාවතේදී පැවැත්විණි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පළමු ජාතික රැලි මාලාව මෙය වේ. එබැවින් මැතිවරණයෙන් ලැබුණු ජනවරම ප්‍රදර්ශනය වන අයුරින් නුගේගොඩ ජනරැලිය සාර්ථක කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
"පසුගිය ඡන්දයෙන් මිනිස්සු මේ ආණ්ඩුවේ කකුල් සහ අත් කඩලා දැම්මා. දැන් තියෙන්නේ ඊළඟ ඡන්දෙන් ආණ්ඩුවේ බෙල්ලම කඩලා දාන්නයි" ප්‍රසන්න පැවැසුවේ කවුරුත් සිනහා ගන්වමිනි.

රෝයල් බාත් (අධරචත ඡචබඩ)
පසුගිය දිනවල බාත් ටබ් (ඡචබඩ බභඡ) ලෝකයම කත කළේය. ඊට හේතු වූයේ දකුණු ඉන්දියානු සුපිරි නිළි ශ්‍රී දේවිගේ අකල් මරණයට නාන බේසමක් සම්බන්ධ වීමය. මේ කතාවත් නාන බේසමක් ගැනය. මේ බේසම එසේ මෙසේ එකක් නොව ක්‍රි.ව. 1053 මෙරට රජකළ මහා පරාක්‍රම බාහු රජතුමා ස්නානය කළ මිල කළ නොහැකි පුරාවස්තුවකි. මෙම ශෛලමය බඳුන ඉකුත් සතියේ කිසියම් හේතුවක් නිසා බිඳ දමා තිබිණි. එම අපරාධය පිළිබඳ උරුම ලැදි සියල්ලන් කම්පා විය. එවැනි පෞරාණික නාන බේසමක් වී නම් එය මෙය පමණි. එය පැවැතියේ පොළොන්නරුව පුරාවිද්‍යා රක්‍ෂිතයේ පරාක්‍රමබාහු මාලිගයවූ වෛජයන්ති ප්‍රාසාදයට නොදුරෙනි. සඳුදා ජනාධිපති ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි. එහිදී පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මණ්ඩාවල 'රෝයල් බාත්' නම් පුරාවස්තුව විනාශ කිරීම ගැන හෙළි කළේය.


ජනපති:
කවුද ඒකට වගකිව යුත්තේ කෝ සංස්කෘතික ත්‍රිකෝණයේ අධ්‍යක්‍ෂ ඉන්නවද?
ප්‍රිශාන්ත ගුණවර්ධන (අධ්‍යක්‍ෂ ජනරාල් සංස්කෘතික ත්‍රිකෝණය)
මේ පුරා වස්තුව හානිවී තිබෙන බව ඇත්ත. ඒකට කවුරුන් හෝ හානි පැමිණුවා වෙන්නත් පුළුවන්. නමුත් මෙය මීට වසර ගණනකට ඉහත සංරක්‍ෂණය කළ එකක් කැබැලි එකතු කොට පිළියම් කිරීමේදී යොදන ලද සිමෙන්ති කල් ඉකුත් වීම නිසා පුපුරා යන්නත් ඉඩ තිබෙනවා.
ජනපති

හරි දැන් මෙය නැවත සංරක්‍ෂණය කිරීමට පියවර ගන්නවාද මොකද කරන්නේ පුරාවස්තුවලට හානි කරනවා නම් ඒ අයට විරුද්ධව නීති මඟින් කටයුතු කළ යුතුයි.
ප්‍රිශාන්ත
මේ ගැන සංස්කෘතික ත්‍රිකෝණය මඟින් කමිටුවක් පත්කර වාර්තාවක් ලබා ගන්නවා.
ජනපති
ඒක හොඳයි ඉක්මනින් එය කරන්න. සංරක්‍ෂණයේදී යොදාගත් සිමෙන්ති කල් ඉකුත් වීම නිසා නාන බේසම පිපිරුවා කියා එම වාර්තාවේ සඳහන් නොවේවායි ප්‍රාර්ථනා කරනවා.

පාසල් සිසුන් ලවා දේශපාලනඥයන්ට වන්දවන්න එපා
මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ උත්සවයකට 26දා සහභාගි වූ ජනමාධ්‍ය ඇමැති මංගල අපූරු කතාවක් කීවේය.
"පාසලට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් ළමයි වඳිනවා. මන්ත්‍රි ආවත් ළමයි වඳිනවා. කැබිනට් ඇමැති ආවත් වඳිනවා. දැන් මටත් බුලත් දීලා වැන්දා මම ගෙදර ගිහින් මොනවගේ නීති විරෝධී වැඩ කරනවද ඔයාලා දන්නවද? එහෙම නොදැන බලය හමුවේ කොන්ද නමන්න එපා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නයි ශිෂ්‍යයෝ පුරුදු වෙන්න ඕනෑ.

ආගමික ශාස්තෘවරුන්ට, පූජ්‍ය පක්‍ෂයට, ගුරුවරුන්ට, මවුපියන්ට, වැඩිහිටියන්ට වැඳ නමස්කාර කළාම හොඳටම ඇති".

ඉදිකිරීම් සම්මාන උළෙල
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවැති වර්ණවත් උත්සවයක් වූයේ බණ්ඩාරනායක සමරු සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති 2017 ජාතික ඉදිකිරීම් සම්මාන ප්‍රදානෝත්සවයයි. එහිදී තේමාවන් 6ක් යටතේ සම්මාන 32ක් පිරිනැමිණි. ආරාධිත අමුත්තන් වෙනුවෙන් සකස් කර තිබූ විශේෂ වීඩියෝ චිත්‍රපටයෙන් වත්මන් ඉදිකිරීම් කර්මාන්තකරුවන් මුහුණදී සිටින බරපතළ ගැටලු ගැනද අවධානය යොමු කර තිබිණි.

ඒ පිළිබඳ බෙහෙවින් සංවේදීව සිටි ජනාධිපතිවරයා කීවේ "සජිත්, ඉදිරි සති 2 ඇතුළත් මේ ගැටලු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන සාකච්ඡාවේදී ඒවාට විසඳුම් ලබා දෙන බව ඔයාගේ කතාවේදී එළිපිටම ප්‍රකාශ කරන්න" කියාය. මේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා නම් සර් ඒක ක්‍ෂේත්‍රයේ ඉන්න අයට ලොකු ශක්තියක්" සජිත් කීවේය. අනතුරුව සජිත් කීවේ "තවත් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පවතින නිසා පිටරටින් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වන්න කොන්ත්‍රාත්කරුවෝ අවසර ඉල්ලනවා. මම ඒකට එකඟ නෑ.

මේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඉදිකිරීම් වෘත්තීය පුහුණුව ලබාදීලා ඒ අයට අවස්ථාවක් ලබා දීමයි වැදගත්" කියාය. "බොහෝම හොඳයි" යනුවෙන් ජනාධිපතිවරයාද ඊට සිය එකඟතාව පළ කළේය. "ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ "ශිල්ප සවිය වැඩසටහන යටතේ අපි දැනමටත් 12,000කට ඉදිකිරීම් පුහුණුව ලබාදීලයි තිබෙන්නේ" සජිත් පැහැදිලි කළේය. "ඒ විතරක් නොවෙයි සර්, කර්මාන්ත සංවර්ධන අරමුදල ක්‍රියාත්මක කිරීමට මම දැන් අවුරුදු 3ක් තිස්සේ මහන්සි වුණත් ඒකට විවිධ බාධක එල්ල වෙනවා" යැයි සජිත් කියද්දී ජනාධිපතිවරයා ඇසුවේ "මොනවද ඔයා ඔය අරමුදලින් කරන්න සැලසුම් කරලා තිබෙන්නෙ?" කියාය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පුහුණුව: මූල්‍ය ප්‍රාග්ධනය ලබාදීම: පුහුණු වන ශිල්පීන්ට රක්‍ෂණාවරණයක් සැපයීම හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම වැනි අරමුදලේ ප්‍රධාන අරමුණු සජිත් පැහැදිලි කරද්දී ජනාධිපති විමතිය පළ කරමින් කීවේ "අයියෝ, ඇයි මේක මෙච්චර පරක්කු වුණේ? ඒ ටිකත් අපි ඉක්මනින්ම කරමු" කියාය.

හැට පැන්න දිසාපතිවරු ගන්න එපා
ජනාධිපති මෛත්‍රි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමැති වජිර අබේවර්ධනගෙන් දිස්ත්‍රික් ලේකම්වරු පිළිබඳව විමසා සිටියේය. එහිදී ජනාධිපති කියා සිටියේ වයස අවුරුදු 60 ඉක්මවූ දිසාපතිවරුන් තුනකගේ කාලය දීර්ඝ කිරීම නිසා එම ක්ෂේත්‍රයේ නිලධාරීන් අප්‍රසාදය පළකරන බවයි. තරුණ නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම් තනතුරුවලට පැමිණීමට ඇති අවස්ථාව මෙමඟින් මඟහැරී ඇති බව ජනාධිපති කියා සිටියේය. ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය වජිර අබේවර්ධන පැවැසුවේ එම දිසාපතිවරුන්ට සේවා දිගුවක් ලබාදුන්නේ පළාත් පාලන මැතිවරණය නිසා බවයි. "නැවත ලබාදෙන්නේ නැහැ."

ඉන්පසු අදහස් දැක්වූ ජනාධිපති "නියමිත කාලයට විශ්‍රාම යෑමට නියමිත නිලධාරීන් අනිවාර්යයෙන්ම විශ්‍රාම යවන්න. ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ටත් මෙම නීතිය ක්‍රියාත්මක කරන්න. එවිට නවක පරපුරට අවස්ථාව උදාවෙනවා. මෙය ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරන්න" යැයි අවධාරණය කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon