කුමට මෙරට අධිකරණය-නීතිය සහ විනිසුරන්

  👤  4469 readers have read this article !
2018-03-04

ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ජනතාව සිටින්නේ බලවත් අසංතෘප්තියෙනි.
යම්කිසි ගැටලුවකට අදාළ නීතිය හෝ පනත කුමක්ද යන්න හුදී ජනයා විසින් නොදත හැකි අතර නීතියේ පූජ්‍ය පක්‍ෂය වූ නීතිඥයන් විසින් පමණක් දත හැකි ධර්මයකි. ඇතැම් පනත්වල පිටපතක් සොයා ගැනීම කළුනික සොයා ගැනීම මෙන් අමාරුය. බොහෝ ගැසට් නිවේදන නිකුත් කළ බව හෝ දන්නේ ටික දෙනෙකි. පූර්වගාමී නඩු තීන්දු බන්ධනීය බලයකින් යුක්ත බව කියැවෙන නමුත් කුමන නඩු තීන්දුව කුමන අවස්ථාවේදී අදාළ වන්නේ දැයි කීම කුමන අවතාරය කුමන මිනීවළ ගාව සිටීදැයි කීම වැනි දුෂ්කර කාරියකි. දිසා අධිකරණය මඟින් දෙන ලද තීන්දුව වැරැදි බව අභියාචනාධිකරණය මඟින් කියූ පසු එම තීන්දුව වැරැදි නැතැයි ශේ‍ර්ෂ්ඨාධිකරණය කියයි. කොටින්ම කිසියම් නිශ්චිත ගැටලුවක් සම්බන්ධයෙන් වූ නීතිමය තත්ත්වය කුමක්දැයි නිශ්චිතව සොයා ගැනීම නිර්වාණ මාර්ගය සොයා ගැනීමටත් වඩා අමාරුය. මේවා පහසුවෙන් විසඳිය හැකි විස¼දන්නට වුවමනාවක් නැති ප්‍රශ්න බව අපේ නොදත්කම නිසා අපට සිතේ. අප රටේ පොදු නීතිය යැයි කියනු ලබන රෝම ලන්දේසි නීතිය, රෝමයෙන්ද ලන්දේසි රටෙන්ද ඉවත දමන ලද ලංකාවටත් ම්ලේච්ඡයන් විසූ දකුණු අප්‍රිකාවටත් පමණක් සීමා වූ පූජනීය වහල් හංවඩුවක් ලෙස නීති දේහයේ තැන්පත්ව ඇත.

සිවිල් නඩු විධාන සංග්‍රහ හා අපරාධ නඩු විධාන සංග්‍රහ නමින් නීති පොත් දෙකක් ඇති බවත් නඩු ඇසීමේ ක්‍රියා පටිපාටිය සිදුවන්නේ ඒවායේ සඳහන් පිළිවෙළට අනුව බවත් අප අසා ඇති නමුත් අවුරුදු දහයක් විස්සක් යන තුරු නඩුවක් ඉවර නොවන විදියට මේ නීති කෙටුම්පත් කළ විස්මිත මිනිසාගේ ඡායාරූපයක් එහි නොතිබීම අඩුවකි. අප සිවිල් නඩුවක් භාර දිය යුත්තේ කනිෂ්ඨ නීතිඥයකුට පමණි. නඩුව අවසන් වන විට ඔහු ජේ‍යෂ්ඨ නීතිඥයකු වී සිටින අතර පළපුරුදු නීතිඥයකු මුලදීම අල්ලා ගතහොත් නඩුව ඉවර වෙන්නට පෙර නීතිඥයාගේ මරණය සිදුවීම නිසා අවුල් රැසක් ඇති වේ. විත්තියට පෙනී සිට ඇලපිල්ලක, දිනයක හෝ බයට කියැවුණු වචනයක එල්ලී ශිල්ප දක්වන බාල දක්‍ෂ නීතිඥයන් මිස පැමිණිල්ලට පෙනී සිට නඩුවක් ගොඩනඟා චෝදනාවක් තරයේ ඔප්පු කරන්නට සමත් නීතිඥයන් සිටින්නේ ඉංගී්‍රසි චිත්‍රපටවල පමණි.
ර්චඨඪඵබපචබඥ හෙවත් මහෙස්ත්‍රාත් යනු ආදි කාලයේ රෝමයේ වහල් හිමියෙකි. අධිකරණ බලය ද ක්‍රියාත්මක කළ වහල් හිමි මහෙස්ත්‍රාත් ඉදිරියේ වචනයක් කතා කිරීම, කිවිසීම, කැසීම, පඩයක් යෑම තබා පසුපස හැරවීම පවා වහලාට දඬුවම් පැමිණවෙන බලවත් වරදක් විය. රෝමයෙන් යුරෝපයටත්, යුරෝපාකරයේ ලන්දේසී රටින් ලංකාවටත් පැමිණ, මෙහි බින්න බැස පාෂාණිභූත වූ මේ උසාවි සංස්කෘතිය ඉදිරියේ මේ විසි එක්වන සියවසේදීත් ජනතාවට පිළිපැදීමට සිදුව ඇති නිවට නියාලු, දීන චාරිත්‍ර වාරිත්‍ර අඩුම වශයෙන් ගෙදර හදන බල්ලකුගේ තත්ත්වය දක්වා හෝ උසස් කිරීමට කාලය එළැඹ තිබේ. මනුෂ්‍යත්වයට නිගාවක් වූ මෙම උසාවි සංස්කෘතිය කිසිදු දියුණු රටක අද ශේෂ වී නැත.

යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ලංකාවේ නොපවතින බවත් ඇත්තේ, රාජකීය අශ්ව කරත්තයක් වැනි කෞතුක යන්ත්‍රයක් පමණක් බවත් අපගේ නීති විශාරදයන් දන්නා නමුත්, ඒ බව නොදන්නා ලෙස සිටින්නේ, පවතින ක්‍රමවේදය තුළින් නීතිඥයන්ට යුක්තිය ඉෂ්ට වන බැවිනි. අප අතරින් ඕනෑම කෙනෙකුගේ ජීවිත කාලය තුළදී අපට යුක්තිය ප්‍රතික්‍ෂේප කෙරුණු අවස්ථා දහස් ගණනක් ඇත. එහෙත් උසාවි යෑම විසඳුමක් නොවන බව අපි හැමෝම දනිමු. අපට යුක්තිය ඉෂ්ට කළ හැකි කිසිදු ආයතනයක් රටේ නොපැවැතීම අපි අනන්ත උපේක්‍ෂාවෙන් ඉවසා සිටිමු. තමන් කිසිදු වරදක් නොකළ අවස්ථාවකදී පවා යුක්තියේ දේවාලයට යෑමේ භීතියෙන් මිඳීම සඳහා පමණක්, රථ වාහන පොලිස් නිලධාරියකුට කප්පම් නොගෙවූ එකම රියැදුරකුවත් මේ රටේ සිටීද? උතුරේත් දකුණේත් වරින් වර ඇතිවන කැරලිකාරී සංවිධානවලට තරුණයන් ආකර්ෂණය වීම සාධාරණීය කෙරෙන ප්‍රධාන හේතුවක් ලෙස යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් නොතිබීම නොසැලකිය යුතුද?

අධිකරණ කාර්ය පටිපාටිය අවභාවිත කරමින් දේශපාලන තරගකරුවන් හෝ පොලිසියේ තරහකරුවන් රිමාන්ඩ් සිර ගෙදර මාස ගණන් තැබීම කෘෘර අපරාධයක් වුවද පවත්නා ක්‍රමවේදය තුළ ඊට නෛතික ප්‍රතිකර්මයක් නැත. වන්දි නඩුකරයක් පැවැරීමට වින්දිතයකුට අයිතිය ඇති බව සැබෑ නමුත් එය පොල් බෑය අරන් දුවන බල්ලාට උම්බලකඩයෙන් දමා ගැසීම වැනි මෝඩකමක් පමණි.

අධිකරණ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ ගෞරවයක් ඇති වන්නේ එම ක්‍රියාවලියේ පාරදෘෂ්‍යතාවක් පවතින්නේ නම් පමණි. එතැන යුක්තිය ඉෂ්ට වන බව ජනතාව ඒත්තු යා යුතුය. අධිකරණය අවභාවිත කරනු ලැබීම විනිසුරුවන්ගේ වරදක් නොවන නමුත් සාමාන්‍ය මිනිසකුගේ හැඟීම වන්නේ තමාම අවභාවිත කරන්නට ඉඩ දෙන අධිකරණය යුක්තියේ උල්පතක් ලෙස නොසැලකිය හැකි බවයි.

අගමැතිවරයාගෙන් ප්‍රශ්න කරන්නට අවශ්‍ය වූ විට බැඳුම්කර කොමිසම ප්‍රශ්න ටික ලියා අගමැති වෙත යවා පිළිතුරු ගෙන්වා ගත්තේය. මෙය අතිශයින්ම සාධනීය හා නිර්මාණාත්මක පියවරක් බව අප පිළිගන්නා අතර එකී පහසුකම සාමාන්‍ය ජනතාවට ලබාදීමට මෙතරම් ප්‍රමාද වන්නේ ඇයි දැයි ජනතාවට කියා දීම නීති විශාරදයන්ගේ යුතුකමකි.

අද මෙරට නඩු ඇසීමේ කාරියෙන් වැඩි කොටසක් ඉටු කරනු ලබන්නේ නොයෙක් පන්නයේ වල් උසාවි විසිනි. මෙම වල් උසාවි සෑදී ඇත්තේ පොලිස් රාලහාමිලා, රජයේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, මැති ඇමැතිවරුන් සහ චණ්ඩින්ගෙනි. පිළිගත් උසාවි පද්ධතිය වසා දැමුවද මේ රටේ සාමාන්‍ය මිනිසාට එය දැනෙනු ඇතැයි සිතීම අමාරුය. මින් අදහස් වන්නේ උසාවි ටික ඇත්ත වශයෙන්ම වසා දැමිය යුතු බව නොව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඓන්ද්‍රීය වශයෙන් ජන ජීවිතයට බද්ධ වී නැති බවය.

පොට්ට නවුෆර්ගෙන් සංකේතවත් වන්නා වූ චණ්ඩි උසාවි ක්‍රමයේදී පොට්ට නවුෆර්ලා ගොස් බලෙන් නඩු අල්ලා ගන්නේ නැත. මෙරට ජනතාව සිය කැමැත්තෙන් ගොස් නඩුව භාර ගන්නා ලෙස පොට්ට නවුෆර්ලාට ආරාධනා කිරීමයි සිදුවන්නේ. ජනතාව අධිකරණය කෙරේ තබා ඇති විශ්වාසයේ තරම මෙයින් පැහැදිලි වෙයි. දේපළ නඩුවකදී පොට්ට නවුෆර් විනිසුරු තුමාලා ගනුදෙනුවෙන් සියට විසි පහක පමණ ගාස්තුවක් ගනිති. උසාවි ගියොත් ඉතුරු වන්නේ සියට විසි පහක් නිසා ඒක ලාභයි. පසුගියදා රන්ජන් රාමනායක හරහා ප්‍රකාශ වූයේ මේ ජනතා වික්ෂෝපයයි. ඔහු උසාවියට අපහාස කළේද යන්න අපට අදාළ නැති ප්‍රශ්නයකි. ඔහු උසාවියට අපහාස කළත් නැතත් මේ පාෂාණීභුත වූ අයුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය කෙරේ ඔහු තුළ ඇති විරෝධය ද ඔහුගේ වචන තුළ ගැබ්ව තිබිණි. රන්ජන් රාමනායක කුමන දිශාවලින් කුමන පරිමාණයකට දූෂණය වී ඇත්දැයි අපි නොදනිමු. එහෙත් බලු වමනයක් වැනි අපේ අධ්‍යාපනය විසින් දූෂණය කරන ලද හිසක් නොමැති වීම වැදගත්ය.

යාපා ඩයස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon