කුමාර කස්සප හිමියන් ශරීරයෙන් ජීවයක් නික්ම යන බව පිළිගත් හැටි

  👤  4455 readers have read this article !
2018-03-04

ඔබ දන්නේ නැතිව වන්නට පුළුවන. අන්තරා පරිනිබ්බායි පුද්ගලයා හඳුනා ගැනීමට ඉවහල් වන සූත්‍ර දෙකක් ඇත. එයින් එක් සූත්‍රයක අන්තරා පරිනිබ්බායි පුද්ගයාගේ භවපටිලාභිය සංයෝජන ප්‍රහීණ නැතැයි සඳහන් වේ. අනික් සූත්‍රයෙහි ඔහු භවය හෝ සම්භවය හෝ ප්‍රාර්ථනා නොකරන බව කියා තිබේ. අන්තරා පරිනිබ්බායි යන නමෙහි "අන්තරා" යනු ඇත. ඔහු ගැන සඳහන් වන සුත්‍ර දෙකක "භව" යනු ඇත. මේ නිසා මේ තත්ත්වය හැඳින්වීම සඳහා "අන්තරාභව" යන වචනය සුදුසුය. අන්තරාභවයෙහි සිටින පුද්ගලයා හැඳින්වීම සඳහා ගන්ධබ්බයා, සම්භවේසියා, අන්තරාභවිකයා යන කවර නමක් වුවද යෙදිය හැකිය. වැදගත් වන්නේ වචනය නොව එයින් ගැනෙන සංකල්පයයි.

අන්තරාභවිකයාගේ සියුම් සිරුර ඊළඟ ආත්මභාවයේ දී ඊට ගැළපෙන ආකෘතියක් ගන්නා බව පෙනේ. අන්තරාභවිකයාට පූර්වකාල භවාකෘතිය ඇතිවන්නේ ඒ නිසාය. ආකෘතිය වෙනස් වෙමින් යන මේ මනෝමය කායයේ පැවැත්ම කාම රූප යන ලෝක දෙකෙහිම දිගට යතැයි නිගමනය කළ යුතු වේ. යෝගාචාරිකයන් කාම රූප යන ආයතන දෙකෙහිම අන්තරාභවයක් පිළිගෙන ඇත්තේ මේ නිසා විය හැකිය. අරූප ලෝකයට යන්නා පැරැණි සැවයක් අතහරින නයකු සේ මේ මනෝමය කායය අතහරින බව පෙනේ. මෙහිදී "සංවත්තනික විඤ්ඤාණය" ඉතිරි වෙයි.

පරදත්තූපජීවීන් වශයෙන් සැලකෙන්නේ බලගතු පින් ද බලගතු පව්ද නොකළ පුද්ගලයෝය. යම රජුගේ නඩු තීන්දුව ලබන්නේ පව් අඩුවෙන් කර ඇති පුද්ගලයනැයි මනෝ රථ - පූරණී, පපඤ්ච සූදනී යන අටුවා දෙකේම දේවදූත සුත්ත වණ්ණනාවෙහි සඳහන් වෙයි. නොයෙක් මිනිස් සමාජයන්හි මිනිසකු මැරී යමරජු වෙත ගොස් නැවත ඒ සිරුරටම පැමිණීම් පිළිබ¼ද පුවත් වාර්තා වී ඇත. මෙසේ නැවත ආපසු පැමිණිය හැකි වන්නේද චුතියත් සමඟ ම අමුතු උපතක් සිදු නොවන නිසාය.

ජෛන ආගමට අනුව ආත්මය වශයෙන් ගෙන ඇත්තේ මේ මනෝමය කායයම බව පෙනේ. ජෛනයෝ ඒ ඒ සත්ත්වයාගේ ආත්මය ඒ ඒ සිරුරේ ප්‍රමාණයට
අනුව වෙනස් වන බව කියති. මේ කියමන මනෝමය කායය සම්බන්ධයෙන් සත්‍ය වන බව පෙනේ. දීඝ නිකායේ පායාසි සූත්‍රය කල්පනාවෙන් කියවන්නකුට සිහින දකින මිනිසාගේ "ජීවය" සිරුරෙන් පිටවී යතැයි කුමාර කාශ්‍යප හිමියන්ද පායාසි රාජයාද පිළිගෙන සිටි බව පෙනෙනු ඇත. සිහින දකින්නේද මනෝමය ආත්මයෙන් බව ඉහත සඳහන් කරන ලදී. ජෛනයන් ආත්මය සඳහා යොදන "ජීවය" යන පදය මේ සූත්‍රයේ තිබීම වැදගත්ය. පායාසි සූත්‍රය ජෛන සම්බන්ධතාද දක්වන සූත්‍රයකි. සංයුක්ත නිකායෙහි චිත්ත සංයුත්තයෙහි (ඉ. ඪම. 298) සඳහන් වන නිගණ්ඨනාථපුත්ත හා චිත්ත ගෘහපතියා අතර ඇති වූ සාකච්ඡාවකින් නිගණ්ඨනාථපුත්ත ද්විතීය ධ්‍යානය ගැන දැනීමක් නොතිබූවකු බව හෙළි වෙයි. මේ සාකච්ඡාවේදී නිගණ්ඨනාථපුත්ත, විතක්ක චිචාර දෙකින් තොර සමාධියක් ඇතැයි චිත්ත ගෘහපතියා අදහනවා දැයි අසයි. තමාම ඊට සමවදින්නට සමත් හෙයින් ඒ පිළිබඳ ඇදහීමක් නොව දැනීමක්ම තමාට ඇතැයි චිත්ත ගෘහපතියා කියයි. මේ අනුව ද ජෛනයන් පිළිගෙන ඇති ආත්මය මේ මනෝමය කායයම බව නිගමය කළ හැකිය. මේ කරුණු ගැන සලකා බලන විට හින්දු සමයත්, බුදු සමයත් ආධ්‍යාත්මික ගවේෂණයෙන් ජෛන සමයට වඩා ඉදිරියට ගොස් ඇති බව කිව හැකිය.

මීළඟට පැන නඟින්නට ඉඩ ඇති වැදගත්ම ප්‍රශ්නය නම් අන්තරාභවයක් පිළිගන්නා වූ බෞද්ධයා බුදු සමයේ ප්‍රතික්ෂිප්ත වන ආත්මවාදය භාර ගත්තෙක් නොවන්නේ ද යනුය. "නොවේය" යනු මගේ කෙටි පිළිතුරයි. මෙය පහදා දිය යුතුය. මේ ප්‍රශ්නය නඟන්නේ ම කොතැනක හෝ ඇති වරදවා වටහා ගැනීමක් නිසාය යනු මගේ කල්පනාවයි. බොහෝ දෙනකු සිතන්නට පුරුදුව ඇත්තේ බුදු සමය අනාත්මවාදී වන්නේ මිනිසකු මැරී ඊළඟ උපතට යන කඩ හන්දිය පිළිබඳ විවරණයේදී පමණක්ය කියාය. මිනිසාගේ මෙලොව ජීවිතය පිළිබඳ විවරණයේත් බුදු සමය ආනාත්වාදීය. මිනිසකු තැනින් තැනට යමින් අවුරුදු හැට හැත්තෑවක් ජීවත්වන බව අපි දනිමු. බුදුරජාණන් වහන්සේත් මිනිස්සු එසේ කලක් ජීවත් වන බව වදාරා තිබේ. ඇතැම් කාලවලදී මිනිසුන් අවුරුදු දහස් ගණන් ජීවත් වන බවද ඇතැම් සූත්‍රවල සඳහන් වෙයි.

පුබ්බේනිවාසානුස්සතිය විස්තර කරන සූත්‍රවල දී මිනිසකු තම ගමින් නික්ම වෙනත් ගමකට ගොස් හැන්දෑවේ තම ගමට අවුත් එදින ආ ගිය තැන් සිහි කරන්නා සේ යෝගාවචරයා තමන්ගේ පෙර ආත්මභව සිහි කරන බව කියා තිබේ. මේ විස්තරයේදී යෝගාවචරයා "මම අසවල් ආත්මභවයේදී අසවල් තැන උපන්නේ වීමි. එහිදී මෙබඳු ස්වරූප ඇත්තේ වීමි. එතැනින් චුත ව අසවල් තැනට පැමිණියෙමි. එහිදී ද මෙබඳු ස්වරූප ඇත්තේ වීමි." යනාදී වශයෙන් සිහි කරන බව කියා තිබේ. බෝධි සත්ත්වයන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදු වූ බව ථෙරවාද සම්ප්‍රදායයේ දහම් පොත්වලද සඳහන් වේ. ඇතැම් බ්‍රහ්මලෝකවල ආයු කාලය කල්ප ගණනින් මැනිය යුතු බවද අපේ ම දහම් පොත්වල සඳහන් වෙයි. මේ පිළිගැනීම් තිබෙන බෞද්ධයා ආත්මවාදය භාර ගත්තෙක් නොවන්නේ නම් අන්තරාභවය පිළිගන්නා වූ බෞද්ධයා ද ආත්මවාදියකු විය යුතු නොවේ.

සියලු ආත්මවාද සංග්‍රහ කොට දැක්වෙන පාඨයක් බන්ධ සංයුත්තයෙහි එයි. ඒ මෙසේය. "යේ කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්මණා වා අනේක විහිතං අත්තානං සමුනාපස්සමානා සමනුපස්සන්ති සබ්බේ තේ පඤ්චුපාදානකඛ‍ෙÂධ සමනුපස්සන්ති. ඒ තේසං වා අඤඤතරං" (ඉ. 111. 46) මෙයින් කියැවෙන්නේ ආත්මයක් දක්වන්නාවූ හැම මහණ බමුණකුම පඤ්චුපාදානකඛÂධයම හෝ ඉන් එකක් හෝ ආත්මය වශයෙන් දක්වන බවය. අන්තරාභවයේ සිටින මනෝමය කායයෙන් සිටින පුද්ගලයා ද සියුම් වූ නමුදු උපදානක්කÂධ සන්තතියක් වශයෙන් සැලකිය යුතු වේ. ආත්මවාදයක් වන්නට නම් මේ මනෝමය ආත්මභාවය සාර වශයෙන් හෝ නිත්‍ය වශයෙන් හෝ සැලකිය යුතුවේ. මේ ලක්ෂණ දෙකින් ආත්මවාදයකට වැඩිපුර අවශ්‍ය වන්නේ සාර වශයෙන් සැලකීමය. උච්ඡේදවාදියකුට ආත්මවාදියකු විය හැක්කේ මේ නිසාය. 6 වැනි පරිච්ඡේදයේ දී බ්‍රහ්මජාල සූත්‍රයෙන් ගෙන හැර දක්වන ලද උච්ඡේදවාද විමසා බලන විට මේ බව පැහැදිලි වනු ඇත. මේ උච්ඡේදවාද හැම එකකදීම ආත්මයක් පිළිගෙන එය කිසියම් අවස්ථාවක දී සම්පූර්ණයෙන්ම විනාශයට පත්වේ යයි කියනු ලැබේ.

සැකසුම - එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon