ඊජිප්තුවේ ඉතිහාසය යළිත් ලියන්නට සිදු වෙයිද?

  👤  5476 readers have read this article !
2018-03-04

මරණයෙන් සදාතනිකත්වයට පත් වේදනාවේ බිහිසුණු දෝංකාරයේ සැබෑ අනන්‍යතාව, ඊජිප්තුවේ ඩෙයර් එල් - බහාන්හි සුසානයකින් අසාමාන්‍ය ආකාරයේ මෘත ශරීරයක් ගොඩ ගැනෙන තෙක්ම, ශත වර්ෂයකට අධික කාලයක් තිස්සේ පුරාවිද්‍යාඥයන්ට ගැටලුවක්ව පැවැතියේය. 'මොර දෙන මමිය' යනුවෙන් හැඳින්වන මේ මළ සිරුර වැන්නක් මීට පෙර කවදාවත් දක්නට නොලැබුණු බවත්, මෙහි දෑත් දෙපා සම් පටිවලින් බඳින ලදුව මුළු සිරුරම බැටළු සමකින් ඔතන ලද බව මෙන්ම සිරුරේ පැවැති අපවිත්‍රතාවක් නිසා එසේ ඔතන්නට ඇතැයි සිතිය හැකි බවත් විශේෂඥයෝ කියති. මළ සිරුරේ මුඛය ඉතා පළල්ව විවර වී තිබුණු හෙයින් බලහත්කාරයෙන් වස පෙවීමෙන් ඝාතනය කෙරුණු පුද්ගලයකුගේ මළ සිරුරක් විය හැකි බවද විශේෂඥයෝ සඳහන් කරති.

අවුරුදු ගණනක් තිස්සේ හුදෙක් අනුමානයටම පමණක් හේතු වී තිබුණු මේ අසාමාන්‍ය මළ සිරුර තුන් වැනි රැම්සස් රජුගේ අපකීර්තිමත් පුත්‍රයාගේ බවත් පියා මැරීමට කුමන්ත්‍රණ කිරීමේ වරදට පුත්‍රයා එල්ලා මරන ලද බවත් මෑතදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වූ බවත් අදාළ විශේෂඥයෝ පෙන්වා දෙති. ඊජිප්තු පුරාවස්තු භාර අමාත්‍යාංශය කියන පරිදි මේ මළ සිරුර රාජකීය ගෞරවයට බොහෝ සෙයින් සමීප ආකාරයකින් මිහිදන් කරනු ලැබ ඇත. මෙම දේහය, කයිරෝහි ඊජිප්තු කෞතුකාගාරයෙහි මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත්ව තිබේ. සිරුර අයත් පුද්ගලයා වස පොවා මරන ලද්දෙකැයි කලින් සැලකුණු නමුත් මළ සිරුරේ ගෙලෙහි වූ සලකුණුවලින් අනාවරණය වූයේ එය එල්ලා මරන ලද්දකුගේ සිරුරක් බවය. සිරුර සොයා ගැනුණේ 1886දීය.

"අප්‍රකට - ඊ - මිනිසා' යනුවෙන්ද හැඳින්වෙන මේ මළ සිරුර සමඟ බැඳෙන සිද්ධිය තුන් වැනි රැම්සස් නම් පාරාවෝ රජුගේ දෙවැනි බිසව වූ ටීයෝ සහ ඔහුගේ පුත් පැන්ටවර්ද රජු මැරීමට කළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් 'හේරම් කුමන්ත්‍රණය' යනුවෙන් ලියැවුණු ලේඛනයකද දැක්වෙන බවත් මෙම ගවේෂණයේදී අනාවරණය විය.
හඳුනා නොගැනුණු මමියේ සහ තුන් වැනි රැම්සස්ගේ මමියේද අස්ථිවලින් ගන්නා ලද ජනකාණු බන්ධන (ච්ව්ඒ) පරීක්ෂණයෙන්, 'මොර දෙන මමිය' අයත් පුද්ගලයා තුන් වැනි රැම්සස්ගේ පුතා බව තහවුරු වී යැයි අහ්රාම් වෙබ් අඩවියෙන් වාර්තා විය. ඊජිප්තු වෙළෙඳ හා පුරාවස්තු පිළිබඳ හිටපු අමාත්‍ය ශාහි හවාස් විසින් ආරම්භ කරන ලද 'ඊජිප්තු මමී ව්‍යාපෘතිය' නිසා නොවේ නම් 'මොර දෙන මමිය' පිළිබඳව අතිදීර්ඝ කාලයක් තිස්සේ පැවැති අබිරහස අනාවරණය නොවන්නට ඉඩ තිබිණි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙහිලා තමාගේ අරමුණ වූයේ ඊජිප්තු කෞතුකාගාරයෙහි තැන්පත්ව තිබෙන මමීවලට අදාළ අධිකරණ වෛද්‍ය විද්‍යානුකූල තොරතුරු ඇතුළත් සම්පූර්ණ දත්ත පදනමක් නිර්මාණය කිරීම යැයි ශාහි හවාස් 'අල් - දහ්රාම්' පුවත්පතට පැවැසීය.

තුන් වැනි රැම්සස් රජුගේ ඝාතනය අතිශය කෘෘර අන්දමින් සිදුවූවක් සේ සැලකෙන අතර, ඊට අදාළ බොහෝ රහස් කරුණු ඒ වටා තවමත් මතු වෙමින් තිබේ. ඔහුගේ උගුර සිදුරු කොට පයේ මාපටැඟිලි කපා දමන ලද බව සී.ටී. ස්කෑන් පරීක්ෂණයෙන් අනාවරණයවී ඇත. කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගන්නා ලද නමුත් නඩු විභාගයක් පිළිබඳ විස්තර අනාවරණ වී නැති බවත් තුන් වැනි රැම්සස් මිය ගියේ එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන්ද නැද්ද යන්න ප්‍රකාශ වී නැති බවත්, පැපිරස් ලේඛනවල සඳහන් යැයි පුරාවස්තු භාර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

තුන් වැනි රැම්සස්ගේ භාර්යාවන්ගෙන් කෙනකු වූ ටීයේ, ඔහුට දාව ඇගේ කුසෙන් උපන් පුතා පැන්ටවර් සිහසුනට පත් කරනු පිණිස ඇය සැමියා ඝාතනය කළ බව පැරැණි ලේඛනවලින් අනාවරණය වී තිබේ. පැන්ටවර් ඔහුගේ අඹ සොහොයුරු (රැම්සස්ට දාව ඔහුගේ අනෙක් බිසවකගේ කුසෙන් උපන් දරුවා) අමන්හර් - කෙපශෙෆ්ට වඩා වයසින් අඩු වුවද ටීයේ බිසව ඇගේ පුතාට (පැන්ටවර්) සිහසුන භාර දෙනු පිණිස රජ මැඳුරේ සේවකයන්, පරිපාලන නිලධාරීන් හා වෙනත් අයගේද සහාය ඇතිව සැමියා -

තුන් වැනි රැම්සස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කර ඇත. ප්‍රහාරකයන් කීපදෙනකු නොයෙක් අවි රැගෙන අවුත් එකවර පහර දී තුන් වැනි රැම්සස් මරා දැමු බව, රාජකීය පවුල සම්බන්ධයෙන් මෑතදී කරන ලද පර්යේෂණයකදී අනාවරණය විය. කුමන්ත්‍රණයෙන් සිහසුන අහිමි කරන ලද අමන් - හර් - කෙපශෙෆ් 4 වැනි පාරාවෝ වශයෙන් රජ වූ පසු ඔහු ටීයේ බිසව හා පැන්ටවර් කුමරාද ඇතුළු කුමන්ත්‍රණකරුවන් සියලු දෙනාට එරෙහිව නඩු පවරා ඔවුන් මරා දැම්මේය. ඊජිප්තු වේදඥ ශාහි අවාස් සහ කයිරෝ විශ්වවිද්‍යාලයේ විකිරණ විද්‍යාඥ සාහාර් සලීම් විසින් ඉජචදදඪදඨ බඩඥ ර්ථීඩචපචධඩඵ: ඛ්ඊ ධ්ථචඨඪදඨ ධට බඩඥ ව්ඥඹ ම්ඪදඨඤධථ අධරචත ර්භථථඪඥඵ යනුවෙන් ලියන ලද ග්‍රන්ථයෙහි, පාරාවෝ මමී සම්බන්ධයෙන් මෑතදී පැවැත්වුණු පර්යේෂණ පිළිබඳ විස්තර දැක්වෙයි. 'ලයිව් සයන්ස්' (ඹ්ඪමඥ ඉජඪඥදජඥ) සඟරාවෙහි සඳහන් පරිදි මමී පිළිබඳ පර්යේෂණවල යෙදුණු විද්‍යාඥයන්ට තුන් වැනි රැම්සස් පාරාවෝ රජු මැරීම සඳහා ක්‍රියාත්මක කරන ලද කුමන්ත්‍රණය පිළිබඳ සාධක සපයා ගැනීමට හැකි වී තිබේ. ඒ සඳහා ඔවුහු පරිගණක ගත විකිරණ රේඛන තාක්ෂණය උපයෝගි කර ගත්හ. රැම්සස් රජුගේ අවසානය දැක්වීම සඳහා මෙම කෘතියෙහි යෙදී ඇත්තේ 'රාජකීය බෝට්ටුව උඩු යටිකුරුව පෙරළුණෝය' යන අර්ථය දක්වන ගුප්ත පාඨයකි. රජුගේ මළ සිරුර එම්බාම් කළ සේවකයන් පවා, එහි වූ තුවාල හිතාමතාම වසා දැමීමෙන් කුමන්ත්‍රණයට හවුල් වී ඇති බවද මෙම පොතේ සඳහන් වෙයි.

තුන් වැනි රැම්සස් රජුගේ මමීකෘත දේහය වෙනුවෙන් දෙපිරිසක් ක්‍රියාත්මක වූ බවත් ඉන් එක් පිරිසක් එය බැහැර කිරීමේ ප්‍රයත්නයක යෙදුණු අතර අනෙක් පිරිස එය ආරක්ෂා කර තබා ගැනීමේ උත්සාහයක් දැරූ බවත් නිව්යෝර්ක්හි ලෝං අයිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ බොබ් බ්‍රයර් නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවට ප්‍රකාශ කෙළේය. ඒ 2008දී ඔහු මමිය පරීක්ෂා කිරීමෙන් පසුවය. තුන් වැනි රැම්සස් පාරාවෝ මමිය දැන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෑතදී ආපසු එවන ලද රන් ආලේපිත මුඛාවරණයක් හා පබළු ඇල්ලුණු ශව වස්ත්‍රයක්ද සමඟ ඊජිප්තුවේ කයිරෝ කෞතුකාගාරයෙහි තැන්පත්ව තිබේ.

පරිවර්තනය - ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon