ආගිය අතක් නැති වෙයිද?

  👤  3631 readers have read this article !
2018-02-25

පළාත් මැතිවරණයෙන් සති දෙකකට පසු එජනිස - එජාප සම්මුතිවාදී ආණ්ඩුව යළි ගමන් අරඹා තිබේ. මැතිවරණයට පෙර ජයග්‍රහණය සඳහා එකිනෙකාට පහර එල්ල කර ගැනීමෙන් සහ මැතිවරණයෙන් පසු පරාජය එකිනෙකා මත පැටවීම සඳහා ප්‍රහාර දියත් කිරීමෙන් ජාතික ආණ්ඩුවේ සම්මුතිය මුළුමනින්ම බිඳ වැටී තිබූ බව රහසක් නොවේ.
අංශක 360—ක සම්පූර්ණ වටයක් කරකැවී දැන් නැවතත් මුලින් සිටි ස්ථානයට ඔවුන් පැමිණ සිටින්නේ විකල්ප මාවත් සියල්ල බිඳවැටී අසාර්ථක වූ තන්හි බව සියල්ලෝ දනිති. අලුත් ආණ්ඩුවක් හැදීමේ වියරු සහගත උපමාරු අවසන් මොහොතේ ඔවුන් විසින්ම හකුළා ගනු ලැබ ඇත්තේ ජාතික ආණ්ඩුව බිඳ දමා රට අස්ථාවර නොකරන ලෙස ජාත්‍යන්තරයෙන් සිදුකළ තරවටුව නිසා වන්නට ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දයක් ඉල්ලා මතු කළ උද්ඝෝෂණයද කෙමෙන් හීන වී ගියේද යථෝක්ත කාරණය නිසාම විය යුතුය.

ආණ්ඩුවේ කාල සීමාවෙන් තවත් වසර දෙකකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී දැන් නැවත මුල සිට පටන් ගන්නට සිදුවී තිබේ. පටන් ගත යුත්තේ කොතැනින්ද..? කළ යුත්තේ කුමක්ද..? යන අතිශයින්ම වැදගත් සංකීර්ණ ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනාට සිදුවනු ඇත.

2015 අගෝස්තුවේ ඔවුන් ජනතාව හමුවේ තැබූ පොරොන්දු හා ප්‍රතිඥා තවදුරටත් වලංගු නොවන බව ප්‍රථමයෙන් වටහා ගත යුතුය. කොටින්ම කියතොත් යහපාලනයේ ඉහිරුණු කිරට දැන් හඬා පලක් නැත. දූෂණය, මානව හිමිකම් උල්ලංඝනය හා ප්‍රජාතන්ත්‍රවාදය යන සටන් පාඨවල වැදගත්කම හීනවී තිබේ. ඒවා බලයට පත්වීම පිණිස යොදා ගන්නා ආධාරක මිස ඉන් එපිට වැදගත්කමක් නැති බව ලංකාවේ ජනතාවට ඒත්තු ගන්වන ලද්දේද ජනාධිපති මෛත්‍රිපාල සහ අගමැති රනිල් මහත්වරුන් විසිනි. දූෂණ විරෝධය මැතිවරණ ව්‍යාපාරයක සටන් පාඨයක් පමණක් බවට ඔවුන් විසින් ලඝු කරන ලද නිසාම 2018දී ජනතාව එය ප්‍රතික්ෂේප කර ඇත.

මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම ඉන් ප්‍රධානය. රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් තිබේ. ආණ්ඩුව 2022 දක්වා වසරකට ඩොලර් බිලියන 3.6 බැගින් වූ ණය වාරික ආපසු ගෙවිය යුතුය. ආර්ථික වර්ධනය පහත වැටී ඇති අතර ජාත්‍යන්තර පොලී අනුපාත අධික වන නිසා විදේශ අරමුදල් පිටට ගලා යනු ඇත. දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදයක් කරා ඔඩුදුවනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අනතුරු ඇඟවූයේ ඒ නිසාය.

මෙහිදී ප්‍රධාන දේශපාලන පක්ෂ මුහුණ දෙන බරපතළ ගැටලු වන්නේ ආර්ථික අර්බුදය පාලනය කරගැනීම උදෙසා කිසිදු පක්ෂයකට පැහැදිලි විකල්ප මාවතක් නොවීමය. අර්බුදයේ බර මහජනයාගේ වියදමින් පියවා ගැනීම ඉදිරියටත් ආණ්ඩුවේ විකල්ප ක්‍රියාමාර්ගය වනු ඇත. එය එසේ නම් භාණ්ඩ මිල ඉහළ යෑම වළකනු බැරිවා මෙන්ම සහනාධාර කප්පාදුවටද ඉදිරියේදී ජනතාවට මුහුණ දීමටද සිදුවනු ඇත. මැතිවරණ සමයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් වැළැකෙන ලෙස මැතිවරණ කොමිසම කළ ඉල්ලීමට කම්කරු පන්තිය ඇහුම්කන්දුන් බව පෙනිණි. විදුලි බල, ජල, තෙල්, සෞඛ්‍ය, තැපැල්, වරාය හා වතු කම්කරු වෘත්තීය සටන් තාවකාලිකව හකුළා ගනු ලැබූ බව මතක් කර ගත යුතුය.

රටට ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය වනුයේ තීරණාත්මක ජාතික ප්‍රශ්නවලට විසඳුම් කඩිනමින් ලබාදිය යුතු නිසාය. දික්කසාද නඩුව ෆයිල් කර එක ගෙයි වෙසෙන ජෝඩුව මෙන් දෙන්නා දෙපැත්ත බලාගෙන මේ කිසිදු ප්‍රශ්නයකට විසඳුම් සෙවිය නොහැකිය. මේ අවුරුදු එකහමාරවත් ආණ්ඩුව ආණ්ඩුවක් හැටියට නොකළොත් 2020දී ආගිය අතක් හොයාගන්නට නැතිවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon