රහස් කුමන්ත්‍රණ

  👤  4755 readers have read this article !
2018-02-23

මෛත්‍රිගේ බලපෙරළියට සම්බන්ධ නායකයෝ දස අතේ දුවමින් රටට සේවය කරන්නටත් වඩා වෙහෙස මහන්සි වෙමින් බලය රැකගන්නට හැම ගේමක්ම ගහන්න මෙසේ රොද බැඳගත්හ. දැනගන්නට ලැබුණ සමීපතම ආරංචි මාර්ගවලට අනුව මෛත්‍රිට තේ එකක් බොන්න, බත් ටිකක් කටට දාගන්න ඉඩක් නොලැබෙන ගාණට "අලුත් ආණ්ඩු පෙරළියේ" ක්‍රියාධරයෝ යුහුසුලු වී ඔහු වටා සිටියහ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිසා තවමත් රට අවුලකය, වියවුලකය. ඒ නිසාම රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙලාය කියා දසතින් ඇසෙන වෙලාවකි.
"කවුද අගමැති? කවදද අලුත් ආණ්ඩුව?" කියා කතාබහ වෙන වේගය දැන් තරමක් අඩුවී ඇතත් පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටිය නම් තවමත් එහෙමය.
"ශ්‍රීලනිපයට අගමැතිකම ඕනෑ. බහුතරයේ 113 අපි පෙන්වනවා. යූඑන්පියට අකුළාගෙන යන්න කියනවා"ය කියන වහසිබස් ඕනෑ තරම් තිබුණේය. එහි ප්‍රබලයන් ලෙස පෙනුණේ මෛත්‍රිට ආණ්ඩුවේ බහුතරය හදාගන්න අත දුන්නා යැයි කියන මැති ඇමැතිවරුන්ය. ඒ අතර සිටි යූඑන්පියෙන් පැන්න, රනිල් එක්ක වෛර බැඳගත්ත, මහින්ද එක්ක රහසින් ගනුදෙනු කරන කිහිපදෙනකුද සිටියේ තිරය පිටුපස දේශපාලන පෙරැළියක් මවමිනි.

"රනිල් එළවන එක අනිවාර්ය කාරණාවක්. අපිට ඒකාබද්ධයෙන් කට්ටියක් ගන්නත් පුළුවන්. යූඑන්පියෙන් කට්ටියත් හරි. ගේම ගහන එක අමාරු නෑ. ලොක්කව දැනුවත් කරමු. මේ පාර හරියට ගැටේ ගහමු" ය කියලා මේ පිරිස තැන තැන සමූහ වශයෙන්ද, කුඩා කණ්ඩායම් වශයෙන්ද කතා දමන්නට පටන් ගත්තේ වැඩේ හරිය කියලාය.
ඒකාබද්ධයේ වැඩි පිරිසකගේ මතය කෙසේ වුවද ප්‍රබලයන් කිහිපදෙනකු, හීන් සිරුවේ හොඳ රඟපෑමක නිරත වුණේ තම තමන් මුදුනා වෙමින් ජයගන්නා අටියෙනි.
"හරි! ඒකාබද්ධයේ කට්ටියයි මෛත්‍රිගෙ කට්ටියයි රනිල්ට විරුද්ධ පනින්න ඉන්න කල්ලියයි එකතු වෙලා ආණ්ඩුව හැදෙන වැඩේ කරනවාමයි" එහෙමත් කියැවුණේය.
මෛත්‍රිගේ බලපෙරළියට සම්බන්ධ නායකයෝ දස අතේ දුවමින් රටට සේවය කරන්නටත් වඩා වෙහෙස මහන්සි වෙමින් බලය රැකගන්නට හැම ගේමක්ම ගහන්න මෙසේ රොද බැඳගත්හ. දැනගන්නට ලැබුණ සමීපතම ආරංචි මාර්ගවලට අනුව මෛත්‍රිට තේ එකක් බොන්න, බත් ටිකක් කටට දාගන්න ඉඩක් නොලැබෙන ගාණට "අලුත් ආණ්ඩු පෙරළියේ" ක්‍රියාධරයෝ යුහුසුලු වී ඔහු වටා සිටියහ.

"සර්, දැන් ඔක්කෝම හරි! තමුන්නාන්සෙට විධායක බලය තියෙනවා. ඒ නිසා රටේ ජනතාව ශ්‍රී ලංකා එකට බලය දීලා තියෙන්නේ ඒකාබද්ධයත් එක්ක රට කරවන්නයි. සර් ඉක්මන් තීරණයක් ගන්න." මේ මෛත්‍රිට එල්ල කළ තදබල තෙරපුමේ නිතර වාදනය කළ තැටියේ සාරාංශගත කතාවය.

"ව්‍යවස්ථාවේ අලුත් සංශෝධනය අනුව අගමැති එහෙම වෙනස් කරන්න බෑ. කරූට හරි, සජිත්ට හරි අගමැතිකම දීලා යූඑන්පීයෙන් කට්ටිය අරන්, අලුත් යහපාලන ගිවිසුමක් ගහලා මේ කියන අය එක්ක ඉතිරි කාලය ගෙනියන්න පුළුවන්ද?" යන්න නොකියා කියමින් මෛත්‍රි පන්දුව නිදැල්ලේ හැරියේය. කිහිප අවස්ථාවකදීම තත්ත්වය පහදා දුන්නේය. එහෙත් ආණ්ඩු පෙරැළියේ නායක බලවේගය වූ සුසිල් ප්‍රේම්ජයන්තට නම් නින්දක් නැති තරමටම වැඩ තිබුණේය. මෛත්‍රි ළඟට වැඩිපුරම ගොස් දේශනා තිබ්බේද සුසිල්ය. ප්‍රහාරාත්මක ස්ථාවරයක සිටියේ දයාසිරිය.

මේ සියල්ල සිදුවන අතරේ ඡන්දයෙන් පැරැදුණත් මෛත්‍රිගේ කැමැත්තෙන් පාර්ලිමේන්තුවට පත්කරපු, ඇමැතිකම් ලබපු, අතළොස්සක් දෙනා මෛත්‍රි ළඟ සිටියේ යම් දෙගිඩියාවෙන්ය.

"මහින්ද ළඟට ගියොත් අහගන්න වෙනවා හොඳවැයින් දෙකක්. ඒත් එනපොට හොඳ නැති නිසා ඒ පැත්තත් මේ පැත්තත් ෂේප් කරගෙන ඉන්න ඕනෑ"ය කියමින් මහින්දත් එක්ක හොර රහසේ උකුළු මුකුළු පෑ කිහිපදෙනකුද සිටියේ මේ සියල්ල අතරතුරදීය. මේ පිරිසට නම් මේ දෙගිඩියාවේ තරම හොඳින්ම දැනුණේ තත්ත්වය විටින් විට වෙනස් වෙමින් තිබුණුද නිසාය.

"රනිල් යන්නෙත් නෑ එහෙම යවන්නත් නීතියෙන් ඉඩක් නෑ. මෛත්‍රි ඒක හොඳට දන්නවා. එයා රනිල්ව යවන්න හිතුවත්, එහෙම යවන බව පෙන්නුවත් යවන්නෙ නෑ කියලා ෂුවර්. මෛත්‍රි බයයි රනිල් එහෙම ගියාම එකතු වෙන්නේ රහසින් මහින්දත් එක්ක නිසා. ඒක නිසා රනිල් - මහින්ද එකතුවකට රහසේවත් ඉඩ දෙන්න මෛත්‍රි කැමැති නෑ. ඔය යහපාලනය වෙනස් වෙන එකක් නෑ."

ඒකාබද්ධයේ ප්‍රබලයෙක් ආණ්ඩුවේ වෙනසකට දරදිය අදින කිහිපදෙනකුට අවධාරණයෙන් එසේ පැවැසුවේ වෙන්න යන දේ එය බව විශ්වාස කරමිනි. මහින්ද පවා ඉඟි කළේ මෛත්‍රි රනිල්ව වෙනස් කරන්නේ නෑ යන ස්ථාවරයේ සිටය.

මේ බල පෙරැළියේ රහස් කතා කිහිපයක්ද තිබුණේය. සමීප ආරංචි මාර්ග අනුව රනිල් දැනුවත් කළ ඒකාබද්ධයේ ප්‍රබලයෙක් කියා තිබුණේ...
"ඔයා යන්නෙ මොකටද? ඔයාව එහෙම යවන්නත් බැහැනේ. ඔහොම ඉන්න" කියලාය. මෛත්‍රිට ඒ වගත් ආරංචි වී තිබුණේය. මේ අතර මෛත්‍රිගේ ආශීර්වාදය ලබන කිහිපදෙනකු වෙනමම ආණ්ඩුවකට තවත් අමුතු ගේමක් සූදානම් කර තිබුණේ හිතාගන්නට බැරි විදියට එය ක්‍රියාත්මක කරවන අදිටනිනි.
මෛත්‍රි තවත් හිර වුණේ එම කණ්ඩායමේ ආණ්ඩුවකට අවශ්‍ය බහුතරය සොයා ගන්නා මෙහෙයුම අසාර්ථක වීම නිසාය. මෛත්‍රිගේ විනාශයට තදින්ම බලපාන සුපිරි කේවට්ටයන් තව තවත් ඔහු අගාධයට ඇද දමන ක්‍රියාන්විතයේම නියැළී සිටින්නේ කාගේ න්‍යාය පත්‍රයටදැයි සිතාගන්නට බැරිය.

මෛත්‍රි කොයිතරම් වැඩේ අනාගත්තාදැයි තේරුම් යන්නේ ඔහු මහින්දටත්, ඔහුගේ පිලටත් දරුණු ප්‍රහාර එල්ල කර දේශපාලනයෙන් අතුගා දමන්න ගහපු ගේම බරපතළ නිසාය. ඒ නිසා කොහොම එක්වෙමුය කීවත් මෛත්‍රිට නම් "මේ උන්දැලා මාව රකීවි" යැයි සිතා ගන්නට බැරි තරමක උභතෝකෝටිකයකය.
යූඑන්පියටත්, රනිල්ටත් ගහපු ගැහිල්ලේ හැටියට මෛත්‍රි කොහොම සුදනා වෙන්න සිතුවත් යූඑන්පියේ ජන පදනමෙන් හා බහුතර නායක කාරකාදීන්ගේ කෝප ගැන්වී සිටීමෙන් නම් ගැලවීමක් නැත.

ඒකාබද්ධයේ ප්‍රබලයෙක් යූඑන්පියේ රනිල් රකින කණ්ඩායමේ ප්‍රබලයකුට කියා තිබුණේ,

"අපේ මනුස්සයට (මහින්දට) ආප්ප කාලා පස්ස හරවපු මිනිහට ඔයාලගෙ නායකයට ගේම දෙන එක කජ්ජක්ද?"ය කියලාය. මෙය වටහාගත් නිසාදෝ රනිල්ගේ හොඳම මෙහෙයුම් කණ්ඩායමේ ප්‍රබලයන් මේ තොරතුරු සඟවා තබාගෙන මෛත්‍රි කණ්ඩායමේ අය සමඟ කතිකා කළේ බොහෝ ප්‍රවේශමෙනි.
"එන පොට හොඳ නෑ" කියා දැනගත් නිසාදෝ මෛත්‍රි තමන්ගේ ආශීර්වාදය ලබන, ආණ්ඩුව පෙරළන්න වලි කන, හතර පස්දෙනාට එක එක කතා කීවේය. ඒ කියන කියන වතාවේ ඒ කිහිපදෙනා හතර අතට දුවන්නටත්, කතා බහ කරන්නටත්, ආණ්ඩුවක් හදන්නටත් වෙහෙසුණේ මේ නාටකයේ රසවත් කතා ගොන්නක් මවමිනි.
ඇතැමුන් අසවලාට අසවල් ඇමැතිකමය, මට නම් මේ ඇමැතිකම ඕනෑමය කියා ලැයිස්තු හදන්නටත් පෙලැඹී තිබුණේය. අගමැති වෙනස් කිරීම, අලුත් ඇමැති මණ්ඩලය හා අලුත් ආණ්ඩුව යන මාතෘකා සියල්ල මොහොතකට ගල් කළාක් මෙන් මෛත්‍රි තවත් තීන්දුවක් ගත්තේය. ඒ නීතිපතිගෙන් තත්ත්වය විමසීමත් ඕනෑ නම් ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකර ඒ වනතුරු අතරතුර කාලය ආණ්ඩුවක් හැටියට මේ ගිය විදියටම තවත් මාසයක් යන්නටය.

එසේ වුවත් ආණ්ඩු පෙරළන, වෙනස් කරන මෛත්‍රි පිලේ උදවියගේ නම් ස්ථාවරය වූයේ....
"ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් කරන්න ඕනෑ. ශ්‍රීලනිපය තවදුරටත් ආණ්ඩුව තුළ ඉඳගෙන වෙනම කණ්ඩායමක් විදියට කටයුතු කරන්න ඕනෑ. කැබිනට් වෙනසක් කරන්නට ඕනෑ. මුදල්, නීතිය හා සාමය, ආරක්ෂක රාජ්‍ය ඇමැතිකම අපේ අතට ගන්න ඕනෑ. අගමැති රනිල්ව ඉවත් කර සන්ධානයේ අගමැති කෙනෙක් හදන්නම ඕනෑ" කියලාය.
මේ කලබගෑනිය අතරේ මහින්ද තමන්ට විපක්ෂ නායකකම ඕනෑ යැයි දේශපාලන බෝම්බයක් අතඇරියේය. පිරිසක් මෛත්‍රිට බල කරමින් නීතිය හා සාමයත්, මුදල් හා ආරක්ෂක රාජ්‍ය ඇමැතිකමත් ගන්න කියන්නේද කිසියම් සැලසුමකට අනුව බව පැවැසේ.

මේ අතර නීතිපති කීවේ අගමැති රනිල්ව ඉවත් කරන්නට හැකියාවක් නැති බවය. මෙය එසේ තීන්දු වන්නට පෙර රනිල්ගේ කණ්ඩායම මේ බව දැන ඊට සූදානමින් සිටියේ අධිකරණමය තත්ත්වයන්ද පිරික්සමිනි.

"නීතිපති කීව දේ හරි. ව්‍යවස්ථාවට පිටින් අගමැතිකම ජනාධිපතිටවත් වෙනස් කරන්න බෑ. එහෙම කළොත් අපි සුප්‍රිම් උසාවි යනවා. ඊට එරෙහිව තීන්දුවක් ගන්නවා."
රනිල්ගේ නීති විශාරදයෝ එසේ පැවැසූහ. මේ සිදුවීම් අතරේ ඒකාබද්ධයේ මහ මොළකාරයන් කීවේ,
"යහපාලන ආණ්ඩුවක් හදපු ගිවිසුමේ කාලය ඉකුත් වෙලා. ඒ නිසා දැන් ගිවිසුමක් නෑ. එහෙම නැති නම් යහපාලන ආණ්ඩුවකුත් නෑ. යහපාලනයක් නැති ආණ්ඩුවක ඇමැති මණ්ඩලයක් වලංගු නෑ. නීති විරෝධීයි" කියලාය. මේ උභතෝකෝටිකය නිසාම, මේ බල අරගලයේ එක් පාර්ශ්වයක් නියෝජනය කරන මෛත්‍රි ශේ්‍රෂ්ඨාධිකරණ මතය විමසන තැනකට වැටී ඇත. ඒ අනුව ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවොත් ඇමැති ධුරය හා කැබිනට් මණ්ඩලයට සිදුවන දේ ගැන ශේ‍ර්ෂ්ඨාධිකරණ මතයෙන් පැහැදිලි කෙරෙනු ඇත.

"මේ ඔක්කොම අය යටි උගුල් ඇදලා ගේම ගහන්නේ රනිල් වට්ටලා, ආණ්ඩුව වට්ටලා, ඒකාබද්ධය ළඟට අරන් තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්නයි. එහෙම හදලා මෛත්‍රි තනි කරන එක ඒ අයට කජ්ජක් නොවේ. කුමන්ත්‍රණය හරහා ඒකාබද්ධයේ අයගේද නඩු යට යාවි. කාලය යාවි. ඡන්දය ඉලක්ක කරගෙන වැඩ කරයි. ඒකට නම් අපි ඉඩ දෙන්නෙ නෑ."

මේ රනිල්ගේ පාර්ශ්වයේ ප්‍රබලම ස්ථාවරයය. මේ අතර ජනාධිපති මෛත්‍රි මහින්ද පිලත් රනිල් පිලත් කොටු කරන, තනි කරන පියවරකට ගියහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නටත්, එය බහුතරයේ ඡන්දයකින් ජයගන්නටත් සූදානමක් ඇති බවටද තොරතුරු පළවෙයි.
ඇතුළතත් ගැට, පිටතත් ගැටවලින් පිරීගත් මේ දේශපාලන නූල් බෝලය කවුරු සිහිනුවණින් ලෙහා නිරවුල් කරගන්නේදැයි කියන්නට බැරිය. ඒ තරමටම අවුල්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon