ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් වලංගුයි

  👤  4247 readers have read this article !
2018-02-22

ජාතික ආණ්ඩු ගිවිසුම තවදුරටත් වලංගු බව අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඊයේ (21දා) සවස දැනුම් දුන්හ.

කතානායක කරු ජයසූරියගේ අවසරයෙන් විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ
'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ සභාව ගත් තීරණයක් අනුව ඒ ගිවිසුම තවම වලංගුයි. දැනට අවලංගු කරන්න වුවමනා තත්ත්වයක් මතු වී ඇතැයි හිතන්නෙ නැහැ.'
කතානායක කරු ජයසූරිය විසින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහින්ද අමරවීර ඇමැතිවරයාට අවස්ථාව දුන්නේය.
'එක්සත් ජාතික පක්ෂය හා අපි අතර ගිවිසුමක් අස්සන් කළා. තවම ඒ ගිවිසුමෙන් බැඳී සිටිනවා. අප තවම එකට කටයුතු කරනවා. ඉන් ඉවත්වෙලා නැහැ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකම වෙනුවෙන් බැඳිලා තියෙන බවයි එතුමා කියන්නෙ. ඒ ගිවිසුම තවදුරටත් බලාත්මකයි කියා මේ සභාවට දැනුම් දුන්නාද? ජාතික ආණ්ඩුව අවුරුදු දෙකකට ගොඩනැඟෙන බව අගමැතිතුමා එදා අවුරුදු දෙකකට පෙර මේ සභාවේදී කීවා. පසුගිය සැප්තැම්බර් 2 වැනිදාට පසු ගිවිසුම අවලංගු වෙනවා.

අලුත් ගිවිසුමක් ඉදිරිපත් කළ යුතුයි. මාස හතරකට අධික කාලයක් ගතවෙලා තිබෙනවා. ගිවිසුමක් අවලංගු වූ පසු මාස හතරක කාලයක් ඇමැතිවරු හතළිස් අට දෙනෙක් කටයුතු කිරීම ව්‍යවස්ථාවට පටහැනියි. මාස හතරක් ගිවිසුමකින් තොරවයි ඉඳලා තිබෙන්නෙ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) යටතේ සම්මත කර ඇති යෝජනාව කියවන්නැයි අගමැතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට පැවැසීය. ඒ අනුව කතානයකවරයාගේ අවසරය පරිදි මහලේකම් ධම්මික දසනායක එම යෝජනාව සභාව හමුවේ කියැවීය.

යෝජනාවට අනුකූලව ගිවිසුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට පක්ෂ දෙකම එකඟ වී තිබෙන බවත් ව්‍යවස්ථානුකූල යෝජනාවකින් ජාතික ආණ්ඩුව සම්බන්ධ අනුමැතිය ලැබී ඇති බවත් ගිවිසුම සභාගත කිරීමට අවශ්‍ය බවත් පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන

යෝජනාව කියැවීමට අවස්ථාව දීම ගැන ස්තුතියි. ගිවිසුම එදා අස්සන් කළ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාට ගරු කරනවා. එතුමා, අස්සන් කළ ගිවිසුමේ පාර්ශ්වකරු වෙයි.

ව්‍යවස්ථාව විහිළුවක් නොවේ. මේ ව්‍යවස්ථාව සමඟ විහිළු කිරීමට කාලයක් නොවේ. යෝජනාවට අදාළ ලියකියවිලි පාර්ලිමේන්තුවට එවා ඇති බව කතානායකතුමා එදා කීවා. ඒ ලියැවිල්ල අදත් තිබෙනවා. එය ඉදිරිපත් කරන්න හවුල් වූ හා යටත් වූ මන්ත්‍රිවරුන්ගේ නම් ඉදිරිපත් කරන්න.
දෙසැම්බර් 31 දක්වා ගිවිසුම ගෙන යන බව කීවා. අප ඉවසීමෙන් ඉන්නවා කියලත් කීවා. මේ ගිවිසුම මොකක් දැයි අපට පෙන්වන්න.
අගමැතිතුමනි ඔබට බහුතරයක් තියෙනවා නම් යූ.ඇන්.පී. ආණ්ඩුවක් තියාගන්න.

අනුර කුමාර දිසානායක
පක්ෂ අතර ජාතික සම්මුතියක් නැතිව යෝජනාවක් ගේන්න බැහැ. යෝජනා ගෙනා හැක්කේ එවැනි ජාතික ආණ්ඩුවක් ගොඩනැඟුණු පසුවයි. ජාතික ආණ්ඩුවක් ගොඩනඟන්නේ නැතිව යෝජනාවක් ගේන්න බැහැ.
ප්‍රශ්නය තිබෙන්නේ යෝජනාව ගැන නොවේ. ජාතික ආණ්ඩුව ගේන්න තිබෙන සම්මුතිය ගැනයි. අවුරුදු දෙකකට සීමා වන බව ජනාධිපතිවරයා කියනවා. අවුරුදු දෙකකට සීමා කොට කටයුතු කිරීම බව අගමැතිවරයා කියනවා. ජාතික ආණ්ඩුව අවුරුදු දෙකකට බව විශ්වා වර්ණපාල සඳහන් කර තිබෙනවා. පූර්ව අවුරුදු දෙකකට ගැට ගැසී සැප්තැම්බර් 2 වැනිදා සිට මේ දක්වා රික්තකයක් තිබෙනවා. යළි ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත යුතුයි.
අවුරුදු දෙකකට වැඩිය කටයුතු කරනවා නම් ඒ කැබිනට් මණ්ඩලය නීති විරෝධීයි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
ජාතික ආණ්ඩුව තිබෙනවා. ඉතින් තව මොනවාද. මේක විහිළුවක්.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා
වසර දෙකකට පමණයි ජාතික ආණ්ඩුව කියා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවේ නැහැ.
වසර දෙකකට යැයි කියන මිථ්‍යාව මත තමයි අපි පසුගිය සති දෙකේ වාද විවාද කර තිබෙන්නෙ.
ලිඛිත ගිවිසුමක් තිබේ නම් හොඳයි. හැබැයි ලිඛිත ගිවිසුමක් අවශ්‍ය බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) සඳහන් වී නැහැ.

ෆයිසර් මුස්තාපා
තෙවැනි පාර්ශ්වයකට ඇවිත් ගිවිසුම බිඳ වැටී ඇති බව කියන්න බැහැ. ගිවිසුම අර්ථකථනය කරන්නත් තෙවැනි පාර්ශ්වයකට බැහැ. අදාළ පාර්ශ්ව කියනවා නම් ගිවිසුම ක්‍රියාත්මක බව තුන්වැනි පාර්ශ්වයකට කියන්න බැහැ ඒක එහෙම නැහැ කියලා.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල
මේක පාර්ලිමේන්තුව. මේක කච්චේරියක් හෝ දිසාපති කාර්යාලයක් නොවේ.

අනුර කුමාර දිසානායක
මෙතැන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක්. මේක ඔයගොල්ලෝ දෙන්න අතර විවාහයක් ගැන ප්‍රශ්නයක් නොවේ.
අගමැති
විවාදය පැවැත්වූ අවස්ථාවේ තිබුණේ එජාපය ඉදිරිපත් කළ ලියවිල්ලකි. වෙනත් ගිවිසුම් හෝ ලියවිල්ලක් ඉදිරිපත් කර නැහැ.
මෙහෙම පක්ෂ එකතු වෙන අවස්ථාවලදී කිසි විටක ලිඛිතව තිබුණේ නැහැ. ඉතිහාසය අනුව ලිඛිතව නැහැ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි උදය ගම්මන්පිල
එක්සත් ජාතික පක්ෂ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇත යනුවෙන් යෝජනාවේ සඳහන් වෙනවා. ඒ හැර කුමන පක්ෂයක් සමඟද කියා සඳහන් වෙන්නෙ නැහැ.
ජාතික ආණ්ඩුවක් කියා අනාගත අගමැතිවරු ඇමැති සංඛ්‍යාව වැඩි කර ගනියි. එවැනි පූර්වා දර්ශයක් මෙයින් ලැබෙන්න පුළුවන්. කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි තාරක බාලසූරිය බය නැති අගමැතිනෙ අලුත් ගිවිසුමක් අස්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.

කතානායක කරු ජයසූරිය
"කරුණු සොයා බලා අදාළ ප්‍රශ්නය ගැන දැනුම් දෙන බව ප්‍රකාශ කළා. අදාළ පාර්ශ්වකරුවන් මේ ගැන කරුණු ප්‍රකාශ කළා. තවත් ගැටලු ඇත්නම් තව හොයා බලන්න පුළුවන්. නීත්‍යනුකූල තීන්දුවක් ගන්න පුළුවන්ද කියා සොයා බලන්නම්.' යනුවෙන් ප්‍රකාශ කෙළේය.
පාර්ලිමේන්තුව අද (22දා) පෙරවරු 10.30ට යළි රැස්වෙයි.

"ටැබ්" දෙන්න කලින්
ගමේ පාසලට "ටැප්" දෙන්න
පද්ම උදයශාන්ත ගුණසේකර
ආණ්ඩුව ළඟදීම වතුර බිල්, විදුලි බිල් වැඩිකරනවා".

අද ගමේ කොල්ලන්ට වයිෆයි නැහැ. ආණ්ඩුවේ ටැබ් කෝ? ඒකත් කැපුවා. "ටැබ්" දෙන්න කලින් අපේ ගම්වල පාසල්වලට "ටැප්" දෙන්න.
"මෝටර් පනත් ගෙනාවට මේ ආණ්ඩුවට කඩවතින් එහාට අධිවේගී මාර්ගය හදන්න බැරි වුණා. රට හදන්න බලය දෙන්න කියල ඉල්ලුවා. ගමේ බලය දුන්නෙ හො¼දට".
"මේ ආණ්ඩුව කටයුතු කරන්නේ බේබදු, සූදු අන්තුවකුට ලොතරැයියක් ඇදුණ වගේ. අද රටේ ආර්ථිකය කඩාවැටිලා. අස්ථාවර රජයක් ඇතිවෙලා. ආයෝජකයෝ අද රට හැරලා යනවා. රුපියල වැටිලා. ඇමෙරිකානු ඩොලරය අද රුපියල් 158ට නැඟලා".

"අද කිරිබතක් කන්න රුපියල් හාරසියයක් යනවා. නරුම ආර්ථික ප්‍රතිපත්ති ගේන්න එපා".
අද රටේ ක්‍රියාත්මක වෙන්නේ විනයක් නැති ප්‍රවාහන සේවාවක්
රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා
"අද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ විනයක් නැති ප්‍රවාහන සේවාවක්" එනිසා පොදු සමාජය ගැන සිතන ප්‍රවාහන සේවාවක් ඇතිවිය යුතුයි. අද රටේ හොඳ පොදු ප්‍රවාහන පද්ධතියක් නැහැ. අපේ ප්‍රවාහන පද්ධතිය මේ තත්ත්වයට පත්වීම ගැන අප කනගාටු විය යුතුයි".
"අධිවේගී මාර්ගවලට අපට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා. සාධාරණ වියදමකින් අධිවේගී මාර්ග ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා."
"අධිවේගී මාර්ග පද්ධතිය විනයක් ඇතිව පවත්වාගෙන යෑම ගැන අපි සතුටුවෙනවා. ඒ මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙනවා.
"දීර්ඝ කාලයක් තිස්සේ පාරවල් හැදිල තියෙන්නේ සැලැස්මක් නැතිවයි. කිසිදු සැලැස්මක් නැතිව ගොඩනැඟිලි හැදිල තියෙන්නේ. "මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව පරිගණකගත කිරීමට යනවා. හොරකම් කිරීමට නොහැකි වන නිසා ඇතැම් නිලධාරීන් ආයතන පරිගණකගත කරනවාට කැමැති නැහැ."

පරණ කරත්තයට පරණ හරක් බැඳලා ආණ්ඩුව පරණ ගමනම යන්න හදනවා
සිසිර ජයකොඩි
"වාහන අංක තහඩු සඳහා අයකරන ගාස්තුව වැඩි කිරීමෙන් රුපියල් 1500කින් හරි ජනතාවගේ මුදල් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා" යැයි, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අද මේ රටේ ප්‍රවාහනය විතරක් නෙවි, සියලු අංශ කඩාවැටිලා. මහින්ද මහත්තයා කැලණි පාලම දවස් හැට දෙකකින් හැදුවා. අද ඒ පාලමේ ඇණ මුරිච්චි තදකරන්න විතරක් මේ ආණ්ඩුවට මාස හතක් ගතවෙලා." "ආණ්ඩුව අද දෙන්නේ දඩ හා බදු විතරයි. මේ ආණ්ඩුව අද බර කරත්තයක්. පරණ කරත්තයට පරණ හරක් බැඳලා පරණ ගමන යන්න ලැහැස්ති වෙනවා."

"මෛත්‍රි යළිත් හොරුන් එක්ක ගමන යන්න පටන් ගත්තා. ඡන්ද කාලේ කරපු කතා දැන් ඉවරයි. දැන් පෙම්වතුන් වෙලා"
ජනතාවට ගරු කර කටයුතු නොකළොත් ආණ්ඩුවට මීට වඩා පසුබෑම්වලට ලක්වෙන්න සිදුවේවි
නලින්ද ජයතිස්ස
"බැදිවල ගිය ආණ්ඩුවට ජනතාව මේ ඡන්දයෙන් ලොකු පාඩමක් කියල දුන්නා"

"ජනවරමට ගරු කර කටයුතු නොකළහොත්, ආණ්ඩුවට ඉදිරියේදී මීටත් වඩා දරුණු පසුබෑම්වලට ලක්වන්න සිදුවේවි." "ආණ්ඩුව ගියේ හොරු අල්ලන පාරේ නෙවි. හොරු රකින පාරේ. ජනතාව කිව්වේ නීතිය රකින පාරේ යන්න කියල." "ආණ්ඩුව ජනවම රකින්න කටයුතු කළේ නැහැ. දැන්වත් ජනවරම ආරක්ෂා කරන්න කටයුතු කරන්න."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon