භාෂා ගැටය

  👤  3775 readers have read this article !
2018-02-22

බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම ගැන සෙවීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුව පෙරේදා යළි රැස් කළද නියමිත පරිදි විවාදය පැවැත්වූයේ නැත. දින නියමයක් නොමැතිව එම විවාදය කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.

කතානායකවරයාගේ මේ තීරණයට හේතු වූයේ දෙමළ ජාතික සන්ධානයේ (ඊ.ව්.ඒ.) මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් සිය මන්ත්‍රි කණ්ඩායම විවාදයට සහභාගි නොවන බව දැනුම් දීමය.

බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සිංහල බසින් පමණක් මුද්‍රණය කර තිබීම දෙමළ ජාතික සන්ධානයේ මේ තීරණයට හේතු විය.
බැඳුම්කර සිද්ධිය පිළිබඳ වාර්තාව සිංහල හා දෙමළ බසින් මුද්‍රණය කර තිබුණද අදාළ කොමිෂන් සභා වාර්තාව දෙමළ බසින් මුද්‍රණය කර නැති නිසා එක් වාර්තාවක් ගැන පමණක් විවාද කළ නොහැකි බව මන්ත්‍රි සුමන්තිරන් අවධාරණය කර තිබිණි. මෙහිදී කතානායකවරයා ප්‍රකාශ කර තිබුණේ පිටු 8,000ක් පමණ තිබෙන බරපතළ වංචා, දූෂණ පිළිබඳ වාර්තාව දෙමළ බසින් මුද්‍රණය නොකිරීම සම්බන්ධව සමාව ඉල්ලා සිටින බවය. වාර්තාව දෙමළ බසින් මුද්‍රණය කරනතුරු විවාදය දින නියමයක් නොමැතිව කල් දමනු ලැබුවේ කතානායකවරයා විසිනි.

දෙමළ මන්ත්‍රිවරුන් මේ අසාධාරණය ගැන කතා කළේ 'ජාත්‍යන්තර මවු භාෂා දිනය' යෙදී තිබුණු දිනයට පෙර දිනයේ වීම සුවිශේෂී කාරණයකි.
මෙරට බහුතරයකගේ බස වන්නේ සිංහලය. දෙමළ හා අරාබි හෙවත් හීබෘෘ බස සෙසු ජාතීහු කතා කරති. 1956 බලයට පැමිණි බණ්ඩාරනායක ආණ්ඩුව 'සිංහල' රජ බස කිරීමට තීරණය කිරීම නිසා 'භාෂා ගැටුමක්' මෙරට ඇති විය. ඊට හේතු වූයේ දෙමළ බසට නිසි තැන ඉල්ලා සිටීමය. එහෙත් ඊනියා සිංහල භාෂා ප්‍රේමීන්ගේ විරෝධය නිසා දෙමළ බසට සාධාරණය ඉටු වූයේ නැත. සම සමාජවාදීන් ඉතා පැහැදිලිව පෙන්වා දුන් ආකාරයට මේ භාෂා ප්‍රශ්නය ජාතිවාදී අවුලකට රට ඇද දමනු ලැබීය. 'එක භාෂාවක් නම් රටවල් දෙකක් _ භාෂා දෙකක් නම් එක රටක්' වාමාංශිකයන්ගේ තේමා පාඨය විය. අවාසනාවට ඔවුන්ගේ මතයට පිළිගැනීමක් ලැබුණේ නැත. පසු කලෙක දෙමළ භාෂාවද සිංහල භාෂාව හා සමානව පිළිගත්තද ඒ වන විට පෙරහර ගොස්ය. දෙමළ ජාතිකවාදී අන්තවාදය ඊළාම් ත්‍රස්තවාදයක් බවට පෙරලා ගැනීමට මේ භාෂා ප්‍රශ්නය විශාල දායකත්වයක් ලබා දෙනු ලැබීය.

සිංහල රාජ්‍ය භාෂාව කිරීම ඉතා වැදගත් පියවරක් වුවත් දෙමළ භාෂාවට සම තැන දී ඉංගී්‍රසි භාෂාවට නිසි තැන දුන්නා නම් මෙරට ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් වීමට ඉඩ තිබිණි. අවාසනාවට ඉන්දියාවේ මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු, සුභාෂ් චන්ද්‍රබෝස්, රබීන්ද්‍රනාත් තාගෝර්, අම්බෙඩ්කාර් වැනි විශිෂ්ට නායකයන් ලංකාවේ බිහි වුණේ නැත. එනිසා යහපත් දේ තුළ පවා අයහපත ගැබ්ව තිබෙන බව අපේ නායකයන්ට නොතේරුණේය. සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙන්නේ යැයි යන්න ලංකාවට අදාළව නම් කිව හැක්කේ සෑමවිටම වාසනාව පිටුපස නිරන්තරයෙන් අවාසනාව පැමිණි බවය. එය සොබාදහමේ ප්‍රශ්නයක් නොව පාලකයන්ගේ ප්‍රශ්නයකි.

දෙමළ බසට තබා මේ වන විට සිංහල බසටවත් නිසි තැන රටේ ලැබී නැත. රජ කරන්නේ ඉංගී්‍රසිය ය. එහෙත් ඉංගී්‍රසි බසද රටේ අති බහුතරය අතර තවමත් සුපිරි බඩුවකි. සිංහල රජ බස කර අඩ සියවසක් ගතවී ඇතත් භාෂා ප්‍රශ්නය තවමත් විසඳී නැත. රජයේ කටයුතුවලදී සිංහලෙන් ඇති ලියැවිල්ලේ නැති දේවල් ඉංගී්‍රසි ලියැවිල්ලේ ඇතැයි චෝදනා එල්ල වන අවස්ථා ඕනෑ තරම්ය. දෙමළ බසට තවමත් ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. ඒ බව කොමිෂන් වාර්තා ප්‍රශ්නයෙන් පවා යළිත් පැහැදිලි වේ.
රටක මවු බස යනු ඒ රටේ ජීවනාලිය යි. ජාතියක් කතා කරන්නේද සිතන්්නේද සිය මවු භාෂාවෙනි. සිංහලයෙන් හෝ දෙමළෙන් සිතනවා වෙනුවට ඉංගී්‍රසියෙන් සිතීම නිසා 'ප්‍රශ්න' තේරුම් ගැනීම අසීරුය. මේ රටේ ජාතික නායකයන් බොහෝ දෙනකුට සිදුවූයේ එය ය. සිංහලෙන් හෝ දෙමළෙන් හෝ සිතූ නායකයන් 'හීනමානය' නිසා සියල්ල අවුල් කරගත්තේය. නිදහසින් පසු හැත්තෑ වසරක් ගෙවී ඇති නමුත් රටම ඇත්තේ අන්තෝ ජටා බහි ජටා තත්ත්වයකය. භාෂාවද තවමත් ලෙහා ගත නොහැකි වූ ගැටයකි.

ඉංගී්‍රසීන් රට භාරදී ගිය පසු අපි කළේ භාෂාවද ප්‍රශ්නයක් කර ගෙන අවුලක් හදා ගැනීමය. ඉතින් වෙන කුමන කතාද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon