ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

  👤  4628 readers have read this article !
2018-02-20

පළාත් පාලන මැතිවරණය අවසන් වී දින 10කට පසුවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුවී නැති බව යහපාලන ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලන ක්‍රමයට වසර 3ක් පුරා හුරුවී සිටින මහජනතාවට මතක් වන්නේවත් නැති තරම්ය. අද රටේ දේශපාලනය ජනතාවට දිනපතා විකාශනය වන ටෙලි නාටකයක් බඳුය. එහි රඟන විවිධ නළු නිළියන්ගේ රංගනයන් බලා සිටිමින් සතුටට හෝ සංවේගයට පත්වනවා හැර නළුවන් රූපවාහිනි තිරයෙන් පිටතට විත් තමන් සමඟ සම්බන්ධ වේ යැයි සුළු හෝ බලාපොරොත්තුවක් ජනතාවට ඉතුරුව නැත. ඒ තරමට අද රටේ පාලනය ජනතාවගෙන් දුරස්තරය.

පසුගිය පළාත් පාලන මැතිවරණය හේතු කිහිපයක් නිසා සුවිශේෂී වෙයි.

සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය දෙනවාට වඩා විශාල ඡන්ද දායකයන් ප්‍රතිශතයක් මෙවර ඡන්දය දී ඇත. උදාහරණයක් ලෙස 2011 පැවැති අවසන් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය භාවිත කර තිබුණේ 65.52%ක් පමණ වුවද මෙවර එම ප්‍රතිශතය 75% ඉක්මවා ගොස් තිබිණි. ජනතාව මේ ආකාරයට ඡන්දය ගැන උනන්දු වීමට මූලික හේතුවක් වූයේ 2018 පළාත් පාලන මැතිවරණය වත්මන් ආණ්ඩුවට එරෙහි ජනමත විචාරණයක් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම ජනතාවගෙන් ඉල්ලා සිටීමයි. ප්‍රසිද්ධියේ නොපිළිගත්තද ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මෙය ජනමත විචාරණ අභියෝගයක් ලෙස පිළිගත් බව ඡන්දය වෙනුවෙන් ඔවුන්ගේ ක්‍රියාශීලී දායකත්වය සලකා බැලීමෙන් පෙනේ. ජනාධිපති සිරිසේන මහතා දිනපතා රැස්වීම් කිහිපයක් අමතමින් රට වටා ගිය අතර එක්සත් ජාතික පක්ෂය රැක ගන්නට පෙරට එන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ දැන්වීම් හරහා පාක්ෂිකයන්ට ආයාචනා කරනු දක්නට ලැබිණි.

මෙම මැතිවරණය සුවිශේෂී වන දෙවන හේතුව නම් ඉතිහාසයේ ප්‍රථම වරට පළාත් පාලන මැතිවරණයකින් බලයේ සිටින රජයක් පරදා විපක්ෂය ජය ගැනීමයි. විපක්ෂ කණ්ඩායම් අතර වැඩිම මහජන බලයක් පෙන්වා තිබුණේ වසර දෙකක්වත් වයස නැති පොහොට්ටුව ලකුණින් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

අලුත් පක්ෂයකට පළමු ඡන්දයේදී අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදුවෙයි. පක්ෂයේ නම, ලකුණ, ප්‍රතිපත්ති ජනතාවට හුරු නැතිවීම මූලික ගැටලු වේ. තරග කරන්නට වන්නේ හොඳින් ස්ථාපිත සංවිධාන ජාලා ඇති පක්ෂ සමඟය. 1951දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට 1952දී මුහුණ දුන් තම පළමු මැතිවරණයෙන් ලබාගත හැකි වූයේ මුළු ඡන්දවලින් 15.52%ක් හා පාර්ලිමේන්තු ආසන 9ක් පමණි. එහෙත් ඉන් වසර 4කට පසු 1956 මහ මැතිවරණයෙන් 39.52%ක ඡන්ද සමඟ ආසන 51ක් දිනා ආණ්ඩු බලය පිහිටුවන්නට බණ්ඩාරනායක මහතාට හැකිවිය. නමුත් 2016 පිහිටු වූ අලුත් පක්ෂයක් හරහා මෙහෙය වූ ඡන්ද ව්‍යාපාරයක් තුළින් 44.65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා පළමු තැනට එන්නට මහින්ද රාජපක්ෂ මහතා සමත් විය.

ජනතාවට නුපුරුදු අලුත් ලකුණකින්, නුපුරුදු පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත්ව මේ ප්‍රතිඵලය ලබා ගැනීම ඇත්තෙන්ම විජයග්‍රහණයක් කීවත් නිවැරදිය. මෙහිදී මට ඡන්දයෙන් පසු එක් ඡන්දපොළක් භාරව සිටි නිලධාරියකු කී කතාවක් මතක් වෙයි. ඔහු රාජකාරි කළ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි බොහෝමයක් වයස්ගත ඡන්ද දායකයන්ට ඇස් පෙනීමේ දුර්වලතාව නිසා ඡන්දය දැමීමට නිලධාරීන්ගේ සහාය අවශ්‍ය විය. මහින්ද රාජපක්ෂට සහාය දීමට සිතාගෙන පැමිණි බොහෝ වයසක ඡන්ද දායකයන් නොදැනුවත්ව ඡන්දය දුන්නේ බුලත් කොළයටය. උදාහරණයක් ලෙස "මහත්තයෝ මට මහින්ද මහත්තයාට ඡන්දය දාන්න ඕනෑ" කියා කියන වයසක ඡන්ද දායකයකුට පක්ෂයේ ලකුණ තෝරා දීමට ඔහුට උදවු කරන නිලධාරියාට බලයක් නැත. මහින්ද රාජපක්ෂ ඡන්දයේ අපේක්ෂකයකු නොවේ. ඒ නිසා "කරුණාකරලා තමුන්නාන්සේට ඡන්දය දාන්නට අවශ්‍ය ලකුණ කියන්න" කියා නිලධාරියා අසයි. "බුලත් කොළේනෙ මහත්තයෝ. මම ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයාටනේ" කියා වයසක පුද්ගලයා පිළිතුරු දෙයි. ඡන්ද දායකයාට වැරදුණු බව පෙන්වා දීමේ අයිතියක් නිලධාරියාට නැත. ඒ අනුව නිදහස් සන්ධානයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය තුළ මහින්දගේ ඡන්ද කොපමණ ඇත්ද යන්න සාධාරණ ප්‍රශ්නයකි. ඡන්දයට පෙර මහින්දගේ රුව හා බුලත්කොළය ගැසූ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් කොපමණක් ලංකාව තුළ රහසින් මුද්‍රණය කොට බෙදා හැරුණාද යන්නත් සැලකිල්ලට ගත යුතු කරුණකි.

මැතිවරණ කාලය තුළ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඡන්ද ව්‍යාපාර දෙකට බෙදුණු අතර කවදත් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට අවශ්‍ය සහාය ලබාදෙන ජනතා විමුක්ති පෙරමුණද ජනතාව ඉදිරියේ ආණ්ඩුව විවේචනය කරමින් ඡන්ද ව්‍යාපාරය මෙහෙය වූහ. ජනාධිපති සිරිසේන මහතා ප්‍රමුඛ සන්ධාන නායකයන් කළේ පවතින ආණ්ඩුවේ සියලු අඩුපාඩු එජාපය පිට පැටවීමයි. මේ රැඟුම්වල ප්‍රතිඵලය වූයේ ජනතාව සැබෑ විපක්ෂය තෝරාගත නොහැකිව වික්ෂිප්ත වීමයි. ඒ අනුව පවතින ආණ්ඩුවට විරුද්ධ ඡන්ද එජාපයට එරෙහිව භාවිත වූ අතර එම ඡන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණට බෙදී ගියේය. යහපාලන ආණ්ඩුවට සෘජුවම පක්ෂපාතීත්වය දක්වමින් ලැබුණේ එජාපය ලැබූ 32.61%ක ඡන්ද ප්‍රමාණය පමණකි. රට පුරා එජාපය ලද ඡන්ද සංඛ්‍යාව විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ යම් හෙයකින් මෙය මහ මැතිවරණයක් වූවා නම් පවතින ආණ්ඩුව අන්ත පරාජයක් ලබන බවය. පළාත් පාලන ආයතන 340කින් එජාපය දිනාගෙන තිබුණේ ආයතන 40ක් පමණි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූවාට පසු ලැජ්ජාව වසා ගැනීම පිණිස ආණ්ඩුව පැත්තෙන් හාස්‍යජනක තර්කයක් ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන ඇත්තේ සමස්ත ඡන්දවලින් 44.65%ක් පමණක් බවත් 55.35%ක්ම රාජපක්ෂ විරෝධී බවත්ය. මේ විහිළු තර්කය. මේ තර්කය එජාපයටත් අවාසිදායකය. මන්ද යම් පක්ෂයකට නොලැබෙන සෑම ඡන්දයක්ම එම පක්ෂයට විරුද්ධව ලැබෙන ඡන්දයක් ලෙස සලකනවා නම් මේ රටේ ජනතාවගෙන් 67.39ක්ම එජාපය ප්‍රතික්ෂේප කොට ඇත. ජනතාවගෙන් 86.62%ක්ම ජනාධිපතිවරයා හා ඔහුගේ කණ්ඩායම ප්‍රතික්ෂේප කොට ඇත. ජනතා විමුක්ති පෙරමුණේ තත්ත්වය ඊටත් අන්තය. ජනතාවගෙන් 93.73%ක්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කොට ඇත.

මෙම තර්කය ඉදිරිපත් කරන්නන් ජනතාවගෙන් වසන් කරන්නට උත්සාහ කරන සත්‍යය නම් 44.65% යනු පාර්ලිමේන්තු මැතිවරණයකදී නම් බලය පිහිටුවීමට වුවත් ප්‍රමාණවත් ඡන්ද ප්‍රතිශතයක් බවයි. අපි මේ සඳහා උදාහරණ කිහිපයක් ගමු.
1956 මැතිවරණයේ විශාල පෙරළියක් කොට පාර්ලිමේන්තුවේ බලය දිනාගත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන තිබුණේ මුළු ඡන්දවලින් 39.52%ක් පමණි.

1970 මැතිවරණයේ යළිත් විශාල පෙරළියක් කොට පාර්ලිමේන්තුවේ බලය දිනාගත් සිරිමාවෝ බණ්ඩාරනායක නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන තිබුණේ මුළු ඡන්දවලින් 36.86ක් පමණි.
1994 මැතිවරණයේදී 17 වසරක එජාප පාලනයක් අවසන් කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණ ලබාගෙන තිබුණේ මුළු ඡන්දවලින් 48.94ක් පමණි.

20 වසරක සන්ධාන පාලනය අවසන් කරමින් රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් එක්සත් ජාතික පෙරමුණ 2015දී ලබාගත්තේ මුළු ඡන්දවලින් 45.66% ක් පමණි.
නිදහසින් පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් 50% ඉක්මවා එක් පක්ෂයක් ඡන්ද ලබාගෙන තිබෙන්නේ අවස්ථා දෙකකදී පමණි. ඒ 1977දී 50.92%ක් ලැබූ ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් තරග කළ එජාපය හා 2010දී 60.33%ක් ලබාගත් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තරග කළ එජනිස ජයග්‍රහණය කළ අවස්ථාවල පමණි.

මෙවැනි තත්ත්වයක් යටතේ ජාතික මැතිවරණයකින් වසර දෙකක් පමණක් වයසැති නව පක්ෂයක් මුළු ඡන්දවලින් 44.65%ක් ලබා ගැනීම අවතක්සේරු කරන්නකු වේ නම් ඒ දේශපාලන කුහකයකු නැත්නම් දේශපාලන අඳබාලයකු විය යුතුය.

මෙවර ඡන්ද බෙදීගොස් ඇති ආකාරය විග්‍රහ කර බැලීමේදී පෙනී යන කරුණ නම් පසුගිය පළාත් පාලන මැතිවරණය වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රජයක් පිහිටුවීමට අවශ්‍ය සරල බහුතරය තනිවම ලබා ගැනීමට හැකිව තිබුණ බවයි.
එහෙත් මෙම ජයග්‍රහණයෙන් අනවශ්‍ය ලෙස උද්දාමයට පත්වීමෙන් වැළකී සිටීමට පොදුජන පෙරමුණ පරිස්සම් විය යුතුය. සත්‍ය නම් පෙබරවාරි 10දා පැවැත්වුණේ පාර්ලිමේන්තු මැතිවරණයක් නොවන බවයි. මෙදා පවතින ආණ්ඩුවට හුදු විරෝධයක් පෑම සඳහා පමණක් පොහොට්ටුවට ඡන්දය දුන් සමහරු මහ මැතිවරණයකදී තම පාරම්පරික පක්ෂ මතවාද අනුව ඡන්දය දෙනු ඇත. එසේම යම් යම් පුද්ගලයන්ට සහාය දැක්වීම වෙනුවෙන් ඡන්දය භාවිත කළ අය මහ මැතිවරණයකදී පක්ෂ ප්‍රතිපත්තිය ගැන වඩාත් සංවේදී වනු ඇත. මේ සියල්ලටම වඩා වැදගත් කරුණ නම් 2019දී ජනාධිපතිවරණයකට මුහුණදීමට කවුරු කවුරුත් සූදානම් විය යුතු බවයි. එම තරගයෙන් ඡයග්‍රහණය කිරීමට නම් 50% ඉක්මවා ඡන්ද ලබා ගැනීමට අත්‍යවශ්‍යය. ඒ නිසා 44.65% ප්‍රතිශතය 50% ඉක්මවා ගෙන යෑමට අවශ්‍ය ක්‍රමවේදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සොයාගත යුතුය.

කවුරු මොනවා කීවත් අද රට අරාජික වී ඇත. ජාතික මැතිවරණයකින් 15% ඡන්ද ගන්නට බැරි ජනාධිපතිවරයකු හා පළාත් පාලන ආයතන 340කින් 300ක් පරාජය වූ අගමැතිවරයකු විසින් පාලනය කරනු ලබන රට අද අගමැති ධුරය සම්බන්ධයෙන් වූ ව්‍යවස්ථා අර්බුදයකටද මුහුණ පා සිටියි. 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඒකාධිපතියකු බිහි කරනවා යැයි එදා විපක්ෂය හුඹස් බියක් ජනතාව තුළ ඇති කළද එම සංශෝධනය ගෙන ආ ජනාධිපති රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දයකට මුහුණ දී ගෙදර ගියේය. අද රනිල් වික්‍රමසිංහ ඒකාධිපතියකු ලෙස අගමැති තනතුරේ රැඳී සිටින්නට භාවිත කළේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට කියා ගෙන ආ 19 වන ව්‍යවස්ථා සංශෝධනයයි.
මේ රටට දැන් වඩාත්ම අවශ්‍ය වන්නේ විනාශ වෙමින් පවතින දේශය ගොඩගැනීම හා යළි නඟාසිටුවීම සඳහා පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් හා වැඩපිළිවෙළකි. ඒ සඳහා නිවැරදි දර්ශනයක් ලබාදිය හැකි එමෙන්ම කළමනාකරණයට දක්ෂ නායකත්වයක් හඳුනාගැනීම ජනතාවගේ වගකීමයි. ඒ නායකත්වය අද වන විටත් දේශපාලන කරළියේ සිටිනවා විය හැකිය. එසේ නැත්නම් දේශපාලන කරළියට පිටින් සිටිනවා විය හැකිය. අවශ්‍ය වෙලාවට එම නායකත්වය ඉදිරියට ගෙන ඒමට ජනතාව පෙළගැසෙනු ඇත. එතෙක් මේ දේශපාලන නාටකය ජවනිකාවෙන් ජවනිකාවට මාරු වෙමින් දිගටම කෙරීගෙන යනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon