හවුල් අවුල්

  👤  3485 readers have read this article !
2018-02-19

සන්ධාන, සභාග සහ හවුල් ආණ්ඩු සම්බන්ධයෙන් ලංකාවට තිබෙන්නේ කීර්තිමත් ඉතිහාසයක් නොවේ. මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කර හදිසියේ කඩිමුඩියේ අටවා ගන්නා සන්ධාන වසර දෙක තුනින් කඩා වැටී රට අවුලට පත් අවස්ථා කොතෙකුත් මෙරට දේශපාලන ඉතිහාසය තුළ දැකිය හැකිය.

ආණ්ඩුවෙන් ඉවත්ව සියලු වැරැදි අඩුපාඩුවලට තමන් වගකිවයුතු නැතැයි අත පිසදා ගෙන මැතිවරණයේදී වෙනත් පක්ෂයකින් බලයට ඒම මෙරට දේශපාලනඥයන්ට හොඳින් හුරු පුරුදු ක්‍රීඩාවකි. මේ හේතුව නිසාම ගෙවුණු 70 වසර තුළ වැඩි කාලයක් ලංකාව පාලනය කළේ යන්තම් ගැට ගසාගත් ආණ්ඩුය. සංවර්ධනය පසුගාමී වීමටත් රට එකතැන පල්වීමටත් එය ප්‍රබල හේතුවකි.

ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂය දිනාගත්තේ මුස්ලිම් ලීගය, සිංහල මහ සභාව හා ජාතික සංගමය එකට අෑ¼දා ගැනීමෙනි. 1956 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බිහිවූයේ බණ්ඩාරනායකගේ ශ්‍රී ලනිපයත් පිලිප් ගුණවර්ධනගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් සන්ධානගත වීමෙනි. නමුත් 1958දී පිලිප් ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් ආණ්ඩුව අර්බුද රැසකට මුහුණ දුන්නේය. 1960 ජූලි ශ්‍රී ලනිප ආණ්ඩුව ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්‍ෂය හා මහජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගතවී 1964දී වාමාංශික එක්සත් පෙරමුණු ආණ්ඩුවක් බවට පරිවර්තනය වූයේය. එකල එය හැඳින්වූයේ සිමෙන්ති, වැලි හා ගල් එකතු වූ ශක්තිමත් කොන්ක්‍රීට් එකක් ලෙසය. නමුත් අපේක්ෂා කළ සමාජවාදී පියවර කිසිත් නොගෙනම ආණ්ඩුව බිඳ වැටිණි.

1965 ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව දේශපාලන අංශ හැඳින්වූයේ හත්හවුල වශයෙනි. පක්ෂ 7ක් ඊට එක්ව තිබිණි. 1970 සිරිමා බණ්ඩාරනායකගේ සමඟි පෙරමුණට ශ්‍රී ලනිප, ලසසප, කොප පක්ෂ තුන ගිවිසුමකින් බැඳී සිටියේය. 1974දී ඇන්. ඇම්ගේ ලසසපය ආණ්ඩුවෙන් ඉවත් වූ අතර 1976දී පීටර් කෙනමන්ගේ කොපයද ඉවත් වීමෙන් ආණ්ඩුව බිඳ වැටිණි. 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක පක්ෂ ගණනාවක් එකතු කොට ගෙන පොදු පෙරමුණ බිහි කළේය. නමුත් ආණ්ඩුව දිගු කාලයක් පැවැතියේ එක් ආසනයක බහුතර බලයක් පවත්වා ගැනීමෙනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂද එජාපයෙන් මන්ත්‍රිවරු 17ක් අෑ¼දාගෙන බහුතර බලය සහිත ආණ්ඩුවක් ගෙන ගියේය.
යහපාලන ජාතික ආණ්ඩුව බිහිවූයේ එජනිස - යූඇන්පී හවුලෙනි. එම හවුල් ආණ්ඩුව ආරම්භයේ සිටම පැවැතියේ යාදෙක 'නොරත රත' ගානටය. එජනිස පතුරක් ගැලවී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය. අවසානයේ ප්‍රබල හා ශක්තිමත් කණ්ඩායම බවට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම පත්වීමෙන් ජාතික ආණ්ඩු විසල් අර්බුදයක
හිර විය.

ඉහත සඳහන් කළ ආණ්ඩු බිඳවැටීමේ සිදුවීම්වලදී බොහෝවිට ලංකාව එකතැන නතර වූ සංක්‍රාන්ති අවධීන් පසු කළේය. එම විරාමයන් සෑමවිටම රට පරිහානිය කරා ගෙන ගියේය. මේ මොහොතේ රට මුහුණදී සිටිනුයේද එවැනිම අස්ථාවර තත්ත්වයකටය. පළාත් මැතිවරණය පැවැති 10 වැනිදා සිට මේ වනතුරු දින 8ක් ආණ්ඩුවේ පරිපාලනය ඇනහිට තිබේ. හෙට සිදුවන්නේ කුමක්දැයි රටවැසියන් මෙන්ම නායකයෝද නොදනිති. ඇ. ඩොලරය ඊයේ සටහන් වූයේ රුපියල් 155.22ක් වශයෙනි. කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ කිසිවකු ආයෝජනය සඳහා ලංකාව තෝරා නොගන්නවා ඇත. සියල්ලෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ ජනතාව මත පැටවෙන ජීවන බර ඔරොත්තු නොදෙන තරම් තව තවත් ඉහළ යෑමය. දේශපාලනඥයන් බලයේ රැඳී සිටීමම අරමුණු කොට අටවන තාවකාලික සන්ධානවලින් රටට සිදුවන යහපතක් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon