කැලණි පන්සලේ හාමුදුරුවන් ළඟ භයානක ආයුධ තිබුණා

  👤  5093 readers have read this article !
2018-02-18

බණ්ඩාරනායක ඝාතන නඩුවේ 7 වන විත්තිකරු වූයේ කොළොන්නාව පළාත් ආණ්ඩු සභාවේ සභාපති ලෙස එවකට සිටි කරෝලිස් අමරසිංහය. අමරසිංහ අගමැති බණ්ඩාරනායක මහතාගේ සමීප දේශපාලන හිතවතෙකි. මූලික නඩු විභාගයෙන් පසු ඔහු පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරුවෙක් විය. ඔහු නිදහස අපේක්‍ෂාවෙන් එසේ කළේය. ඔහු නිදහස අපේක්‍ෂාවෙන් තවත් බොහෝ දේ සාක්‍ෂියේදී ප්‍රකාශ කළේය. බුද්ධරක්ඛිතත්, සෝමාරාමත් පස්වන විත්තිකාර පොලිස් පරීක්‍ෂක නිව්ටන් පෙරේරාත් තම නිවෙසේදී හමුවී වෙඩි තැබීම පුහුණු වීම පිණිස මුතුරාජවෙල බලා පිටත්ව ගිය බව කරෝලිස් අමරසිංහ සිය සාක්‍ෂියේදී කීවේය.

වෙඩි තැබීම පුහුණු වූයේ අගමැතිට වෙඩි තැබීමට බව ඔහු දැන සිටි බවද පැවැසූ අමරසිංහගේ සාක්‍ෂිය කිසිසේත් පිළිගත නොහැකි බව එංගලන්තයේ සිට පැමිණ බුද්ධරක්ඛිත වෙනුවෙන් පෙනී සිටි රාජනීතිඥ පීනියස් ක්වාස් මහතා සිය දේශනයේදී පෙන්වා දුන්නේය.

නඩුවට කිසිම සම්බන්ධයක් නැති කරුණු ටොන් ගණනක් මේ නඩුවට ඇතුළු වී තිබේ යැයි ක්වාස් මහතා ප්‍රකාශ කළේය. බොරු ටොන් ගණනක් ඇත. ඇත්ත අවුන්සයක්වත් නැතැයි ඔහු කීවේය.

"නඩුවල අනුගමනය කරන ප්‍රතිපත්ති හා සම්ප්‍රදායන් කඩා බිඳ පැමිණිල්ල ක්‍රියා කළේය. ලංකාවේ, එංගලන්තයේ, ඉන්දියාවේ සිරිත ආරම්භක දේශනයේදී සඳහන් කරන සාක්‍ෂිකරුවන් සාක්‍ෂි දීම සඳහා පිළිවෙළින් කැඳවීමයි. එහෙත් මෙහිදී එවැන්නක් සිදු නොවීය. මුලදී සඳහන් කළ සාක්‍ෂිකරුවන් පසුව ඉදිරිපත් කළේ නැත. ඒ වෙනුවට වෙනත් පුද්ගලයන් ගෙනැවිත් නඩුවට අදාළ නැති සාක්‍ෂි ඉදිරිපත් කළේය. ඒ සාක්‍ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න නොඅසා මා නිහඬව සිටියේ ඒ සාක්‍ෂි මේ නඩුවට කොහෙත්ම සම්බන්ධයක් නැති නිසාය.

සෝමාරාම අගමැතිට වෙඩි තැබූ බව ජූරි සභාව පිළිගත්තේ නැති නම් අනික් කරුණු ගැන සලකා බැලීම කොහෙත්ම අවශ්‍ය නැත. අගමැතිට වෙඩි තැබුවේ සෝමාරාම බව පැමිණිල්ල සහේතුක සැකයෙන් තොරව ඔප්පු කළ යුතුය. එවැන්නක් පැමිණිල්ල ඔප්පු කර නැත."
රාජනීතිඥ පීනියස් ක්වාස්ගේ දේශනය.
ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර රාජ නීතිඥ ටී.ඇස්. ප්‍රනාන්දු ඉදිරියේ 1961 පෙබරවාරි 22 දින සාක්‍ෂිකාර කරෝලිස් අමරසිංහගෙන් විත්තියේ නීතිඥ ඇස්. සුන්දරලිංගම් හරස් ප්‍රශ්න ඇසීය.

නීතිඥ : වෙඩි තැබීමට පුරුදු වන්නේ අගමැතිට වෙඩි තැබීමට බව සෝමාරාම ඔබට කිව්වා නම් අගමැති බණ්ඩාරනායකට ඔය තරම් ආදරය කළ බව කියන ඔබ ඒ ගැන බණ්ඩාරනායක මහතාට දැනුම් දෙන්න අදහස් කළේ නැද්ද?

සාක්‍ෂිකරු : නැහැ. ඒක වැරැදි නම් මටත් අමාරුවේ වැටෙන්න සිදුවේය කියා හිතලා ඇත්ත නොකියන්න තීරණය කළා.
විනිසුරු : එතකොට ඔබ හිතුවේ ඔබ ගැනයි. බණ්ඩාරනායක මහතා ගැන හිතුවේ නෑ.
සාක්‍ෂිකරු : එහෙමයි.

විනිසුරු : කැලණිය රජමහ විහාරයේ විහාරාධිපතිත් තවත් භික්‍ෂුවකුත් අගමැතිට වෙඩි තැබීමට පුහුණු වීමට ගොස් තිබියදී ඒ ගැන අගමැතිට දන්වන්න ඕන කළේ නෑ.
සාක්‍ෂිකරු : එහෙමයි.
විනිසුරු : පළාත් ආණ්ඩු සභාවක සභාපතිවරයකු, රෝගීන් සුව කරන වෙද මහතකු වූ තමාට මෙය අගමැතිට දැන්විය යුතු දෙයක් ලෙස වැටහුණේ නෑ.
සාක්‍ෂිකරු : නැහැ. මං ඒ ගැන එතරම් බරපතළව හිතුවෙ නැහැ.
විනිසුරු : භික්‍ෂුන් දඩ කෙළියේ යන බව තමා මීට පෙර අසා තිබෙනවාද?

සාක්‍ෂිකරු : නැහැ.
විනිසුරු : කැලණියේ විහාරාධිපතිත් තවත් භික්‍ෂුවකුත් වෙඩි තැබීම පුහුණු වීමට යන බව තමා සමඟ කීවම තමාට විමතියක් ඇති නොවූ බවද කියන්නේ.
සාක්‍ෂිකරු : එහෙමයි.
විනිසුරු : භික්‍ෂුන් දෙදෙනෙක් වෙඩි තැබීම පුහුණු වීමට යෑමට අඬගැසීම ඔබ සැලකුවේ යහළුවෙක් තමාට කෑමකට හෝටලයකට යෑමට අඬගැසීම තරමටද?
සාක්‍ෂිකරු : මට විශේෂයක් හිතුණෙ නෑ.
විනිසුරු : ලෙඩුන් නොසිටියා නම් තමාත් ඔවුන් සමඟ යනවා.

සාක්‍ෂිකරු : එහෙමයි.
විනිසුරු : තමා පුදුම විදියේ රෝගියෙක්නෙ.
නීතිඥ : අගමැතිට වෙඩි තැබූ දින බුද්ධරක්ඛිත ඔබට ටෙලිෆෝනයෙන් කතා කර ඒ ගැන කාටවත් නොකියන ලෙස ඉල්ලා සිටි බවට ඔබ කියන්නේ බොරුවක්.
සාක්‍ෂිකරු : නැහැ. ඇත්ත.
නීතිඥ

අගමැති මරණය වූ දවසේ දෙවැනි විත්තිකාර ජයවර්ධන ඔබ හමුවීමට ආවා. ඒ වන විට තමා ඔහු ගැන දැන සිටියා.
සාක්‍ෂිකරු : එහෙමයි.
විනිසුරු : අගමැතිට වෙඩි තැබීම නිසා ඒ වන විට ඔබ ශෝකයෙන් සිටින්න ඇති.
සාක්‍ෂිකරු : එහෙමයි.

විනිසුරු : ඔබ අඬන්නත් ඇති.
සාක්‍ෂිකරු : නැහැ.
විනිසුරු : දෙවැනි විත්තිකාර ජයවර්ධනත් අගමැතිගෙ අනුගාමිකයෙක් නේද?
සාක්‍ෂිකරු : එහෙමයි.
විනිසුරු : එහෙනම් ඔබ දෙදෙනා එකට බදාගෙන අඬන්න ඇති.

සාක්‍ෂිකරු : නැහැ.
විනිසුරු : අගමැති මැරීමේ කුමන්ත්‍රණයකට ජයවර්ධන හවුල් යැයි සැකයේ සිටි ඔබ ඔහු නිවෙසට ආ විට ඒ ගැන ඇසුවේ නැහැ.
සාක්‍ෂිකරු : නැහැ.
විනිසුරු : අමරසිංහ එනකොට අගමැති මිය ගිහින් නැහැ.

සාක්‍ෂිකරු : එහෙමයි.
විනිසුරු : ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භකයන් බව කියා ගන්නා ඔබ දෙදෙනා හමුවූ විට අගමැතිට වෙඩි තැබීමක් ගැන වචනයක්වත් කතා කළේ නැහැ.
සාක්‍ෂිකරු : නැහැ.

විනිසුරු : අමරසිංහ වෙන එක එක තැන්වලදී නම් තමන්ට එක එක අතට හරවා බොරු කියන්න තමන්ට පුළුවන්. නමුත් මගේ උසාවියේ ඒ විදියට හැරුණු හැරුණු අතට බොරු කියා ගැලවෙන්න තමුන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. මොන තරම් පව් තමාගේ ඔය සුදු කමිසයෙන් වසාගෙන ඉන්නවාද?
තමුන් සාක්‍ෂි කූඩුවේ සිට ඔය තරමට බොරු කීවා නම් යුෂ්මතා ලබන මැතිවරණයේදී රැස්වීම් ගාණෙ යමින් බණ්ඩාරනායක මහතාගේ මරණය ගැන හඬාවැලපෙන්නට තරම් ඔබට ලැජ්ජා නැති විය හැකියි. නූගත් අහිංසකයෙක් අතින් පැටලීමෙන් හෝ වැරැදි දෙයක් බොරුවක් කියැවුණා නම් සමාව දිය හැකියි. නමුත් පළාත් ආණ්ඩු සභාවක සභාපතිවරයකු වන යුෂ්මතාට සමාවක් දිය නොහැකියි. ඔබ තවමත් රිමාන්ඩ් භාරයේ බව මතක තබා ගන්න.
සාක්‍ෂිකරු : නිහඬයි.

විනිසුරු : බුදුරජාණන් වහන්සේ වැඩ වදාළ ස්ථානයක් වන කැලණි පන්සලේ අධිපති භික්‍ෂුව පතොරම් මිලදී ගෙන ඒමට පොලිස් පරීක්‍ෂකවරයකු වන නිව්ටන් පෙරේරා කඩේ යැවීම ගැන තමා පුදුම නොවුණේ ඇයි.
සාක්‍ෂිකරු : කැලණි පන්සලේ හාමුදුරුවෝ ළඟත් තවත් ලොකු පන්සල්වල හාමුදුරුවරුන් ළඟත් ආයුධ තිබෙන බව මා අසා තිබෙනවා.
විනිසුරු : "විනාශය" භික්‍ෂුවට ගැළපෙන ක්‍රියාවක් ලෙසද තමා හිතුවේ.

සාක්‍ෂිකරු : නැහැ.
විනිසුරු : තමා හිතාගෙන ඉන්නේ වරදක් වෙන්නේ තරුණ භික්‍ෂුන් ළඟ ආයුධ තිබීම පමණක් කියලද?
සාක්‍ෂිකරු : නැහැ.
විනිසුරු : තමා බුද්ධාගම ගැන දන්නවද?
සාක්‍ෂිකරු : එහෙමයි.
විනිසුරු : ආරක්‍ෂාවටත් ප්‍රාණඝාත කිරීම පවක් නොවේද?
සාක්‍ෂිකරු : පවක්.

විනිසුරු : එතකොට ප්‍රාණඝාතය පිණිස ආයුධ තබා ගැනීම හරිද?
සාක්‍ෂිකරු : වැරැදියි.
විනිසුරු : භික්‍ෂුවක් එවැනි ආයුධ තබා ගැනීම වඩාත් බරපතළ වරදක් නොවේද?
සාක්‍ෂිකරු : එහෙමයි.

විනිසුරු : තුවක්කු, පිස්තෝල පාවිච්චි කරන අපේ රටේ වෙනත් භික්‍ෂුන් ගැන තමා දන්නවද?
සාක්‍ෂිකරු : අසා තිබෙනවා. අසවල් උන්නාන්සේ ළඟ තිබෙනවාය, කියන්න දන්නේ නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්