වයිමාගේ පුතා සහ විගණකාධිපති

  👤  3614 readers have read this article !
2018-02-15

පුංචි ඡන්දය පැවැති පෙබරවාරි 10 වැනිදාට ආසන්න දිනයක රජයේ විගණකාධිපතිවරයා කොළඹදී ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. ඒ මාධ්‍ය සාකච්ඡාව ආන්දෝලනාත්මක වූයේ අන් කිසිවක් නිසා නොව, විවාදයට තුඩු දෙන මූල්‍ය තොරතුරු රැසක් එහිදී හෙතෙම හෙළිදරව් කිරීම නිසාය.

මේ මාධ්‍ය සාකච්ඡාවේදී විගණකාධිපති ගාමිණී විජේසිංහ අවධාරණය කර තිබුණේ සමස්තයක් ලෙස ගතහොත් ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය වයිමාගෙන් ඇසිය යුතු බවය. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව පසුගිය වසරේ නොවැම්බර් 30 වැනිදා වන විට රුපියල් ටි්‍රලියන 10.3ක් ණය වශයෙන් ගෙවිය යුතුව තිබූ බව විගණකාධිපතිවරයා සඳහන් කළේය.

2016.12.31 වැනිදා වන විට හඳුනාගෙන ගිණුම්ගත කර තිබෙන වත්කම් ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 1.1ක් බවද, මුදල් අමාත්‍යාංශයේ ලේඛනවලට ඇතුළත් නොවූ හඳුනාගත් ණය ශේෂය රුපියල් බිලියන 826ක් බවද විගණකාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.
විගණකාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි රටේ සමස්ත ණය ප්‍රමාණය 'වයිමාට තබා වයිමාගේ පුතාට' හෝ කිව නොහැකිය. ඉන් ඔහු අවධාරණය කරන්නේ රට පැටලී සිටින ණය උගුලේ බරපතළකමය.

පසුගිය දශක දෙකක කාලය තුළ රජයේ මූල්‍ය විනය පිරිහී ගොස් ඇති බව බැලූ බැල්මටද පෙනෙන්නට තිබේ.
2005 වසරේදී ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 1,08,908ක් වූ බවත්, 2016 දෙසැම්බර් 31 වැනි දිනට එම මුදල රුපියල් 4,17,913ක් වූ බවත් අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී විගණකාධිපතිවරයා හෙළි කර තිබිණි. 2015 දෙසැම්බර් 31 වැනි දිනය වන විට ඒකපුද්ගල ණය ප්‍රමාණය රුපියල් 3,73,462කි. ඒ අනුව වසරක් තුළ රුපියල් 44,451කින් ඒකපුද්ගල ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

එය ප්‍රතිශතයක් ලෙස 12%ක ඉහළ යෑමකි.
විගණකාධිපති ගාමිණී විජේසිංහගේ මේ මාධ්‍ය සාකච්ඡාව වැදගත් කරුණු රැසක් හෙළි කරන්නක් වුවද හිටපු මුදල් නියෝජ්‍ය ඇමැතිවරයකු වූ බන්ධුල ගුණවර්ධනට අනුව නම් මෙය රාජ්‍ය ණය සම්බන්ධයෙන් අසත්‍ය පවසමින් ජනතාව මුළා කිරීමට ගත් උත්සාහයකි. මන්ත්‍රිවරයා පවසා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා 2005 රට බාරගන්නා විට 103%ක්වූ රාජ්‍ය ණය අනුපාතය 70% දක්වා අඩු කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට හැකි වූ බවය. එහෙත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව කෙටි කාලයක් තුළ 83% දක්වා ණය අනුපාතය වැඩි කර තිබෙන බව හෙතෙම පෙන්වා දී තිබිණි. රට ණය උගුලක හිර කළේ වත්මන් ආණ්ඩුව මිස රාජපක්ෂ ආණ්ඩුව නොවන බව මන්ත්‍රිවරයා පෙන්වා දී ඇත.
විගණකාධිපති ගාමිණී විජේසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලනිපයේ රාජපක්ෂ පාර්ශ්වය හෙවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සාකච්ඡා කර තීරණය කරන බව මන්ත්‍රි බන්ධුල ගුණවර්ධන මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි. කවුරු ඇත්ත කියනවාද? කවුරු බොරු කියනවාද යන්න විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්විට අවබෝධ කර ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙයි. එය අතිශය වැදගත්ය.

කාරණය අනෙකකි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවා නවයක පුරප්පාඩු 279ක් ඇති වී තිබේ. අතිරේක විගණකාධිපති තනතුරු තුනෙන් දෙකක් පුරප්පාඩුය. නියෝජ්‍ය විගණකාධිපති තනතුරු 15න් 12ක් පුරප්පාඩු වී ඇත. විගණන කොමිෂන් සභාවක් පත්කර විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පුළුල් කළද, පුරප්පාඩු සම්පූර්ණ කර නැති බව මින් පැහැදිලිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත කළ විගණන කොමිෂන් සභාව බලාත්මක නොකිරීම නිසා අදාළ පුරප්පාඩු පිරවීම කළ යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවය. අනෙක් පැත්තෙන් විගණන පනත තවමත් බලාත්මක කර නැත.

එය දැනට කප්පාදු කර ඇති බව දැනගන්නට තිබේ. එහෙත් එය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් වන පාටක් පෙනෙන්න නැත.
මෙවැනි පසුබිමක පාර්ලිමේන්තුව නියෝජනය කරන හා පිටත සිටින පක්ෂවල වගකීම වන්නේ මේ අඩුපාඩු පිරවීමට රජයට බලපෑම් කිරීමය. විගණකාධිපතිගේ ප්‍රකාශ දෝෂ සහගත නම් දෝෂාභියෝග ගෙන ඒමේ වරදක් නැතත් ඊට ඇති උනන්දුව විගණන කොමිෂන් සභාව හා විගණන පනත සක්‍රිය කිරීමටද දක්වන්නේ නම් එය දූෂණය වංචාව නැති මූල්‍ය විනයක් ඇති රටක් වෙනුවෙන් කරන මහඟු දායකත්වයක් වන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්