මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා

  👤  3459 readers have read this article !
2018-02-13

මෙවර පුංචි ඡන්දය සාමකාමීව පැවැත්වීම සතුටට කරුණක් විය. පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැවැතියේ අවම මට්ටමකය. ලේ හැලීම් වාර්තා නොවූ තරම්ය. පැමිණිලි රැසක් ලැබී තිබුණේ සුළු සුළු සිදුවීම් සම්බන්ධයෙනි. කනගාටුවට කරුණ නම් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වෙමින් තිබීමය. ඉකුත් මහ මැතිවරණයේ මෙන්ම ජනාධිපතිවරණයේදී පවා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූයේ ඉතා අඩුවෙනි.

ඇමැති එස්.බී. දිසානායකගේ පුත්‍රයකු ප්‍රමුඛ පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකුට හා ආධාරකරුවකුට ගිනි අවිවලින් පහරදීමේ සිද්ධියක් වාර්තා වූයේ මැතිවරණ දිනයේදීමය. තවත් සිද්ධියක් වාර්තා වී තිබුණේ නාවලපිටියෙනි. පොදුජන පෙරමුණේ පෝලිම් ඒජන්තවරයකු වශයෙන් කටයුතු කිරීමට නියමිතව සිටි පුද්ගලයකුට නාඳුනන පිරිසක් විසින් පහරදී තුවාල සිදුකර තිබිණි. මැදිරිගිරිය ප්‍රදේශයේ පොදුජන - එජාප පාක්ෂික පිරිසක් මැතිවරණය පැවැති දින රාත්‍රියේ ඇති කරගත් ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් රැසක් වාර්තා වී තිබිණි. එක් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයකට අනුව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 16කි. තවත් සංවිධානයකට පැමිණිලි 20ක් ලැබී ඇත. ඉන් බොහෝ පැමිණිලි ගල් ප්‍රහාර එල්ල කිරීම, ඝෝෂා කිරීම්, පුද්ගල ඒකරාශිවීම්ය.

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමට අදාළව ගතවූ මාස දෙකක කාලය තුළ පැමිණිලි 1,093ක් වාර්තා වූ බව පොලිසිය ප්‍රකාශ කර ඇත. ඊට අදාළව සැකකරුවන් 655ක් අත්අඩංගුවට ගෙන තිබේ. මැතිවරණ දිනයේ (10දා) පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 73කි. එදින ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 126කි. ඉකුත් දෙසැම්බර් 9 වැනිදා සිට 11 වැනිදා දක්වා පැමිණිලි 818ක් ලැබී ඇති අතර සැකකරුවන් 152ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 33ක් අපේක්ෂකයන් වීම විශේෂත්වයකි.
මෑත කාලීනව පැවැති. මැතිවරණවලට සාපේක්ෂව මෙවර තත්ත්වය දරුණු නැත. පොලිසිය රාජකාරිය අකුරටම කිරීම නිසා තත්ත්වය වඩාත් යහපත් වූ බව කිව යුතුය. නීතිය පක්ෂග්‍රාහී වීම ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යෑමට හේතුවකි. මෙවර තත්ත්වය හොඳින් පාලනය කර තිබිණි. මැතිවරණ කොමිසමටද ඒ පිළිබඳව ස්තුති කළ යුතුය.
අවශ්‍ය වන්නේ ගැටුම් නොව සංහිඳියාවය. ඒ ඒ පක්ෂවල නායකයන් පිල් මාරු කරද්දී ගම්වල පාක්ෂිකයන් විරසක වීම අඥානකමකි. ඒ බව පාක්ෂිකයන්ම යම් තරමකට තේරුම් ගෙන සිටින බව පෙනේ. මැතිවරණයට සාමකාමීව මුහුණ දුන්නා නම් ඉන් අනතුරුව ගැටුම් ඇති කර ගන්නේ කුමකටද? එනිසා සියලුම පක්ෂවල ක්‍රියාකාරීන්, ආධාරකරුවන්, පාක්ෂිකයන් හා හිතවතුන් මේ යථාර්ථය අවබෝධ කරගෙන ක්‍රියා කළ යුතු බව කිව යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්