ජනතාව දුන් තීන්දුව ජනහිත සුව පිණිස විය යුතුය

  👤  3386 readers have read this article !
2018-02-12

ඉකුත් සෙනසුරාදා පැවැති පළාත් පාලන මැතිවරණය මෑත කාලයේ මෙරට පැවැත්වුණු වඩාත්ම සාමකාමී මැතිවරණය ලෙස සැලකිය හැකිය. එහි වැඩි ගෞරවය හිමිවිය යුත්තේ ස්වාධීන මැතිවරණ කොමිසමටය. විශේෂයෙන් එහි සභාපති මහින්ද දේශප්‍රියට සියලු ඡන්දදායකයන් ස්තුතිවන්ත විය යුතුය. 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ද දේශප්‍රිය මහතා සිය භූමිකාව මැනවින් ඉටු කළේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස මෙවර මැතිවරණයේදී ඔහු සිය රාජකාරිය උපරිමාකාරයෙන් ඉටුකිරීම නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් රටට ලැබිණි. 19 වැනි සංශෝධනය හරහා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් මෛත්‍රි-රනිල් ආණ්ඩුවද කළේ සුවිශේෂී මෙහෙවරකි.

කාරණය අනෙකකි.
මෙවර පළාත් පාලන මැතිවරණය හෙවත් පුංචි මැතිවරණය කාරණා තුනක් නිසා ඉතිහාසගත වී ඇත. පළමුවැන්න, කේවල හා සමානුපාතිකව නියෝජිතයන් තෝරා ගන්නා මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැති ප්‍රථම පුංචි ඡන්දය වීමය. ස්වාධීන මැතිවරණ කොමිසමක් යටතේ පැවැත්වූ ප්‍රථම මැතිවරණය වීම දෙවැන්නය.
වඩාත්ම වැදගත් වන්නේ තෙවැනි කාරණයයි. ඇත්ත වශයෙන්ම එය ප්‍රමුකම කාරණය වේ.


මෙරට පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ආණ්ඩු පක්ෂයක් මුල්වරට දැවැන්ත පරාජයක් අත් කරගෙන ඇත.
මෛත්‍රි-රනිල් හවුල් ආණ්ඩුවට අයත් ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හමුවේ දැවැන්ත පරාජයක් ලබා තිබේ. පුළුල් විශ්ලේෂණයකට කල් වැඩි වුවද පැහැදිලිවම මෙරට ඡන්දදායක ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මෛත්‍රි-රනිල් ආණ්ඩුවේ තෙවසරක පාලනයට එරෙහි සිය මතය පළ කර ඇත. ඉන් කියැවෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය වැනි ප්‍රමුඛ පක්ෂ ඡන්දදායක ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව නොවේ. එහෙත් මේ පක්ෂ සියල්ලටම එරෙහිව තනි පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ වටා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගොනුවී සිටිති. තිත්ත වුවත් ඒ ඇත්ත ශ්‍රීලනිප හා එජාප නායකත්වය පිළිගත යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීම නිසා පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෛත්‍රිපාල සිරිසේන මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස කටයුතු නොකිරීමේ හේතුවෙන් හවුල් ආණ්ඩුවේ අවුල් ඇතිවූ අතරම ශ්‍රීලනිපය හා එජාපය එකතු වී පිහිටුවාගත් මේ හවුල අවුල් වීමට බලපෑ අනෙක් හේතුව වූයේ ශ්‍රීලනිපයේ මන්ත්‍රිවරුන් පිරිසක් විපක්ෂයට එකතු වීමය.

මේ විපක්ෂ කණ්ඩායම හා පාර්ලිමේන්තුවෙන් පිටත කටයුතු කළ මහින්ද හිතවාදීන් එකතුව පිහිටුවාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුංචි ඡන්දයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට දේශපාලන අභියෝගයක් එල්ල කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප නායකයා ලෙස ඒ අභියෝගයට නොබියව මුහුණ දුන්නද අවසානයේ ඔහු සටනින් පරාජය ලබා තිබේ. මහින්ද පාර්ශ්වය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රීලනිප සභාපති ධුරය යළි මහින්ද රාජපක්ෂ මහතාට දී නිර්පාක්ෂික ජනාධිපතිවරයකු වන ලෙසය. පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් ලක්ෂ 62කගේ අභිලාෂය වූයේත් නිර්පාක්ෂික ජනාධිපතිවරයකු බව මෙහිදී සිහිකැඳවීම වටී.

ප්‍රධාන ආණ්ඩු පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයද මේ මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ මුහුණදී ඇත්තේ බරපතළ දේශපාලන අභියෝගයකටය. බැඳුම්කර වංචා චෝදනාව හා ජීවන වියදම් ප්‍රශ්නය ඔවුන්ගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනේ. පාක්ෂික ඡන්ද හැරුණුකොට අලුත් ඡන්ද එජාපයට එකතු නොවීම මේ ඡන්ද ප්‍රතිඵලයෙන් පැහැදිලිය. එහෙත් තනි පක්ෂයක් ලෙස පළාත් පාලන ආයතන කිහිපයක බලය තහවුරු කර ගනිමින් සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින එජාපයට මේ මොහොතේ ගත හැකි බුද්ධිමත්ම දේශපාලන තීන්දුව වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය දැරීමට ඉඩදී විපක්ෂයේ අසුන් ගැනීමය. නොඑසේනම් ඉදිරි කාලය රට විශාල අර්බුදයකට යෑමට ඇත්තේ වැඩි ඉඩකඩකි.

ජනතා විමුක්ති පෙරමුණට දෙවරක් තමන් බලය දැරූ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව තබා සභාවක එක් කොට්ඨාසයක් හෝ දිනාගැනීමට නොහැකි වුවද සැලකිය යුතු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් හා ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට හැකි වී ඇත. ජනතා විමුක්ති පෙරමුණට අපේක්ෂා කළ බලය ලබාගැනීමට නොහැකි වුවද වාමාංශික පක්ෂයකට මේ රට වඩාත් යහපත් කිරීම සඳහා කළ හැකි වැඩ කොටසක් ඇති බව අමතක නොකළ යුතුය. දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ සුළු ජාතික පක්ෂ සුපුරුදු පරිදි උතුරු හා නැගෙනහිර පළාත්වල වැඩි බලයක් ලබා ගෙන තිබීම ද විශේෂත්වයකි.

පුංචි ආණ්ඩු වෙනුවෙන් පැවැති මැතිවරණයේ ප්‍රතිඵලයෙන් මහ ආණ්ඩුව සසල වී ඇති බව පෙනේ. ඊට හේතුව ගමේ ඡන්දයේ ජනතා තීන්දුව ජාතික දේශපාලනයේ තීරණාත්මක තීන්දු තීරණවලට බලපෑමක් කර ඇති නිසාය. ඉදිරියේදී ජාතික දේශපාලනයේ සිදුවන වෙනස්කම්වලට මේ ජනතා තීන්දුවේ සෙවණැලි වැටී තිබෙනු ඇත. කුමක් වුවද සියල්ල පොදු ජනතාවගේ හිතසුව පිණිස වේ නම් පුංචි ඡන්දයේ ජනතා තීන්දුව ගැන සතුටු විය හැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්