දරුවනේ යුද්දේ නවත්තපල්ලා අපිට තවත් දුක් විඳින්න බෑ

  👤  3669 readers have read this article !
2018-02-11

නීර්වේලි සොඳුරු ගම්මානයෙහි අපිට බොහෝ කාලයක් රැඳී සිටිය නොහැකි විය. සතුරා අප ආක්‍රමණය කරමින් සිටියේය. තවත් රාත්‍රියක සතුරු හමුදාව සමඟ සටන් වැදුණද කිසිවකුටත් බරපතළ හානි සිදු වූයේ නැත. එක් වෙඩි උණ්ඩයක් මුරලිගේ කමිස කොලරයෙහි සිදුරක් පමණක් ඉතිරි කරමින් ඇදී ගොස් තිබිණි. තවත් උණ්ඩයක් පියාඹා ගියේ මගේ දකුණු බාහුවේ ගෑවෙමින් නොගෑවෙමින් මෙනි.

අතරමඟදී අපට හමු වූ විශාල හින්දු කෝවිලෙහි අනාථයෝ සිය ගණනක් අසරණව බලා සිටියහ. සමහරෙක් තාවකාලිකව තනාගත් ගිනි උදුන් මත බත් හෝ මඤ්‍ෙඤාක්කා තම්බමින් සිටියහ. අප දුටු කල සියල්ලන්ම නොසන්සුන් වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ එකම දෙයකි.
"දරුවනේ මේ යුද්දෙ නවත්තපල්ලා! අපිට තවදුරටත් මේ විදියට දුක් විඳින්ඩ බෑ."
"සිංහල ආණ්ඩුවට විරුද්ධව සටන් කරන එක වෙනම දෙයක්. ඒත් ඇයි මේ අපිට උදවු කරන්ඩ ආපු ඉන්දියන් හමුදාව එක්ක ගහගන්නේ?"
"ඒත් ඉන්දියන් හමුදාව ඔය අය හිතනවාට වඩා වෙනස්."

මුරලි පමණක් ඔවුනට කතා කළේය. අපි සියලු දෙනා නිහඬව ඔවුන්ට සවන් දී සිටියෙමු.
"අපි මේ සටන් කරන්නේ ඒ හැම දෙනාගෙන්්ම අපේ මිනිස්සු බේරාගන්ඩ."
"ඔය ළමයි සටන් කරන්නේ අපිව බේරාගන්ඩ නම් කරුණාකරලා ඒක කරන්ඩ වුවමනා නෑ."
අයෙක් කෑ ගසා කීවේය.

"අපිට දැන් ජීවත් වෙන එකත් තිත්ත වෙලා. අපි අපේම බිමේ අනාථ වෙලා. මේ හැම දෙයක්ම උඹලා නිසා."
මට දැනී ගියේ ඔවුන් අකෘතඥයන් පිරිසක් ලෙසටය. ඔවුන් වෙනුවෙන් අප මරණයට සූදානම්ව සිටින බව ඔවුන්ට පෙනී නැත. ඉන්දියානුවන් විශ්වාස නොකරන්නැයි ප්‍රභාකරන් ද අප දැනුවත් කොට තිබිණි.
අප අනුමාන කළ ලෙසටම තවත් දින කිහිපයකින් ඉන්දියානු හමුදාව ඒ සොඳුරු ගම්මානය ආක්‍රමණය කළහ. සාමාන්‍ය ජනතාවගේ දේපළ ගිනිබත් කරන්නටත් පුරුෂයන් මරා දමා කාන්තාවන් දූෂණය කරන්නටත් සමහර සොල්දාදුවන් පැකිළුණේ නැත. සති තුනක් තිස්සේ නීර්වේලියට ඇතුළුවීමට ඉඩ නොදෙමින් අප දැක්වූ විරෝධයට ඔවුන් වාඩුව ගත්තේ අහිංසක ගැමියන්ගෙනි.

නීර්වේලියෙන් පිටත්ව ආ අප අනතුරුව පිවිසියේ අති දුෂ්කර වූ කාල සීමාවකටය. අප වැටී සිටියේ සතුරු අඩවියකටය.
ඒ වනවිට අර්ධද්වීපය මුළුමනින්ම පැවැතුණේ සතුරු පාලනය යටතේය.

ෂෙල් වෙඩි හා මෝටාර් යැවීම බොහෝදුරට නවතා දමා තිබූ බැවින් සාමාන්‍ය ජනයා අනාථ නිවාස අතහැර තම නිවෙස් කරා යමින් සිටියහ. අප සිටියේ අත්හැර දමන ලද නිවාස කිහිපයකට කොටු වී ගෙනය. දිවා කාලයේදී එළි පෙහෙළියට බැසීම අපිට සපුරා තහනම් විය. සෑම දින දෙකකටම පසුව අප සිටි නිවාස මාරු කරන්නටද සිදුවිය. අප කතා කළේ ඉතා සෙමෙනි. ඉන්දියානු හමුදා භටයෝ අප සොයමින් ගම්මාන පුරා ඇවිද යමින් සිටියහ. අපි බියෙන් පලා යන පිරිසක් බවට පත්ව සිටියෙමු.
දවසකට එක වේලක් බැගින් අපිට ආහාර සපයනු ලැබුවේ 'නීරා' නම් වූ තරුණ ගැමියකු විසිනි. එය බොහෝවිට පාන් සහ කෙසෙල් ගෙඩි නැතහොත් තැම්බූ මඤ්‍ෙඤාක්කා සහ පොල් සම්බෝල විය. සති තුනක් තිස්සේ අපිට නා ගන්නට ඉඩක් ලැබුණේ නැත. ගෙවත්තෙහි වූ ළිඳෙන් නෑමට ගියා නම් කාගේ හෝ ඇස ගැටෙන්නට හොඳටම ඉඩකඩ තිබිණි. අපිරිසුදුකම හේතුවෙන් අපි සියලු දෙනාම තදබල කැසිල්ලකට ගොදුරු වී සිටියෙමු. ඔළුවේ උකුණන්ද බහුල විය. දිවා රෑ පුරා අසන්නට දකින්නට ලැබුණු මේ කැසිල්ල මහත් සේ අප්‍රසන්න විය.

සතුරා කොයි මොහොතේ හෝ ප්‍රාදූර්භූත වෙතැයි අප නිවෙස තුළ සිටියේද අවි අමෝරාගෙනය. එසේ වාඩි වී සිටිනු මිස අන් යමක් නොකළද අපගේ සිත්වලට නම් කිසිදු විවේකයක් තිබුණේ නැත.
දිනක් මම අප නවාතැන් ගෙන සිටි ස්පාඤ්ඤ විලාසිතාවට තනන ලද නිවෙසෙහි ගෙබිම වාඩි වී රයිෆලය පිරිසුදු කරමින් සිටියෙමි. මට නුදුරින් සිටි මුරලි සහ ගාන්ධි අතර වූ රහස් සංවාදයට මමද හොර රහසේ සවන් දී සිටියෙමි. අසල්වැසි ගමක ප්‍රාදේශීය නායකයා වූ ගාන්ධි මුරලිගේ කිට්ටු මිතුරකු විය. දෙදෙනා කතා කළේ කොටි සහෘදයකු වූ මුතු පිළිබඳවය.
"මොකද මුතු ඉල්ලා අස්වුණේ?" ගාන්ධි ඇසුවේය.
"මුතුගේ තාත්තා ඔත්තුකාරයෙක් කියලා සැකයක් තිබුණා." මුරලි ඉතා සෙමින් විස්තර කළේය.
"ඉතින්, සංවිධානෙන් අණක් ලැබුණා මුතුට, එයාගෙම තාත්තාගේ ඔළුවට වෙඩි තියන්ඩ කියලා. මුතූ ඒක කළා. ඒත් එක්කම ඉල්ලා අස්වුණා."
"මට ප්‍රශ්න දෙකක් අහන්ඩ තියෙනවා." මම ඔවුන්ට බාධා කරමින් කතාවට හවුල් වූයෙමි.
"ඒත්, ඇයි තාත්තාව මරන්ඩ පුතාව තෝරා ගත්තේ?"
"මගේ දෙවැනි ප්‍රශ්නෙ, ඇයි මුතු ඒ වගේ අණක් පිළිපදින්ඩ කලින් ඉල්ලා අස් නොවුණේ?"
"ඒ එයාගේ පක්ෂපාතී බව කොහොමද කියලා බලන්ඩ. මුතු එයාගේ පක්ෂපාතිභාවය කොච්චරද කියලා ඔප්පු කළා. ඊට කලින් ඉල්ලා අස්වුණා නම් මුතු විරුද්ධකාරයෙක් හැටියටයි සැලකෙන්නේ."

"ව්‍යාපාරයට පක්ෂපාතී බව ඔප්පු කරන්ඩ තමන්ගේ මවුපියන්ව මරන්ඩ ඕනද?"
ගාන්ධි වහා මට බාධා කළේය.
"නිරෝමි, ඔයාට හෙට අයියගෙන් අණක් ලැබුණොත් මුරලිව මරලා දාන්ඩ කියලා... ඔයා ඒක කරනවද?"
මා මුරලිව කොතෙක් දුරට අගයන්නේ දැයි ගාන්ධි දැන සිටියේය. ඔහු මගෙන් එවැනි ප්‍රශ්නයක් ඇසුවේ එබැවිනි.
"කතා දෙකක් නෑ. මම වහාම ඉල්ලා අස්වෙනවා." ප්‍රශ්නය කල්පිතයක් වුවද මා ප්‍රකාශ කළේ සත්‍යයයි.
මුරලි මදෙස බැලුවේ කලකිරීමෙනි.
"අණක් ලැබුණොත් අනම් මනම් නැතුව ඒක ඒ විදිහටම ඉෂ්ට කරන්ඩ ඕනෑ. ඔය වගේ අදහස් තියෙන බව දැන හිටිය නම් මම ඔයාව සංවිධානෙට බඳවගන්නෙ නෑ?"
මුරලි පැවැසුවේ තරවටුවක ස්වරූපයෙනි.

"මෝඩ කතා කියන්ඩ එපා."
මම මුරලිට අවලාද නැඟුවෙමි.
"මම විශේෂ කෙනෙක් නෙමෙයි. ඒක ඇත්ත. ඒත් මම ප්‍රතික්ෂේප කරන සමහර දේවල් තියෙනවා."
"නිරෝමි කොහොමටත් සංවිධානෙට වඩා මුරලිට පක්ෂපාති නේ."

එසේ කීවේ ගාන්ධිය.
"මම කොහොමටත් මගේ යාළු මිත්‍රයන්ට පක්ෂපාති කෙනෙක්. ඒ වගේම අපේ මේ අරමුණටත්." මම ඔහු නිවැරැදි කළෙමි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්