ජනතාව මුළා කළ ඡන්ද පොරොන්දු

  👤  3561 readers have read this article !
2018-02-11

මෙරට සෑම මැතිවරණයකදීම පාහේ ජනතාවට, ඡන්දයෙන් පසු ඉටු කරනවා යැයි කියැවෙන පොරොන්දු දීම දේශපාලනඥයන්ගේ සම්ප්‍රදායයක් බවට පත්ව තිබේ. ඡන්දයෙන් පසු ඇතැම් පොරොන්දු ඉටු වුවද බොහෝ ඒවා දේශපාලනඥයන් විසින් අමතක කර දමනු දක්නට ලැබේ.

ජනතාවට මතක සිටින පොරොන්දු දුන්නද ඒවා ඉටු නොවන බව දැන දැනම ජනතාවද ඒවාට ඇහුම්කන් දෙති. මේ එලෙස දේශපාලනඥයන් විසින් දුන් මතක හිටින ඡන්ද පොරොන්දු කිහිපයකි.

1977 වන විටත් වී බුසලක සහතික මිල වූයේ රුපියල් 40කි. හාල් සේරුවක මිල රුපියල් 2.90කි. එදා හාල් මිල එසේ තිබියදී ඊටපෙර 1952දී මහා මැතිවරණයක් පැවැත්විණි.

හාල් මිල වැඩි නොකරන බවට එජාපය එදා පොරොන්දුවක් දුන්නේ මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය බත් වූ බැවිනි. පොරොන්දුව ප්‍රකාර ජනතාව එජාපයට ඡන්දය දුන්නේය. ඉන් පසුව පළ වූ එජාපයේ 'සියරට' පත්‍රය මෙසේ සිරස්තලයක් යොදා තිබිණි.
'මේ ආණ්ඩුව පවතින තාක් හාල් සේරුව ශත 25යි.'
එහෙත් වසරක් ගතවීමට පෙර හාල් සේරුවක මිල ශත 75ක් දක්වා වැඩි වීමෙන් එජාපයේ ඡන්ද පොරොන්දුව කඩ විය. ඒ හේතුවෙන් කලබල හටගෙන කිහිප දෙනකුට ජීවිතවලින් වන්දි ගෙවීමටද සිදු විය.

1960 පැවැති මහ මැතිවරණයට පෙර ලංකා සමසමාජ පක්ෂය මුද්‍රණය කළ පත්‍රිකාවක සඳහන්ව ඇත්තේ 'හාල් සේරුවක මිල යළි ශත 25 දක්වා අඩු කරන්නට කටයුතු යොදන බවට' වූ ඡන්ද පොරොන්දුවකි.

1944දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට 'මෙරට රාජ්‍ය භාෂාව සිංහල' විය යුතු යැයි යෝජනාවක් ගෙනෙන විට එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සිටියේ එජාපයේය. එදා ඔහු ඊට විරුද්ධව ඡන්දය දුන්නේය. 1956 මැතිවරණය වන විට බණ්ඩාරනායක මහතා සිටියේ මහජන එක්සත් පෙරමුණ පක්ෂයේය.
පැය විසි හතරෙන් රාජ්‍ය භාෂාව සිංහල කරන බවට ඒ මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා ජනතාවට පොරොන්දු විය. එජාපයද ප්‍රචාරය කළේ 'සිංහල බස රජ කරන්න - අලියට ඔබෙ ඡන්දෙ දෙන්න' පවසමිනි.

අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු 1960 පැවැති ඡන්දයේදී පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ පැවැසුවේ මිනීමරුවන්ට නිසි දඬුවම් දීමට හැක්කේ ම.එ.පෙ. බලයට පත්වුවහොත් පමණක් බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය කීවේ සැමියාගේ ඝාතනයට දඬුවම් දීමට නම් ශ්‍රී ලනිපය දිනවිය යුතු බවය.
එදා එජාප නායක ඩඩ්ලි සේනානායක ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජාතිය බේරා ගැනීමට එජාපය පොරොන්දු වන බවයි.
ජනතාව අතර අති මහත් ජනප්‍රියත්වයක් ලද පොරොන්දුවක් දුන්නේ 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. 'මම හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා' යන්න එම පොරොන්දුවයි.

එහෙත් ඇය බලයට පත් වූ පසු සහල් හිඟය හේතුවෙන් ජනතාවට බත් කෑම අඩු කරන්නට සිදු විය. හාල් ප්‍රවාහනය, මිරිස් ප්‍රවාහනය සීමා කරන්නට සිදුවිය. සහන මිලට හාල් ලබාගත හැකි වූයේ සමුපකාර වෙළෙඳසල්වලින් පමණකි. වෙළෙඳසල් ඉදිරිපස අලුයම් කාලයේ සිටම හාල් මිලදී ගැනීමට පාන් ලබා ගැනීමට ජනතාවට දිගු පෝලිම්වල සිටිය යුතු විය.

ජනතාවට පෝලිම්වල පැය ගණනාවක් ලැග සිටීමට සිදුවීම නිසා 1977දී ජේ.ආර්. ජයවර්ධන පොරොන්දු වූයේ 'පෝලිම් ක්‍රමය' නැති කරන බවටය. ඒ සමඟම සෑම අයකුටම මසකට ඇට (ධාන්‍ය) රාත්තල් 8 බැගින් ලබා දෙන බවටද පොරොන්දු විය.

1989 දී ආර්. ප්‍රේමදාස පොරොන්දු වූයේ 'නැති බැරි අය හැකි ඇති අය කරවන' පොරොන්දුවයි. 1994 වන විට පාන් රාත්තලක මිල රු. 5කි. පාන් රාත්තල (ගෙඩිය) 3.50කට දෙන පොරොන්දුව මතකයට නැඟෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යුගයේදීය. එම පොරොන්දුවද එකල ජනප්‍රිය ඡන්ද පොරොන්දුවක් විය. ඊට අමතරව දූෂණය - භීෂණය නැති කරන බවටද ඇය පොරොන්දු වූවාය.

2001 දෙසැම්බර් මහ මැතිවරණයට තරග වැදුණු රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූයේ නංගිලාට මල්ලිලාට බේ්‍රස්ලට් දාන්න පුළුවන්, බුලත් හපන අයට චුයිංගම් හැපිය හැකි ආර්ථිකයක් ගොඩනඟන්නට හැකි ඡන්ද පොරොන්දුවකි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්