පුංචි ඡන්දයේ ලොකු තීන්දුව!

  👤  3540 readers have read this article !
2018-02-09

පුංචි ආණ්ඩු 340කට සභිකයන් 8,227ක් තෝරා ගැනීම සඳහා පුංචි ඡන්දය හෙට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,117කදී පැවැත්වෙයි. ඡන්ද දායකයන් 15,760,771ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති මේ පුංචි ඡන්දය මෙවර පැවැත්වෙන්නේ නව ඡන්ද ක්‍රමයකට අනුව වීම විශේෂත්වයකි. 1977 පැවැති මහ මැතිවරණයෙන් පසුව කේවල (හා සමානුපාතික) ක්‍රමයට මැතිවරණයක් පැවැත්වෙන්නේ පළමු වැනි වරටය.

ඡන්ද දායක ජනතාව සුපුරුදු පරිදි ජීවන සටනේ යෙදී සිටියදී "ගම අපිට බාර දෙන්නැයි" ඝෝෂා කරමින් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් සති ගණනක් පුරා ඡන්ද සටනේ නිරතව සිටියේය. අවසන් ප්‍රධාන ප්‍රචාරක රැලි ඉකුත් බදාදා සවස පැවැති අතර, මේ ගෙවී යන්නේ කිසිදු ප්‍රචාරක කටයුත්තකට අවසර නැති නිහඬ කාලයකි. එනම්, මැතිවරණයේ නොනගතය යි.

මැතිවරණ නීති කාලාන්තරයක් පුරා ක්‍රියාත්මක වුවද එදා මෙදාතුර මෙරට පැවැති මැතිවරණවලදී 'නීති' අඩු - වැඩි වශයෙන් උල්ලංඝනය විය. විශේෂයෙන් මෑත කාලීනව හොර ඡන්ද, මැර ඡන්ද, ඡන්ද කොල්ලකෑම, අල්ලස් ලබාදීම, රාජ්‍ය දේපළ අවභාවිතය යනාදිය බහුලව සිදුවිය. එහෙත් ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු මෙරට පැවැත්වෙන පළමු වැනි මැතිවරණය මෙයයි. මේ පුංචි ඡන්දය සාපේක්ෂව බැලූ විට සාමකාමීව හා නීතිගරුකව පැවැත්වෙන බව පෙනේ.
මෙවර මැතිවරණයේදී විශාල වශයෙන් පෝස්ටර්, කටවුට් දක්නට තිබුණේ නැත.

(මනාප ක්‍රමය නොමැති වීමද ඊට බලපෑවේය)
මැතිවරණ කාර්යාල සීමා කර තිබූ අතර, කාර්යාලවල ප්‍රදර්ශනය කළ කටවුට්වල ප්‍රමාණය පවා කොමිසම විසින් තීරණය කර තිබිණි. නීති විරෝධී පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කර තිබුණේ අහුමුලුවලය: නගරයෙන් බැහැරට වන්නටය. සැරැසිලි සඳහා පොලිතින් භාවිත කෙරුණේද නැත. ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාහැරීමට පනවා තිබූ තහනම තදින් ක්‍රියාත්මක විය. ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ටද විපක්ෂයටද සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට කොමිසම පසුබට නොවීය. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූයේ අඩුවෙනි. රජයේ පත්වීම්, උසස්වීම් හා මාරු කිරීම් සියල්ල අත්හිටුවූ කොමිසම ඇතැම් මැති - ඇමැතිවරුන් එවැනි දේ කිරීමට ගත් උත්සාහයන් ලත් තැනම ලොප් කළේය. බැඳුම්කර විවාදයට දින නියම කළ පසු කොමිසමේ මැදිහත්වීම නිසා දිනය වෙනස් කිරීමට ආණ්ඩුවට සිදුවීම කොමිසමේ බලාධිකාරයට හොඳම නිදසුනකි. ඊට ජනාධිපති හෝ අගමැති මැදිහත් නොවිණි. මේ පසුබිම තුළ පොලිසියද 'නීතිය' ක්‍රියාත්මක කිරීමට පසුබට වූයේ නැත. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද ඔවුන් බෙදුවේ එකම හැන්දෙනි. හෝමාගම පැවැති අවසන් ප්‍රචාරක රැලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිසියට ස්තූති කළේ එනිසා විය යුතුය.

ස්වාධීන මැතිවරණ කොමිසම සිය බලය ගෞරවනීයව ක්‍රියාත්මක කිරීම නිසා සාධාරණ හා නිදහස් පුංචි ඡන්දයක් ලැබී ඇත. යම් යම් දුර්වලකම් තිබුණද නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදුන් මෛත්‍රි - රනිල් ආණ්ඩුවටද ප්‍රශංසා හිමිවිය යුතුය. එහෙත් වඩා වැදගත් වන්නේ මේ කිසිවක් නොව ඡන්ද දායක ජනතාව ගන්නා තීන්දුවයි.
එක්සත් ජාතික පක්ෂය (උව්ර්ථී), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ඉඹ්ජ්ර්ථී), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ඉඹ්ර්ථීර්ථී) හා ජනතා විමුක්ති පෙරමුණ (බ්ඍර්ථී) යන ප්‍රධාන දේශපාලන පෙරමුණු 'ගම' හදන ඔවුන්ගේ වැඩපිළිවෙළට වඩා මැතිවරණ වේදිකාවේ කතා කළේ ජාතික තලයේ ප්‍රශ්න ගැනය. 'ගම' වෙනුවට 'රට' ගැන කතා කළ මෙවැනි පුංචි ඡන්දයක් මීට පෙර මෙරට පවත්වා නැත.

එහෙත් ඡන්දදායක ජනතාව හෙට සිය වටිනා ඡන්දය පාවිච්චි කළ යුත්තේ රට මෙන්ම ගම ගැනද සිතාය. හැඟීම් හා ආවේග මත පදනම්ව නොව තර්කානුකූලව සිතා සබුද්ධිකවය. එහෙත් සිදුවී ඇත්තේ එහි විලෝමය ය. නිදහසින් 70 වසරකටත් පසු රට අඳුරු අගාධය ගමන් කරමින් සිටින්නේ ඒ නිසාය.

මේ පුංචි ඡන්දයේදී ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ කරුණු කාරණා දෙස විචාරශීලීව හා විචක්ෂණශීලීව විශ්ලේෂණය කර පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්නේ නම් වටින්නේය. ඡන්දදායක ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් හෝ යෝධ ගමනක් උදෙසා පුංචි පියවරක් තැබීමට සිතීම දහසක් පරාජයන් අතර එක් ජයග්‍රහණයක් වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon