හෙළ සසුන් කෙත පොහොණි කළ වියතාණෝ

  👤  3215 readers have read this article !
2018-02-08

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවන් අපවත් වූයේ ස්වකීය පැවිදි දිවියට හැට දෙවැනි වස සැපිරීමට සති කිහිපයක් ඉතිරිව තිබියදීය.
1942 බක් මාසයේ 14 වැනි දින එනම්: අලුත් අවුරුදු දිනෙක උපන් ඕමන්තගේ ගිල්බට් පෙරේරා පුතණුවන් බෙල්ලන්විල විමලරතන නමින් පැවිදි බව ලැබුවේ 1956 පෙබරවාරි 28 වැනිදාය. විශේෂත්වය වන්නේ උන්වහන්සේ ස්වකැමැත්තෙන් සසුන්ගත වීමය.

විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකරගත් විමලරතන හාමුදුරුවෝ 1980දී බි්‍රතාන්‍යයේ ලැන්කැෂ්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත්හ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ලෙස කටයුතු කළ උන්වහන්සේ අපවත් වනවිට එම විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හෙබවූහ.

බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිකාරි ධුරය දැරූ බෙල්ලන්විල හාමුදුරුවන් වඩාත් ප්‍රකට වූයේ උගත් විද්වතකු ලෙසය. භාෂා ප්‍රවීණයකු වූ උන්වහන්සේ සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් ලියා පළ කළහ. බුද්ධ සම්ප්‍රදාය සංස්කෘතිය (1984), බුදු දහම හා වෙනත් ආගම් (1989), බුදු පිළිමයේ මුද්‍රා හා ආසන (1999), බුද්ධ ප්‍රාථමික කලාව සහ බුදු පිළිම විකාශය (1995), පාරමිතා සාහිත්‍යය (2001), විහාර ලිපි සරණිය (2006), බුදු දහම සාහිත්‍ය හා කලාව ලිපි (2006), බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ (2010), බෞද්ධ පුදපූජා සංස්කෘතිය (2013) යන ග්‍රන්ථ ඒ අතර වේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහිදීද බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළහ.

සමාජ දේශපාලන කාරණාවලදී සැමවිටම උන්වහන්සේට ස්වකීය මතයක් තිබිණි. අන්‍යයන්ගේ වුවමනාවලට අනුකූලව කටයුතු කරනවා වෙනුවට සිය මතය වෙනුවෙන් පෙනී සිටීමට තරම් පෞරුෂයක් හා අදීන බවක් බෙල්ලන්විල හාමුදුරුවන් තුළ තිබිණි.
2006 යුද සමයේ ආහාර හිඟයෙන් පීඩාවිඳුණු ලැබූ උතුරේ ජනතාවට ආහාර ද්‍රව්‍ය යවන්නැයි රජයෙන් ඉල්ලා සිටි සන්දේශයකට උන්වහන්සේද අස්සන් තබා තිබිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් තමන්ගේ මතය ආරක්ෂා කර ගැනීම උදෙසා විමලරතන හාමුදුරුවෝ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රි ධර්ම සභාවේ අනුනායක ධුරයෙන් ඉල්ලා අස්වූහ.

මාදුළුවාවේ සෝභිත, ගංගොඩවිල සෝම, වල්පොල රාහුල, මඩිහේ පඤ්ඤාසීහ නියෝජනය කරන වාරියපොළ සුමංගල සංඝ පරපුරටත් යක්කඩුවේ ප්‍රඥාරාම, රේරුකානේ චන්ද්‍රවිමල, බඹරැන්දේ සිරිසීවලී, කළුකොඳයාවේ ප්‍රඥාශේකර හිමිවරුන් නියෝජනය කරන තොටගමුවේ ශ්‍රී රාහුල සංඝ පරපුරටත් බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ නෑකම් කියති. උන්වහන්සේ ලේඛනයෙන් මෙන්ම දේශනයෙන් සසුනත්, රටත් බැබළවූහ.

බෙල්ලන්විල රජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් ජනතාවගේ හිතසුව පිණිස වැඩසටහන් රැසක් දියත් කළ විමලරතන හාමුදුරුවන් සුනාමි ව්‍යසනයෙන් සරණාගත වූ පවුල් 80කට නිවාස තනාදීමට මුල්වීම එක් නිදසුනක් පමණි. අවශ්‍ය විටදී අවශ්‍ය තැනදී උන්වහන්සේගේ සහභාගිත්වය හා දායකත්වය ලැබුණු බව කීම අතිශයෝක්තියක් නොවේ.

බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන් හදිසියේ අපවත්වීම නිසා බුදු සසුනටත් රටටත් සිදුවූ පාඩුව පිරිමැසිය නොහැකිය. මෙරට උගත් පැවිදි පරපුරේ වියතෙක් අපට අහිමිවී ගියේය.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හාමුදුරුවන් ධර්ම ශාස්ත්‍රීය ලෝකය එළිය කළ මිණි පහනකි. හෙළ සසුන් කෙත පොහොණි කළ පැවිදි රුවනකි. උන්වහන්සේගේ මෙහෙවරට මවුබිමේ ගෞරවය හිමිවිය යුතුය.

නාමකාය මෙහි තබා රූපකාය රැගෙන අද සන්ධ්‍යාවේ දැයෙන් සමුගන්නා බෙල්ලන්විල විමලරතන හාමුදුරුවනේ! ඔබවහන්සේ පැතූ බෝධිය ඔබවහන්සේ සමඟ වේවායි අපිදු ප්‍රාර්ථනා කරමු!

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්