දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීම තහනම්!

  👤  3330 readers have read this article !
2018-02-07

මේ රටට රිය අනතුරුවලින් නම් කිසිදු අඩුවක් නැත. දුම්රිය අනතුරු බහුලව සිදු නොවුණද රිය අනතුරු අතර දුම්රිය අනතුරුද සැලකිය යුතු සංඛ්‍යාවක් සිදුවේ. වැඩි වශයෙන් ඇත්තේ හරස් මාර්ගවලදී රථ වාහන දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරුය. මගීන් අනාරක්ෂිත ලෙස දුම්රියේ පාපුවරුවේ ගොස් පාලම්වල, කණුවල වැදී ඇදවැටී අනතුරට ලක්වන අවස්ථාද ඇත. ඉකුත් 5දා සිදුවූ දුම්රිය අනතුර එවැන්නක් නොව, ඉතා අවාසනාවන්ත සිදුවීමකි.

කොළඹ කොටුව-මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වූ දුම්රියක පාපුවරුවේ ගමන්ගත් මගීහු නව දෙනෙක් මොරටුව, ලුනාව දුම්රිය ස්ථාන ආසන්නයේදී ඇදවැටී සිවු දෙනෙක් මරුමුවට පත්වූහ. තුවාල ලැබූවන් පස් දෙනකු රෝහල් ගත කර තිබිණි. ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා විය.

දුම්රියේ පාපුවරුවේ ගමන්ගත් මගියකු කරේ එල්ලාගෙන සිටි බෑගයක් දුම්රිය මාර්ගය ආසන්නයේ නවතා තිබූ කුඩා ලොරියක වහලයේ පැටලීමෙන් මගියා දුම්රිය මාර්ගයට ඇදවැටී ඇති අතර ඔහු සමඟ පාපුවරුවේ සිටි සෙසු මගීන්ද ඒ සමග දුම්රියෙන් ඇද වැටීමෙන් මේ බරපතළ අනතුර සිදුවී ඇත. සිද්ධියෙන් මියගිය සිවු දෙනාගෙන් දෙදෙනෙක් 42 වැනි වියේ පසුවන්නෝ වෙති.

කාරණය අනෙකකි.
මේ දුම්රිය මගීන් පාපුවරුවේ එල්ලී ගොස් ඇත්තේ විනෝදයට හෝ හිතුවක්කාරකමට නොව දුම්රියේ ඉඩ මඳකම නිසාය. මේ අනතුර සිදුවූ කොළඹ කොටුව - මරදානේ සිට ගාල්ල බලා දිවෙන මුහුදුබඩ මාර්ගයේ සතියේ සෑම දිනකම පෙරවරුවේ හා පස්වරුවේ ධාවනය වන කාර්යාලයීය දුම්රියවල මගී තදබදය සාමාන්‍ය කාරණයකි. පාපුවරුවේ එල්ලී හෝ නිවෙස බලා යනවා මිස විකල්පයක් මගීන්ට නැත.
කෙතරම් අනතුරුදායක වුවද මෙවැනි අනතුරු මීට පෙර සිදුවී තිබුණද මගීන් පාපුවරුවේ එල්ලී යෑම අතහැර නොදමන්නේ කාර්යාලයට වේලාවට යෑමටත් අඳුර වැටීමට පෙර යළි නිවෙස බලා යෑමටත් ඇති වුවමනාව නිසාමය.

ජීවිතය ජීවත් කිරීම සඳහා ජීවිතය පරදුවට තැබීමට සිදුවීම කෙතරම් ඛේදවාචකයක්ද? නිදහස ලබා 70 වසරක් සපිරෙද්දීත් සුද්දා හදාදී ගිය "දුම්රිය" පිම්මකින් හෝ පෙරට රැගෙන යෑමට නොහැකිවීම ගැන අප ලැජ්ජා විය යුතුය. ලෝකයෙන් පොලියට ණය මුදල් ලබාගනිමින් අප මේ කාලාන්තරය පුරාම වැඩියෙන්ම කර ඇත්තේ වැඩකට නැති වැඩය. නොඑසේ නම් සුළුතරයකට අවශ්‍ය දේය.

පොදු ප්‍රවාහන සේවය දියුණු කරනවා වෙනුවට එකතැන ලගින තත්ත්වයට අප පත්වී ඇත්තේ ඇයි? ප්‍රමුඛතා හඳුනාගෙන අවශ්‍යතා හඳුනාගෙන සැලසුම් ක්‍රියාත්මක නොකිරීම නිසාය. අධිවේගී මාර්ග හැදීමට පෙර අප කළ යුතුව තිබුණේ කොළඹ සිට ගාල්ලට හා කොළඹ සිට කුරුණෑගලට තවත් දුම්රිය මාර්ගයක් එළීමය. පවතින දුම්රිය මාර්ග යොදාගෙන වැඩිපුර දුම්රිය ධාවනය කළ නොහැකිය. එහෙත් මිලියන ගණනින් ලෝකෙට ණය වෙමින් අපි පුරාජේරුවට අධිවේගී මාර්ග හදමින් සිටමු. මත්තල ගුවන් තොටක් හැදීම රටට ආඩම්බරයකි.

එහෙත් කටුනායක අන්තර්ජාතික ගුවන්තොට දැනට ප්‍රමාණවත් නිසා කළ යුතුව තිබුණේ මත්තලට වැයකළ මුදලින් ඉහත කී දුම්රිය මාර්ග දෙක එළීමය. එසේ වූවානම් මගී ප්‍රවාහනයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ඉඩ තිබිණි.

දුම්රිය සංඛ්‍යාව වැඩි වන්නේ නම් මගීන්ට අනතුරුදායක ලෙස දුම්රිය පාපුවරුවේ එල්ලී යෑමට සිදුවන්නේ නැත. පාපුවරුවේ එල්ලී නොගියද කාර්යාලයීය දුම්රිය ඇතුළේ හිටගෙන තදබදවලට මැදිව වැඩට යන ගැහැනුන් හා මිනිසුන් විඳින්නේ අපමණ හිරිහැරයකි. සතියේ වැඩකරන දිනවල සිවු දිසාවන්ගෙන් කොළඹට ඇදී එන දුම්රිය මගීන් රැකියා ස්ථානයට යන්නේ ප්‍රසන්න හැඟීමකින් නොවේ. වෙහෙස මහන්සිවී යළි නිවෙස බලා යන්නේද හෙම්බත්වීය. ඒ, සුවපහසුව සිර නොවී යෑමට තරම් ප්‍රමාණවත් දුම්රිය සංඛ්‍යාවක් ධාවනය නොවන නිසාය. පාපුවරුවේ ගමන් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් යැයි සෑම දුම්රියකම සටහන් කර තිබුණද තහනම කැඩීමට මගීන්ට සිදුවී ඇත. එහි අවාසනාවන්ත ප්‍රතිඵලය වන්නේ ජීවිතයෙන්ම වන්දි ගෙවීමට සිදුවීමය.

ඉකුත්දා වූ අනතුරින් සිදුවූ මරණ හතරට වගකිව යුත්තේ අන් කවුරුවත් නොව හැත්තෑ වසරක් මෙරට ආණ්ඩු කළ පාලකයන්ය. ඒ පාලකයන්ට අවශ්‍ය නම් සුද්දන්ට ඇඟිල්ල දිගු කළ හැකිය. ඒ දුම්රිය රටට ලබා දුන්නේ ඔවුන් නිසාය. සාමාන්‍යයෙන් මේ රටේ වරද පැටවෙන්නේ එවැනි ආකාරයටය. කනගාටුව වන්නේ ඒ බව හිස් මුදුනින් පිළිගන්නා සැලකිය යුතු පිරිසක්ද මේ රටේ සිටීමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්