බැඳුම්කර හා දූෂණ-වංචා විවාදය

  👤  3638 readers have read this article !
2018-02-06

අද පාර්ලිමේන්තුවේදී බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව හා දූෂණ-වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා 34 පිළිබඳ විවාදය පැවැත්වෙන්නේ පුංචි ඡන්දයේ උණුසුම මධ්‍යයේය. බැඳුම්කර වංචාවට චෝදනා ලබා සිටින ප්‍රධාන සැකකරුවන් වන පර්පචුවල්

ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ වංචාවට චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ද අත්අඩංගුවට ගැනීමට නියමිතය. කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන්තොටුපොළේදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 4 වැනිදාය. යුද සමයේ මිග් යානා මිලදී ගැනීමේදී බරපතළ මූල්‍ය වංචාවක් සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත. තවත් මහා පරිමාණ මූල්‍ය වංචා සහ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් සැකකාර වීරතුංග වෙත චෝදනා එල්ල වී තිබේ. මේ චෝදනා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) පරික්‍ෂණ පවත්වා ගෙන යයි.
දූෂණ-වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවලින් චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන් හා නිලධාරීන් රැසකි. අද විවාදයේදී මේ වාර්තා පිළිබඳවද කරුණු කාරණා හෙළි වනු ඇත.

ඇත්තටම අවශ්‍ය වන්නේ මේ කොමිෂන් වාර්තා ගැන විවාද නොව සංවාදයකි. සංවාදයකටත්
වඩා වැදගත් වන්නේ අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමය. බැඳුම්කර කොමිසමේ නිර්දේශ අනුව නීතිය ක්‍රියාත්මක වී ඇත. සෙසු නිර්දේශවලට අනුව නීතිය ක්‍රියාත්මක විය යුතුය. 'විවාදය' පලක් නැති බව පවසන්නේ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තුවේ විවාද කර ගන්නා මන්ත්‍රිවරුන් දෙපාර්ශ්වය අතරේ චෝදනාලැබූවන්ද සිටින නිසාය; ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද චෝදනා එල්ල වී තිබෙන නිසාය.

කාගෙ-කාගෙත් කිල්ලෝටවල හුනු ඇත. කවුරු කවුරුත් කුඩු කා ඇත. එනිසා හොරු-හොරු කියමින් බොරු ඝෝෂා කර පලක් නැත. කළ යුත්තේ අදාළ කොමිෂන් වාර්තාවලින් හෙළි වී ඇති දූෂණ-වංචාවලට වගකිවයුත්තන්ට දඬුවම් කිරීමය. අඩුම ගණනේ බරපතළ සිද්ධිත් දෙක තුනක් හෝ තෝරාගෙන අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමය.

මෙවැනි දූෂිත වංචනික දේශපාලනඥයන් සහ ඔවුන්ට උඩගෙඩි දෙන නිලධාරීන් සමඟ තවදුරටත් රටට ගමනක් නැත. එනිසා ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, හිටපු ජනාධිපති ප්‍රමුඛව සියලු දෙනා එක්සත්ව එක්සිත්ව දූෂණ
විරෝධී ධජය යටතේ හොරකමට යළි ඉඩ නොලැබෙන පරිසරයක් රටේ ගොඩනැඟිය යුතුය. පුංචි ඡන්දයේදී සියලු වේදිකාවල ඇසෙන්නේ දූෂණ
විරෝධී හඬය. එය තවත් ඡන්ද ගුණ්ඩුවක් නොවිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්