නිදහස සහ දේශප්‍රේමය

  👤  2839 readers have read this article !
2018-02-05

1948 පෙබරවාරි 4 වැනිදා බි්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු දේශපාලන නිදහස සුපුරුදු පරිදි මෙවරත් සමරනු ලැබීය. 70 වැනි නිදහස් සමරු උළෙලේ ආරාධිත අමුත්තා වූයේ බි්‍රතාන්‍යයේ එඩ්වඩ් කුමරුය. 90 දශකයේ අග භාගයේ එක් නිදහස් සමරු උළෙලකට බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයා ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

නිදහස් සමරු උළෙලට ලංකාව යටත් කරගෙන සිටි රටේ කුමාරවරුන් ආරාධිතයන් ලෙස කැඳවා ගැනීම ගැන විවාදයක් හටගෙන තිබුණද 'නිදහස' ට 70 වසරක් ගතවුණද රට පෙරට යෑම ඉබිගමනින් සිදුවන්නේ මක්නිසාදැයි සැලකිය යුතු විවාදයක් නම් මෙතෙක් ඇරැඹී නැත. පුංචි පුංචි කාරණා අල්ලා ගෙන වාද විවාද කිරීමට මිස සැබෑ ප්‍රශ්න ගැන වාද විවාද කිරීමට දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව පවා මැළි වෙති.

එහෙත් ඊයේ නිදහස් සමරු උළෙලේදී ජාතිය ඇමැතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ පිළිබඳව සිය කතාවේදී අවධානය යොමු කර තිබිණි. එතුමා කියා සිටියේ සංවර්ධනයේදී ජාතික ප්‍රමුඛතා නොසලකා පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව ගෙවී ගිය දශක කිහිපයේ වැඩකටයුතු සිදුවූ බවය. ඇත්ත වශයෙන්ම ගෙවුණු 70 වසරක කාලය තුළ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මකවීම මෙතරම් අඳුරු අගාධයකට රට ඇදී යෑමට ප්‍රමුඛතම හේතුව ලෙස සැලකිය හැකිය. අසල්වැසි ඉන්දියාව කොතරම් සීමා සහිත කාරණා මධ්‍යයේ වුවද ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කිරීම නිසා අපට වඩා ඉදිරියෙන් සිටින බව නොරහසකි.

දූෂණ විරෝධය ශක්තිමත් කිරීම
දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම, රටක අනාගත සංවර්ධනයේ ආත්මාරක්ෂාව බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය අතිශය වැදගත්ය. දූෂණය, වංචාව නැති කිසිදු රටක් ලෝකයේ ඇතැයි සිතිය නොහැකි වුණත් දූෂණය, වංචාව අවම වන රටවල් ලෝකයේ ඕනෑ තරම් ඇත. කිසිදු මනුෂ්‍යයකු උපතින් හොඳ හෝ නරක වන්නේ නැත. ඔවුන් මේ සියල්ල උකහාගන්නේ සමාජයෙනි. එනිසා සියල්ල තීරණය වන්නේ 'ක්‍රමය' මත පදනම්වය. 'ක්‍රමය' විසින් සමාජය හික්මවයි.


දූෂණය අවම ලෝකයේ ප්‍රමුඛ රටවල් එතැනට පැමිණ ඇත්තේ එකවර නොව
ක්‍රමානූකූලවය. ශක්තිමත් ක්‍රමයක් සකසා ගැනීමට ඔවුන් සමත්වීම නිසා ඉන් පිට පැනීම
දුෂ්කර වී ඇත. එසේ පිට පනින්නන්ට 'ක්‍රමය' විසින් දඬුවම් දෙනු ලබයි. වියට්නාමයේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකුට දූෂණ චෝදනා නිසා දඬුවම් ලැබෙන්නේ ඒ නිසාය. දූෂණ විරෝධී රටවල තත්ත්වයද ඒ හා සමානය. අසල්වැසි ඉන්දියාවේ කොතරම් දූෂණ සිදුවුවද සිවිල් සංවිධාන, මාධ්‍ය, ඇතැම් දේශපාලන සංවිධාන දූෂණයට එරෙහිව දැඩිව විරෝධතා දැක්වීම නිසා දූෂිතයන්ට ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නැත.

මෙරට සිදුව ඇත්තේ දූෂණයට එරෙහි වන්නන්ද අවසානයේ දූෂිතයන් බවට පත්වීමය. දාර්ශනික කාල්මාක්ස්ගේ ප්‍රකාශයකට අනුව රාත්‍රියේ වීදියේ නිවෙසක් බිඳීමට කතිකා කරගත් හොරුන් දෙදෙනකු එදින දහවලේ වීදියේදී ගුටි ඇන ගත්තේ සෙස්සන්ව රැවටීමටය. මෙරට පාලකයන්ද එවැනිය. දෙපිල බෙදී එකිනෙකාට චෝදනා කරගත්තද හොරකමේදී එකිනෙකාට ආරක්ෂාව ලබාදෙයි. නිදහස් උළෙලේදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් අනුව නම් එතුමා දූෂණ විරෝධී අරගලයකට නායකත්වය දීමට සූදානම් බව පෙනේ. 2015 ජනවාරි 8 ජනවරමද මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණේ දූෂණයෙන් භීෂණයෙන් තොර යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසාය. එනිසා පමාවී හෝ ඒ ජනවරමට සාධාරණය ඉටුකිරීමට ක්‍රියාත්මක වේනම් එය පැසසිය යුතුය.

නිදහසින් 70 වසරකට පසුව හෝ දූෂණය, අල්ලස, හොරකම හා නාස්තිය පිටුදැක මූල්‍ය විනයක් සහිත නීතිය සාධාරණව ක්‍රියාත්මක වන කාර්යක්ෂම රාජ්‍යයක් නිර්මාණය කළ හැකිවේ නම් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදිම මේ මොහොතේ 'දේශප්‍රේමය' එය මිස අනෙකක් නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon