මල්ටි බැරල් ප්‍රහාර ගැන කරූගෙන් අනතුරු ඇඟවීමක්

  👤  4854 readers have read this article !
2018-02-04

යහපාලන ආණ්ඩුවේ හවුල්කරුවන් වූ එජාප - ශ්‍රී ලනිප වේදිකාවේ දෙකට බෙදී එකිනෙකාට ප්‍රහාර එල්ල කරන තැනට පත්වීම ගැන යහපාලනය ගෙන ඒමට නොයෙක් අයුරින් සහයෝගය දැක්වූ ජාත්‍යන්තර ප්‍රජාවත්, ඉහළ පෙළේ ආයෝජකයන්, ව්‍යාපාරිකයන් කිසියම් කලකිරීමකට පත්වී සිටින බව කතානායක කරු ජයසූරිය මහතාට දැනගන්නට ලැබිණි.

කලක් මේ රටේ ව්‍යාපාර රැසක නායකයකු මෙන්ම තානාපතිවරයකු ලෙසද කටයුතු කළ කතානායකවරයා සමඟ මෙරට සිටින එතෙර තානාපතීන් ගණනාවක් මෙන්ම ව්‍යාපාරිකයන්ද කිසියම් සන්නිවේදනයක් ගොඩනඟාගෙන තිබීම හරහා ඔවුන්ගෙන් තමන් වෙත වාර්තා වූ මෙම අනතුරු හැඟවීම ජනපති, අගමැති දෙපළට දැනුම්දීමට කතානායකවරයාට අවශ්‍ය විය.
ජනවාරියේ අවසන් සතියේ දිනෙක කතානායක කරු ජයසූරිය මේ පිළිබඳ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දැනුවත් කළ අතර තමන්ට ඔවුන් නොපමාව හමුවන්නට අවැසි බව දැන්වීය.

"අපි ඉක්මනින්ම හමුවෙලා කතාකරමු කතානායකතුමා" ජනපති කතානායකතුමාට දැන්වීය.
එසේ වුවද සතියක කාලයක් ගතවුවද එම හමුවට ඉඩක් නොවුණේ පුංචි ඡන්දයේ උණුසුමින් දෙපාර්ශ්වයම කාර්යබහුල වූ නිසාය. මේ අතර පසුගිය සඳුදා දහවල් ජනාධිපතිවරයාට කතානායක කරු ජයසූරිය යළිත් හමුවිය.
"දෙපැත්තකට වෙලා තවමත් කරන සටන එතරම් හොඳ නෑ. සටන් විරාමයකට කතා කරන එක ප්‍රමාද වන තරමට මල්ටිබැරල් ප්‍රහාරත් දෙපැත්තටම විසිවෙනවා."
"එහෙනම් අපි හෙට උදේ හමුවෙමු" ජනපති කීවේය.
ඒ අනුව මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේදී පසුගිය අඟහරුවාදා උදෑසන ජනපති, අගමැති, කතානායක තිදෙනා හමුවූහ. එම හමුව විනාඩි 45ක කාලයක් දක්වා ඇදී ගියේ කතානායකවරයා සාම නියෝජිතයකු බවට පත් කරමිනි.
දේශපාලන වේදිකාවෙදී සීමාව පන්නන්න එපා
ජනාධිපති නිල නිවසේදී කතානායක කරු ජයසූරිය ආණ්ඩුවේ මහ දෙන්නාගෙන් ඉල්ලා තිබෙන්නේ දේශපාලන විරසක භාවයන් ඇතිකර නොගන්නා ලෙසය. මේ දිනවල මැතිවරණ වේදිකාවන්හිදී ප්‍රදර්ශනය වන විරසකය යහපාලන අරමුණු ඉටුකර ගැනිමේදී බාධා විය හැකි බවය.
"මම කරන්නේ ඉල්ලීමක්, මෙතැන දේශපාලනයක් නෑ. මට පේන හැටියට පක්‍ෂ දෙකේම අය දේශපාලන වේදිකාවේ සීමාව පන්නලා කතා කරනවා. මේ කතා නිසා රටේ ආර්ථිකය අස්ථාවර වෙන්න පුළුවන්.

ආයෝජකයෝ බය වෙනවා. කොටස් වෙළෙඳපොළ කඩා වැටෙනවා. ඡන්දෙන් පස්සේ නැවතත් රට අස්ථාවර විය හැකි බව ආයෝජකයන් කල්පනා කරනවා. අප මෑතකදී ළංකරගත් ජාත්‍යන්තර ප්‍රජාව ගැටලුවකට මුහුණ පානවා. මේ ප්‍රශ්න ඇතිවීම රටට හොඳ නැහැ" කතානායක පවසා තිබේ. දැනගන්නට තිබෙන ආකාරයට ජනපති-අගමැති දෙදෙනාම ඊට සුහදශීලී එකඟතාව පළකර ඇත.

නිදහස් සමරුව
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව අදට (4දා) යෙදී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාතික නිදහස් දින උළෙල ගාලුමුව‍ෙදාර පිටියේදී පැවැත්වේ. මෙවර උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබ සිටින්නේ බි්‍රතාන්‍ය එළිසබෙත් රැජනගේ බාල පුත්‍රයා වන එඩ්වඩ් කුමරුය. අද පෙ.ව.9.30ට යෙදෙන සුබ මොහොතින් ජනාධිපතිවරයා ජාතිය අමතා සිය දේශනය පවත්වනු ඇත.
වසර 15කට පෙර 2003 වසරේද අද වැනි දිනක නිදහස් උළෙල පවත්වන ලදී. එදා උත්සවය පැවැතියේ ටොරින්ටන්හි නිදහස් චතුරස්‍රයේය. එදා ජනපති, ශ්‍රී ලනිප නායිකා චන්ද්‍රිකා කුමාරතුංග අගමැති එජාපයේ රනිල් වික්‍රමසිංහය. අදත් එසේමය. ජනපති ශ්‍රී ලනිප නායක මෛත්‍රිපාල සිරිසේනය. අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහය. වසර පහළොවකට පසු රෝදය කරකැවී එතැනටම පැමිණ තිබේ.

2003 සහ 2018
එදා 2003දී ජනපතිනි චන්ද්‍රිකා ජාතිය අමතා මෙසේ කීවාය.
"නිදහසට වසර 55ක් ගතවන මෙම ඓතිහාසික අවස්ථාවේදී දෛවය විසින් අපට ඉතාමත් විශිෂ්ට අවස්ථාවක් නැවතත් උදාකොට දී තිබේ. අපේ පරාජයන් හා වැරැදි නිවැරැදි කර ගනිමින් ජාතික පුනර්ජීවනය සහ ජාතීන් අතර සමඟිය නිර්මාණය කරමින් බහු සංස්කෘතික බහු වාර්ගික හා දේශපාලනමය වශයෙන් ශක්තිමත් එක්සත් රාජ්‍යයක් ගොඩනඟා ගනිමින් ආර්ථික සෞභාග්‍යයේ මාවත ඔස්සේ ගමන් කරවීමට අවස්ථාව එළැඹ ඇත.
මගේ ප්‍රථම ආණ්ඩුව වෙනුවෙන් 1994දී ආර්ථික සංවර්ධනය සඳහා වූ දර්ශනය මම රටට යෝජනා කළෙමි. එසේම 21 වැනි සියවස සඳහා වූ දර්ශනය ඇතුළත් 2010 සඳහා වූ වැඩසටහනක්ද මම ඉදිරිපත් කළෙමි. එම වැඩපිළිවෙළ අදටත් වලංගු හා අදාළ යැයි මම විශ්වාස කරමි. එමඟින් අද අප මුහුණ පා සිටින බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනු ඇත. සංවර්ධනයේ සියලු අංශ ඊට ඇතුළත්ය. මේ සැලැස්මේ ප්‍රමුඛත්වය වන්නේ සංවර්ධනයේ ඵල ප්‍රයෝජන ග්‍රාමීය ප්‍රදේශවලට හා බහුතර ජනතාවට ලබාදීමයි. එහිදී විරැකියාව හා දුප්පත්කම අඩු කිරීම ගැනද යෝජනා ඉදිරිපත් කර ඇත.

දූෂණයට හා අකාර්යක්ෂමතාවට තුඩු දෙන ද්වේෂය, කුලල් කා ගැනීම් සහ පටු ලාභ ප්‍රයෝජන ලබාගැනීමේ චේතනාවෙන් මිදුණු රාජ්‍ය පාලනය පිළිබඳ දර්ශනයක් අපට අවශ්‍යය. උදාර සිත් සතන්වලින් යුක්ත වූ අඳුරෙන් ආලෝකයට අපව කැඳවාගෙන යා හැකි නායකයන් අපට අවශ්‍ය වේ."
එදා මෙදා වසර 15ක් ගෙවීමෙන් අනතුරුව නමුත් අදත් නිදහස් උළෙලේදී නැවත වාදනය කරන්නට සිදුව තිබෙන්නේ මේ තැටියමය.

විවාදයට අල්ලපු කස්තිරම
බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාදය මැතිවරණයෙන් පස්සට දාගන්නට ප්‍රධාන පක්ෂ තුනම කස්තිරම් ඇල්ලුවේය. සභානායක කිරිඇල්ල යෝජනා කළේ එය පෙබරවාරි 20, 21 දිහාට තල්ලු කරන්නටය. ඒකාබද්ධයේ දිනේෂ් හා ජවිපෙ අනුරගේ ඉල්ලීම මත එය 8 වැනි දිනට යොදා ගන්නට හැකි විය. එදින පළාත් මැතිවරණයේ නිහඬ දිනය බැවින් මැතිවරණ කොමිසම අසතුට පළකර තිබිණි. තත්ත්වය එසේ තිබියදී ජනාධිපතිවරයා මැතිවරණ ජන හමුවකදී ප්‍රකාශ කළේ,

'පුළුවන් නම් බැඳුම්කර වාර්තා විවාදය පෙබරවාරි 10ට පෙර තියන්නට' තමා අභියෝග කරන බවය. ජනාධිපතිගේ ප්‍රකාශයත් සමඟ ජවිපෙ නායක අනුර කතානායකට ලිපියක් යවමින් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සැලකිල්ලට ගෙන විවාදය ඉදිරියට ගැනීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසය. ඒ අනුව පසුගිය 30 පක්ෂ නායක රැස්වීම කැඳවූ අතර මැතිවරණ කොමිසමේ සභාපතිද ඊට සහභාගි විය. එහිදී දීර්ඝ සාකච්ඡාවලින් පසු ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් හා ජවිපෙ විජිතගේ අදහස් අනුව පෙබරවාරි 6 තීරණය කෙරිණි. විවාදයක් සඳහා 6 ප්‍රායෝගික නොවන බව එජාපයේ කිරිඇල්ල හා රවි ප්‍රකාශ කළ අතර ශ්‍රී ලනිප මහින්ද සමරසිංහ හා දෙමළ සන්ධානයේ සුමන්තිරන් 6 වැනිදාට එකඟතාව පළ කළේය. අවසානයේ අගමැති අනුමැතියද ලැබුණු හෙයින් 6 වැනිදා විවාදය ස්ථිරය.

වැඩකට නැති විවාදයක්
මේ අතර 31 වැනිදා ජනපති මාධ්‍යවේදීන් සමඟ කළ සාකච්ඡාවේදී පවසා තිබුණේ බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බරපතළ වංචා දූෂණ කොමිසමේ වාර්තාවත් පිළිබඳව 6 වැනිදා එක් දින විවාදයක් පැවැත්වීම රටට පේන්න කරන ඇස්බැන්දුමක් මිස වැඩකට නැති විවාදයක් බවය. දූෂිතයන්ට දඬුවම් කිරීමේ ප්‍රමාදයක් වේනම් එයට වගකිව යුත්තේ එජාපය බවද ජනපති සිරිසේන කියා තිබිණි.


ජනපතියි - අගමැතියි
පෙම් යුවළක් වගේ
'මන්ත්‍රිතුමා ආණ්ඩුවට විවාදය දෙන්නම වුණා නේදැයි' මාධ්‍යවේදියකු සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාගෙන් ඇසුවේ පාර්ලිමේන්තු කොරිඩෝවේදීය.
'ඡන්දෙ ඉවර වෙනකල් මොකක්හරි කරන්නත් එපැයි. දෙගොල්ලොම කරන්නේ බොරුව. රටේ මිනිස්සු අන්දන්න මරා ගන්න හදනවා වගේ පෙන්වනවා. රෑට රෑට ලයිට් නිවාගෙන හමුවෙලා සාකච්ඡා කරනවා. ඇයි දැක්කෙ නැද්ද ඡන්දෙදි මොනව කිව්වත් ඡන්දෙන් පස්සේ ජනාධිපතියි අගමැතියි පෙම් යුවළක් වගේ ආදරෙන් ඉඳියි කියලා. රවි කරුණානායකත් කිව්වා ඡන්දෙ දවස්වල ජනාධිපතියි අගමැතියි කියන දේවල් ගණන් ගන්න එපා' කියලා. හඳුන්නෙත්ති පිළිතුරු දුන්නේය.

ගිරිය පුප්පන්නේ ඡන්ද කඩන්නයි
ජනාධිපති සිරිසේන රත්නපුරේ පැවැති ජන හමුවේදී පොහොට්ටුවේ උදවිය හොල්මන් වන කතාවක් කීවේය.
"එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු 96 දෙනා හෙට උදේ මා හමුවෙලා මාත් එක්ක එකට හිටගන්නවා නම් හෙට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන්න මම සූදානම්'
ජනාධිපතිගේ ප්‍රකාශය ශ්‍රී ලනිප පමණක් නොව එජාපයද හෙල්ලුම් කන්නක් වූයේය. එම ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන බොහෝ දෙනා බොහෝ දේ කීහ. අනෙක් කතා කෙසේ වෙතත් වඩා වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම කළ කතාබහය.

පෝයදා හවස්වරුවේ මහින්දගේ විජේරාම පාරේ නිල නිවෙසට ප්‍රසන්න, පවිත්‍රා, ජොන්ස්ටන් ඇතුළු කීප දෙනෙක් එකතු වූහ. කතාව ආරම්භ කළේ ප්‍රසන්න රණතුංගය.
'ඔය අලුත් වටයකින් ජනාධිපති එළියට දැම්මේ අර අගෝස්තු මැතිවරණයේදී දාපු සෙල්ලමමයි. මතකද? එදා කිව්වා සන්ධානය දිනුවත් මහින්දට අගමැතිකම නම් දෙන්නෙ නෑ කියලා. දැන් කියනවා සන්ධානෙ ඔක්කොම එනවා නම් ආණ්ඩුවක් හදනවාලු. එයා හදන්නේ ආණ්ඩු හදන්න නෙවෙයි. අපේ ඡන්ද කඩන්නයි.
'දැන් එයා ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. එක එක වෙලාවට එක එක කතා කියනවා' ජොන්ස්ටන් කීවේය.

'එතුමාගේ මන්තරේ එයා හොරා මෙයා හොරා, අරයා හොරා ඔක්කොම හොරු එයා විතරයි හොඳ. ඔය කතා දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ' පවිත්‍රා කීවේය.
'සිරිසේන මහත්තයා ට්‍රයි කරන්නේ දන්න තරම් වැඩ කිඩ දාලා පක්ෂයට ඡන්ද ටික ඇදගන්නයි. දැන් බැන බැන ගියාට ඡන්දෙන් පස්සේ ඔය දෙගොල්ලො එකතු වෙනව ඒක මිනිස්සු හොඳට දන්නවා' ප්‍රසන්න කීවේය.
'ජෝඩුව අන්තිමට පරණ පෙම්වතුන් හැටියට එකතු වෙනවා කියල ලක්ෂ්මන් කිරිඇල්ල කියා තිබුණා' ජොන්ස්ටන් කීවේය.
මහින්දත් කතා කළේ ඔවුන්ගේ අදහස් අනුමත කරමිනි.

'මෙයාලා බලයට ආවේ බොරු කියලා. ජනාධිපතිවරණෙදි මොන තරම් බොරු කීවද? ලැම්බෝගිනි, රත්රන් අශ්වයෝ, ඩුබායි ගිණුම්වල සල්ලි. කෝ මොනවත් එළිවුණාද? මිනිස්සු එක පාරක් අහුවුණාට ආයෙ රැවටෙන මෝඩයෝ ලංකාවේ නැහැ.' මහින්ද කීවේය.
ඔව්. ඉතින් අවුරුදු තුනක්ම ගියාට පස්සෙ තමයි දැන් වැඩ කරන්න මතක් වෙලා තියෙන්නේ ප්‍රසන්න සිනාසුණේය.
හැබෑ වැරැදිකාරයෝ අල්ලලා නඩු දාන්නේ නැතුව දැන් ගිරිය පුප්පනවා රැස්වීම් දෙවනත් කරනවා 2008 හිටන් වංචා වුණා කියලා. ජොන්ස්ටන් පැවැසීය.
මැතිවරණයෙන් උපරිම වාසිය ගන්න හැම පක්ෂයක්ම උත්සාහ ගන්නවා

බ්‍රහස්පතින්දා අම්පාරේ රැලියට එක්වීමට නියමිතව තිබුණද අගමැතිවරයා උදේම අරලියගහ මැඳුරට ගියේ එජාප මැති ඇමැතිවරු සමඟ ගෙවී ගිය සතියේ දේශපාලන සමාලෝචනය සඳහාය.
'ප්‍රභූ හොර නඩ දෙක එකතු වෙලා බැඳුම්කර හා බරපතළ දූෂණ වංචා කොමිෂන් දෙකට පාර්ලිමේන්තු විවාදය ඡන්දයෙන් පස්සට දැම්මාය කියන බරපතළ චෝදනාවට උත්තර ලෙස ඡන්දයට කලින් එම විවාදයට දින නියම කිරීම කවුරුත් අගයනවා.' වජිර අබේවර්ධන කතාවට මුල පිරිවේය.
'ප්‍රභූ හොර නඩ දෙක එකතුවෙලා කියන කතාව අසාධාරණ එකක්. අනික විවාදය ඡන්දයට කලින් නොතියාවි කියල හිතල මුලින් කියල විවාදයට සියල්ල සූදානම් කළාට පසු ඒක ඇස්බැන්දුමක් කියල කීමත් පුදුම දෙයක් බව ජනතාව කියනවා' පී. හැරිසන් කීවේය.

'ඔව් ඔච්චර ලොකුවට හිතන්න එපා. සියලු පක්ෂ මේ වෙලාවෙ මැතිවරණයෙන් උපරිම වාසි ගන්නයි බලන්නෙ. ඒක සාමාන්‍ය දෙයක්.' අගමැතිවරයා කිවේය.
විවාදය යට ගහන්න හදනවා කීවාම විවාදය දුන්නාම ඒක ඇස්බැන්දුමක් කියල හැම ජනමාධ්‍යකම ගියා. ජනාධිපතිතුමා නැති කරන්නයි සමහර මාධ්‍ය හදන්නේ.' දයා ගමගේ කීවේය.

මම කියන්නේ මාව ශක්තිමත් කරන්නයි 'මහින්ද යුගයේදී රු. ටි්‍රලියන 10ක් ණය අරන් ඉන් 09ක් ආගිය අතක් නැති බවටත් කතාවක් එළියට ආවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මේ සංඛ්‍යා ලේඛන දුන්නා කියලයි කියන්නේ. 2016 බැඳුම්කරේ ගැනත් ඔය දෙපාර්තමේන්තුව දීපු සංඛ්‍යා ලේඛන නිවැරැදි නැති බව බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව පෙනී යනවා' ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
'මේ රජය යටතේ ආපු මුදල් සමාගම්වලට ගියා කියලත් චෝදනාවක් එල්ල වුණා නේද? ගයන්ත ඇසුවේය.
'මුදල් අමාත්‍යාංශය පැත්තටයි ඒ චෝදනාව එල්ල වුණේ. එහෙම දෙයක් වෙලා නැති බවයි මට ආරංචි. ඒත් ඒ ගැනත් අපි සොයනවා.'
අගමැතිවරයා කීය.
ජනාධිපතිතුමා ඔබතුමාගෙන් ශක්තිය ඉල්ලනවා දූෂිතයෝ ම¾ඩින්න කියලා. දයා ගමගේ කීය.
'ජනාධිපතිතුමාට කාගෙවත් ශක්තිය ඕනෙ නෑ. මම ගමට ගිහින් කියන්නේ මාව ශක්තිමත් කරල ගම හදන්න සහාය දෙන්න කියලයි.' අගමැති කීය.
මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන නිර්දේශ
' ජනාධිපති කැඳවපු පක්ෂ නායක රැස්වීමට පක්ෂ නායකයො හුඟ දෙනෙක් ආවේ නෑ. ඒත් කතානායකතුමා කැඳවපු එකට ආවා නේද?' පී. හැරිසන් ඇසුවේය.
ඡන්දය මැද හුඟ දෙනෙකුට එන්න අමාරුයි. අනික කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට දැම්මම වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. ජනාධිපතිතුමාට වුණත් ඒකට බලපෑම් කරන්න තියෙන ඉඩ ඉතා අඩුයි. 06 දා විවාදයට ටී. එන්. ඒ. හා මනෝ ගනේෂන්ගේ පක්ෂය එන්නේ නැති බව ඇඟෙව්වා. ඡන්දය කටේ තියාගෙන කොයි පක්ෂයටත් අමාරුයි. ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

'මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරන නිර්දේශ වංචාව හෝ දූෂණ කොමිසමේ පිටු එක්දහස් ගණනේම නැති බව ඒකාබද්ධය කියනවා. ඒත් පිටු අංක 138 ඉඳල 151 දක්වා පිටුවල එය සඳහන් වෙන බව අජිත් පෙරේරා කීවා.' ගයන්ත කීවේය.
'මහින්දට එරෙහි මේ නිර්දේශ ගැන එජනිස හා ශ්‍රී ලනිප මහ ලේකම්වරුන්ගේ ස්ථාවරය රටට එළි කරන්න කියල එජාප පසුපෙළ ඔවුන්ට ලියුමක් ලියන්න යනවා කියල මට දැන්වූවා. ඒවායේ පිටපත් ජනාධිපති හා අගමැතිටත් යොමු කරන බව මන්ත්‍රිවරු කිව්වා. කිරිඇල්ල කීය.
ජනාධිපති මුක්තිය,

ධුරය දරනතාක් පමණයි
එජාපය අපේ මැති ඇමැතිවරුන්ට ඔප්පු නොවූ චෝදනා ආපු ගමන්ම පියවර ගත්තා. දැන් ශ්‍රී ලනිප අනුශාසක මහින්ද ගැන එජනිස හා ශ්‍රී ලනිපය ගන්නා පියවර ගැන මුළු රටම බලා ඉන්නවා කියලයි මිනිස්සු කියන්නේ.' නවීන් දිසානායක ගැඹුරු විග්‍රහයක් එළිදැක්වීය.
'පළාත් පාලන මැතිවරණය එජාපය දිනනවා. යම් තැන්වල 50% ගන්න අමාරු වුණොත් විකල්ප විසඳුමක් බලමු. සමීක්ෂණ වාර්තා එජාපයට හොඳ මට්ටමේ තියෙන්නෙ.' අගමැති කීය.

'මහින්දට චෝදනා එල්ලවීම සිදුකළත් ඔහු ජනාධිපතිකම් කරන කාලෙ තිබුණු මුක්තිය ඊට හරස්වේදැයි සමහරු අහනවා' පී. හැරිසන් කීය.
ජනාධිපතිකම් නැතිවූ පසු ජනාධිපතිකම් කරන කාලෙ සිදුකළ වැරැදි තිබේනම් ඊට වගකියන්න වෙනවා. චන්ද්‍රිකා මැතිනියගෙ ජනාධිපතිකම නැතිවූ පසු වෝටර්ස් එජ්වලට අදාළ චෝදනාවෙදි වරද පැටවිලා එතුමියට වන්දි පවා ගෙවන්න වුණා.' එජාප නීති අංශ ප්‍රධානියෙක් පැහැදිලි කළේය.

ඒ හොරුද - මේ හොරුද ජවිපෙද?
විජිත හේරත් ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට ආවේ ගඩොල් කැට දෙකක් බඳු විශාල පොත් දෙකක් උස්සාගෙනය. බැලූ බැල්මට පෙනුණේ කාල් මාක්ස්ගේ - එංගල්ස්ගේ වෙළුම් දෙකක් මෙනි. නමුත් ඔහු අත වූයේ මේ මොහොතේ ලංකාවේ වඩාත්ම ආන්දෝලනයට ලක්වන පොත් දෙකය. එකක් මහ බැංකු බැඳුම්කර වාර්තාවය. අනෙක බරපතළ මූල්‍ය අපරාධ කොමිසමේ වාර්තාවය. එක අතක යූඇන්පීයේ පැටිකිරිය අනෙක් අතේ එජනිස ආණ්ඩුවල පැටිකිරිය. විජිත කීවේ දැන් ජනතාවට මැතිවරණයේදී තෝරා ගන්න ඉතාම පහසුයි. තෝරා ගන්නේ මේ පැත්තේ හොරුද මේ පැත්තේ හොරුද නැතිනම් ජවිපෙදැයි මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය. වාර්තා දෙක අතේ තියාගෙන විජිත කතා කරන ඡායාරූපය සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය. ඒ ගැන ඒකාබද්ධයට මෙන්ම ආණ්ඩුවටද රිදී තිබූ බව දැන ගත හැකි වූයේ වටින් පිටින් ලැබුණු ප්‍රතිචාර සහ වෙබ් අඩවිවල මත දැක්වීම් අනුවය. මැතිවරණ වේදිකාවේද විජිතගේ ප්‍රකාශ විවේචනය වූයේය.

'මේ වාර්තා අනුව නීතිමය පියවර ගන්න ඕනෑ. කියාපු විදියට හොරුන්ට මඩු වලිගෙන් තැළුවෙ නෑ. අද කඩුවෙන් කොටන්නෙත් නෑ. ආණ්ඩුව දුවන්නෙත් හොරුත් එක්ක. අලුතෙන් හදන ආණ්ඩුවට දුවන්න වෙන්නෙත් හොරුත් එක්ක.' විජිත එදින ප්‍රකාශ කළේය.

දුරකතනයෙන් විජිත ඇමතූ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කීවේ මහින්දගේ කට්ටියට හොඳටම තරහ ගිහින් අන්න සුනිල් පෙරේරාටත් ගහනවා ඔහු කීවේය.
ඔය කලබලය ඔය කාරණය නිසාමත් නොවෙයි ඔවුන් කලබල වී තිබෙන්නේ රට පුරා ජවිපෙට ලැබෙමින් තිබෙන මහත් ජනප්‍රසාදය නිසා ඔවුන් තැති ගැනිලා විජිත කීවේය.
හොරු රකින ගැසට් නිවේදනයක්...
මේ අතර වමේ කේන්ද්‍රය සති අන්තයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී චමීර පෙරේරා ප්‍රකාශ කළේ ඉදිරියේදී මූලය වංචාවන් සිදු කරන, හොරුන් ආරක්‍ෂා කරන ගැසට් පත්‍රයක් අගමැති රනිල් විසින් නිකුත් කර ඇති බවය. 2018 ජනවාරි 19 දාතමින් නිකුත් කර ඇති "සක්‍රිය බැරකම් කළමනාකරණය" නම් වූ එම ගැසට් පත්‍රයේ ඇතුළත් වන්නෙ මහ බැංකු අධිපතිට, මූලය මණ්ඩල සාමාජිකයන්ට හා ජේ‍යෂ්ඨ නිලධාරීන්ට විරුද්ධව අපරාධ හෝ සිවිල් නඩුවක් ගොනු කිරීමට නොහැකි වන පරිදි මුක්තිය ලබාදීම සඳහා වන කොන්දේසිය.

යහපත් චේතනාවෙන් සිදු කරන කිසියම් කටයුත්තක් සඳහා දැරීමට සිදුවන මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසීමට හෝ විමර්ශනය කිරීමට නොහැකි බව එම ගැසට් නිවේදනයේ අංක 15 දරන වගන්තියේ සඳහන් වේ.

තැපැල් ඡන්ද වර්ජනයට 750ක් දඩ
මැතිවරණ කොමසාරිස්ට නීති කඩන්නන්ගේ ඔළුවට වෙඩි තියන ලෙස පොලිසියට නියෝග දෙන්නට බලය තිබුණේය. එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිට එවැනි තනි බලයක් නැති බව පෙනේ. පසුගියදා කොමිසම රැස්වී මැතිවරණය කටේ තීන්දු කීහිපයක් ගෙන තිබිණි. සභාපති මහින්ද දේශප්‍රිය හැරුණු විට කොමිසමේ තවත් සාමාජිකයන් දෙදෙනකු සිටී ජනාධිපති නීතිඥ නලින් ජයන්ත අබේසේකර සහ මහාචාර්ය සැමුවෙල් රත්නජීව අනෙක් දෙදෙනා වෙති. කොමිසමේ රැස්වීම සඳහා මහාචාර්ය රත්නජීව සම්බන්ධ වූයේ යාපනයේ සිට ස්කයිප් තාක්‍ෂණයෙනි.
එම සාකච්ඡාවේදී තීරණය කළේ 8 වැනිදා පාර්ලිමේන්තුවේ බැඳුම්කර විවාදය පවත්වන්නේ නම් පළාත් මැතිවරණය සති තුනකින් කල් දැමිය යුතු බවය. මැතිවරණ කොමිසමේ බොහෝ තීරණ යහපත් මැතිවරණ සම්ප්‍රදායක් කරා රට ගෙනයන සාධනීය ඒවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් තැපැල් ඡන්දය සඳහා ඉල්ලුම් කොට පසුව ඡන්දය පාවිච්චි නොකොට වර්ජනය කළ රජයේ සේවකයන්ගෙන් රුපියල් 750ක දඩ මුදලක් අය කිරීමට කොමිසම ගෙන ඇති තීරණය ගැන විවිධ අදහස් පළවී තිබේ. සභාපති දේශප්‍රිය පවසන්නේ එක් තැපැල් ඡන්දයක් සඳහා කොමිසමට 750ක් වැය වන බවය.
රනිල් කඹේ දිගේලි කරන තරමට මේ ගොල්ලො දඟලනවා
අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට අවස්ථා කීපයකම ප්‍රකාශ නිකුත් කළත් එය සිදු නොවන්නේ මන්දැයි මාධ්‍යවේදියකු ජවිපෙ නායක අනුර දිසානායකගෙන් ඇසුවා.

"වරදවා වටහා ගන්න එපා මන්ත්‍රි ධුර 142ක් අතේ තියාගෙන මන්ත්‍රි ධුර 42ක් තිබුණු එජාපයට අගමැති ධුරය දෙන විට බෙල්ල නවාගෙන පූස් පැටව් වගේ ඇවිත් විපක්‍ෂයේ වාඩිවුණු පිරිස තමයි මේ විශ්වාසභංග ගෙනත් අගමැති පන්නනවා කියන්නේ. ඔවුන් සිටිය යුත්තේ ගෙදරද හිරගෙදරද කියා දෙන තීරණයේ තොණ්ඩුව රනිල් වික්‍රමසිංහ අතේ තියෙනවා. ඉතින් ඒ ගොල්ලන්ට දඟලන්න පුළුවන් රනිල් කඹේ දිගේලි කරන තරමට පමණයි.

බැඳුම්කරය ගැන කියන
කතා පරස්පරයි
බැඳුම්කර විවාදයට දින නියමව තිබේ. ශ්‍රී ලනිපයත් ඒකාබද්ධ විපක්ෂයත්, ජවිපෙත්, අවධාරණය කර ඇත්තේ බැඳුම්කර වංචාවට චූදිතයන් වන සියල්ලන්ට උපරිම දඬුවම් දිය යුතු බවය. ඔවුන් පවත්වන මාධ්‍ය හමුවලින් නැවත නැවතත් එය තහවුරුව තිබේ. එසේ වුවද අගමැති රනිල් ප්‍රකාශ කරන්නේ බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් එජාපයට කිසිදු චෝදනාවක් එල්ල වී නැති බවය. ආර්ථිකයටද කිසිදු පාඩුවක් වී නැති බව ඔහු ගණන් හිලව් දක්වමින් ප්‍රකාශ කරයි.
කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ආයතනවල බිලියන 12ක් ආණ්ඩුව රඳවාගෙන ඇති නිසාත් මහ බැංකු බැඳුම්කර කොමිසම කියන බිලියන 11 අලාභය එතැනින් පියවෙන නිසාත් මෙතැන වාද කරන්නට දෙයක් නැති බවය.

රවි කරුණානායක කියන්නේ තමාට බැඳුම්කර වංචාවට අදාළ චෝදනා කිසිවක් එල්ල නොවන බවය. මේ අතර බරපතළ මූල්‍ය අපරාධ විමර්ශන කොමිසමේ වාර්තාව ගැන අදහස දක්වමින් ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා කියන්නේ මොනම තත්ත්වයක් යටතේ හෝ මහින්ද රාජපක්ෂගේ හෝ වෙනත් කිසිවකුගේ ප්‍රජා අයිතිය නැති කිරීමට ශ්‍රී ලනිපය ඉඩ නොදෙන බවය. ප්‍රජා අයිතිය නැති කිරීම ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රතිපත්තිය මිස ශ්‍රී ලනිප ප්‍රතිපත්තිය නොවන බවද ඔහු
පෙන්වා දෙයි.
වර්තමාන ආණ්ඩුවේ ප්‍රබලයන් මෙසේ අදහස් පළ කරන්නේ පොදු දේපළ ගණයට අයත්වන මහජන මුදල් මිලියන හා බිලියන ගණනින් සිදුවූ බරපතළ මූල්‍ය අපරාධ සම්බන්ධයෙනි.

අල්ලස රුපියල් 20,000යි,
ප්‍රජා අයිතියත් අහෝසියි
මේ අතර මදුරු කීටයන් ඇතිවීමට ඉඩ තැබීමේ වරදට නඩු නොපැවරීම සඳහා රුපියල් 20,000ක අල්ලසක් ගත් දෙමටගොඩ පොලිසියේ කොස්තාපල්වරයකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් පවරනු ලැබූ නඩුවක් සම්බන්ධව තීන්දුව පසුගිය සතියේ මහාධිකරණය ලබා දුන්නේය. ඒ අනුව බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවමකටද රුපියල් 20,000ක දඩයකටද වසර 7කට ප්‍රජා අයිතිය අහිමි කිරීමටද එම කොස්තාපල් යටත් කොට තිබිණි. මේ ශ්‍රී ලංකාවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon