නිදහසේ සිහිනය

  👤  3857 readers have read this article !
2018-02-04

ශ්‍රී ලංකාව නිදහස දිනා ගත්තේ ලේ බිඳකුදු නොහෙළා සාමකාමීවය. ඒ නිදහස සම්පූර්ණ වූයේ 1972 ජනරජයක් වීමෙන් පසුවය. 1956 බණ්ඩාරනායක ආණ්ඩුව ඒ සඳහා පියවර කිහිපයක් තැබූ බවද කිව යුතුය. එහෙත් 'නිදහස' ලබා 1948 සිට වසර 70ක්, එනම් අඩ සියවසකට වැඩි කාලයක් ගතවී තිබුණද ලැබූ 'නිදහස' අර්ථවත් කර ගැනීම අපට හැකි වී තිබේද යන්න ප්‍රශ්නයකි.

මෙරට ජීවත් වන දෙකෝටියක ජනතාවකගෙන් අති බහුතරය නිදහස භුක්ති විඳින බවක් පෙනෙන්නට නැත. දේශපාලන මෙන්ම ආර්ථික නිදහස භුක්ති විඳින්නේ සුළුතරයක් පමණි. නොඑසේ නම් නිදහසින් පසු රටේ මෙතරම් අවුල් වියවුල් ඇති වන්නේ නැත. උතුරේ යුද්ධය හා දකුණේ කැරැලි ඇතුළු දේශපාලන ගැටුම් ඇති වන්නේ නැත. 2015 ජනවාරි 8න් නිමා වූයේද සකලවිධ නිදහස ඇහිරූ යුගයකි. එහෙත් එය නිදහස් යුගයක අභිෂේක මංගල්‍යය වේ යැයි කවරකු හෝ සිතුවේ නම් එය මුළාවකි.
ලබාදුන් නිදහස භුක්ති විඳිමින් තමන්ටම පහර දෙන බව කියන මේ ආණ්ඩුවේ නායකයන් සිතන්නේ 'නිදහස' ඔවුන් ජනතාවට ලබාදුන් දෙයක් ලෙසය. යථාර්ථය නම් ජනතාව සතු නිදහස සීමා කළේ වසර 70ක් රට පාලනය කළ පාලකයන් බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.


අසල්වැසි ඉන්දියාව නිදහස ලබාගත්තේ ලේ හලා දිවි පුදාය. එරට නිදහසින් පසු නිදහස් සටනේ නායකයන් අතර ගැඹුරු සංවාදයක් ඇරැඹිණි. ඉන්දියාවේ ජනතාව වඩාත් පුළුල් නිදහසක් අද භුක්ති විඳින්නේ ඒ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් මෙරට ජාතික නායකයන් කතිකා කළේ 'බලය' තහවුරු කරගන්නේ කෙසේද යන්න ගැනය. සිංහල, දෙමළ ගැටුමේ මූලබීජ ඇත්තේ එතැනය. ලාංකේය ජාතියක් ගොඩනැඟීම වෙනුවට නිදහසට පෙර කුල මත පදනම්ව සිටි නායකයන් ජාති පදනම මත පදනම්ව දේශපාලනය කිරීම නිසා විනාශකාරී ගමනකට පාර කැපිණි. අසල්වැසි ඉන්දියාව ප්‍රමුඛ ආසියාවේ රටවල් රැසක් දේශපාලන හා ආර්ථික නිදහස අර්ථවත් කරගෙන ඇත්තේ විචාර බුද්ධියක් හා තර්ක ඥානයක් සහිත සමාජයක් හා දුරදක්නා නුවණක් ඇති නායකයන් සිටි නිසාය. බුද්ධිමත් සංවාදයකින් තොර මිථ්‍යාව, අවිද්‍යාව හා බලය මුල් කරගත් සමාජයක 'නිදහස පටු වනවා මිස පුළුල් වන්නේ නැත.

තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමෙන් පසු එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජාතිය අමතමින් කියා සිටියේ ලාංකික ජාතියක් මිස මින් ඉදිරියට සිංහල, දෙමළ මුස්ලිම් ආදී වශයෙන් ජාතීන් මෙරට නැති බවය. එතැන් සිට අවුරුදු කිහිපයක් ගත වුණද ලාංකිකයන් ලෙස සිතන්නන් වෙනුවට මෙරට නිර්මාණය වූයේ ජාතිවාදීව පමණක් නොව ආගම්වාදීව සිතන සමාජයකි.

ජාති ආගම් භේදවලින් තොර රටක් හැදීම එකම සිහිනය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත්දා කියා තිබුණේ අට්ටාලච්චේනහිදී පැවැති රැස්වීමකදීය. ඒ සිහිනය මේ රටේ ප්‍රගතිශීලී සබුද්ධික ජනතාවගේද සිහිනයය. වසර 70ක කාලයේදී සැබෑ කරගත නොහැකි වූ සිහිනයද එය ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon