ඇත් අතුරු සෙවණේ අතුරු කතාව

  👤  4234 readers have read this article !
2018-02-04

සපුමල් ජයසේන ගහට කොළට, සතා සිවුපාවාට මහත් සේ ඇලුම් කළ පරිසරවේදියෙකි. ඔහු ස්වකීය වෘත්තිය ලෙස තෝරා ගත්තේද පාරිසරික මාධ්‍යවේදයයි. ඔහු වසර ගණනාවක සිටම පරිසරයට සිදු කෙරෙන හානි, වන විනාශයන් වළක්වා ගන්නට ස්වකීය පෑන හසුරු වන්නේය. ලංකාවේ ජාතික වනෝද්‍යාන, රක්ෂිත වනාන්තර මතු නොව ඇතුන් දිවියන් ආදී දුලබ සතුන් හා උන්ගේ ජීවන රටා පිළිබඳ දැනුමෙන්ද ඔහු පොහොසත්ය.

සපුමල් පත්තර කන්තෝරුවේ රැකියාවට පැමිණියේ පයාගල සිට දුම්රියෙනි. කන්තෝරුවේ ඔහු දකින්නට සිටියේ කලාතුරකිනි. ඔහු එක්කෝ දළ පූට්ටුවා සොයන්නට ගල්ගමුවට ගොස්ය. නැතිනම් වන සංහාරය ගැන ලියන්නට සෝමාවතියේය. ජනවාරි දෙවන සතියේ බ්‍රහස්පතින්දා උදෑසනම සපුමල්ට ලැබුණේ නරක ආරංචියකි. උඩවලව ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් ව්‍යාපාරිකයන්ට අලෙවි කරන්නට වනජීවී අමාත්‍යාංශය සූදානම් වන බවට ලැබුණු තොරතුරකින් ඔහු කලබලයට පත්ව සිටියේය.
කෝච්චිය මරදානට එන විට තරමක් ප්‍රමාද විය. පත්තර කන්තෝරුවට ගිය හැටියේ සපුමල් උත්සාහ කළේ වනජීවී ඇමැති ජයවික්‍රම පෙරේරා අල්ලා ගන්නටය. කිහිපවරක් උත්සාහ කළද ඇමැති සම්බන්ධ කර ගන්නට ඔහුට නොහැකි වූයේය. උදේ 10.30 වෙද්දී සපුමල් වනජීවී අධ්‍යක්ෂ චන්දන සූරිය බණ්ඩාර දුරකතනයට සම්බන්ධ කර ගන්නට ඔහු සමත් වූයේය. ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් ඉල්ලා ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලුම් පත් 70කට වඩා ලැබී තිබෙන බවද ඔහුගෙන් දැන ගත්තේය. ඇත් අතුරු සෙවණ බිහි කළේ අනතුරට ලක්වන, අතරමං වන අලි පැටවුන් දැඩි කොට වනයට මුදා හරින්නට මිස අලි ජාවාරම් කරන්නට නොවන බවට සපුමල් තර්ක කළේය. එහෙත් ඔහුට සතුටුදායක පිළිතුරක් නොලැබිණි.

දැන් කළ යුත්තේ මේ පුවත පසුදින "මව්බිම" පුවත්පතින් රටටම දැන ගන්නට සැලැස්වීමය. ඔහු කනස්සල්ලෙන් යුතුව පෑන අතට ගත්තේ ප්‍රවෘත්තිය ලියන්නටය. එහෙත් ඔහුට ලියාගත හැකිවූයේ පේළි දෙකක් පමණය. හිසට බර ගතියක් සමඟ දහඩිය දමන්නටත් පපුව සිර කරමින් ඉසිලිය නොහැකි වේදනාවක් දැනෙන්නට වූයෙන් නොදැනුවත්වම පෑන ඇඟිලි තුඩු වලින් ගිලිහිණි. අසාමාන්‍ය රෝගී තත්ත්වයකට තමන් ගොදුරුව සිටින බව ඔහුට දැනිණි. ඔහු අසීරුවෙන් ඇදී ඉදිරි මේසයේ ලියමින් සිටින පහන් විජේසේකරට කතා කළේය.

"මල්ලි මට ගොඩක් අමාරුයි. මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න...."
පත්තර කන්තෝරුවේ සෙස්සෝද කලබල වූහ. මෝටර් රථය ප්‍රධාන ‍ෙදාරටුව අසලට එන විටත් සපුමල් දෙවැනි මහලේ සිට පහත මාලයට ගෙනැවිත් හමාරය. මිනිත්තු කිහිපයකින් රෝගියා කොළඹ මහ රෝහලේ ඕ.පී.ඩී. එකට ඇතුළත් කෙරිණි. ඔහුගේ ඊ.සී.ජී. පරීක්ෂණවල ප්‍රතිඵල අසතුටුදායක විය. ඔහු බරපතළ හෘදයාබාධයකට ගොදුරුව සිටියේය. මූලික ප්‍රතිකාර කෙරුණු අතර රෝගියා ගිලන් රථයකින් හෘද ශල්‍යාගාරය වෙත ගෙනයනු ලැබීය.

එදිනම හැන්දෑවේ ඔහු හෘද සැත්කමකට භාජන කරනු ලැබීය. වෛද්‍යවරු සපුමල්ගේ ජීවිතය ගලවා ගන්නට සමත් වූහ.
දැන් එළැඹෙන්නේ මේ කතාවේ දෙවැනි කොටසටය. සපුමල්ගේ පියා මෙරට ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියෙකි. ඔහු නමින් ඇසළ ජයසේනය. ඇසළ ජයසේන හෘදයාබාධයකට ලක්ව මියගොස් තිබිණි. ඔහුගේ මරණය සිදුව තිබුණේ 2010 වසරේ ජනවාරි මාසයේ සපුමල්ගේ ශල්‍යකර්මය සිදුකළ දිනමය. එදින සන්ධ්‍යාවේ කොළඹ හෘද රෝහලේ ශල්‍යකර්මය සිදුකොට දැඩි සත්කාර අංශයට තාත්තා ඇතුළු කරනවිට සපුමල් ඔහු අසල සිටියේය. එහි අංක 4 දරන ඇඳෙහි එදා තාත්තා සිටි බව ඔහුට මතකය. ශල්‍යාගාරයෙන් දැඩි සත්කාර ඒකකයට ගෙනෙනු ලැබූ පසු සපුමල්ට තාත්තා දැඩි සත්කාර ඒකකයේ සිටි අයුරු සිහිපත් විය. ඒ අදින් වසර අටකට පෙරය. සපුමල් ඇඳේ අංකය බැලුවේය.
මේ අංක 4 දරන තාත්තා සිටි ඇඳමය. එහි රෝගියා අසල රැඳී සිටින්නට අවසර නැත. එදා සපුමල් යන්නට හදද්දී හෙද නිලධාරිනිය දුරකතන අංකය ඉල්ලා ගත්තේය. අදත් සපුමල්ගේ බිරිය යන්නට හදද්දී හෙද නිලධාරිනිය දුරකතන අංකය ඇගෙන් ඉල්ලනවා ඔහුට ඇසුණේය. එදා ඔහු දුම්රියෙන් වාද්දුව පසු කරද්දී රෝහලෙන් ඇමතුමක් ලැබිණි. ඉන් කියැවුණේ ඇසළ ජයසේනයන් මියගිය බවය. බිරිය දුරකතන අංකය හෙදියට දී පිටව ගියාය. ඇය වාද්දුව පසු කරන්නට ඇත්දැයි කල්පනාවේ නිමග්නව සිටියදී ඔහුට නින්ද ගියේය.

දැන් මේ කතාවේ තුන්වැනි අදියරයට පිවිසෙමු. රෝහලෙන් පිටවී නිවෙසට ගිය දින හැන්දෑවේ සපුමල් ජයසේන වනජීවී අධ්‍යක්ෂ චන්දන සූරිය බණ්ඩාරට දුරකතන ඇමතුමක් ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ තමන්ට සිදුවූ බිහිසුණු අත්දැකීම ගැන අධ්‍යක්ෂ ජනරාල්ට කියන්නටය. දුරකතන ඇමතුම ගත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සෙමෙන් අසීරුවෙන් කතා කළේය. ඔහු කියූ දෙයින් සපුමල් අන්දුන්කුන්දුන් විය.

එදා සපුමල් මට කෝල් එක ගත්තානේ. අපි කතා කරලා මම ටෙලිෆෝන් එක තියලා විනාඩි පහක් ගියේ නෑ. මගේ පපුව හිර වෙන්න ගත්තා. මට හෘදයාබාදයක් ආවා. මාව එවෙලෙම හොස්පිට්ල් එකට ගෙනිච්චා. දැන් නුවර හොස්පිට්ල් එකේ ඉන්නේ බයිපාස් එකට දින දීලා තියෙන්නේ. අද හෙටම ඔපරේෂන් එක කරනවා" චන්දන සූරිය බණ්ඩාර මහතා කීවේය.

අප ජීවත් වන වටපිටාවේ සිදුවන ඇතැම් සිදුවීම් විස්මිතය. ඒවා තෝරා බේරා පහදා දිය හැක්කේද සොබාදහමට පමණි. අපි ඔවුන් දෙදෙනාටම කඩිනම් සුවය පතමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්