ප්‍රංශයෙන් පැමිණි ලැනරෝල්ලාගේ කඩිකුලප්පුව ලංකාව ප්‍රංශ යටත් විජිතයක් වීම වළක්වයි

  👤  4302 readers have read this article !
2018-02-04

ලංකා ඉතිහාසයට තීරණාත්මක බලපෑමක් සිදු කළ අප්‍රකට පුද්ගලයෙක් සිටී. ඔහුගේ නම ෆ්‍රැන්කොයිස් කැරන්ය. මේ තැනැත්තා ඕලන්දයේ උපත ලද ප්‍රංශ ජාතිකයෙකි. ඔහු නැඟෙනහිර ඉන්දියා ඕලන්ද සමාගමේ සේවය කළේය. ක්‍රි.ව. 1644දී ලන්දේසීන්ට මීගමුව නගරය අත්පත් කර දුන්නේ කැරන් විසිනි. පසුව ඔහු ඕලන්ද වෙළෙඳ සමාගමෙන් ඉවත්විය.

මේ අතර ප්‍රංශ අධිරාජ්‍යවාදීහු පෙරදිග රාජ්‍යයෙන් යටත් කොට ගන්නා අරමුණ ඇතිව නැඟෙනහිර ඉන්දියා ප්‍රංශ සමාගම ආරම්භ කළේය. ඉන්දියාවේ එම සමාගමේ මූලස්ථානය පිහිටු වූ අතර එහි පූර්ණ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙළේ ෆ්‍රැන්කොයිස් කැරන්ය.

කැරන් ඉන්දියාවේ කොචින් නගරයේ සිට මහනුවර දෙවැනි රාජසිංහ රජුට ලිපියක් ලිවීය. එහි සඳහන් වූයේ 'ප්‍රංශයේ මහා අධිරාජ්‍යයා ඔබ රටේ සම්පූර්ණ නිදහස හා සැනසිල්ල ඇති කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ප්‍රංශය පැරිස් නගරය මූලික කොට නව සමාගමක් පිහිටුවා ඇති අතර එමඟින් දෙරට අතර සදා පවතින මිතුදමක් ගිවිසුමක් මඟින් ඇති කර ගැනීමට අදහස් කර ඇත' යනුවෙනි. 'අපගේ අරමුණ ඔබගේත් වැසියන්ගේත් සෞභාග්‍යය හා සතුටයි. ඒ සඳහා තෑගි බෝග රැගත් අපගේ ප්‍රභූවරු ඔබ හමුවීමට පැමිණෙනු ඇත.'

14 වැනි ලුවී රජුගේ අනුමැතිය ඇතිව ප්‍රංශ ජාතික දූත පිරිස අද්මිරාල් ඩී. හායේගේ නායකත්වයෙන් 1672 මාර්තු 22 ත්‍රිකුණාමලය වරායට පැමිණියේය. නෞකා වරායේ නැංගුරම් ලෑ අතර මොන්ඩි ද ලැනරෝල් නමැති ප්‍රංශ තානාපති තෑගි බෝගද රැගෙන මහනුවර බලා පිටත් විය. ඩී. ලැනරෝල්ගේ පිරිසට ගැස්කොයින් රෝච්, ඩිලන්, බ්ලූම්, ප්ලෙසි හා ඇලෙක්සැන්ඩ්‍රා යන අය අයත් වූහ. ඔවුන් කැඳවාගෙන යන ලද්දේ දෙවැනි රාජසිංහ රජු එවූ ප්‍රභූවරුන් විසිනි.

ලැනරෝල් අසු පිටින් මහනුවර නගරයට පිවිසුණි. එය දුටු ප්‍රභූවරු අසු පිට මාලිගා පරිශ්‍රයට ඇතුළු වීම සම්මත චාරිත්‍ර විධි ක්‍රමයට පටහැනි බව පෙන්වා දුන්හ. එහෙත් එය නොසැලකූ ඔහු මාලිගා ‍ෙදාරටුවෙන් අසු පැදවීය. ඉන් රජතුමාට වරදක් වූ නමුත් රජු එම වරද සැලකිල්ලට ගත්තේ නැත. ඔහු අසු පිටින් බැස ඔවුන්ගේ බඩු මුට්ටු සකස් කර ගත්තේය. මාලිගයට ඇතුළුවීමට අවසර ලැබිණි. සාමාන්‍ය පිළිවෙත අනුව ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාදය සැපයීම සිදුවිය. මෙම පිළිගැනීම සිදුවූ රාත්‍රියේ පැය දෙකක් පමණ ගතවූ නමුත් රජුගෙන් කැඳවීමක් ලැබුණේ නැත. එයින් කෝපයට පත් තානාපති ලැනරෝල් ඔවුන්ගේ බඩු මුට්ටු තැබූ ස්ථානයට ඇවිද ගියේය.

එය දුටු කිහිප දෙනකු තානාපති යා යුතු ‍ෙදාරටුව අලින් යොදවා අවහිර කළේය. අලින් මඟ හැර යෑමට උත්සාහ කළ ඔහු අසිපත මත අත තැබූ හෙයින් යෑමට ඉඩ දෙන ලදී. මෙම සිදුවීම ස්වල්ප වේලාවකින් රජුට සැලවිය. මහත් අසතුටට පත් රජු ප්‍රංශ නියෝජිත පිරිස දම්වැල්වලින් බැඳ දමන ලෙස නියෝග කළේය. සියල්ලෝම බැඳ දමනු ලැබීය. ඔවුන් නිදහස් කළේ හය මසක් ගතවූ තැනය. ඒ වන විට ප්‍රංශ නැව් ත්‍රිකුණාමල වරායෙන් පිටත්ව ගොස් තිබිණි. ලැනරෝල් ඇතුළු පිරිස මහනුවර සිරකරුවන් ලෙස රඳවා ගැනිණි. ඔවුන් රජු හමුවට ගෙනෙන විට රොබට් නොක්ස්ද එහි සිට ඇත.

ලැනරෝල් සිංහල කාන්තාවක සමඟ විවාහ විය. ලංකාවේ ලැනරෝල් පරපුර පැවැත එන්නේ ඔවුන්ගෙනි. ඔහු සමඟ අත්අඩංගුවට පත් ප්ලෙවි සහ බ්ලූම් මාලිගාවේ අශ්වයන් බලාගන්නෝ බවට පත්වූහ. සමහරුන්ට රැකියාවල නිරත වන්නට අවස්ථාව හිමි විය. මහුනවර සුරාසල් ආරම්භ කළේ මෙම ප්‍රංශ කාරයන් විසිනි. ගැස්කොයින් රජ මාලිගයේ සේවය කළ අතර අප කවුරුත් දන්නා දස්කොන් අදිකාරම ඔහුගේ පුත්‍රයෙකි.

දස්කොන් මහ රජුගේ අග බිසව සමඟ රහස් සබඳතාවක් පැවැත්වීය. අගබිසවගේ චිත්‍රයක් සිතුවමට නඟද්දී හෙතෙම චිත්‍රකරුවාගේ අතින් පින්සල ගෙන ඇයගේ සිරුරේ නිරාවරණය නොවූ පෙදෙසක වූ උපන් ලපයක් සලකුණු කෙළේය. එම සිතුවම දුටු රජතුමා ඔහු අවිශ්වාස සහගත පුද්ගලයකු ලෙස තීරණය කොට සිරගෙට යවා පසුව ගෙල සිඳලූයේය. කෙසේ වුවද ලැනරෝල්ගේ අනවශ්‍ය කලබලකාරී ස්වභාවය නිසා ලංකාව ප්‍රංශ යටත් විජිතයක් වීමේ අනතුර වැළැකී ගියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්