නැවත තරග කරන්නෙත් නැහැ දේශපාලනය අතහරින්නෙත් නැහැ

  👤  5082 readers have read this article !
2018-01-28

ආණ්ඩුව කරුණු ගණනාවක් තුළ අසීරුවට පත්ව සිටින බව පෙනේ. ආසන්නතම සිදුවීම වූයේ පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු විශේෂ සැසියේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන අනපේක්ෂිත ලෙස දමා ගැසූ බෝම්බයයි. ඔවුන් එක හෙළාම ප්‍රකාශ කර සිටියේ ඇමැතිවරුන් 45ක් බලයේ සිටීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කරන තර්කය මෙසේය.

ඇමැති මණ්ඩලය 30ට බස්සනු
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව එහි 22 4-1(අ) යටතේ අමාත්‍ය මණ්ඩලයේ මුළු ඇමැතිවරු සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතු වන්නේය.
එසේ වුවද එකී ව්‍යවස්ථා සංශෝධනයට අනුව එම 4 (1) අනු ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවද පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරු සංඛ්‍යාව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සහ නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුත්තේය.

ජාතික ආණ්ඩුව හමාරද?
5 (4) අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය.
යටකී ව්‍යවස්ථාවන්ට අනුකූලව 2015 අගෝස්තු 17 දින පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එජනිස සහ එජාපෙ එකතුව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නා ලදී. ඒ අනුව ඇමැති මණ්ඩලය .......... දක්වා ඉහළ ගියේය. එකී ජාතික ආණ්ඩුවේ කාල සීමාව 2017 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් විය. දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් ප්‍රශ්න කළේ ජාතික ආණ්ඩු කාල සීමාව තවදුරටත් දීර්ඝ කළ බව පාර්ලිමේන්තුව දැනුවත් කර තිබේද යන්නය. ජාතික ආණ්ඩුවේ කාල සීමාව දීර්ඝ කළ බවක් තමාට දන්වා නැති බව කතානායක ප්‍රකාශ කළේය. එය එසේ නම් කැබිනට් මණ්ඩලය වහාම 30ක් දක්වා අඩුවිය යුතු බවත්, එසේ නොකොට ආණ්ඩුව ක්‍රියා කිරීම ලංකාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් දිනේෂ්, අනුර දෙදෙනා ප්‍රකාශ කළහ. මේ අවස්ථාවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අගමැතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරනු ඇති බවයි.

තනි ආණ්ඩු කතා නිසා ජාතික ආණ්ඩුවට බාධා
ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධව එජාප, ශ්‍රී ලනිප පක්ෂ දෙකම අර්බුදකාරී සන්ධිස්ථානයක සිටින බව පෙනේ. මෙම ඊනියා දීගය තවත් ඉදිරියට ගෙන යා නොහැකි යැයි පක්ෂ දෙකේම පසු පෙළ මන්ත්‍රිවරු කැරලි ගසමින් සිටිති. පෙබරවාරි 10න් පසු තමන් තනි ආණ්ඩු පිහිටුවන බව පක්ෂ දෙකේම ඇතැම් නායකයෝ අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මෛත්‍රිට හා අගමැති රනිල්ට ජාතික ආණ්ඩුව තවදුරටත් අවශ්‍යව තිබුණත් දෙපාර්ශ්වය එකිනෙකාට එල්ල කර ගන්නා චෝදනාවල නම් අඩුවක් නැත. එසේ වුවද ආණ්ඩු බිඳ වැටෙන අවසන් අවස්ථාවක මිස තමන් දරන ඇමැතිකම් අත්හැරීමට ඇමැතිවරු කිසිවකු සූදානම් නැති බව ඉතා පැහැදිලිය. මේ තත්ත්වය යටතේ කුමන බාධක අර්බුද මැද නමුත් කෙසේ හෝ ජාතික ආණ්ඩුව අටවාගෙන මොවුන් ඇමැති ධුර රැකගන්නා බව නම් ඉඳුරාම ප්‍රකාශ කළ හැකිය.
බැඳුම්කර විමර්ශන වාර්තාවේ පිටු කීයද?

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තාව සම්බන්ධ කලබැගෑනිය ඉකුත් සතියේ තව තවත් උත්සන්න විය. ජනාධිපති ලේකම් විසින් පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබූ විමර්ශන වාර්තාවේ පිටු 103ක් අඩු බව පවසමින් මුලින්ම දෙබරයට ගල් ගැසුවේ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා විසිනි.

ඉකුත් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී නැවතත් විමර්ශන වාර්තාවේ පිටු අඩු කතාව එළියට ආවේ ඒකාබද්ධ විපක්ෂයේ හා ජවිපෙ මන්ත්‍රින්ගේ ප්‍රශ්න කිරීමෙනි. එහිදී කතානායක ප්‍රකාශ කර තිබුණේ බැඳුම්කර කොමිසමේ වාර්තාවට අයත් ලේඛන රැසක් සුරක්ෂිතව තබා ගැනීමේ අවශ්‍යතාවක් ඇති හෙයින් එම ලේඛන ඇතුළත් වාර්තා පොත් නීතිපති උපදෙස් පරිදි පසු අවස්ථාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් තුමාට දන්වා ඇති බවය.
මේ අතර බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා කියා සිටියේ වාර්තාවේ පිටු හය දහස් ගණනක් ඇති බව ජනපති කියා ඇති බැවින් සම්පූර්ණ වාර්තාව විවාදයට පෙර කතානායකවරයා අතට ලැබිය යුතු බවය.

අනුර දිසානායක මෙහිදී තරමක් උදහස්ව කතා කළේය.
ජනාධිපති ලේකම්ට ලැබුණු සියලු වාර්තා තමාට ලබාදුන් බව කතානායකතුමා ඊයේ කිව්වා. අද වෙන කතාවක් කියනවා. අපට පේන්නේ ජනාධිපති ලේකම් හරිහැටි වගකීම් ඉටුකර නැහැ. ඔබ අපහසුවට පත් වෙනවා විතරයි. ජනාධිපති ලේකම් කැඳවන්න. අපට පක්ෂ නායක රැස්වීමේදී ඔහුගෙන් අහන්න පුළුවන්.
අද පුළුවන්ද දන්නෑ මම උත්සාහ කරනවා. කතානායක කීවේය.

ජනපති ලේකම් පක්ෂ නායක රැස්වීම ඉදිරියට කැඳවා ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාව හැම පැත්තකින්ම අවධාරණය විය. ඊට හේතුව විමර්ශන වාර්තාව මන්ත්‍රිවරුන් අතට පත්කිරීමේදී මුල පටන්ම දක්නට ලැබුණු නොසැලකිලිමත් භාවය විය හැකිය. නමුත් මේ තුළ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සැක සංකා සැඟවී ඇති බවද පෙනේ. කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පළාත් පාලන මැතිවරණයට පෙර පැවැත්වීම වළක්වා ගන්නට එජාපය මුල සිටම ප්‍රබල වෑයමක් ගත්තේය. වාර්තාවේ පිටු අඩුයැයි කී සැණින් සභා නායක කිරිඇල්ල නැඟී සිටියේ පිටු අඩු නම් විවාද කරන්න බැහැ යැයි ප්‍රකාශ කරමිනි.

විවාදය මැතිවරණයෙන් පසුවට
මහ බැංකු බැඳුම්කර විමර්ශන වාර්තාව පිළිබඳ විවාදය පළාත් මැතිවරණයට පෙර පැවැත්විය යුතු බව අනුර - දිනේෂ් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් 24 පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විවාදයට දින නියම වූයේ පෙබරවාරි 20, 21 දෙදිනය. මේ අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ බැඳුම්කර විමර්ශන වාර්තාව සම්බන්ධව පවතින ගැටලු පක්ෂ නායකයන්ට තමා හමුවී නිරාකරණය කරගත හැකි බවය.
එහිදී අනුර දිසානායක පවසා ඇත්තේ ජනාධිපති සමඟ ගැටලුවක් නොව ජනාධිපති ලේකම්ගේ ක්‍රියාමාර්ග පිළිබඳ ගැටලුවක් තිබෙන බැවින් හමුවිය යුත්තේ ලේකම් බවය. මේ සිදුවීම තුළ ජනපති පාර්ලිමේන්තුවේ බලය නිශේධනය කර ඇතැයි දේශපාලන අංශ තුළ කතාබහක් ඇතිව තිබිණි.

රවිගේ ප්‍රකාශයට තහංචි
24 දින පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක් කිරීමට රවි කරුණානායක ඉල්ලා සිටි අතර කතානායක එය ප්‍රතික්ෂේප කළේය. කතානායකවරයාගේ තර්කය වූයේ බැඳුම්කර සිද්ධිය පාර්ලිමේන්තුවෙන් බැහැර සිදුවූවක් බැවින් එය ස්ථාවර නියෝග යටතට නොගැනෙන බවය.
අවුරුදු 24ක් මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇති තමා අහිංසකව කළ ඉල්ලීමට ඉඩ නොලැබුණු බවත් දරදඬු ආකාරයෙන් ඉල්ලීම දැම්මා නම් ඊට ඉඩ ලැබෙන බවත් රවි කරුණානායක ප්‍රකාශ කළේය.
මේ අතර දූෂිතයන්ට හොරුන්ට දඬුවම් කරන බවට කරන ඝෝෂාව මැතිවරණ කරළියේ මහත් පෙරළියක් ඇතිකර තිබේ. හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බව ජනපති - අගමැති දෙදෙනාම උස හ¾ඩින් ප්‍රකාශ කරන්නට පටන් ගෙන තිබේ.

නැවත තරග කරන්නෙත් නැහැ
දේශපාලනය අතහරින්නෙත් නැහැ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට තමා අදහස් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිකුරාදා (26දා) පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී පැවැසීය. නමුත් තමා කිසිසේත්ම දේශපාලනය අත් නොහරින බව ජනපති මෙහිදී අවධාරණය කළේය.

ප්‍රභූ - චෞර අශුද්ධ සන්ධානය
බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතළ මූල්‍ය වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තා 34 තම අතට ලැබුණු පසු ඒවා ප්‍රමාදයකින් තොරව පාර්ලිමේන්තුවට ලබාදීමට තමා කටයුතු කළ බව ජනපති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. කොමිෂන් වාර්තා එසේ ලබාදීමේ සම්ප්‍රදායක් නැති බවද ජනපති සඳහන් කළේය. කොමිෂන් වාර්තා ලබාදීමේදී අඩුවක් සිදුවී නැති බවත් නමුත් විමර්ශනයට අදාළ අනෙකුත් ලේඛන ලොරි දෙකකට සෑහෙන ප්‍රමාණයක් තිබෙන අතර ඒවා ලබාදීමට අදහස් නොකරන බවද ඒවා විමර්ශන වාර්තාව නොවන බවද ජනපති පැහැදිලි කළේය.

කෙසේ වුවද අදාළ වාර්තා ඉදිරිපත් කිරීමත් සමඟ විශේෂයෙන් මූල්‍ය වංචා විමර්ශන වාර්තා 34 සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග වළක්වා ගැනීම පිණිස චෞරයන් රහසේ රැස්වී අශුද්ධ සන්ධානයක් ගොඩනඟාගත් බව තමා දන්නේ යැයිද ජනපති කීවේය. නිසැක ලෙසම මේ වංචා පිළිබඳ නීතිමය පියවර ඉදිරියේදී ගන්නා අතර රටට ආදරය කරන වැදගත් පිරිස් සමඟ ශුද්ධ සන්ධානයක් ගොඩනඟන බවද ජනපති හෙළි කළේය.

පසුගිය ආණ්ඩුවේ විදේශ ණය කෝටි 9000කට වෙච්ච දෙයක් නෑ
පසුගිය පාලන සමයේ ලංකාව ලබාගත් විදේශ ණය ප්‍රමාණය ටි්‍රලියන 10ක් වන අතර රාජ්‍ය ගිණුම් වාර්තා ඉදිරිපත් වන්නේ එයින් ටි්‍රලියන එකක් සඳහා බවත් ඉතිරි ටි්‍රලියන 9 ට සිදුවූයේ කුමක්දැයි මේ දක්වා සොයා ගැනීමට නොහැකිවී ඇති බව ද ජනාධිපති සිරිසේන මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් සමඟ පැවසීය. ණය වශයෙන් ලබාගත් අති විශාල මුදල් ප්‍රමාණයක් රජයට ප්‍රතිලාභ අත් නොවන පෞද්ගලික ව්‍යාපාරවල ආයෝජනය කර තිබෙන බව පෙනී යන්නේ යැයිද හෙතෙම හෙළි කළේය. දූෂිත ව්‍යාපාරික හවුල් ජාතික ආර්ථිකය ගිල ගෙන ඇති බවද ජනපති පෙන්වා දුන්නේය. බැඳුම්කර වංචාකරුවන්ට එරෙහිව පියවර ගැනීම මෙන්ම සිගරැට්, දුම්කොළ, ගලයිෆොසේට්, පොහොර, ඇස්බැස්ටස් ආදී බහුජාතික මාගම්වලට එරෙහිව තීරණ ගැනීම හේතුවෙන් තමා අනතුරට මුහුණදී සිටින බවද ජනපති පැවැසීය.
තේ, කුරුඳු, ගම්මිරිස් ආදී දේශීය අපනයන භෝග විදෙස්වලින් ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීමෙන් දේශීය නිෂ්පාදනයන්ට මරු පහරක් වැදී ඇති බවත් ජනපති කීය. මේ සෑම කාරණයක් ගැනම අවස්ථා 100කට නොවැඩි වාර ගණනක් ඇමැතිවරු දැනුවත් කර ඇති නමුත් ඉන් ප්‍රතිඵල ලැබී නැතැයිද හෙතෙම කීය.
මෙහිදී මාධ්‍යවේදියකු ජනපතිගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

'ඔබ රටේ ජනාධිපති, කැබිනට් මණ්ඩල ප්‍රධානියා. ඔබ මෙහිදී පුන පුනා ප්‍රකාශ කෙළේ කැබිනට් මණ්ඩලය ඔබේ මඟ පෙන්වීම අනුව ක්‍රියා නොකරන බව. අපට අහන්න සිදුවන්නේ ඔවුන් ඔබට අවනත නැද්ද? මේවගේ තත්ත්වයක සම්මුතිවාදී ආණ්ඩුවට තවත් ඉදිරියට යා හැකිද?'
ජනපතිගෙන් ඊට පැහැදිලි පිළිතුරක් නොලැබිණි.
ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබුණද?
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් ඔහුට රටින් පිටවන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා යැයි බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය කරන ලද ප්‍රකාශය පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ඊට ජනපති මෙසේ පිළිතුරු දුන්නේය.
'මම අගමැතිවරයාව කල් ඇතිව නඩුදැමීම ගැන දැනුවත් කර තිබුණා. කාටහරි තිබෙන චෝදනා ගැන පරීක්ෂණ අවසන් වී නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු පැවැරීමේ තීරණය ආවත් නඩු පවරා සාර්ථක ප්‍රතිඵලයක් අත් කරගත හැකිද යන්න තහවුරු කරගෙන නඩු පවරන්න කියා. අහක යන නඩු නම් දාන්න එපා කියලයි කිව්වේ. පිළිගත් නීතිඥ පිරිසකට ලිපිගොනු ඉදිරිපත් කර තහුවරු කරගන්න කියලායි කිව්වේ.

මේ අතර නීතිපති පොලිසියට නිර්දේශ යවා තිබුණා ගෝඨාභය අත්අඩංගුවට ගන්න. පොලිස්පති මට කතා කළා. මම අගමැතිට දීපු උපදෙස් පැහැදිලි කරලා එතුමා රට ගිහින් නිසා එනකම් ඉන්න කියා දැන්වුවා. අගමැතිතුමා ඊට පස්සෙ අවශ්‍ය නීති උපදෙස් ගත්තාද මා දන්නේ නැහැ. ඕක තමයි සිදුවුණේ.
මට කිව්වා නම් ජනපති ධුර කාලය අවුරුදු හය කර දෙනවා
ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 8 වැනිදායින් අවසන් වන බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය දෙනු ලැබූ තීරණය මත ආණ්ඩුවේ පූර්ව සැලසුම් සියල්ල වෙනස් කරන්නට සිදුව තිබේ. එම තීරණය ආණ්ඩු බලය අල්ලා ගැනීමට බලා සිටි බලවේගවලට මහත් උත්තේජනයක් ලබාදී ඇති සැටි එම බලවේගවල ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි විය. ජනාධිපති මෛත්‍රි හම්බන්තොට ශ්‍රී ලනිප රැලියේදී කියා තිබුණේ,

'මම ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය ඇහැව්වේ මගේ නිල කාලය තුළ කළ යුතු වැඩ සැලසුම් කරන්නයි' යනුවෙනි. එහෙත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන අන්දමට ජනපති මේ විමසීම කළේ අධිකරණ ඇමැති ෆයිසර් මුස්තාපා 19 වැනි සංශෝධනය ජනපතිට අදාළ නොවන බවට දෙන ලද වැරැදි විග්‍රහය නිසා බවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 31 වැනි වගන්තිය අර්ථ නිරූපණය කිරීමේදී එම සංශෝධනය සම්මත වීමට පෙර ජනාධිපති තනතුරට පත් තැනැත්තාට එය අදාළ නොවන බවට විග්‍රහයක් ලබාදෙමින් මුස්තාපා ශේ‍ර්ෂ්ඨාධිකරණ තීරණයක් ඉල්ලා සිටින ලෙස ජනපති යොමුකර ඇත. නීතිපති ජයන්ත ජයසූරියද ඉදිරිපත් කර තිබෙන්නේ එම මතයයි. කෙසේ වුවද මෙම තීරණය අවසානයේ ආණ්ඩුව අතිශය අවාසිදායක පසුබිමක් නිර්මාණය කර තිබේ.

'අන්තිමේ මං වැටුණු වළටම එයත් වැටුණා' යැයි හිටපු ජනපති මහින්ද ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නිගමනය සැලවූ අවස්ථාවේ මහ හ¾ඩින් සිනාසී තිබේ. අගමැති රනිල් සති අන්තයේ පැවැති විද්වත් හමුවකදී ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති මේ ගැන මට කිව්වා නම් මම පාර්ලිමේන්තුවෙන් පහසුවෙන්ම අවුරුදු හය අනුමත කර දෙනවා කියාය.
අගමැතිගේ බාල් නැටුම

අගමැති රනිල් වික්‍රමසිංහ මංගල උත්සවයකට සහභාගි වෙමින් නර්තනයක යෙදෙන වීඩියෝ දර්ශනයක් ඉකුත් සතියේ සමාජ ජාල වෙබ් අඩවි තුළ මහත් ප්‍රසිද්ධියක් හිමිකර ගත්තේය. ඒ අතරම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද කිසියම් උත්සව අවස්ථාවක නර්තනයේ යෙදෙන දර්ශනයක්ද එළියට ආවේය. මේ වීඩියෝ දර්ශන දෙකම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ වේදිකාවේ උණු කැවුම් බවට පත්විය. මහින්ද රාජපක්ෂ කුලියාපිටිය මහජන රැලියේදී ප්‍රකාශ කළේ,
'දැක්කද අගමැතිතුමාගේ බාල් නැටුම මෙහෙම මෙහෙම නැවි නැවි පහත් වෙලා නටනවා' කියා නටන ඉරියව්වක්ද පෙන්වීය. යටකී නැටුමට අගමැති රනිල්ගේ නැන්දණියක වූ ප්‍රවීණ චිත්‍රපට නිළි අයිරාංගනී සේරසිංහද එක්ව සිටියාය. ඇය මේ නැටුම සම්බන්ධව බී. බී. සී. සිංහල සේවයට පවසා තිබුණේ,
'තම ඥාති පුත්‍රයා සිනා වෙන්නත් හඬන්නත් හැකි සාමාන්‍ය මිනිසකු බව' ඉන් පිළිබිඹු වූ බවය.

කෙසේ නමුත් අවසාන විග්‍රහයේදී සිදුවූයේ 'බැඳුම්කර වංචාවේ වගඋත්තරකරුවකු, හැටියට අගමැතිට එල්ලවූ මහජන විරෝධය නොසිතූ අන්දමින් යටපත් වී රටම වෙනත් ආතල් එකක් ගැනීමය. එමඟින් අගමැති ලබාගත් ප්‍රතිචාරය යහපත් විය. අගමැතිගේ නැටුම අගමැති දැනුවත්වම සමාජ ජාලාගත කළාදැයි සැක කරන්නට සිදුව තිබේ.
කැබිනට් රැස්වීම නොපැවැත්වේ

පසුගිය අඟහරුවාදා (23දා) කැබිනට් රැස්වීම පැවැත්වූයේ නැත. දිවයිනට සැපැත්ව සිටි විදේශ රාජ්‍ය නායකයන් හා දූත මණ්ඩල හේතුවෙන් ජනාධිපතිවරයා කාර්යබහුලවීම ඊට හේතුව විය. ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ, සිංගප්පූරු අගමැති ලීෂියැන් ලූන්, සහ ජපාන වාණිජ සහ කර්මාන්ත මණ්ඩල දූත පිරිසක් ද ඉකුත් සතියේ මෙරටට පැමිණ විවිධ සංවර්ධන ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම් රැසකට අස්සන් තැබූහ.

අරලිය මැඳුරේ කසු කුසු
මැතිවරණ ව්‍යාපාර කෙමෙන් උණුසුම් වෙමින් යද්දී ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ අරලිය ගහ මැඳුරට එක්වූ එජාප ප්‍රබලයන් කිහිප දෙනකු සිදුවෙමින් පවතින තත්ත්වයන් ගැන සැහැල්ලු කතා බහක යෙදී සිටියේය. ජපන් ආයෝජන පිරිසත් සමඟ පැවැති සාකච්ඡාවක් අවසානයේ අගමැති රනිල්ද ඊට එක්විය.
'බැඳුම්කර වාර්තාව එළියට දාන්න කියල බෙරිහන් දීපු විපක්ෂය දැන් වාර්තාවේ කොළ අඩුයි කියනවා' දයා ගමගේ කතාව පටන් ගත්තේය.
'කොළ අඩු නම් විවාදය දෙන්න බෑ කියල මම කිව්වා' කිරිඇල්ල හක හක ගා හිනා වුණේය.
'විත්තියට වාසි වෙන නිසා යම් පිටු ගණනක් පාර්ලිමේන්තුවට යැව්වෙ නෑ කියල ජනාධිපති කියනවා. එතන පොඩි පරස්පරයක් තියෙනවා' ගයන්ත පිළිතුරක් අපේක්ෂාවෙන් අගමැති දෙස බැලුවේය.

'එහෙම පිටු අඩු කරන්න බෑ. එහෙම කළොත් පාර්ලිමේන්තුව හෑල්ලු වෙනවා. මට ආරංචි කොමිසමට දීපු සාක්ෂි එවල නෑ කියල. කොහොම වුණත් විපක්ෂය මේව අපෙන් අහල වැඩක් නෑ' අගමැති කීය.
'ජනාධිපතිතුමා දූෂණ විරෝධී පෙරමුණක් හදනවා කියලා සටන් පාඨයක් දැම්මා. ඒක නැඟල යනවා' දයා කීවේය.
'ඒ පෙරමුණ තමා ඉතින් 2015 ජනවාරි 8 බිහිවුණෙ' කිරිඇල්ල උත්තර දුන්නේය.

කිරි කළයට වැටුණු ගොම බින්දුව
'බැඳුම්කරය කියන්නෙ දූෂණ විරෝධී කිරි කළයට වැටුණු ගොම බින්දුව' ගයන්ත කීය.
'අපි ඒකට වග කියන්න ඕන. කැලෑ නීතිය නැතිව ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න ගිය නිසානෙ මේ ඔක්කොම වුණේ' වජිර අබේවර්ධනගේ ඒ කතාවට කවුරුත් ඔහු දෙස හැරී බැලුවේය.

කිරිඇල්ල කතාව වෙනතකට හැරවීය.
'ගෝඨා අත්අඩංගුවට ගන්න හදන නිසා ජනපති ගෝඨාට රට පනින්න උපදෙස් දුන්නා කියල කතාවක් ඉසුර කිව්වා. ශ්‍රී ලනිප කවුරුවත් ඒ ගැන මේ වෙනකන් කට හෙල්ලුවේ නෑ. වේදිකාවල ලොකු ලොකු කතා කිව්වට දූෂිතයො රකින්නෙ කවුද කියල රටම දන්නවා' අගමැතිද කිරිඇල්ලගේ කතාව අනුමත කරන ලීලාවෙන් හිස සෙලවීය.
'ජවිපෙ නම් කියන්නේ මෛත්‍රි - රනිල් තරහ බවත් රටට පෙන්නලා දෙපැත්තෙන් ඡන්ද එකතු කරනවා කියලයි' නවීන් කීවේය.
'ජනාධිපතිතුමා මා ගැන ඉලක්ක කරලා මොනවා කිව්වද මම දන්නෙ නෑ. මම නම් එතුමා ගැන වචනයක් කියලා නෑ' අගමැති රනිල් කීවේය.
'දැන් වේදිකාවේ ගහ ගන්නෙ පොහොට්ටුවයි - ශ්‍රී ලනිපයයි. අපි ඒ මැද්දට පනින්න නරකයි. සයිලන්ස් එකේ අපි ගමන යමු' නවීන් කීවේය.
කැබිනට් එකේ හොරු සෙට් එක

'ජනාධිපති මේ දවස්වල වේදිකාවට නැඟලා බොරුවට කෑ ගහනවා කැබිනට් එකේ හොරු සෙට් එක සමඟ අපූරුවට ඉන්නවා' පවිත්‍රා මේ කතාව කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය.
'මම රවි කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාව හදාගෙන යනවා. බැඳුම්කර වංචාව නිසා රටට වෙච්ච හානිය ගණන් බලන්න බෑ. මේකට වග කියන්න ඕන වෙනින් කවුරුත් නොවේ අගමැති' බන්දුල ගුණවර්ධන කීවේය.

'ඔබතුමා ඉතින් රනිල් ගැන නම් කියයි මෛත්‍රි ගැන කතා නැහැ. ජනාධිපති නිර්දෝෂියි කියනවා වාගෙයි පේන්නේ. බල්ටියක් ගහන්න හදනවාවත්ද දන්නේ නෑ' එසේ කීවේ එස්. සී. මුතුකුමාරණය. 'මම දෙපැත්තට වැනෙන කෙනෙක් නොවේ. මහින්ද මහත්තය ගාව හිට ගත්තා අදත් එතන' බන්දුල කීවේ තරමක අමනාප ස්වරයෙනි.
'මෙච්චර ලොකු වංචාවක් වෙලත් ඇමැතිවරු කටට එන බොරු කිය කියා රට වටේ යන එකනේ වැඩේ. මේකෙන් රටට හොඳක් වුණා කියල අන්තිමට කියන්න බැරි නෑ. ජනාධිපති බනින්නෙත් මහින්දට යූඇන්පීය බේරනවා' ප්‍රසන්න කීය.
'දැන් ආණ්ඩුවට ගොක්කොළ පේන්න අරන්' ජොන්ස්ටන් කීවේය.


'රටේ ජනමතය වෙනස් කරන්න ආණ්ඩුව නොයෙක් උපක්‍රම යොදනවා. අපි සැලකිලිමත් වෙන්න ඕන' අලුත්ගමගේ කීවේය.
'ජනාධිපතිවරයා පසුගියදා මැතිවරණ වේදිකාවල කරන ලද ප්‍රකාශත් දේශපාලන අංශවල කතාබහට හේතු වී තිබේ' ජනපති සිරිසේන මෙසේ ප්‍රකාශ කළේය.
'මගේ මිත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් මහ ලොකුවට බැඳුම්කර වංචාව ගැන කතා කරනවා. මම අහන්න කැමැතියි එයාගෙන් පාර්ලිමේන්තුවේ රවි කරුණානායකට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාපු දවසේ එයා ඒකට පක්ෂව ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවට ආවාද කියලා. ආවේ නැහැ. අවේ නැහැ විතරක් නොවේ මම අහනව එයා රවි කරුණානායකගේ ෆෝන් එකට කතා කරලා සුබ පැතුවේ නැද්ද කියලා'

ජනපතිගේ ප්‍රකාශය පිළිබඳ හිටපු ජනාධිපතිටද දැන ගන්නට ලැබී තිබිණි. පසුදින මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ රැස්වීමක් බළන්ගොඩ පැවැත්විණි. රැස්වීමට පැමිණි මන්ත්‍රිවරුන්ට දිවා ආහාරය සූදානම් කර තිබුණේ අකිල එල්ලාවලගේ නිවෙසේය. එහිදී ජනාධිපතිගේ කතාව ගැන කතාබහක් ඇතිවිය.
මහින්ද ඡන්දය නොදුන් විශ්වාසභංගය
'විශ්වාසභංගයේදී සර් රවි කරුණානායකට සුබ පැතුවා කියන්න ගිහින් ජනපති නාගත්තා. කවුදෝ එතුමාට ලොකු ලණුවක් දීලා' ප්‍රසන්න කීවේය.
'ජනාධිපති කෙනෙක් වුණාම කටට එන හැම දේම කියන්න හොඳ නෑ. අපි රවි කරුණානායකට මේ වෙනකන් විශ්වාසභංග යෝජනවක් ගෙනැල්ලත් නැහැ. එතුමා කියනවා මම ඡන්දෙ දුන්නෙ නැහැල්ලු' මහින්ද කීවේය.
'ඒක විවාදයට ගන්නවත් ඉඩ නොදී ඡන්දෙ කොයින්ද?' පවිත්‍රා ඇසුවාය.

'අපේ යෝජනාව පාර්ලිමේන්තුවෙ න්‍යාය පුස්තකයටවත් නොදා රවි බේරගත්තේ ආණ්ඩුවයි. රවි මුදල් ඇමැති කමෙන් අස් වෙනකම් යෝජනාව විවාදයට ගන්න දුන්නෙ නැහැ. යෝජනාව අහක ගියා. දැන් මට ඇඟිල්ල දික්කරනවා. මම සුබ පැතුවා කියලා' මහින්ද කීවේය.

කෙසේ වෙතත් මහින්දලාගේ තර්කවලට ජනපති බ්‍රහස්පතින්දා පානදුර රැලියේදී පිළිතුරු දුන්නේය. ජනාධිපති සිරිසේන කතා කළේ මුදල් ඇමැති රවිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය පැවැති 2016 දින පාර්ලිමේන්තු විවාදය (හැන්සාඩ්) එකද අතැතිවය. එය මහජනයාට පෙන්වමින් ජනපති ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ නොපැමිණ රවි කරුණානායකට සුබ පැතූ විශ්වාසභංග යෝජනා විවාදයේ විස්තර මෙහි තිබෙනවා. ඔහු සහභාගි නොවූ බවත් ලකුණු කර තිබෙනවා. ඡන්ද ගණනත් තිබෙනව දැන් මොකද? කියන්නේ යැයි ප්‍රශ්න කළේය.

'අපි අපේ යුතුකම ඉටුකළා'
ජවිපෙට ලැබුණු ප්‍රතිචාර
පළාත් මැතිවරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ ගම ගොඩනඟන දූෂණය පරදන ජවය වැඩසටහනට විශාල ජනතා ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පෙනිණි. පසුගිය දෙදින පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී රාජ්‍ය අංශයේ විශාල දායකත්වයක් ජවිපෙට තිබෙන බව සනාථ වූයේ ජවිපෙ නායක මණ්ඩලයේ සියල්ලන්ට එක දිගට ලැබුණු දුරකතන පණිවුඩ හේතුවෙනි.

'මන්ත්‍රිතුමා අපි අපේ යුතුකම ඉටුකළා' යනුවෙන් කියැවෙන පණිවුඩ රැසක් නොකඩවාම ලැබිණි. එහි විශේෂත්වය වූයේ පොලිස් සේවාවේ සහ පොලිස් සහායක සේවාවේ නිලධාරීහු මෙවර ජවිපෙට ඡන්දය ප්‍රකාශ කිරීමය. හමුදා සේවාවන්හි නියුතු පිරිස්ද සිය ඡන්ද ජවිපෙට දෙන බව ප්‍රකාශ කළ අවස්ථාද පක්ෂයට වාර්තා වූ බව ජවිපෙ මූලස්ථානය වාර්තා කළේය. ජවිපෙ නායකයා පාර්ලිමේන්තුවේදී පොලිස් සේවාවේ ගැටලු රැසක් ස්ථාවර නියෝග 23/2 යටතේ ඉදිරිපත් කර තිබිණි.
ජවිපෙ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමක් වී තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. ඔවුන් බිම් මට්ටමේ ජවිපෙ ක්‍රියාකාරීත්වය පිළිබඳව තැති ගැනීමෙන් සිටින බව සනාථ වූයේ හිටපු ජනපති මහින්දගේ 'යහපාලන විපක්ෂයේ භූමිකාව' නිවේදනයෙනි. ඊට පිළිතුරු දෙමින් ජවිපෙ නිවේදනයක් නිකුත් කර තිබිණි. එමඟින් ඔවුන් මතුකර තිබූ ප්‍රධාන ප්‍රශ්නය වූයේ 2005 ජනාධිපතිවරණයේදී ගිවිසුම් ගහද්දී ජවිපෙ අතීතය අමතක වුණාද?

ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙට ආණ්ඩුවට එකතුවන ලෙස ආයාචනා කළේ ඇයි?
තිස්සමහාරාමය අපි දෙවරක් ජයගත්තා. නිතරගයෙන් දුන්නා කීම බොරුවක්.
අනුර දිසානායක පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරී මන්ත්‍රි ලැයිස්තුවේ අංක 1 වෙද්දී මහින්ද 184 වී තිබෙන්නේ ඇයි?
විපක්ෂයේ කාර්ය භාරය එයින් සනාථ නොවන්නේද යන කරුණුය.
පසුගිය 25 වැනිදා මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ පැවැති රැලියට අති විශාල සංඛ්‍යාවක් එක්ව සිටි අතර රැලියේ කතා පවත්වා තිබුණේ ජවිපෙ නායක අනුර හැරෙන්නට ජිප්සීස් සුනිල් පෙරේරා, සංගීතවේදී නදීක ගුරුගේ, මහාචාර්ය හරිනි අමරසූරිය ආදීන්ය.
කිවුල් වතුරට සජිත් දුන් විසඳුම

හම්බන්තොට සංචාරයක යෙදෙමින් සිටි නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස තිස්සමහාරාමයේ මහසෙන්පුර මහා විද්‍යාලයට හදිසියේම ගොඩවැදුණි. ඔහුගේ මතකයට ආවේ එම විද්‍යාලයට කලකට ඉහත ලබාදුන් වතුර මෝටරය හා නළ ළිඳය. ඔහු එය සවිකළ ස්ථානයට කෙළින්ම ගියේය.

'සර් නළ ළිඳ හොඳට තිබෙනවා දැන් ළමයින්ට වතුර ප්‍රශ්නයක් නැහැ.'
ඇමැතිවරයා දුටු විදුහල්පති දිව එමින් පැවැසීය. සජිත් දෝතට වතුර ගෙන පානය කළේය.
සජිත්ට දැනුණේ අප්‍රසන්න කිවුල් රසයකි.
'කොහොමද මේවා බොන්නේ කිවුල් රසයි' ඔහු ඇසුවේය.
'අනේ ඔව් කිවුල් තමයි ළමෝ කිහිප දෙනෙක් එකවර කීවෝය.

නළ ළිඳ දුන්නාට ප්‍රශ්නය එතනමය. සජිත් කල්පනා කළේ කිවුල නැති කරන ක්‍රමයක්ය. ඔහු ප්‍රදේශයේ ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරියකු කැඳවා ගත්තේය.
ආර්. ඕ. (රිවාස් ඔස්මෝසිස්) ප්ලාන්ට් එකක් හයි කළා නම් ප්‍රශ්නෙ විසදෙනවා. ඔහු පැවැසීය.
සජිත් මහසෙන්පුර විද්‍යාලයේ සිටම ව්‍යාපාරික මිතුරන් කිහිපදෙනකු ඇමැතීය. ලක්ෂ 10ක වියදමින් මහසෙන්පුර විද්‍යාලයට ජල පෙරණයක් සවිකර දීමට සජිත්ගේ මිතුරකු එකඟ විය.

ගේ‍රගරි වැවේ හම්බන්තොට බෝට්ටු
නවීන් දිසානායක ඇමැතිවරයා නුවරඑළිය නගර සීමාවේ එජාප ක්‍රියාකාරීන්ගේ හමුවක් කැඳවා තිබුණේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් උනන්දු කරන්නටය. එහිදී ඔවුන් වැඩි දෙනකු පෙන්වා දුන්නේ පිටගම්කාරයන්ගෙන් ඇතිව තිබෙන ප්‍රශ්නය. ඔවුන්ගේ චෝදනාව වූයේ පිටින් පැමිණි පුද්ගලයන් නිසා නාගරික ජනයාගේ ආදායම් මාර්ග බිඳ වැටී තිබීමය. දැඩි අවධානයෙන් ඉදිරිපත්වූ එක් ප්‍රශ්නයක් වූයේ හම්බන්තොටින් පැමිණි අය ගේ‍රගරි වැවේ බෝට්ටු සේවා පවත්වාගෙන යෑමය. මසුන් මරන්නේද ඔවුන් විසිනි. ඊට නවීන් දුන් පිළිතුර වූයේ,

'මේ ගැන මම දන්නවා මට කියන්න තියෙන්නේ මේ අයට පෙබරවාරි 11දාට බඩු පටවාගෙන යන්න සූදානම් වෙන්න කියලයි. එතනින් එහාට කටයුතු නුවරඑළියෙ අයට පමණක් සීමා කරන්න මම වගබලා ගන්නවා' යනුවෙනි.
ගුරුවරිය දණගැස්සවීම බදුල්ල රත්කරයි

උෟව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායක විදුහල්පතිනියක නිල නිවෙසට ගෙන්වා දණගැස්වූවා යැයි කියන සිදුවීම ගෙවුණු සතිය ආරම්භයේ ලොකු ආන්දෝලනයක් ඇති කළේය. පාසලට සිසුවකු ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් මහ ඇමැතිවරයාගේ උදහසට ලක්ව තිබුණේ බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මියයි. ගුරු සංගම් හා ප්‍රදේශයේ දේශපාලනඥයන් වූ සමන්ත විද්‍යාරත්න සහ වඩිවේල් සුරේෂ් විසින් ප්‍රශ්නය මතු කිරීමත් සමඟ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිට නියෝග කළ ජනාධිපති සිරිසේන පළාත් අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉවත්වන ලෙස මහ ඇමැතිටද නියම කළේය. උෟව පළාත් ආණ්ඩුකාරයාට පළාත් අධ්‍යාපන ඇමැති ධුරය භාරගන්නා ලෙසද දන්වා තිබිණි. මේ අතර මහ ඇමැති මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කොට තිබුණේ ගුරුවරියගේ අසත්‍ය චෝදනා විභාග කොට අවසන් වනතුරු අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඉවත්වීමට තමන් තීරණය කළ බවය. උක්ත කාරණය ගැන විපක්ෂය මාධ්‍ය හමු ගණනාවක්ම පැවැත්වූ අතර මහ ඇමැති ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කරන උද්ඝෝෂණ නගර ගණනාවකම පැවැත්විණි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මහ ඇමැති සම්පත් දසනායක ඇප මත නිදහස් කෙරිණි.

කැරම් බෝඩ් නඩුවෙන් මහින්දානන්ද නිදහස්
පසුගිය සතිය ආරම්භයේම අසන්නට ලැබුණේ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කැරම් බෝඩ් නඩුවෙන් නි‍ෙදාස් කොට නිදහස් කරන ලද බවය. පසුගිය ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුදලින් කැරම් බෝඩ් හා ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි මෙම නඩුව පවරා තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුව වසර දෙකක කාලයක් විභාග වීමෙන් අනතුරුව කොමිසම විසින්ම ඉල්ලා අස්කරගෙන තිබේ.
බරපතළ මූල්‍ය අපරාධ ලෙස ආණ්ඩුව විසින් උඩ දමන බොහෝ සිදුවීම් සම්බන්ධයෙන් අවසන් ප්‍රතිඵලය වන්නේ මෙයම බවට සාමාන්‍ය ජනතාවට වැටහීමක් තිබේ. බොහෝ නඩු පවරා තිබෙන්නේ හුදෙක් ඒවායේ දේශපාලන වාසිය ලබාගැනීම පිණිස පමණක් බව පෙනේ. ඒ සම්බන්ධව ඇති හොඳම උදාහරණයක් වන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියේ සහ ජාතික රූපවාහිනියේ ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට එල්ල වී ඇති බරපතළ මූල්‍ය අපරාධ චෝදනාවය. අදාළ දැන්වීම් ආයතනයේ නිසි ක්‍රමවේදයන්ට අනුව දැන්වීම් භාර නොගෙන ප්‍රචාරය කළා නම් ඊට වගකිවයුතු නිලධාරීන් වරදකරුවෝය. මෙහිදී මහින්දට නඩු දැමීම අදාළ රූපවාහිනි දැන්වීමේ රඟපෑ නළුවාට හෝ නිළියට නඩු දැමීමට සමානය. කෙළින්ම නීතියට පටහැනි අයුරින් දේශපාලනඥයන්ට යටවී දූෂණයට ඉඩ දුන්නා නම් දඬුවම් ලැබිය යුත්තේ එකී දූෂිත නිලධාරීන්ය. එම මුදල් අයකර ගත යුත්තේ ඔවුන්ගෙන්ය. සිරගත කළ යුත්තේද ඔවුන්ගෙන්ය. එවිට නීතියට පටහැනිව ක්‍රියා කරන්නට අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ද බිය වනු ඇත. රටක් හැදෙන්නේ එවිටය. මේ කරන සෙල්ලම දේශපාලනය ඉලක්ක කොට ජනතාව ඇන්දවීමක් පමණි. මේ සියල්ලටම වැය කරනුයේ මහජන මුදල්ය. කෙසේ වුවද මේ සම්බන්ධ කොමිෂන් වාර්තාවද එළිදක්වා තිබේ.

පාපන්දු ලෝක කුසලානය කොළඹදී පෙන්වීම
ෆීෆා පාපන්දු ලෝක ශූරතා කුසලානය ලන්ඩන් නුවර සිට කොළඹට ගෙන එනු ලැබූ අතර 24 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය කෙරිණි. එය රටවල් 54ක් කරා කිලෝමීටර් 126,000ක් දුර රැගෙන යන අතර 2018 ලෝක පාපන්දු ශූරතා තරග රුසියාවේ නගර 11ක පැවැත්වීමට නියමිතය. රත්රන් කිලෝ ග්‍රෑම් 6.142ක් බරැති කුසලානය එක් එක් රටවලදී පිළිගන්නේ එරටේ ජනාධිපතිවරයා විසිනි. අහම්බෙන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට පාපන්දු ක්‍රීඩා ලෝලීන් අති විශාල පිරිසක් රැස්ව සිටි අතර සෙල්ෆි ගසන්නට පොරකන්නන්ගෙන් කුසලානය රැකගන්නට දැඩි රැකවල් යෙදා තිබිණි.

ලෝක සෞඛ්‍ය දිනය ලංකාවේ
‍ෙදාස්තර රාජිත සේනාරත්න 24දා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ විධායක සභා රැස්වීමට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයා හදිසියේ දුරකතනයෙන් රාජිත ඇමැතීය.
"ඩොක්ටර් කොහොමද? ලෝක සෞඛ්‍ය සංවිධානෙ රැස්වීම"

"සර්, සතුටුදායකයි. මෙවර ලෝක සෞඛ්‍ය දිනය ලංකාවේ පවත්වන්න තීරණය කළා."
"ඒක හොඳයි අපි සාර්ථක උත්සවයක් සංවිධානය කරමු. අපිට මේක ලොකු ගෞරවයක්." ජනපති කීවේය.
එදින පස්වරුවේ රාජිත ස්විට්සර්ලන්තයේ සිට ලංකාවට එන්නට පිටත් විය. ගුවන් යානය දෝහා කටාර් ගුවන්තොටුපොළට සේන්දු වූ විට ජනපති නැවත කතා කළේය.
"අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයො අදත් පෙළපාළියක් දාගෙන. මවුපිය සංගමෙත් එකතුවෙලා. මට පේන්නෙ පෙරටුගාමී කට්ටිය මේක කරන්නෙ. මම හර්ෂට කිව්වා ප්‍රකාශයක් කරන්න."

"ඔව් ඒක හොඳයි. මම ආවට පස්සෙ ඔබතුමා හමුවෙලා මේ ගැන කතා කරන්නම් රාජිත කීවේය.
ඔළුවට වෙඩි තබා ගෙයක් හදා දීම

කතරගම ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුට ජනවාරි 20 වැනිදා රාත්‍රියේ කතරගම පොලිසියේ කොස්තාපල්වරයකු විසින් වෙඩි තැබීමෙන් ඔහු මරණයට පත්විය. මරණකරු වෙනුවෙන් නිවෙසක් ඉදිකර දීමට පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරිපත්ව තිබේ. අණ නොතකා ධාවනය කිරීම වෙඩි තැබීමට හේතුව බව පොලිසිය කියා තිබේ. අණ නොතකා ධාවනය කළා යැයි මිනිසුන් මරා දැමූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2016 වසරේ යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුටද මෙසේ වෙඩි තබා තිබිණි. චුන්නාකම්හි වැලි ලොරියකට වෙඩි තැබීමෙන්ද පුද්ගලයකු මරණයට පත්විය.
2014 ජුනි 16දා පස්යාලේදී අණ නොතකා ධාවනය කළා යැයි චෝදනා කොට තරුණයකු මරා දැමීය. මෙසේ මරා දමනු ලැබූ කිසිදු වින්දිතයකු වෙනුවෙන් නීතිය ක්‍රියාවට නැඟුණේ නැත.

වර්තමාන කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් 2012 වසරේ රතුපස්වල ජලය ඉල්ලා උද්ඝෝෂණයේ වෙඩි තැබීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවද වාර්තා වේ. මේ සියල්ල සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයන්ය. අපරාධකරුවන්ට නීතිය හමුවේ වරදකරුවන්ව දඬුවම් ලැබෙනු ඇතැයි යන විශ්වාසය රටේ පුරවැසියන් තුළ ඇති කිරීමට ආණ්ඩුව අසමත්ව තිබීමද ඛේදවාචකයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon