මෛත්‍රි කරයිද?

  👤  3395 readers have read this article !
2018-01-25

"යහපාලනය දෙදරලා... සම්මුතියත් ඉවරයි... දැක්කේ නැද්ද පහුගිය දවස්වල නිව්ස්... මෛත්‍රි දැන් එළිපිටම රනිල්ට ඇටෑක් කරනවා. මට නම් හිතෙන්නේ මේ ඡන්දෙන් පස්සේ දෙකෙන් එකක් වෙයි වගේ..."

මේ මා පුවත්පතක් මිලදී ගන්න කඩයකට ගොඩවැදුණු වෙලාවක කනට ඇසුණු දෙබසක්.
පහුගිය සති දෙක තුනට මෛත්‍රි දේශපාලන බෝම්බ දෙක තුනක් පුපුරවා හැරියේය. ඒ බෝම්බවලින් සිරිකොතේ බිත්ති ඉරිතළා ගියාට සැක නැත.
"සමහරු අහනවා මම යන්නෙ කවද්ද කියලා. මම යන දවස හරියටම කියන්නම්. මේ රටේ දූෂිත දේශපාලනඥයෝ ගෙදර යවලා, හිරේ දාලා යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරලා, හොරකම් කරන දේශපාලනයේ ඉන්න තක්කඩි රැළ හිර ගෙදර යවලා, හිර ගෙදර කාමර පොළොව පළාගෙන යන්න හදලා, පොළොව පළාගෙන ගිහින් අවීචි මහා නරකාදියට ගියාට පස්සේ මම ගෙදර යනවයි කියන එක මම මේ අවස්ථාවේදී කියනවා".

2018. 01. 18 - මෛත්‍රි, කොස්ගම රැලියේදී
කියන දේ වේවිද කියලා නම් කියන්න දන්නේ නැත. මෛත්‍රි කියන මේ දූෂිත දේශපාලනඥයන් කවුද කියන්නට ජනතාව නම් දන්නවා විය හැකිය. මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශන වාර්තාව එයට සාක්ෂි දරනු ඇත. අවීචි මහා නරකාදියට කෙසේ වෙතත් මේ කියන හොරුන්ට හිරබත් කන්න දුන්නොත් වෙනස සැපය.
මෛත්‍රි ජනපති වෙන්න පෙරත් පසුත් බොහෝ දේ කියා ඇත. වුණු දේ නොවුණු දේ නම් දන්නෝ දනිති.
"හිත හොඳ ලොක්කන් රජ ගෙට දක්කන්, කුඩ්ඩන් ගොට්ටන් හිර ගෙට දක්කන්, එක අහසක් යට එක යායට රට, රටටම වණයක් වූ පවුල් වණය, මැකෙන මිනිස්කම රකිනා මිනිසා, හොර බොරු නැති රටක් - බිය සැක නැති හෙටක්, වෙනසකට එක් වෙමු."

මේ 2015 ජනපතිවරණයේදී මහින්දට එරෙහිව ප්‍රචාරය කළ ජනප්‍රිය සටන් පාඨ කිහිපයකි.
යහපාලන ආණ්ඩුව බලයට එන්නේ දූෂණයට-වංචාවට එරෙහි ජනතාවගේ උරහිස් මතින්ය. ඔවුහු සැබෑ වෙනසක් ඉල්ලූහ. තරුණ පරම්පරාව වෙනස් අනාගතයක් ගැන හීන මැව්වෝය. සමහරුන් දැන් වෙනස සැපද කියා අසන්නේ මේ නිසා විය හැකිය.

හිත හොඳ ලොක්කන් රජ ගෙට දක්කා අවසන්ය. ලොක්කන්ගේ රජ ගෙවල්වල රජ රැඟුම් දැන් තිරගත වී ඇත. හොර බොරු නැති රටක් බිහි කිරීම කෙසේ වෙතත් ආණ්ඩුව පත් වී මාස 3ක් ඇතුළත ආසියාවේ දැවැන්තම බැංකු හොරකම නම් සිදු වී ඇත.
කැළැල මකා ගැනීමේ වගකීම මෛත්‍රි සතුය. රජ ගෙට දැක්කූ සොක්කන් වූ ලොක්කන් එළියට දැක්කීමට වග බලා ගත යුත්තේ ඔහුය.
"මම හිටපු ආණ්ඩුවෙන්, අපේ ආණ්ඩුවෙන් එදා එළියට ආවේ ඇයි? දූෂණ, වංචා, සොරකම්, නාස්තිය, පවුල්වාදය අවසන් කරන්න. මම එතැනින් මේ ඉන්න තැනට ආවේ ආණ්ඩු කරන අයත් එක්ක හොඳ ආණ්ඩුවක් කරන්න. හොඳ රටක් හදන්න. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමුන්නාන්සේලා දන්නවා.
මම පසුගිය අවුරුදු දෙක එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය විදියට ආර්ථික කළමනාකරණයට ඉඩ දී තිබුණා. නමුත් මම මේ වසරේ සිට ජාතික ආර්ථික සභාව හරහා මේ රටේ ආර්ථිකය හැසිරවීම හා එහි නායකත්වය ගන්නවා කියන එක පැහැදිලිව කියනවා."

2018. 01. 20 - මෛත්‍රි, කෑගල්ල රැලියේදී
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය කණපිට හැරුණේ 1977දී ජේ. ආර්. විවෘත ආර්ථිකය රටට හඳුන්වා දීමත් සමඟය. එවකට මුදල් අමාත්‍ය ධුරය දැරූ රොනී ද මෙල් 2016 සැප්තැම්බර් 24දා 'ද නේෂන්ස්' පුවත්පතට කියූ කතාවකි මේ.

"වසර ගණනාවක් තිස්සේ මුළු රටම හා සමාජයම හුරුවී තිබුණේ සංවෘත ආර්ථිකයකට. යම් සීමාවන් සහිතව ආර්ථිකය විවෘත කිරීමේ හැකියාව හා සමාජයීය වැදගත්කම ගැන ඒත්තු ගැන්වීම ඉතා දුෂ්කර වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලගතු කොටසක් හා වාමාංශික පක්ෂ කලක් තිස්සේ අපේ සමාජ විඥානයට බලපෑම් කර තිබුණේ සංවෘත ආර්ථිකය හැර වෙන විකල්පයක් නැත කියාය."
එතැන් සිට 17ත් වසරක් එජාපය විවෘත ආර්ථිකය ඇදගෙන ආවේය. ඇදගෙන නෑවේය. ඉන්පසු පත්වූ ආණ්ඩුත් කළේ ඒ දේමය. එජාපය සිතුවේ ආර්ථික කෙරුමෝ ඔවුන් කියාය.

විවෘත ආර්ථිකය ගේන්න වසර 4කට පෙර 1973 එවකට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කළ කතාවක් මෙසේය.
අපට තිබෙන එකම ගැලවුම නම් මේ රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමයි. විශේෂයෙන්ම මේ තාක් කල් කිසිම ආණ්ඩුවක්, අපේ ආණ්ඩුව විතරක් නෙවෙයි, මීට ඉස්සෙල්ලා තිබුණු ආණ්ඩුද වරද භාරගන්න ඕනේ. අපි ඇත්තෙන්ම උත්සාහ කළේ නැහැ මේ රට ආහාර අතින් ස්වයංපෝෂිත කරන්න. සෑම ආණ්ඩුවක්ම මේ ගැන කතා කළා. සැලැස්මවල් හැදුවා. නමුත් ඒක ඉෂ්ට වුණේ නැහැ. තරමක් දුරට අපි වගා ව්‍යාපාරය ගෙනිච්චා. නමුත් ස්වයංපෝෂිත වුණේ නම් නැහැ. එහෙම වුණා නම් අද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ නැහැ. ඒකට එක හේතුවක්, ලෝකයේ වෙළෙඳපොළවලට ආහාර ඕන හැටියට තිබුණා සෑහෙන මිලවලට ගන්න. එක කාලයක් විදේශ විනිමයත් තිබුණා. නැති වෙලාවේ අපි ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එහෙම නැත්නම් වෙනත් ජාත්‍යන්තර ණය ගන්න පුළුවන් මධ්‍යස්ථානවලින්, රටවලින් ණයට මුදල් අරන් අපේ ජනතාවට කන්න දුන්නා. කොටින්ම කියනවා නම් අපි ඒ ගත්ත මුදල් කෑවා. කොච්චර කල් මේක කරන්නද? මේක විපත්තිදායක කාරණයක් බවට තමුන්නාන්සේලා කවුරුත් භාරගන්නවා ඇති. එවැනි විපත්තියකටයි අපි දැන් මුහුණ දීලා තියෙන්නේ.

අපි, අමාරු වෙනකොටයි, අපි කාටත් මතක් වෙන්නේ අපේ රට ස්වයංපෝෂිත කරන්න ඕනෙයි කියලා. ඒ අවස්ථාව දැන් ඇවිත් තියෙනවා. ඒ නිසා අපි රජයක් වශයෙන් අපි විතරක් නෙවෙයි, මීට ඉස්සෙල්ලා තිබුණු රජයන් වරද පිළිගන්න ගමන්, ඒ වරද කිය කියා ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විරුද්ධවාදීන්ට බය වෙලා, අපි මේ තත්ත්වය තවදුරටත් ගෙනියන්න උත්සාහ කරන්නේ නැතිව, මේ තත්ත්වයෙන් අපේ ජනතාව මුදාගන්න, හැමදාම අපට ආර්ථික වශයෙන් වහල්භාවයෙන් සිටින්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි මේකෙන් මුදා ගැනීමට විසඳුමක් දැන් සොයා ගැනීමටයි, අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපට ණය මුදල් අරන් අපි මේ තාක් කරපු බව මා තමුන්නාන්සේලාට කිව්වා. මින් ඉදිරියටත් මේ තත්ත්වය ගෙනියන්න අපට පුළුවන්කමක් නැහැ. ණයට ගත්තම, පොලිත් සහිතව අපි මේවා ගෙවන්න ඕනේ. අපේ දරුවන්, අපේ අනාගත පරම්පරා උකස් තියලයි අපි මේ කරන්නේ, අපි කරන එක හරිද මේක කියලා කල්පනා කළ යුතුයි. මං හිතනවා තමුන්නාන්සේලා කවුරුත් පිළිගන්නවා ඇති මේ විදියේ හැමදාම මුදල් ණයට අරන් නොයෙක් නොයෙක් රටවලින් හිඟා කකා මේ තත්ත්වයේ අපට තව වැඩි කලක් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඕන නම් තව මාස ගාණක් පුළුවන් වෙයි. ඉන් පස්සේ මොකද්ද වෙන්නේ? අපි සියලු දෙනාටම මිය යන්න සිද්ධ වෙනවා.

මැතිනි එදා කී දේ සහතික ඇත්තය. මහින්දගේ පව් ගෙවනවා කීම ආණ්ඩුවේ කෝකටත් තෛලය වී ඇත. වැටුණු වළෙන් රට ගොඩගන්නා ආර්ථික ප්‍රතිපත්තියක් රනිල් ඇතුළු කෙරුමන්ට ඇති බවක් පෙනෙන්නටද නැත. මෛත්‍රි ආර්ථික බලය පවරා ගන්නට සිතන්නට ඇත්තේද ඒ නිසාය. කොහොම වුණත් මෛත්‍රි මේ පවරා ගත්තේ බරපතළ වගකීමකි. මෛත්‍රි ජේ. ආර්.ට දුරය, සිරිමාට ළඟය. කතාවෙන් වැඩක් නැත. ක්‍රියාවෙන් පෙන්විය යුතු කාලය එළැඹ ඇත. රොකට්ටුව ඉහළ නඟිනවාට වඩා වේගයෙන් පහළට වැටෙන බව අමතක නොකළ යුතුව ඇත.

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඒබ්‍රහම් ලින්කන් වරක් මෙසේ කියා තිබිණි.
"ඔබට ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් ටික කාලයකට රැවටිය හැකිය. ජනතාවගෙන් කුඩා කොටසක් විශාල කාලයකට රැවටිය හැකිය. එහෙත් සියලුම ජනතාව සදාකාලිකව රැවටිය නොහැකිය."

රැවටීමේ තරම පෙන්වන්න ජනතාවට අවස්ථාවක් ලැබී ඇත. ඡන්දෙන් පස්සේ දෙකෙන් මොක වෙයිද කියලා කියන්න අපි නම් හරියටම දන්නේ නැත. ඒත් දෙකම එකට වෙන පාටක් නම් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්