පුංචි ඡන්දයේ සුරංගනා කතන්දර

  👤  3589 readers have read this article !
2018-01-21

පුංචි ඡන්දයට තව ඇත්තේ දින විස්සක් පමණි. ඡන්ද උණුසුමක් ගමේ එතරම් නැතත් දේශපාලන පිටිය නම් ටිකෙන් ටික උණුසුම් වෙමින් පවතී. මෛත්‍රි - රනිල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වෙන වෙනම තරග කිරීමත්, ශ්‍රී ලනිපයෙන් කැඩී ගිය කණ්ඩායම අලුත් පක්ෂයක් පිහිටුවා ගෙන ඡන්දය ඉල්ලීමත් දේශපාලන පිටිය මෙතරම් උණුසුම් වීමට හේතු වී ඇත. මේ පාර්ශ්ව තුන එකිනෙකාට 'හොරු' යැයි කියමින් චෝදනා කරගනිද්දී ජවිපෙ හොරුන්ට එරෙහිව තම කණ්ඩායමට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටී.

පුංචි ඡන්දය ගමේ පාලම්, බෝක්කු හැදීමේ කතාවෙන් ඔබ්බට රැගෙන ගොස් ආණ්ඩුව හා විපක්ෂය පිළිබඳ ජනමතය උරගෑමක් කරගත යුතු යැයි ඇතැම්හු පවසති. අනිවාර්යයෙන්ම පුංචි ඡන්දය ඒ සඳහා යොදාගත හැකි වුවත් හුදු ආණ්ඩු විරෝධී ඡන්දයක් කර ගැනීමට යෑමෙන් සිදුවන්නේ පුංචි ආණ්ඩු හෙවත් පළාත් පාලන ආයතනවල කාර්යභාරය ඉටුකර ගැනීමට නොහැකි වීමය.

එජාපය කියන්නේ රට හැදීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කරගැනීමට ගමේ බලයත් ඔවුන්ට ලබාදෙන ලෙසය. ආණ්ඩුවත් එජාපයේ නිසා පුංචි ආණ්ඩු ටිකත් එජාපයට දීමෙන් රටයි ගමයි දෙකේම දියුණුවට ඉන් මඟ සැලැසේ යැයි ඔවුහු කියති. ශ්‍රී ලනිපය කියන්නේද මෙවැනිම කතාවකි. ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ ශ්‍රී ලනිපය නිසා පුංචි ආණ්ඩුවල බලය ශ්‍රී ලනිපයට ලබාදීමෙන් ගම ගොඩනැඟීමට පහසු වන බවය. පොදුජන පෙරමුණ හා ජවිපෙ පවසන ආකාරයටම බලය අපයෝජනය කළ ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටම ගමේ බලය දීමෙන් පලක් නැත. එහෙත් මේ පක්ෂ දෙකෙන් එක් පක්ෂයක් අවුරුදු 20ක් පුංචි ආණ්ඩුවල බලය දැරූ පක්ෂයකින් කැඩී ගිය කොටසකි.
මෙහිදී එක් දෙයක් පැහැදිලි කරගත යුතුය. රටේ බලය දරන ශ්‍රී ලනිප - එජාප පක්ෂවලට ගමේ බලය දීම වාසිදායක වේ යැයි පැවැසුණද තව අවුරුද්දකින් ජනාධිපතිවරණයක්, අවුරුදු දෙකකින් මහ මැතිවරණයක් පැමිණෙන නිසා ආණ්ඩු බලය මාරු විය හැකිය. එවිට ගමේ ආණ්ඩුවේ බලය රටේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයකට ලබාදීම පල රහිතය. ඇත්තෙන්ම මේ අය කරන මේ ප්‍රකාශ පළාත් පාලන ආයතනවල කාර්යභාරය අවතක්සේරු කිරීමකි. බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රතිවිරුද්ධය. බලය විමධ්‍යගත කිරීමේ අරමුණට පිටුපෑමකි.

ප්‍රාදේශීය සභාව, නගර සභා හා මහ නගර සභා පිහිටුවා ඇත්තේ ගමේ හා නගරයේ කටයුතු මැනවින් ඉටුකරලීමටය. එය මධ්‍යම ආණ්ඩුවට මහත් පහසුවකි. ලෝකයේ සෑම රටක්්ම මේ පළාත් පාලන ආයතන පද්ධතියම නඩත්තු කරන්නේ ඒ නිසාය. ඊට වාර්ෂිකව මුදල් වෙන් කෙරෙන අතර ඒ මුදල් වියදම් කිරීම පිළිබඳ සැලැසුම් සකස් කිරීම, ප්‍රගති මතු කිරීම අදාළ ආයතන කරනු ලබයි. ඊට දේශපාලන නියෝජිතයන් පිරිසක් පත්වන අතර ඒ කටයුතු අධීක්ෂණය විපක්ෂය විසින් කරනු ලබයි.

මධ්‍යම ආණ්ඩුවේ බලය තිබෙන්නේ කුමන පක්ෂයටද යන්න මේ ආයතනවලට අදාළ වන්නේ නැත. එහෙත් පාලක පක්ෂය සෑම විටම මේ පුංචි ආණ්ඩු සිය ග්‍රහණයට ගැනීමට කැමැතිය. එය සදාචාරාත්මකව මෙන්ම මූලධර්මිකවද වැරැදිය. විය යුත්තේ අදාළ ආයතන සමඟ මධ්‍යම ආණ්ඩුව අන්තර් සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම පමණි.
රටේ බලය මෙන්ම ගමේ බලයත් අපිටම දෙන්නැයි ඉල්ලා සිටීමේ අයිතිය මේ පක්ෂවලට තිබේ. එහෙත් ඡන්ද දායක ජනතාව කල්පනා කළ යුත්තේ පුංචි ආණ්ඩුවෙන් උපරිම කාර්යය ඉටු කර ගත හැකි පාලනයක් පත්කර ගැනීමටය. පුංචි ඡන්දයකදී ඉතිහාසයේ ප්‍රථම වතාවට කොට්ඨාසයට මන්ත්‍රිවරයෙක් පත්කර ගැනීමේ අවස්ථාව ලැබී ඇති නිසා සිය නියෝජිතයා හෙවත් මන්ත්‍රිවරයා පත්කර ගැනීමේද ඡන්ද දායකයා සබුද්ධික විය යුතුය. උගත්, දක්ෂ, පොදු කටයුතුවලට මැදිහත් වන, වංචා දූෂණවලට හසු වී නැති, සාපේක්ෂ වශයෙන් අවංක දේශපාලනඥයන් සොයා ගැනීම අසීරු වුවත් මේ ගුණාංග පිළිබඳ සොයා බලා වැඩිම ලකුණු ලැබෙන පුද්ගලයාව තෝරා ගැනීම මෙවර කළ යුතුය. සියල්ල කිරා මැන බලා ඡන්දය දෙනවා විනා ඊනියා කතන්දරවලට රැවටී ඡන්දය පාවිච්චි කර පසුව පසුතැවිලි වීමට ඉඩ තබා ගත යුතු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon