ඡන්ද කාලෙට මතුවන තාජුඩීන්, හෙජින් ඩීල් සහ ග්‍රීක් බොන්ඩ්

  👤  3661 readers have read this article !
2018-01-16

දිනෙන් දින උණුසුම් වන රටේ දේශපාලන වාතාවරණය අපට කියන්නේ යහපාලනයේ වසන්තය නිමා වී ගිම්හානය උදා වී ඇති බවයි. ඒ අනුව ඊළඟට එන්නට නියමිත අඳුරු සරත් සමය හා සීතල සිසිරයයි.

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙර තම ධුර කාලය වසර 5ද 6ද කියා ශේ‍ර්ෂ්ඨාධිකරණ මතය විමසීමට ජනාධිපතිතුමා පවා උත්සුක කළේ නොදැනීම වාගේ ඔහු වටා ගොඩනැඟෙමින් තිබෙන දේශපාලන පීඩනය විය යුතුය. නැත්නම් එවැනි ප්‍රශ්නයක් තුළින් තම ප්‍රතිරූපයට වන හානිය හොඳින් දන්නා කෘතහස්ත දේශපාලනඥයකු වන මෛත්‍රිපාල සිරිසේන මහතා එවැන්නකට අත නොගසනු ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණය කැඳෙව්වේ තම ධුර කාලයෙන් වසර 2ක් ඉතිරිව තිබියදීය. ඒ අනුව ජනාධිපති බලතල දින 100යෙන් අඩු කිරීමේ පොරොන්දුව පිට බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට වසර පහකින් පසු බලයෙන් ඉවත් වීමට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීන්දුවක් අවශ්‍ය නැති බව දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති ඕනෑම අයකු දනී.

මේ දිනවල නිරන්තරයෙන්ම මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්වන හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ජනගත කරන මතයක් නම් ජනාධිපතිතුමාට යම් නිලධාරීන් විසින් වැරැදි උපදෙස් දෙන බවයි. බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් තමා වැරදිකරුවකු කර නැති බවත් ජනවාරි 3 වැනිදා ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශයේ තමා ගැන සඳහන් වූ කරුණු මෙසේ වැරැදි තොරතුරු සපයන නිලධාරීන්ගේ සටකපටකම් නිසා වූ බවත් රවි කරුණානායක මහතා නැවත නැවත කියන නිසා නුදුරු කාලයේ ජනාධිපතිතුමාම මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටිති.

ප්‍රහාරයකට ලක්වන්නන් තම ආරක්ෂාව සඳහා සතර අතටම ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය සිද්ධියකි. 2015 පෙබරවාරි මස සිට යහපාලන ආණ්ඩුව යටතේ සිදුවුණු මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අවධානය ඉවත් කර ගැනීම සඳහා 2008 සිට 2015 කාලය තුළද මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී විශාල වංචා සිදුවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුළු ගෝල බාල පිරිස හඬ නඟන්නට පටන් ගෙන ඇත්තේ මේ නිසාය.
2008-2015 කාලයේ මහ බැංකු අධිපතිව සිටි නිවාඩ් කබ්රාල් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ එම කාලය තුළ සිදුවූ වංචාවක් ගැන කරන ඕනෑම පරීක්ෂණයකට සහාය දීමට තමන් සූදානම් බවයි. ඔහු එහිදී උපහාසාත්මකව කියා සිටියේ වත්මන් ආණ්ඩුව ප්‍රතිවාදීන් දඩයම් කිරීමට පසුගිය වසර 3 පුරාවටම දැක්වූ උනන්දුවේ හැටියට තමුන්ගේ කාලයේ අල්පමාත්‍ර හෝ වරදක් සිදුවී තිබුණා නම් අද තමුන් සිටින්නේ සිර ගෙදර බවයි.

පසුගියදා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ රවි කරුණානායක මහතා ජනතාවට අමතක වී තිබුණු කරුණු දෙකක්ද මතක් කළේය. ඔහු කීවේ 2008-2015 බැඳුම්කර ගනුදෙනු ගැන පමණක් නොව හෙජින් ගනුදෙනුවේ අලාභය හා මහ බැංකුව විසින් ග්‍රීක් බැඳුම්කර මිලදී ගැනීමේදී වූවා යැයි කියන අලාභය ගැනද සොයා බැලිය යුතු බවය.
රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ලද යැයි කියන විශාලතම දූෂිත ගනුදෙනුව ලෙස එවකට විපක්ෂය මහා ඝෝෂාවක් නැඟූ හෙජින් ගනුදෙනුවේ පසුබිම අපි මඳක් විමසා බලමු.
'හෙජින්' යනු යම් කිසි භාණ්ඩයක හෝ සේවාවක මිල අනපේක්ෂිත ලෙස ඉහළ පහළ යෑමේ අනතුර අවම කර ගැනීම සඳහා යොදා ගන්නා පිළිගත් මූල්‍ය ක්‍රමවේදයකි. එය යම්තාක් දුරකට රක්ෂණයකට සමානය. ඔබ සාමාන්‍යයෙන් හෙජින් භාවිත කරන්නේ ගනුදෙනුවකදී ඔබ අකැමැති දෙයක් සිදු වුවහොත් වන පාඩුව වළක්වන්නටය.
ඒ අනුව ලෝක තෙල් මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගියහොත් ඉන් වන පාඩුව වළක්වන්නට බැංකු කිහිපයක් සමඟ හෙජින් ගිවිසුමකට එළැඹ සිටි ඛනිජ තෙල් සංස්ථාව අමාරුවේ වැටුණේ ලෝක මිල ඉහළ යනවා වෙනුවට 2008 අග භාගයේ මිල අනපේක්ෂිත ලෙස පහළ ගිය නිසාය. මෙවැනි තත්ත්වයක් උදාවිය හැකි යැයි ගිවිසුම සකස් කරද්දී සංස්ථාව පැත්තෙන් නිසියාකාරව අනුමාන කර නොතිබුණු නිසා 2008 අස්සන් කොට තිබූ හෙජින් ගිවිසුමේ කොන්දේසි සංස්ථාවට අවාසිදායක විය. සිදුවූයේ ගත් කළමනාකරණ තීරණයක් වැරැදී යෑමක් පමණි. එය මහ බැංකු බැඳුම්කර සිද්ධිය මෙන් සැලසුම් සහගතව කළ හොරකමක් නොවේ.

2007 මුල් භාගයේ සිටම, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධනවලින් කොටසක් මිලදී ගනිද්දී, ජාත්‍යන්තර බැංකු කීපයක් හරහා මුළු ලෝකයේම පිළිගන්නා 'හෙජින්' ක්‍රමවේදය අනුගමනය කරන ලදී. එමඟින්, මුල් වසර 1 1/2කට ආසන්න කාලයක් තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැලකිය යුතු වාසි සහ ලාභ අත්පත් කරගන්නා ලදී. එහෙත් 2008 අග භාගයේදී, අනපේක්ෂිත ආකාරයට ලෝක තෙල් මිල පහළ යෑම ආරම්භ වූ විට එවකට පැවැති 'හෙජින්' ගිවිසුම සංස්ථාවට පාඩු ගෙන දුන්නේය.
මේ අවස්ථාවේ ජාත්‍යන්තර බැංකු තුනක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් වන්දි ඉල්ලා නඩු පැවැරූහ. එම නඩුවලින් විශාලතම ඉල්ලීම වූයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටි බැංකුවේ ඉල්ලීමය. වාසනාවකට මෙන් එම ඉල්ලීම සිංගප්පූරුවේ උසාවියකදී නිෂ්ප්‍රභ විය. දෙවැනි ඉල්ලීම වූ, බි්‍රතාන්‍ය බැංකුවක් වන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ ඉල්ලීමට බි්‍රතාන්‍ය උසාවියකින්ද, තෙවැනි ඉල්ලීම වූ ජර්මනියේ ඩොයිෂ් බැංකුවේ ඉල්ලීමට සිංගප්පූරුවේ ආරවුල් විසඳුම් ආයතනයකින්ද අදාළ විදේශ බැංකු දෙකට වාසිදායක වන ලෙස තීරණය ලබා දෙන ලදී.
එම නීතිමය තීන්දුවලින් අනතුරුව, එම ජාත්‍යන්තර බැංකු දෙක සමඟ තවදුරටත් පවත්වන ලද නිල රාජ්‍ය සාකච්ඡා ඔස්සේ, ශ්‍රී ලංකා රජය සහ ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් ගෙවීමට නියෝග වූ වන්දි මුදල්වලින් යම් ප්‍රමාණයක් අඩු කරගැනීමට හැකි විය. අවසානයේදී ගෙවන්නට සිදු වූ සම්පූර්ණ මුදල ඇ. ඩො. මිලියන 89කි.
එසේ නම් සමස්තයක් වශයෙන් මෙම 'හෙජින්' ගනුදෙනු සියල්ලම හරහා ශ්‍රී ලංකාවට විඳින්නට සිදුවු සමස්ත වාණිජමය අලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 89ක් හෙවත් එවකට මුදලේ අගය අනුව රුපියල් බිලියන 12.5කි. මුලින් කීවාක් මෙන් මෙසේ ගෙවන ලද මුදල වාණිජමය අලාභයක් වූවා මිස දූෂිත ගනුදෙනුවක් හෝ හොරකමක් නොවේ. යාන්තමට හෝ පැටලවිය හැකි හොරකමක් සිදු වී තිබුණා නම් යහපාලන ආණ්ඩුව මේ වන විට කී දෙනකු අත්අඩංගුවට ගෙන නඩු දමා මාධ්‍ය සන්දර්ශන කරන්නට තිබුණාද?
දැන් අපි මහ බැංකුව ග්‍රීක් බැඳුම්කර මිලදී ගෙන පාඩු වීමේ චෝදනාව ගැන මඳක් විමසා බලමු.

මහ බැංකුව මඟින් පාලනය කෙරෙන අරමුදල හා සංචිත කිහිපයක්ම ඇති අතර මේවායේ ඇති මුදල් සුදුසු පරිදි ආයෝජනය කොට ඒවායේ වටිනාකම ඉහළ දමා ගැනීමද මහ බැංකුවේ වගකීමකි. මේ සඳහා ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද ඇති නිලධාරීන් මහ බැංකුවේ සිටින අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිපත්තිමය උපදෙස් ලබා දීම කරන්නේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු මූල්‍ය මණ්ඩලය විසිනි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාද නිල බලයෙන් මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයකු විය.
යම් කිසි අරමුදලක් කළමනාකරණය තමුන් කිසි විටක පාඩුවක් ලබන්නට කැමැත්තක් නැත්නම් කිසිදු අවදානමක් නැති එමෙන්ම ප්‍රතිලාභද ඉතා අල්ප වන ආයෝජන පමණක් කළ හැකිය.

නමුත් දක්ෂ ආයෝජන කළමනාකරුවන් කණ්ඩායමකින් බලාපොරොත්තු වන්නේ එය නොවේ. ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ අවදානමද
කළමනාකරණය කරගෙන අදාළ අරමුදලට හෝ සංචිතයට උපරිම ප්‍රතිලාභ ලැබෙන සේ මුදල් ආයෝජන අවස්ථා හඳුනා ගැනීමයි. මෙහිදී යම් ආයෝජන පාඩු ලැබීම වුවත් සිදු විය හැකිය. නමුත් තවත් සමහර ආයෝජන ඉහළ ප්‍රතිලාභ ලැබුවොත් අවසානයේ සමස්තයක් වශයෙන් සතුටුදායක ප්‍රතිලාභයක් හෝ සංචිතයට ලබා ගැනීමට හැකිවනු ඇත.
ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම මහ බැංකුවේ කෙරුම්කාරයන්ටත් වැරැදුණු තැනකි. අනපේක්ෂිත ලෙස ග්‍රීසියේ ආර්ථිකය කඩා වැටීම නිසා ඉහළ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් කළ ආයෝජනයෙන් මහ බැංකුව ලැබුවේ අලාභයකි.

එවකට විපක්ෂයේ සිටි අද ඇමැතිකම් දරන සමහර ආචාරීහු මේ ගැන මහා ඝෝෂාවක් කළ අතර කනට ඇසෙන ඇහැට පෙනෙන ඕනෑම දෙයක් තතු නොවිමසා පිළිගැනීමට පුදුම හපන්නු සිටින අප රටේ ග්‍රීක් බැඳුම්කර මිලදී ගැනීම සමාජගත වූයේ මහ බැංකුව කළ මහා අපරාධයක් ලෙසයි. වෙනෙකක් තබා ග්‍රීක් බැඳුම්කර මිලදී ගැනීමේදී මහ බැංකු අධිපතිවරයා ඇතුළු මූල්‍ය මණ්ඩලය වරදක් කළා යැයි චෝදනා කරමින් සුජීව සේනසිංහ මහතා විසින් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක්ද පවරන ලදී. ඔව්. ඔව්. ඒ අලුත් ආණ්ඩුව යටතේ සිදු වූ මහ බැංකු බැඳුම්කර සිද්ධිය වෙලේ එහි කිසි වරදක් සිදු නොවීය කියා පොතක් ලිවූ තරුණ මහතාම තමා.
නමුත් මේ නඩු ඇයැදුම විමසූ හිටපු අගවිනිසුරු ශ්‍රී පවන් මහතා ඇතුළු විනිසුරු මඬුල්ල නඩුව ඉදිරියට ගෙනයෑම ප්‍රතික්ෂේප කළේ මූල්‍ය මණ්ඩලයට අදාළ ආයෝජනයට සම්පූර්ණ නීත්‍යනුකූල අයිතිය ඇති බවත් බැලූ බැල්මට මෙහි කිසිදු වරදක් සිදු වී නැති බවත් ප්‍රකාශ කරමිනි.
ඇත්තෙන්ම සිදු වී තිබුණේ එක් ආයෝජන තීරණයක් වැරැදි පාඩුවක් සිදුවීමයි. පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6ක් විය.
මෙය හිටපු මහ බැංකු අධිපති මූල්‍ය මණ්ඩලය හා පළපුරුදු බැංකු නිලධාරීන් අතින් වූ මහා අපරාධයක් යැයි යමෙක් කියනවා නම් පහත දැක්වෙන කරුණ ගැන කිව හැක්කේ කුමක්ද?
2011 වසරේ මහ බැංකුව කළ අනෙකුත් ආයෝජනවල සාර්ථකත්වය නිසා සමස්තයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 430ක ලාභයක් ලබන්නට මහ බැංකුවට හැකි විය.
එය 6.6%ක ලාභ ප්‍රතිශතයක් වූවා පමණක් නොව මහ බැංකු ඉතිහාසයේ ඉහළම ප්‍රතිලාභ ලැබූ වසර විය.
වැරැදුණු එක් ආයෝජනයකට ගල් ගසනවා නම් හොඳටම හරි ගිය ඉතුරු ආයෝජනවලට මහ බැංකු අධිපතිට, මූල්‍ය මණ්ඩලයට හා නිලධාරීන්ට මල් පුදන්නටත් ඒ ගල් අතින් ගත් අය සූදානම්ද?

ශේ්‍රෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පෙන්වා දී ඇති පරිදි ඒ වෙලාවේ ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කර තිබුණේ ආයෝජනය කළ හැකි මුළු මුදලින් සියයට දශම 6ක් පමණි. (0.6%) නමුත් මේ ගැන මොනතරම් ඝෝෂාවක් එදා විපක්ෂය කළාද කියනවා නම් බොහෝ දෙනකු සිතුවේ මහ බැංකුව කඩාවැටෙන තරම් අකරතැබ්බයක් වී ඇතැයි කියායි. නමුත් අද ජනතාව එදාට වඩා දැනුම්වත්ය. මහින්ද රාජක්ෂගේ ඩුබායි ගිණුමක ඇමෙරිකානු ඩොලර් බිලියන 18ක් නැති බවත්, ගෝඨාභයට ලංකා බැංකුවේ පෞද්ගලික ගිණුමක රුපියල් බිලියන 18ක් තිබුණේ නැති බවත්, ඩුබායිවල මැරියට් හෝටලයේ අයිතිකරු නන්දන ලොකුවිතාන නමැති ලාංකිකයෙක් මිස මහින්ද රාජපක්ෂ නොවන බවත් ෆුට් නෝට් කල්ලිය මොනවා කීවත් මහ බැංකුවට වැඩේ දුන්නේ යහපාලන ආණ්ඩුවේ කෙරුම්කාරයන් පිරිසක් බවත් දැන් ජනතාව හොඳින්ම දනිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්