අලි-ඇතුන් මරු දකින වගයි...

  👤  3376 readers have read this article !
2018-01-16

ආණ්ඩුව තවත් වාර්තාවක් පිහිටුවා තිබේ. වාර්තාව පිහිටුවා තිබෙන්නේ මාස දෙකක් තුළ දළ ඇතුන් දස දෙනකු මරණයට පත් කරන්නට කටයුතු සැලැස්වීමෙනි. මෙසේ මරණයට පත්වූයේ අඩසිය වසකට ආසන්න කාලයක් ලංකාවේ වනාන්තරවල ජීවත් වූ සද්දන්තයන්ය. ලංකාවේ වනාන්තර විනාශ කළාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කිසිදු වගක් නැතිවා සේම අලි - ඇතුන් කොපමණ මළත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ අදාළ අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නැති බව පෙනේ.

මාස දෙකක් තුළ මරණයට පත් දළ ඇතුන් අතර පුත්තලම තනි
දළයා, තබ්බෝව ඇතා, ගෝනගංආරේ අනුරුද්ධ, කල්ලාරු ඇතා, විල්පත්තුවේ ඇතුන් තිදෙනකු හා කල්අඩියේ ඇතාද වෙයි. තමන්ට වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යාංශය භාරදී තිබෙන්නේත් මෙරට ජනතාවගේ මුදලින් පඩි නඩි, යානවාහන, නිල නිවාස ලබාදී තිබෙන්නේත් වන සතුන් ආරක්ෂා කරන්නට බව ඇමැතිවරයා මෙන්ම ලක්ෂ ගණන් පඩි ගන්න නිලධාරීන් නොදන්නා බව පෙනේ. භාරදුන් වගකීම ඉටු කරන්නට බැරි නම් ඔවුන් තම අසමත්කම පිළිගෙන ඉල්ලා අස්විය යුතුය. වගකීම ඉටු කළ හැකි තැනැත්තකුට රාජකාරිය භාර දිය යුතුය. ඒ දෙකම ඉටු නොකොට මාධ්‍ය හමු පවත්වමින් කරන කයිවාරු ගැසීම් නතර කළ යුතුය.

පසුගිය කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් දිවියන් 21 දෙනකු මරා දමා තිබේ. වන සතුන්ගේ රැකවරණය පැත්තෙන් ආණ්ඩුව කළ දෙයක් නැත. විල්පත්තු වන විනාශය ගැනත් ආණ්ඩුව මුනිවත රකී. මෑතකදී කළ එකම දෙය නම් යාල ජාතික වනෝද්‍යානයට දිනකට සෆාරි ජීප් රථ 650ක් ඇතුළු කිරීමට අවසරදීම පමණි. ඒ අමන තීරණය නිසා යාලේ සතුන් පලාගොස් ඇති අතර දැන් යාලට යන සංචාරකයකුට පිළිහුඩුවකු, මයිනකු හැර වෙනත් සතකු දකින්නට නොලැබෙන බව කියති.
මේ වනවිට බොහෝ අලි-ඇතුන් මියයන්නේ වෙඩි තැබීමෙන්, විදුලිය සර වැදීමෙන් සහ හක්ක පටස් නමින් හඳුන්වන වෙඩි නිසා බව හෙළිවී ඇත. අලි - ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් දැනට තිබෙන ලිහිල් දඬුවම් වැඩි කරන බව වනජීවී සංරක්ෂණ විෂය භාර ඇමැතිවරයා කිහිපවරක්ම ප්‍රකාශ කර තිබුණද ඔහු ඒ වෙනුවෙන් පසුගිය මාස කීපය තුළ කිසිදු පියවරක් ගෙන නැත. වනජීවී සංරක්ෂණය සඳහා ලෝකය භාවිත කරන විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය නොකොට කැබිලිත්තේ ගොස් භාරහාර වූ පමණින් දඩයක්කරුවන් දඩයම් නවත්තන්නේ නැති බව ඇමැතිවරයාට මතක් කර දිය යුතුය.

නීති විරෝධී විදුලි වැට යෙදීම නිසා සතුන් පමණක් නොව මිනිසුන්ද මරුමුවට පත් වූ සිදුවීම් කිහිපයක්ම මෑතකදී වාර්තා විය. අවම වශයෙන් නිවෙසට සැපයෙන විදුලිය සත්ත්ව ඝාතන සඳහා යොදා ගත් තැනැත්තන්ට හා එකී නිවාසවලට විදුලිය පහසුකම් ලබාදීම සම්පූර්ණයෙන් තහනම් කෙරෙන ක්‍රමවේදයක් හෝ ආණ්ඩුව අනුගමනය කරන්නේද නැත.
රටේ සොබා සම්පත මෙසේ විනාශ මුඛයට යද්දී බකංනිලා සිටින්නට බලධාරීන්ට අයිතියක් නැත. බොහෝ පළාත්වල සතුන් දඩයම් කිරීම සඳහා විදුලිය යෙදීම අද සෙල්ලමක් බවට පත්ව තිබේ. වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශය මෙහිදී අන්ධයන්, බිහිරන් සේ ක්‍රියා කරයි නම් විදුලි බල අමාත්‍යාංශය හෝ ඉදිරිපත් වී මේ පිළිබඳව ක්‍රියා කළ යුතුය. ආණ්ඩුව රට පාලනය කරනවා නම් "කරතොත් හරියට බැරි නම් ඉවතට" සංකල්පය ක්‍රියාවට නැංවිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon