මහජන මුදලින් රඟ දැක්වූ පාර්ලිමේන්තු ගුටිකෙළිය

  👤  5572 readers have read this article !
2018-01-14

ශ්‍රී ලංකාව වූ කලී වසර දෙදහස් පන්සියයකට වැඩි අඛණ්ඩ ඉතිහාසයක් ඇති ලොව රටවල් අතළොස්සෙන් එකකි. අපට අංක එක හිමිවී තිබුණේ සංස්කෘතිය විසින් හික්මවනු ලැබූ සාරධර්මවලින් පිරිපුන් මිනිසුන් වෙසෙන දේශයක් හැටියටය. අපේ රටේ මිනිසුන් නව වසරක රාජකාරි අරඹන්නේ නැවුම් උණුසුම් බලාපොරොත්තු සහිතවය. 2018 රජයේ ආයතන වැඩ ඇරඹුවේ කැවුම් කිරිබත් කා සියලු අමනාපකම් තරහ මරහ දුරලා නැවුම් බලාපොරොත්තු සහිතවය.

අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මුදුන් මල්කඩ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. වෙනත් වචනයකින් කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල පාර්ලිමේන්තුව වන්නේය. එහි සිටින්නේ මහජනතාව විසින් තෝරා පත්කර යැවූ ජනතා නියෝජිතයන්ය. ඔවුන්ට ව්‍යවස්ථාවෙන්ම පැවරී තිබෙන්නේ බැරෑරුම් වගකීමකි. ඔවුහු රටට අවැසි නීති ව්‍යවස්ථා සම්පාදනය කරති. වාද විවාද සංවාද ජනසම්තවාදී පාර්ලිමේන්තුවේ ආත්මය වන්නේය. ඒ නිසාම අපි ඊට රට හදන තැන කියා භාවිත කරන්නෙමු.

නව වසර සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය පැවැත්වීමට නියමිතව තිබුණේ ජනවාරි 23 වැනි දිනය. එහෙත් බැඳුම්කර කොමිසමේ වාර්තාව පාදක කර ගනිමින් විපක්‍ෂයේ විශේෂ ඉල්ලීම මත පාර්ලිමේන්තුව පසුගිය 10 වැනිදා රැස්විය. අපේ මහජන නියෝජිතයො නව වසරේ මංගල පාර්ලිමේන්තු සැසිය ආරම්භ කළේ තිත්ත කුණු හරුප කියා ගනිමින් ගුටි බැට හුවමාරු කර ගනිමිනි. ඔවුහු රටත් ජනතාවත් ලෝකය හමුවේ ලජ්ජාවට පත්කොට සන්ධ්‍යාවේ මුහුණුවල ප්ලාස්ටර් අලවාගෙන ජාත්‍යන්තර මාධ්‍යයන්ට 'වොයිස් කට්' දුන්නෝය. මහජන නියෝජිතයන් මෙලෙස මුග්ධ ලෙස හැසිරුණේ තවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවකදී බව අමතක නොකළ යුතුය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් 1931 ආරම්භ වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදායට මේ වන විට වසර 87ක් සම්පූර්ණ වී තිබේ. ජාතියේ පුරෝගාමීන් විසින් උරුම කර දුන් කීර්තිමත් ඉතිහාසයක් ඇති අපේ පාර්ලිමේන්තුව මේ වන විට පිසාචයන් බඩ පිනුම් ගසන තිප්පොළක් බවට පත්ව තිබීම ගැන පාලකයන් වගකිව යුතුද නොඑසේ නම් ඔවුන් පත්කර යැවූ ජනතාව වගකිව යුතු දැයි අසන්නට සිදුවී තිබේ.
පාර්ලිමේන්තුවේ සදාචාරාත්මක පරිහානිය ගැන මෙරට පුවත්පත් ඕනෑ තරම් ලිපි පළකර තිබේ. කතු වැකි ලියා තිබේ. තවදුරටත් ගඟට ඉනි කැපීම නිරර්ථකය. අපට තිබෙන සංවේගය රටේ ඉහළම තැනින් පටන් ගන්නා මෙම පරිහානිය දරුණු වසංගතයක් මෙන් මේ වන විටත් රට පුරා පැතිර තිබීමය.

පාර්ලිමේන්තුවේදී බැඳුම්කර බෝම්බය පිපිරී ගියේ 10 වැනිදා දහවල් 10.30ට නව වසරේ මංගල සභා වාරය රැස්වීමත් සමඟය. බැඳුම්කර කොමිසමේ වාර්තාවත් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තා 34ත් සතියක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති ලේකම් දන්වා තිබෙන බව කතානායකවරයා නිවේදනය කිරීමත් සමඟ බෝම්බයේ සේවානූලට ගිනි ඇවිළිණි.

ඒ වන විටත් බැඳුම්කර කොමිෂන් වාර්තාව නීතිපතිට, අල්ලස් කොමිසමට හා ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදී ඇති බව දැන සිටි ඒකාබද්ධ විපක්‍ෂයේ දිනේෂ් ගුණවර්ධනත් ජවිපෙ නායක අනුර දිසානායකත් කතානායකවරයාට සිය විරුදධත්වය ප්‍රකාශ කළහ. ජාතික මූල්‍ය වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට බැවින් කොමිෂන් වාර්තාව ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බව එම දෙපළගේ තර්කය වූයේය.

මේ අතර අගමැතිවරයා දිගින් දිගටම කියා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වා. ඔන්න කැඳෙව්වා කියාය. විවාද කරන්නට කොමිෂන් වාර්තාව ලැබිය යුතු බව ප්‍රකාශ කරමින් මන්ත්‍රිවරු සභාව දෙවනත් කරන්නට වූහ. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහට විශේෂ ප්‍රකාශයක් කරන්නට කතානායක අවසරය ලබා දීමෙන් තත්ත්වය තවත් නරක තත්ත්වයට පරිවර්තනය වූයේය. එය අහඹු සිදුවීමක් නොව සංවිධානාත්මකව සිදු කරන්නක් බව පැහැදිලි වූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් වූ බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, පද්ම උදයශාන්ත, උදය ගම්මන්පිල ආදීන් කල් ඇතිව සකස් කළ සටන් පාඨ ලියූ පුවරුද සමඟ සභාගැබ මැදට පැමිණීමෙනි. ඔවුන් පැමිණියේද බැංකු හොරා, බැංකු හොරා යනුවෙන් සටන් පාඨ කියමිනි. ඒ අවස්ථාවේ සභා මැදට පිවිසි සිඩ්නි ජයරත්න, එම් මරික්කාර්, හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉඳුනිල්, කාවින්ද ජයවර්ධන, චමින්ද විජේසිරි ආදී එජාප මන්ත්‍රිවරු විරෝධතා පුවරු උදුරා ගැන්මට වෑයම් කරනු පෙනිණි. මේ හබය මැද අගමැතිවරයා සිය ප්‍රකාශය දිගටම කරගෙන ගියේය.

ගාමිණී ලොකුගේ මන්ත්‍රිවරයා අත තිබූ සටන් පාඨ ලියූ කඩදාසිය උදුරාගන්නට එජාප එම්. මරික්කාර් උත්සාහ කළ අතර ලොකුගේ මරික්කාර්ගේ කම්මුල හරහා ප්‍රහාරයක් එල්ල කළේය. මරික්කාර් මන්ත්‍රිවරයා තවත් ස්වල්ප වේලාකට පසු ගාමිණී ලොකුගේට පහරදී පිටව ගියේය. සභාව එකම ගාලගෝට්ටියක් වූ අතර ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් සොයිසා ආදීන්ද චමින්ද විජේසිරි, හෙක්ටර් අප්පුහාමි ආදීන්ද ගුටිබැට හුවමාරුවට එක්වූහ. මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනි රෝහිනී කවිරත්නද ගැටුම බේරන්නට ගොස් ඊට මැදිවූවාය. ඇය බේරා ගත්තේ තුසිතා විජේමාන්න මන්ත්‍රිවරිය විසිනි.

මේ අතර තමා වටා සිටි එජාප මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ තමා සමඟ එක්වන්නැයි කියමින් දෑත් ඔසවමින් "කවුද හොරා" කීවිට එජාප මන්ත්‍රිවරු "මහින්ද හොරා" යැයි කීමෙන් ප්‍රතිචාර දෙන්නට පටන් ගත්හ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දීමත් සමඟ බරපතළ මූල්‍ය අපරාධයක් සිදුව ඇති බැවින් වහාම පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කතානායකවරයාගෙන් ඉල්ලා තිබිණි. රට බරපතළ මූල්‍ය අර්බුදයක් ඉදිරියේ සිටින බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයද ඉල්ලා තිබිණි. පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සභාගත කිරීමටත් ඒ අනුව විවාදය සඳහා න්‍යාය පත්‍රය පිළියෙල කරන්නටත්ය. එහෙත් සියල්ල අවුලක් වූයේ අපේක්ෂා කළ පරිදි බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීමෙනි. වාර්තාව නොමැති තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු සැසිය අවසන් නොකොට අගමැතිට ප්‍රකාශයක් කරන්නට ඉඩ ලබා දීමෙන් කතානායකවරයා අනවශ්‍ය ගැටුමකට මඟ පෑදූ බවට බොහෝ දෙනා ‍ෙදාස් කියන්නට වූහ.

ගැටුමේදී පාර්ශ්වයක් නොගත් ජවිපෙ අනුර, හඳුන්නෙත්ති හා විජිත "ඔක්කොම හොරු ඔක්කොම හොරු" කියමින් සභාවෙන් පිටතට යනු පෙනිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 8 උදෑසන වැඩ ආරම්භ කළේ ගාලු මුව‍ෙදාර උද්‍යානයේ දිවංගත ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමෙනි. හිටපු අගමැතිවරයාගේ උපන්දින සිහිකරනු වස් චාම් උත්සවයක් එහි පැවැති අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ බණ්ඩාරනායක පවුලේ ඥාතීන් සමඟද ජනපති පිළිසඳරක යෙදෙනු දකින්නට ලැබිණි.
අනතුරුව රාජගිරිය ගුවන් පාලම විවෘත කිරීමේ උත්සවයට අගමැතිවරයාද සමඟ සහභාගි වූ ජනපති 'මාදුළුවාවේ සෝභිත හිමි සමරු ගුවන් පාලම" ලෙස නව ගුවන් පාලම නම් කිරීමට යෝජනාකර විවෘත කළේය අනතුරැව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයෙන් හෙළිකොප්ටරයට නැඟී මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීමේ උත්සවයට පිටත්ව ගියේය. ඉනික්බිතිව මහනුවර පොල්ගොල්ලේ පැවැති සාළිසේ වසරක මහවැලි ව්‍යාපාරයේ සමාප්ති උළෙලට එක්විය. පොල්ගොල්ලේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය. අගමැතිවයරා සභාව අමතමින් පැවසුවේ.

"ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අවුරුදු 5ට ජලාශ හතරක වැඩ අවසන් කළා. මෛත්‍රි ජනාධිපතිතුමාට මොරගහකන්ද ජලාශය හදන්න අවුරුදු 5ක් රණ්ඩු අල්ලන්නට සිදු වුණා" යනුවෙනි. ජනපති සියල්ලන් පුදුමයට පත් කරමින් මොරගහකන්ද ජලාශය ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ නමින් නම් කළේය.
ජනපති අට වෙනිදා රාත්‍රියේ කොළඹ සිනමන්ඩ් ග්‍රැන්ඩ් හෝටලයේ පැවැති සිනමා නළු කාවිංග පෙරේරා සහ සනායා පෙරේරා අතිනත ගැනීමේ මංගල උත්සවයටද සහභාගි විය. නව යුවළට සුබ පැතූ ජනාධිපති සිරිසේන මහතා ජාතික සේවක සංගමයේ හිටපු නායකයකු වූ කාවිංගගේ පියා වූ අභාවප්‍රාප්ත ලාල් පෙරේරාද සිහිපත් කළේය. මංගල්‍ය උත්සවයට එක්වී සිටි ජීවන් කුමාරතුංග ඇතුළු නළු නිළියන් සමඟද ජනපති සාමීචියේ යෙදෙනු දක්නට ලැබිණි.

පසුදින උදෑසන මහවැලි ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වූ ජනපති පස්වරුවේ පුංචිබොරැල්ලේ පැවති එජනිස මාධ්‍ය කේන්ද්‍රය සහ 'නිදහස් යුගයක්' වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට එක්විය. උත්සවය අවසන් ව ජනපති ඒ ආසන්නයේම වූ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේ නිවෙසට ගියේ කොළඹ නගර සභාවට තරග වදින එජනිස කණ්ඩායම හමුවීමටය. අපේක්ෂකයන්ගේ කැමැත්තට ඉඩදෙමින් මෙහිදී ඡායාරූප 30කට පමණ පෙනී සිටින්නට ජනපතිට සිදුවිය.

පසුගිය බ්‍රහස්පතින්දා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති පළාත් මැතිවරණ එජනිස මංගල රැලිය අතිශයින්ම සාර්ථක එකක් වූ බව ශ්‍රීලනිප නායකයන්ගේ පොදු අදහස විය. සංවිධායකයන් රැලියට සහභාගි කරවා තිබුණේද අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ජනතාව පමණි. වේදිකාවේ අයුන්ගෙන සිටි සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැතිවරයා, අනුර ප්‍රියදර්ශන යාපා ඇමැති සමඟ කතාබහේ යෙදී සිටියේය. දෙදෙනාගේම අදහස වූයේ ශ්‍රීලනිපයට ගොනු වෙමින් තිබෙන රැල්ලට පොහොට්ටුව හා යූ.ඇන්.පි.යට හැරෙන්නටවත් බැරි බවය.
ජනාධිපතිවරයා සල්ගාදු පිටියේ කළ කතාවද වෙනදාට වඩා වේගවත් එකක් වූයේය. හෙතෙම උදය වරැවේ පාර්ලිමේන්තුවේ සිදුවූ කලබැගෑනියද උපහාසයට ලක්කළේ හොරු කවුද සොයාගන්න බැරිව අන්න ගහගන්නවා කියාය. ජනපති මෙසේද කීය.

"අර පික්පොකට් ගහන හොරු කාගෙහරි මුදල් පසුම්බියක් ඇදගෙන දුවනවා ඔන්න හොරෙක්, ඔන්න හොරෙක් අල්ලපියෝ කියමින් හොරා පස්සේ පන්නනවා. හොරා මොකද කරන්නේ ඔන්න හොරෙක් කිය කියා හොරාත් දුවනවා. අද උදේ පාර්ලිමේන්තුවේ වුණෙත් ඒක දෙපැත්තෙම අය හොරා හොරා කියාගත්තා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 11 වැනිදා දහවල් ජයරත්න මල් ශාලාවට ගියේ ප්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහගේ පියාණන්ගේ අවමංගල්‍ය නිමිතිකොටය. එහි තවත් අවමංගල්‍යයන් දෙකක් අවසන් ගෞරව දැක්වීම පිණිස තබා තිබෙනු දුටු ඔහු එම ශාලා වෙතද ගොස් ශෝකය පළ කළේය. අනතුරුව රාජපක්ෂ මහතා ගියේ බොරැල්ල කනත්තේ පැවැති හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු මෙන්ම රාජපක්ෂ පවුලේ ප්‍රතිවාදියකු වූ රන්ජිත් අතපත්තු මහතාගේ අවමංගල්‍ය උත්සවයටය. මහින්ද රාජපක්ෂ මහතා එහි යන විට අගමැති රනිල් වික්‍රමසිංහ හා කතානායක කරූජයසූරිය මහතාද පැමිණ අසුන් ගෙන සිටි අතර මහින්ද අසුන් ගන්නේ ඒ දෙදෙනාට මැදිවය. මහින්ද අසුන් ගත් සැණින් රනිල්ට සමීප වෙමින් කීවේ මට ඊයේ පාර්ලිමේන්තුවේදී අපේ රෝයල් - තෝමියන් ක්‍රිකට් මැච් එක මතක් වුණා කියාය. අගමැති සිනාවක් දැම්මා මිස ඊට කිසිත් කීවේ නැත.

ඩිලාන් පෙරේරා පසුගියදා සංවේදී අත්දැකීමකට මුහුණ දුන්නේය. ඔහු විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනිප පාක්‍ෂිකයන් සෑහෙන පිරිසකට රජයේ රැකියා ලබාදී තිබේ. එසේ විදේශ අමාත්‍යාංශයේ රැකියා ලබා දුන් තරුණයකු පසුගිය දිනක ඔහු හමුවීමට පැමිණියේය. ඔහු පැමිණ තිබුණේ කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නොව ඩිලාන්ගෙන් සමුගන්නටය.

"සර් මට රක්ෂාව ගන්න උදවු කළ බව ඇත්ත. මම ඒකට ගරු කරනවා. මම ආවෙ යුතුකමක් හැටියට මේ කාරණේ දන්වන්න වුවමනා නිසයි. මා සමඟ අමනාප වෙන්න එපා. මම ජේවීපී එකෙන් හාලිඇළ ප්‍රාදේශීය සභාවට ඡන්දෙ ඉල්ලනවා. මට සර්ට උදවු කරන්න බෑ. මේක මම රට ගැන හිතල ගත්තු තීරණයක්', තරුණයා කියාගෙන ගියේය.
"බලපං මං බදුල්ලෙ කොල්ලො කොච්චර රස්සාවල්වලට දමල තියෙනවද? උන් සමහරු දැන් පොහොට්ටුවට වැඩ. යූ ඇන්. පියට වැඩ. එකෙක් පැත්ත පළාතෙ එන්නෙ නෑ. දැක්කත් අහක බලාගන්නව. මඟ අරිනව. මේ කොල්ල මාව හොයාගෙන ඇවිත් මට කියල ගියානේ. මොනව වුණත් උන්ගෙ ප්‍රතිපත්ති හරි" මචං. ඩිලාන් පෙරේරා ළඟ සිටි මිතුරකු සමඟ පැවැසීය.

රාජිත ඇමැතිවරයා ඉන්දියාවේ සායිබාබා ආශ්‍රමයට යන එන කෙනකු නොවේ. එහෙත් පසුගියදා ඔහුට සායිබාබාගේ වත්මන් නියෝජිතයා හමුවීමේ අවස්ථාව ලැබිණි. එම හමුවට අවස්ථාව සැලසුවේ කතානායක කරු ජයසූරිය මහතා විසිනි. පසුගිය තෙවසරේ ලංකාවේ සිදුවූ සෞඛ්‍ය සේවාවේ දියුණුව ගැන මෙහිදී අදහස් හුවමාරු විය. කතාව අවසානයේ සායිබාබාගේ නියෝජිතයා රාජිතට නවරත්න මුද්දක් දුන්නේය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා ඉකුත් සතියේ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එජාප විශේෂ සම්මේලනය අමතා කළ කතාවට අගමැති ඇතුළු එජාප නායකයන්ගේ මහත් ප්‍රසාදය පළවිය. විශ්වාසභංග යෝජනාවක් මඟින් අගමැතිවරයා ධුරයෙන් පහකරන බවට ඒකාබද්ධ විපක්‍ෂය කරන ප්‍රකාශයට පිළිතුරු දෙමින් රාජිත ප්‍රකාශ කළේ "ගලවයි ආච්චිගේ රෙද්ද" කියාය. සම්මේලනයට පැමිණි රාජිත අගමැති අසලම අසුන්ගෙන සිටියේය. ඔවුන් බේරුවල ආසනයේ මැතිවරණ කටයුතු ගැන සාකච්ඡා වූ අතර ඔවුන් අනතුරුව යායුතුව තිබුණේ පොල්ගොල්ලේ පැවැති උත්සවයකටය. ජනාධිපතිවරයා මොරගහකන්ද ජලාශයේ දියවර නිකුත් කිරීමේ උත්සවයට ගියේ රාජිත සේනාරත්න, මහින්ද අමරවීර සහ දයා ගමගේ ඇමැතිවරුන්ද කැටුවය. ඔවුන් ගමන්ගත් හෙලිකොප්ටරය මොරගහකන්ද ජලාශයට ඉහළින් ගමන් ගනිද්දී ජනපති මොරගහකන්ද ජලාශයේ අතීත කතාව විස්තර කළේය. මංගල දියවර විවෘත කොට විදුලි බලාගාරයද නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව පිරිස දිවා භෝජනය පිණිස එක්වූහ. චීනයේ ශ්‍රී ලංකා තානාපතිනියද එහි වූවාය. 'මැතිවරණ කටයුතු හොඳින් කෙරෙන බව රාජිත කියනු ඇසිණි. මම මලික්ලගෙ ගෙදර කෑමට යනවා ඔයාලා කෑම කාලා එන්න යැයි කියමින් අගමැති රනිල් පිටව යන්නට සූදානම් විය.

එවිට ජනාධිපතිවරයා ප්‍රශ්න කළේ "මොකද මලික් ඒ කෑමට අපට ආරාධනා නැද්ද" කියාය. ඒක යූඇන්පී කෑම මේසයක් එක්සත් ජාතික පෙරමුණේ අපිටත් ඊට ආරාධනා නැතැයි ඇමැති රාජිත කීවේය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පසුගිය සතියේ දිනක හදිසියේම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හමුවන්නට රාජගිරියේ මැතිවරණ කාර්යාලයට ගියේය. ඇමැතිවරයාගේ ඉල්ලීම වූයේ තම උපන් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරෙන පාසල් බස්රථ ප්‍රදානෝත්සවයකට අනුමැතිය ලබාදෙන ලෙසය. එහෙත් සභාපතිවරයා සජිත්ගේ ඉල්ලීම එක හෙළාම ප්‍රතික්‍ෂේප කළේය.
"කරන්න දෙයක් නැහැ මට ඒකට ඉඩ දෙන්න බෑ
පෙබරවාරි 10 පහුවෙලා ඕන දෙයක් ඊට ඉස්සර නම් බැහැ".

මේ වැඩේ ඡන්දෙ බලාගෙන කරන දෙයක් නොවෙයි. 1994 ඉඳලම මම මේ වගේ මගේ උපන් දිනයට ජනතාවට පරිත්‍යාග කරනවා. මම හම්බන්තොට පාසල් 8කට බස්රථ ප්‍රදානය කරන්න කල් ඇතිව සංවිධානය කර තිබුණා. මගේ උපන් දිනය පළාත් ඡන්දය පැවැතවෙන දින අතරට ආපු එක මම හිතල කරපු දෙයක් නොවෙයි. මේ පාසල්වල දරුවො තමන්ගේ පාසලට බස් රථයක් ලැබෙන අවස්ථාව එනකන් බලාන ඉන්නවා. ඇමැතිවරයා පැවැසීය.
"කරන්න දෙයක් නෑ ඇමැතිතුමා මට කියන්න තියෙන්නේ මැතිවරණ නීතිය අනුව මේ වැඩසටහනට ඉඩ දෙන්න බෑ කියන එකයි. අවශ්‍ය නම් මට පුළුවන් ඒක ඔබතුමාට ලිඛිතවත් දෙන්න" මහින්ද දේශප්‍රිය පැවැසීය.
"හරි එහෙනම් මම යන්නම් ඡන්දෙ ඉවර වෙනකම් මම බස්ටික වීරවිල මගේ ගෙදර ළඟ ගාල් කරල තියන්නම්. එතකොට දරුවන්ටත් මේ වැඩේට දායක වෙච්චි මගේ යාළුවන්ටත් දැක ගන්න පුළුවනිනේ".

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ධුරකාලය නිශ්චිත කරගැනීම සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීම පසුගිය සතියේ දැඩි අවධානය යොමු වූ ප්‍රවෘත්තියක් වූයේය. මේ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය ලබාදුන් නිගමනය පත්‍රය මුද්‍රණයට යන විටත් ලැබී තිබෙන්නට පුළුවන. මේ පිළිබඳව රට තුළ ආන්දෝලනයක් ඇති වූයේ විපක්ෂයේ ඇතැම් කොටස් පළකළ අදහස් හේතුවෙනි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයට බලනොපාන්නේ නම් තමන්ටද මීළඟ ජනාධිපතිවරණයේදී තරග වැදීමට බාධාවක් නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශ කර තිබිණි.
ජනපති ධුර කාලය සම්බන්ධව යම් ව්‍යවස්ථාමය ගැටලුවක් පැන නඟින්නේ නම් ඒ පිළිබඳව කල් ඇතිව පැහැදිලි කර ගැනීම පිණිස ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් මෙසේ විමසීමක් කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. තමාට පෙර සිටි ජනාධිපතිවරුද එසේ විමසීම් කළ බව ජනපති පවසා තිබේ.

කැබිනට් සම ප්‍රකාශක දයාසිරි ජයසේකර ඇමැතිවරයා පසුගිය සතියේ අකරතැබ්බයකට මුහුණ දුන්නේය. ජනවාරි මුල සතියේ කැබිනට් ප්‍රකාශක මාධ්‍ය හමුවේදී ඔහු කළ ප්‍රකාශයක් නිසා ඔහු මාධ්‍ය හමුවේ මහත් අසීරුතාවට පත් වූයේය.

"අද රාත්‍රියේ පොහොර ටොන් 40,000ක් රැගත් නැව කොළඹ වරායට ළඟා වෙනවා. හෙට උදේ ලොරි 200ක් දමා රට පුරා පොහොර බෙදාහරිනවා" යනුවෙන් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. එහෙත් පොහොර නැව ආවේ නැත. දයාසිරි ඇමැති අසීරුවට පත් කරමින් මාධ්‍ය ප්‍රශ්න කරන්නට විය. ඉකුත් කැබිනට් රැස්වීමේදී ඇමැතිවරයා මේ ගැන ප්‍රශ්න කළේය. ඔහුගේ චෝදනාව එල්ල වූයේ කෘෂිකර්ම අමැති දුමින්ද දිසානායකටය.

"යමක් කියන කොට හොඳට හොයල බලල වගකීමෙන් කියන්න මේ කතාවෙන් මමයි අමාරුවෙ වැටුණේ අපි නිකම් රට ඉස්සරහ බොරුකාරයෝ වුණා." දයාසිරිගෙ කතාව ජනාධිපතිද අනුමත කළේය.

මැතිවරණ කොමිසම එක් එක් වෙලාවට එක් එක් තහංචි දැමීම නිසා රටේ පොදු සංවර්ධන ක්‍රියාවලියට බාධා පැමිණෙන බව ඇමැතිවරු කීප දෙනෙක්ම කැබිනට් රුස්වීමේදී මැතිවරණ කොමිසමේ සභාපතිට විරුද්ධව චෝදනා ඉදිරිපත් කර තිබේ. ප්‍රශ්නය මතු වූයේ රාජ්‍ය සේවා කොමිසම මඟින් දීමට නියමිතව තිබූ පත්වීම්ද මැකෝ විසින් නතර කර ඇති බවය.

අපි රජයේ පොදු සංවර්ධන වැඩවලට ප්‍රමුඛතාව දිය යුතුයි. මෙහෙම ප්‍රශ්න ආවොත් වැඩ කරන්න බැරි වෙනවා. දයාසිරි ජයසේකර ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මහින්ද අමරවීර සහ සජිත් ප්‍රේමදාස ඇමැතිවරුද දයාසිරිගේ අදහසට පක්ෂව අදහස් දැක්වීය. ජනාධිපතිවරයාද ඇමැතිවරු ඉදිරිපත් කළ ප්‍රශ්නයට එකඟතාවය පළ කළේය.

පාර්ලිමේන්තුවේ ගුටි කෙළිය සිදුවූ 10 වැනිදා සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුවේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබිණි. තම ජීවිතය නොතකා අන් අයගේ ජීවිත බේරා ගැනීමට කැපවූ විරුවකු ලෙස ලෝක ප්‍රසිද්ධ වූ නේපාලයේ ලක්ෂ්මී සුන්දර ගෙයින්ජු මහතාට ආසියානු විරාජන සම්මානය පිරිනැමීම නිමිත්තෙන් එම උත්සවය පැවැත්විණි. නේපාල භූමි කම්පාවේදී වීරත්වය පෙන්වමින් ගෙයින්ජු මහතා ජීවිත රැසක් බේරාගෙන තිබිණි. එම උත්සවයේදී කතානායක කරු ජයසූරිය මහතා පැවසුවේ අද සමාජයේ සැබෑ වීරයන් සහ ව්‍යාජ වීරයන් හඳුනාගැනීම අසීරු බවය.

ජපන් විදේශ ඇමැති ටාරෝ කානෝ පසුගිය සතියේ ලංකාවේ සංචාරයක නිරත විය. ඔහුගේ ගමන වැදගත් වූයේ ලංකාවේ තේ සඳහා ජපානයේ ඇති වෙළෙඳපොළ තවදුරටත් වැඩි දියුණු කර ගැනීම උදෙසා රජය දැඩි උන්නදුවක සිටි නිසාය. ජපන් විදේශ ඇමැතිවරු කිහිප පොළක්ම හමු වූයේය. තිලක් මාරපන, අනුර ප්‍රියදර්ශන යාපාද ඒ අතර වූහ. ඇමැති නවීන් දිසානායක විදේශ ඇමැති ඇමැතිවරයා සමඟ වැඩි කුලුපගකමක් ඇතිකර ගැනීමට සමත් වූයේ රුසියාවේ තේ අලෙවිය නිසා මතුව තිබූ ප්‍රශ්නය සතුටුදායක ලෙස තේ අලෙවිය නංවා ගැනීමට ඇමැතිවරයා තුළ වූ උන්නදුව නිසා විය හැක.

"ඔබේ ලංකා සංචාරයේ සිහිවටනයක් හැටියට අපි සෙල්ෆි එකක් ගමු කියා නවීන් ටාරෝ සමඟ පසෙකට විය."
මේ හමුවට රුසියාවේ ලංකා තානාපති සමන් වීරසිංහද එක්ව සිටියේය.

පසුගිය රජය සමයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ පුත් ශවීන් ජනින්ද්‍ර බණ්ඩාරනායක එජාපයෙන් කොළඹ නගර සභාව සඳහා තරගවැදී සිටී. ඔහු එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (ඹ්ඹ්ඕ) ගෞරව උපාධිධාරියෙකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon