මහජන මුදලට පස්ස හැරවීම

  👤  3455 readers have read this article !
2018-01-14

පාර්ලිමේන්තුව නමැති රඟමඬලේ නොබෝදා රඟ දැක්වූ නර නාටකය නැරැඹූ මෙරට පුරවැසියෝ දෙඅත් දෙකම්මුලේ හොවා ගත්හ. පාර්ලිමේන්තුව වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොල යැයිද කියති. පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව වසර 87ක අත්දැකීම් ලංකාවට තිබේ. එහෙත් ඒ කිසිවක් තුට්ටුවකට මායිම් නොකරන වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුව ජනතා වෛරයට හා පිළිකුලට භාජන වූ ආයතනයක් බවට පත් කරමින් සිටිති.

රටේ ඉදිරි ගමනට අවශ්‍ය ව්‍යවස්ථා නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනය වන්නේද එනිසාය. ඊට සරිලන පෞරුෂයෙන් යුතු අභිමානවත් භෞතික ස්වරූපයක් පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන්නේද එබැවිනි. සම්ප්‍රදායේ මුදුන්මල්කඩ පරිහානියට පත්වන විට සියලු සමාජ සංස්ථා ගරා වැටෙන බව කිවයුතු නැත. අද සිදුවෙමින් තිබෙනුයේ එයයි. රට පාලනය කරන දේශපාලනඥයන් හොරුන්, තක්කඩියන් යැයි ජනතාව සිතනවා නම් ඊට වඩා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් රටකට තිබිය නොහැකිය.

මහජනතාව විසින් තෝරා පත්කරන මහජන නියෝජිතයන් බුද්ධිමත්ව, ආදර්ශවත්ව හැසිරිය යුතුය. ක්‍රියා කළ යුතුය යන ධර්ම දේශනා දශක දෙකක් තිස්සේ අසා දැනටමත් තිත්ත වී තිබේ. යහපාලන ආණ්ඩුවද බලය ගත්තේ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රින් සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කරන බව ප්‍රකාශ කරමිනි. එහෙත් රටේ ආචාර ධර්ම නොතකන එකම පිරිස බවට අද දේශපාලනඥයෝ පත්ව සිටිති. රටක් නොව ලෝකයම හිනස්සන්නට ඔවුන්ට විළිලජ්ජාවක් නැත. තමන් කෙරෙහි ජනතා වෛරය එල්ල වෙනවා යැයි බියක්ද ඔවුනට නැත. ලජ්ජා, බිය නැති තැන කළ නොහැකි දෙයක්ද නැත.

පාර්ලිමේන්තුවේ රජු අගමැති නොව කතානායකය. පාර්ලිමේන්තුව මෙහෙයවීමේ බලය ඔහු සතුය. පාර්ලිමේන්තු සභා ගර්භයේ අභිමානය සහ ගෞරවනීයභාවය රැක ගනිමින් සාර්ථක අභිමානවත් සැසියක් පවත්වා ගැනීමේ වගකීම පැවරෙන්නේද කතානායකවරයාටය. නැති නම් වෙනත් වචනවලින් කියනවා නම් කෝටුවේ රජ්ජුරුවන්ටය. කතානායකවරයා තම භූමිකාව නිසි ලෙස ඉටුකළා නම් පාර්ලිමේන්තුවේ ගුටි කෙළ ගන්නේ කෙසේදැයි ගම්වල මිනිසුන් නඟන ප්‍රශ්නයට ඔහු පිළිතුරු දිය යුතුය.
දේශපාලනඥයන් මෙලෙස හැසිරෙන්නේ මහජන මුදලින් නඩත්තු වන අතර බව ඔවුන්ට මතක් කර දිය යුතුය. පාර්ලිමේන්තුව ලිප්ටන් වටරවුම හෝ මරියකඩේ නොවන බව ඔවුන් දත යුතුය. එක් දිනක සභා වාරයක් පැවැත්වීමට වැය කෙරෙන මුදල ලක්ෂ 50කට ආසන්නය නර නාටකය රඟපෑ මන්ත්‍රිවරුන් සඳහා එදින පැමිණීමේ දීමනාව වශයෙන් ජනතාවගේ මුදලින් රුපියල් 2500 බැගින් ගෙවන ලද බවත් මතක් කර දිය යුතුය.

වසරකට පාර්ලිමේන්තුවේ නඩත්තුව සඳහා ජාතික ධනයෙන් වැය කෙරෙන මුදල රුපියල් කෝටි 240කි. ඒ සෑම සතයක්ම අපේ රටේ අහිංසක මිනිසුන්ගේ දහදිය, ලේ සහ කඳුළුය. මහත්වරුනි, නුඹලා මේ සෙල්ලම දැන්වත් නතර කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්