මුතුන් මිත්තන් ඉතිරි කර ගිය ග්‍රහලෝකය අනාගත පරපුරට අප ඉතිරි කළ යුතුයි

  👤  3492 readers have read this article !
2018-01-14

තවමත් දහසය හැවිරිදි වියේ සිටින ප්‍රියමනාප පෙනුමකින් යුතු ඇමෙරිකානු ස්වදේශීය ජාතික යෞවනයකු වන සියැටෙස්කැට්ල් මාටිනෙස් ලොව පුරා ජනතාවගේ අවධානයට යොමු වන්නේ, ඔහු මේ වනවිට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කරමින් ඔහුගේ රජයට විරුද්ධව නඩු මඟට බැස ඇති නිසාය. ඒ පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා නොවේ. ඇමෙරිකානු රජය විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. මිනිස් වර්ගයාගේ අහිතකර ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ක්‍රියාත්මක නොවීම, වායුගෝලය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම ආදී ජනතාවගේ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණු ගැන පියවර ගැනීම පැහැර හැර ඇති බවට චෝදනා කරමිනි. 1915දී ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදී ආරම්භ වූ නඩුව, දැනට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ක්‍රියාත්මක වේ. මෙම නඩුව පවරා ඇත්තේ මාටිනෙස් ඇතුළු වයස අවුරුදු නවයේ සිට විස්ස දක්වා වයස් සීමාවල පසුවන දරුවන් 21 දෙනකුගේ කණ්ඩායමකි. ඔවුන්ගෙන් දහදෙනකු ස්වදේශීය හා කළු ජාතිකයෝ වෙති.

ඔහු සය හැවිරිදි සිඟිති වියේ සිටම, පරිසරය සුරැකීමේ සටනට උරදී සිටින ආදර්ශවත් යෞවනයෙකි. තම ළමා කාලය පුරාම පාරිසරික ප්‍රශ්නවලදී අවදියෙන් සිටින ඔහු 'මිහිකත සුරකින්නෝ' (ඡ්චපබඩ ට්භචපඤඪචදඵ) සංවිධානයේ නිර්මාතෘවරයාය. එය ලොව පුරා රටවල බොහෝ ගණනක් පරිසර සංවිධාන සමඟ එක්ව කටයුතු කරන ලාභ නොලබන ස්වේච්ඡා සංවිධානයකි. තාක්ෂණික මෙවලම් තුළ සිර වී සිටින තම පරම්පරාව ඉන් ඉවතට ගෙන විවිධ දේශනවලිනුත්, සංගීත නිර්මාණයන්ගෙනුත් දැනුවත් කරමින් ලොව පුරා විශාල ලෙස සංචාරය කර ඇති මාටිනෙස් ඔවුන් අතර ජනප්‍රියතාවටත්, ගෞරවයටත් පාත්‍ර වී ඇත.

මේ වනවිට තෙවරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා ඇති මාටිනෙස් ඉන් එක් සැසිවාරයකදී මෙසේ පැවැසීය.
"මගේ පරම්පරාව දිවි රැක ගැනීමේ තර්ජනයට මුහුණපා සිටිනවා. අද දවසේ සියලු රාජ්‍ය නායකයන්ගේ පළමු වගකීම පරිසරය සුරැකීමයි. අපේ මුතුන් මිත්තන් මේ ග්‍රහලෝකය අපිට ප්‍රදානය කරදී ගියේ එය විනාශ නොකර. ඒත් ඔබ ඔබෙන් පසුව එන පරම්පරාවලට ඉතිරි කරදී යන්නේ කුමක්ද?" ඔහු පෙන්වා දුන්නේ පසුගිය විසි වසරක් පුරා ඇමෙරිකාව ගෝලීය උණුසුම අඩු කර ගැනීමට අවශ්‍ය කිසිම ගිවිසුමකට අස්සන් තබා නැති බවයි.

මාටිනෙස් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ තම මවුපියන් සහ සොයුරු සොයුරියන් සමඟ ජීවත් වේ. ඔහු ළමාවියේ සිට හැදී වැඩී ඇත්තේ ඔහුගේ පියා නියෝජනය කරන ඒලබඥජ උරුමයට අනුවය. 'ඇස්ටෙක්' යනු මධ්‍යම මෙක්සිකෝවේ පැවතෙන, දීර්ඝ ඉතිහාසයක් සහිත උප සංස්කෘතියකි. ඔවුන් දේශයේ මුල් භාරකරුවන්ගෙන් පැවැත එන්නන් බව ඇස්ටෙක් සම්ප්‍රදාය විශ්වාස කරයි. ගංගා, ඇළ‍ෙදාළ, වනාන්තර රැක ගැනීමේ වගකීම ඔවුන්ට උපතින්ම උරුමව ඇති බව ඔවුන්ගේ මතයයි. ඔවුන්ව හඳුන්වන්නේ ස්වදේශීය මෙෂිකාවරුන් ලෙසය. "අපව උපදවා ඇත්තේ මේ මහ පොළොවයි. එය ආරක්ෂා කර අපේ ඉදිරි පරම්පරාවට භාරදීම අපේ යුතුකමයි." කුඩා කල සිටම තම මවුපියන්ගෙන් මෙම අදහස් ලැබුණු බව ඔහු පවසයි.

මාටිනෙස් 'හිප් හොප්' සංගීතවේදියෙකි. 'හිප් හොප්' යනු ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර 1970 ගණන්වලදී ආරම්භ වූ සංගීත උප සංස්කෘතියකි. 2015දී පැවැත්වුණු ජාත්‍යන්තර සංගීත වීඩියෝ තරගයේදී මාටිනෙස්ගේ 'තුරුවැල් වෙනුවෙන් හඬක් නඟමු' (ඉනඥචඬ ටධප බඩඥ ඊපඥඥඵ) වීඩියෝවට ජූරියේ සම්මානය හිමි විය. එය මිනිසා විසින් පරිසරයට සිදුකරන විනාශකාරී ක්‍රියා නිසා මිහිපිට මිනිසා ඇතුළු සත්ත්ව සංහතියේ පැවැත්මට සිදුවී ඇති තර්ජනය කියාපාන සිත් සසල කරන නිර්මාණයකි. මාටිනෙස් තම සංගීත නිර්මාණවලින් ලොව පුරා රසික රසිකාවියන් මෙම පරිසර ගැටලු කෙරෙහි සංවේදී කරවයි 'අපි අවදි වෙමු' (එඥ අඪඵඥ) නම් ග්‍රන්ථයකින් ඔහු ලේඛකයකු බවටද පත් විය. ඔහු එහිදීද සාකච්ඡා කරන්නේ පෘථිවිය රැක ගැනීම සඳහා පොසිල ඉන්ධන දහනය වහාම නැවැත්වීමේ ඇති අවශ්‍යතාවයය. ඔහුගේ මෙම ක්‍රියාකාරකම් නිසා ලෝකය පුරා තෙල් ව්‍යාපාරිකයන්ගෙන් මාටිනෙස්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී තිබේ.

ඔහුගේ සටන ස්වදේශිකයන් පමණක් සඳහා නොවේ. මේ නඩුවේදී බහුජාතික සමාගම්වලට පක්ෂපාතී දේශපාලන කණ්ඩායම් ඔවුන් වයස දහ අට සම්පූර්ණ කර නොමැති බව කියමින් එය ඉවත දැමීමට සූදානම් වුවද, නැවත වෙනත් විනිශ්චයකරුවන් දෙදෙනකු හමුවේ ඔවුන් නඟන හඬෙහි ඇති වැදගත්කම පිළිගෙන ඇත. ඒ අනුව වායුගෝලීය පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය 8%කින් අඩු කිරීමට අදාළ සැලසුම් දැනටමත් විද්‍යාඥයන් විසින් ආරම්භ කොට ඇත. 'සටන සෙමින් වුවත්, ජයග්‍රාහී මාවතකට පිවිසෙමින් තිබේ' ඔහු පවසන්නේ මානවවාදී හදවත තුළින්ම පැන නැඟී පියකරු සිනහවක් මුව රඳවා ගනිමිනි.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්