මල්වතු - අස්ගිරි මහනායක හිමිවරු ඉංග්‍රීිසි ආණ්ඩුකාරයාට සුබාශිංසනය කර

  👤  3505 readers have read this article !
2018-01-14

1815 මාර්තු 10

මහා සංඝයා වහන්සේ කැඳවාගෙන එනු පිණිස මල්වතු අස්ගිරි විහාර දෙකට පණිවුඩකරුවන් යැවීමි. සවස 5.00ට පමණ ප්‍රථමයෙන් පළමු සහ දෙවැනි අදිකාරම්වරු මඟුල් මඩුවට කැඳවූයෙමි. සවස 6.00 පමණ වනවිට මල්වතු විහාරයේ කොබ්බෑකඩුව නායක උන්නාන්සේ සහ අස්ගිරි විහාරයේ මාවතගම නායක උන්නාන්සේ ඇතුළු සංඝයා වහන්සේ දළදා මාලිගාවට පැමිණියහ. සුදු රෙදි අතුරන ලද බිම දිගේ උන්වහන්සේ මඟුල් මඩුවට කැඳවාගෙන යන ලදී.

මල්වත්තේ මහ විහාරයේ නායක උන්නාන්සේ ආණ්ඩුකාර බ්‍රවුන්ඩ්‍රිග් උතුමාණන්ගේ දකුණු පසින්ද අස්ගිරිය මහ විහාරයේ නායක උන්නාන්සේ වම් පසින්ද අසුන් ගන්වන ලදී. මහලු හා දුර්වල බැවින් කොබ්බෑකඩුව නායක උන්නාන්සේ පැමිණියේ වෙනත් භික්ෂුවකගේ ආධාරයෙනි. ආණ්ඩුකාරතුමා භික්ෂුන්ගෙන් සැපදුක් විචාළේය.
භික්ෂුහු:
අපිට දැන් කිවයුතු තරම් කරදරයක් නැත. හොඳ සනීපෙන් පසුවෙමු.
ආණ්ඩුකරු:

මම එය බලවත් ප්‍රීතියෙන් අසමි.
භික්ෂුහු:
අපි ගැන මෙසේ විමසීමට කාරුණික වීම ගැන අපි ආණ්ඩුකාරතුමාට අපගේ ප්‍රීතිය ප්‍රකාශ කරමු.
ආණ්ඩුකරු:
භික්ෂුන් වහන්සේට බි්‍රතාන්‍ය රජයේ සම්පූර්ණ සුරක්ෂිතභාවය හා වගකීම් සහගත බව ලැබෙනු ඇතැයි මම ගෞරවයෙන් දන්වනවා. උන්වහන්සේගේ විහාරස්ථාන පූජනීය ස්ථාන වශයෙන්ද ආගම ගෞරවාන්විත ලෙසද සලකනු ලැබේ. (මේ වාක්‍යය පරිවර්තනයේදී අදිකාරම තම කතාවේ ශබ්දය වඩාත් උස් හ¾ඩින් දැක්වීය.)
භික්ෂුහු:

විජය රජතුමාගේ පටන් දිවයිනේ රජ කළ රජවරු බුදුදහම ආරක්ෂා කළහ. බුද්ධාගම නිසා ලංකාව ලෝකයේ නොවැටෙන ජාතියක් වශයෙන් සුරක්ෂිත විය. තවද මෙරට රජවරුන්ගේ හා ජනයාගේ සුබ සිද්ධියට ආගම ඉවහල් විය. ලෝකයාටද සෙතක් විය. උතුමාණන් ආගම ආරක්ෂා කිරීමට දක්වන සැලකිල්ල අපගේ සන්තෝෂයට හේතුවේ.
ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්ඩ්‍රිග් උතුමාණන් තමාගේ ආරක්ෂාව බුද්ධාගමට ලැබෙන බව නැවතත් සහතික කොට පැවැසීය. මම අදිකාරම්වරුන් සමඟ දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ ආපසු ගෙන ඒම සඳහා භික්ෂුන්ද සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීමි. අප සම්මත කළ කරුණු සම්බන්ධව උතුමාණන්ට දැන්වීමු. අදිකාරම්වරු හා දිසාවේවරු ආඥා පත්‍රයට අස්සන් තැබූහ. ආණ්ඩුකාරතුමාද එහි අස්සන් තැබීය. ආණ්ඩුකාරතුමා පහත සඳහන් ප්‍රධාන සංඝයා වහන්සේට පත්වීම් දුන්නේය.

මල්වත්ත විහාරය
කොබ්බෑකඩුව නායක උන්නාන්සේ
වැලිවිට අනුනායක උන්නාන්සේ
අස්ගිරි විහාරය
මාවතගම නායක උන්නාන්සේ
තුඹගොඩ අනුනායක උන්නාන්සේ
තවද දිසාවේවරුන් යටතට පත් කර තිබූ විහාර සහ දේවාල ගම් නැවත විහාරයනට පැවැරීමටද කැමැත්ත දැක්වීය. කටයුතු අවසන් වීමෙන් පසු මහ මළුවේදී වෙඩි මුර 7ක් පවත්වා ඉංග්‍රීසි බෑන්ඩ් වාදනය සහිතව භික්ෂුන් වහන්සේ නියමිත විහාරස්ථාන කරා පෙරහරින් කැඳවාගෙන යන ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්