සෙනරත් රජුගේ රාජ සභාවේ පුරෝහිතයකු වූ ඕලන්ද ජාතික බොස්කෝවර්

  👤  5291 readers have read this article !
2018-01-14

පිලිප් බොස්කෝවර් ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගමේ සේවය කළේය. ක්‍රි.ව. 1610 ජනවාරි 30 වැනිදා ඕලන්දයේ ටෙෆේල් වරායෙන් ඉන්දියාව බලා පිටත්වූ 'ග්වාර්ටේ ලීමුවා' නෞකාවෙන් බොස්කෝවර් ඉන්දියාවට පැමිණියේය. ඉන්දියාවේ කැලිකට් හි ඕලන්ද ප්‍රධානියා වූ මවුරියස් කුමාරයා විසින් ශ්‍රී ලංකාව සමඟ පණිවුඩ හුවමාරු කර ගැනීමේ දූතයකු ලෙස බොස්කෝවර් තෝරාගනු ලැබීය. ඔහු ප්‍රථම වරට මහනුවරට පැමිණියේ ක්‍රි.ව 1612 මාර්තු 8 දින සෙනරත් රජුගේ පාලන සමයේය.

ලංකාවේ නැඟෙනහිර වෙරළේ කොට්ටියාර්හි ඕලන්ද වෙළෙඳ සමාගමේ වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවා ගැනීමට අවසර දෙන ලෙස සෙනරත් රජුගෙන් ඉල්ලා සිටීම බොස්කෝවර්ගේ දූත මෙහෙවර විය. එවකට ලංකාවේ මුහුදුබඩ පළාත් පෘතුගීසි පාලනය යටතේ පැවතිණි. මහනුවර කරල්ලියද්දේ දී සෙනරත් රජු සමඟ සාකච්ඡා පැවැත්වූ බොස්කෝවර් වෙළෙඳ මධ්‍යස්ථානයක් පිහිටුවීමට අවසර ලැබෙතොත් පෘතුගීසීන්ට විරුද්ධව සටන් වැදීමට උදවු ලබාදෙන බවටද ගිවිසුමකට එළැඹියේය. බොස්කෝවර් ලංකාවේ නැවතී සිටි කාලය තුළ රජු සමඟ ඉතා කුලුපග වූයේය. යුද හමුදා සහ නාවික සෙනවියකු ලෙස රජු විසින් බොස්කෝවර් පත්කර ගත්තේය.

බලන පිහිටි පෘතුගීසි බලකොටුව අත්පත් කර ගැනීමට බොස්කෝවර් උඩරට හමුදාව මෙහෙයවීය. ඉන්දියාවේ කැලිකට්හි අධිරාජ්‍යයාගෙන් විශාල නෞකා 3ක් හා කුඩා යාත්‍රා 3ක් ඉල්ලාගත් බොස්කෝවර් ලංකාව හා කොමරින් තුඩුව අතර යාත්‍රා කරන සතුරු නැව්වලට පහර දුන්නේය. උඩරට රාජධානියට අයත් නෞකා මීගමුව වරායේ නැංගුරම්ලා තිබිණි. රජු විසින් ඔහු මීගමුවේ කුමරා වශයෙන් නම් කළ අතර රනින් ගෙත්තම් කළ නළල් පටයක් ඕලන්ද ජාතික බොස්කෝවර්ට පලඳවා ඔහු අද්මිරාල් තනතුරට උසස් කළේය. නොබෝ කලකින් යුද අධිකරණයේ ප්‍රධානියා වූ ඔහු පසුව පුරෝහිතයකු ලෙසත් රජුගේ රහස් ඔත්තු සේවා අංශයේ ප්‍රධානියා ලෙසත් පත් කෙරුණ බව සඳහන්ය.
සෑම පොදු කටයුත්තකදීම සෙනරත් රජු බෙස්කෝවර්ගේ උපදෙස් ලබා ගත්තේය. ඔහු රජ පවුලේ සමීප මිතුරකු වූ අතර කතිරිනා දේවිය සිය පෞද්ගලික සිත්තැවුල්වලදීද බොස්කෝවර්ගේ උපදෙස් පැතුවාය. ඇගේ පුත් කුමරා මරණයට පත්වූ විට ඇය සැනසුවේ ඔහු විසිනි. රාජ මාලිගයට පහර දීමේ කුමන්ත්‍රණයක් හෙළි කරගත් රාජද්‍රෝහීන් අත්අඩංගුවට ගෙන මරා දැමීය. මේ සිදුවීමෙන් මීගමුවේ කුමරා නොහොත් බොස්කෝවර් මහත් ප්‍රසිද්ධියට පත්විය.

උඩරට රාජධානියෙහි විදේශිකයකු මෙසේ වගකීම් දරමින් රාජ්‍ය අනුග්‍රහය ලැබූ අවස්ථා ඉතිහාසය තුළ හමුවන්නේ අල්ප වශයෙනි. 1613 වසරේ අග භාගයේ රජ බිසව දරුණු ලෙස රෝගාතුර වූවාය. ඇය මීගමුවේ කුමාරයාට පණිවුඩ ඇර ගෙන්වා ගත්තාය. ඇගේ සෑම රහසක්ම ඇය ලන්දේසි ජාතිකයා සමඟ පවසා සිත සනසා ගන්නා බව රජු පවා දැන සිටියේය. රජ බිසව අසාධ්‍යව මරණයට පත් වන අවස්ථාවේ බොස්කෝවර් ඇය සමීපයේ සිට දේව යාඥා පවත්වා දේව ධර්මය සිහි කළේය.
ඉන්පසු රජු රෝගාතුර වූ අවස්ථාවේ රජු විසින් ධනය සඟවා ඇති ස්ථාන පවා මීගමුවේ කුමාරයාට දැන්වූ අතර රාජ කුමාරවරුන්ට පුරෝහිතකම් කරන ලෙසද ඉල්ලා සිටියේය. මේ අතර යළි මවුබිමට නොපැමිණීම සම්බන්ධව පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම බොස්කෝවර්ට චෝදනා කළේය. ඔහු ලංකාවට යවනු ලැබුවේ වෙළ¼දාම දියුණු කිරීමට මිස රජවරුන්ට සේවය කරනු පිණිස නොවේ යැයි ඉන්දියාවේ ලන්දේසි නිලධාරීහු ඕලන්දයට දන්වා යැවූහ. බොස්කෝවර් කුමක් කරන්නේද යන්න පරීක්ෂා කිරීමට ග්‍රීස් වෙච්ටි වෑන් සුලන් නමැති නිලධාරියකු ලංකාවට පැමිණියේය.

බොස්කෝවර් උඩරට රජ මාලිගයේ සිටි මහේශාක්‍යලීලාව දුටු නිලධාරියා ඔහු පමණට වඩා ඉදිමී ඇති බවත් අවිචාරයෙන් කටයුතු කරමින් සිටින බවත් ඕලන්දයට දන්වා ඇත. ඔහු වහා කැඳවනු ලැබූ අතර 1615 ජූලි 2 ඔහු රජුගෙන් සමුගෙන පිටත්ව ගොස් තිබේ. බොස්කෝවර්ගේ වෙන්වීම මට මහත් පීඩාකාරී වේදනාකාරී සිදුවීමක් වී යැයි සෙනරත් රජු පවසා තිබේ.

ඩෙන්මාර්කයේ සිට 1618 දෙසැම්බර් 29 දා අද්මිරාල් ඕබේ ජියෙඩිගේ නායකත්වයෙන් නැව් 5ක් ලංකාව බලා පිටත්වූ අතර බොස්කෝවර් ඔහුගේ බිරිය සහ පුත්‍රයා සමඟ ලංකාව බලා එමින් සිටියේය. එම ගමනේදී බොස්කෝවර් සහ ඔහුගේ පුත්‍රයා මරණයට පත්වූ අතර ලංකාවට පැමිණ ඇත්තේ ඔහුගේ වැන්දඹු බිරිය පමණි. ඇය නුවරට කැඳවූ රජතුමා ඇයට ජීවත් වීමට අවශ්‍ය වියදම් සහ නින්ද ගම්ද ලබාදී ඇත. මහනුවර ටික කලක් විසූ ඕ ටුන්කුයි බාර්හි ඥාතීන් වෙත ගිය බව සඳහන් වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon