බැඳුම්කර බෝම්බයේ තිරය පිටුපස කතාව

  👤  4757 readers have read this article !
2018-01-07

අවුරුද්ද නිමාවී අලුත් අවුරුද්ද උදා වූයේ දේශපාලන කරළියේ උණුසුම් ජවනිකා දිගහැරෙන්නට පසුබිම සකසමිනි. එහි තීරණාත්මක සිදුවීම් එළිපිට සහ තිරෙන් පිටුපස දිගහැරෙමින් තිබේ.
ආණ්ඩුව සූදානම්ව සිටින්නේ 'දෙවසරක' ප්‍රගති සමාලෝචනය ලැබෙනතුරුය.
මේ වන විටත්, තැන් තැන්වල ඒ ඒ පක්ෂ පූර්ව ප්‍රචාරක රැලි පවත්වන නමුත් නිල වශයෙන් රැස්වීම් පටන් ගෙන නැත. ඒ අනුව මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු දියත් කොට ඡන්ද සටන ඇරැඹීම ඉදිරි සතියේදී සිදුකරනු ඇත. ඊට සමාන්තරව දේශපාලන පෙරැළි හා වෙනස්කම් ගණනාවක් සිදුවෙතැයිද දැනගන්නට තිබේ.

එක්සත් ජාතික පක්ෂය ස්වකීය ඡන්ද සටන ඇරැඹීම එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මහ සමුළුවෙන් පසුව ජනවාරි දෙවැනි සතියේ සිදුකරනු ඇතැයි එජාප මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙක් පැවසීය. ඊට පෙර පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සිරිකොත මන්දිරයට කැඳවා එජාප ඡන්ද මෙහෙයුම ගැන දැනුවත් කිරීම ජනවාරි මස 03 වැනි දින සිදු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රචාර ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟ පසුගිය සිකුරාදා සුගතදාස ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළේය. ඉදිරි කාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දීපව්‍යාප්ත ඡන්ද ප්‍රචාරක රැලි 40කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) සිය ඡන්ද ව්‍යාපාර සටන ආරම්භ කළේ ජනවාරි 02 සුගතදාස ක්‍රීඩාංගණයෙනි. එදින හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ සියලු ඡන්ද අපේක්ෂකයන් සාධාරණ මැතිවරණයක් සඳහා වන ප්‍රතිඥාව ලබාදුන් අතර පොහොට්ටුවේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයද එදින නිකුත් කරනු ලැබීය. එම පකෂයේ ප්‍රථම ප්‍රචාරක රැලිය ලබන සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවතදී පැවැත්වීමට නියමිතව ඇති බවද පොහොට්ටුවේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් සිය ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ "ගම ජවිපෙට" යන තේමාවෙනි. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජේ‍යෂ්ඨයන්ගේ සහභාගිත්වයෙන් ආසන මට්ටමින් පැවැත්වෙන ඡන්ද ප්‍රචාරක රැලි සිය ගණනක් ජනතා විමුක්ති පෙරමුණ මඟින් සිදු කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත. ස්වකීය ඡන්ද ව්‍යාපාරයේ කුඩා ඡන්ද රැස්වීම් සහ ගෙයින් ගෙට යෑම මඟින් ජනතාව දැනුවත් කිරීම පක්ෂයේ අපේක්ෂාව බව එහි මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.

පසුගිය සති අන්තයේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ජනහමු ගණනාවකට ජනාධිපතිවරයා සහභාගි විණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියේ දිගු කාලයක් තිස්සේ ආධාර කළ හොඳින් දන්න හඳුනන පිරිසක් පොළොන්නරුව නැඟෙනහිර පලුගස්දමන එක්සත් මරණාධාර සමිති ශාලාවේ පැවැති ජනහමුවට එක්ව සිටියහ. එම පිරිස ඇමතූ ජනාධිපතිවරයා ඔවුන්ට අතීතයේ පැවැති තත්ත්වය මතක් කර දුන් අතර ගමේ කොට්ඨාස ක්‍රමය පැවැති මැතිවරණයක් අවසන් වරට පවත්වා වසර 69ක් ගෙවී ගොස් ඇති බවත්, එයට තරග කළ හා ජනතා නියෝජිතයන් ලෙස පත් වූ සමහරු දැන් වයෝවෘද්ධව සිටින බවත් ජනාධිපතිතුමා මතක් කළේය. මෙම රැස්වීමට ද එවැනි කිහිප දෙනකු පැමිණ සිටින බවත් ජනාධිපතිතුමා කීය.

1989 මැතිවරණයේදී තමා පාර්ලිමේන්තුවට පත්ව ගියේ අත ලකුණින් තරග කරන බව කී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් අත ලකුණින් මැතිවරණයක් තරග කරන්නේ වසර තිහකට පමණ පසුව බවත් පැවසීය. කෙසේ වෙතත් මෙම මැතිවරණයෙන් දිනන පරදින සෑම දෙනා සමඟ එක්ව සංවර්ධන බළඇණියක් හදන බවත්, දූෂණයෙන් තොර පාලනයක් ගමට ලබාදෙන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් කීය.

සිරිපුර පැවැති ජනහමුවකට ජනාධිපතිවරයා ඉරිදා සහභාගි වූ අතර, එහිදී කතා කළ ඔහු කීවේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේ තමන් නොව අගතිගාමී වැඩ කළ පළාත් පාලන ආයතන සභාපතිවරුන් බවය. ඔවුන්ගේ රැස්වීමකදී පළාත් පාලන නියෝජිතයන්ට හා සභාපතිවරුන්ට එල්ල වී තිබෙන චෝදනා ගැන කියමින් ඒවා පක්ෂයට විශාල හානියක් බව තමා පෙන්වා දුන් බව ය. තමන්ට පසුව කතා කළ මහින්ද රාජපක්ෂ මහතා කරන දෙයක් අහු නොවන්න කරගන්නවකෝ කියා සභාපතිවරුන්ට අපූරු අවවාදයක් දුන් බව කී ජනාධිපතිවරයා රැස්වීමේ සිටි පිරිස තමන්ට බැන බැන ගිය බව දැනගන්න ලැබුණු බවත් ප්‍රකාශ කළේය.

පුංචි ආණ්ඩුවලට පත්වන මන්ත්‍රිවරු වැරදි කළොත් පක්ෂය හෝ තරාතිරම නොබලා දඬුවම් දෙන බව ජනාධිපතිවරයා මේ රැස්වීම්වලදී අවධාරණය කළේය අතර පසුගිය දිනවල ජනාධිපතිවරයා වෙත විශේෂ අවධානයක් යොමු වී තිබුණේ මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳවය. එම වාර්තාව කොමිසමේ සාමාජිකයන් විසින් ඉකුත් සෙනසුරාදා භාරදෙනු ලැබීය. ජනාධිපතිවරයා පළමුවෙන්ම කළේ කිසිවකුට වාර්තාව බැලිය නොහැකි ලෙස එය අල්මාරියක තැන්පත් කිරීමය. එහි ඇති කරුණු නිල වශයෙන් දැනුම් දෙන තෙක් පිටවීම වැළැක්වීම ජනාධිපතිවරයාගේ අරමුණ විය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සෙනසුරාදා ලබාගත් ජනාධිපතිවරයා පසුගිය රජයේ දූෂණ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ ඉතිරි වාර්තා 17ක් අඟහරුවාදා ගෙන්වා ගත් අතර එයම වාර්තා සියල්ල අධ්‍යයනය කළ ඔහු බදාදා කළ විශේෂ ප්‍රකාශය ඉතා පරිස්සමෙන් සකස් කරනු ලැබීය.
බැඳුම්කර කොමිසමේ හා ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තා හැදෑරූ ජනාධිපතිවරයා රටට කරන විශේෂ ප්‍රකාශය බදාදා උදේ පටිගත කරවා ගත්තේය. කෙසේ වෙතත් එය එදින සවස වනතෙක් මාධ්‍යයට නිකුත් කළේ නැත. ජනාධිපතිවරයෙක් විසින් පත්කළ කොමිසමක වාර්තාවක් ජනාධිපතිවරයෙකකු විසින් රට හමුවේ ප්‍රකාශයට පත්කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයය. එහෙත් මේ නිර්දේශ ක්‍රියාත්මක වීම පිළිබඳව ජනතාව තුළ ලොකු විශ්වාසයක් ඇති බවක් නොපෙනෙන්නේ එවන් යහපත් අත්දැකීම් මෙතෙක් ඔවුන්ට ලැබී නැති බැවිනි.

කෙසේ වෙතත් මේ වාර්තාව පිළිබඳ අගමැතිවරයා ලොකු අවධානයක් දැක්වූ බවක් නොපෙනිණි. ඒ වෙනුවට ඔහු කළේ කන්දඋඩරට සීතල විඳිමින් නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ඡන්ද මෙහෙයුමේ නිරත වීමය. එහිදී ඔහුට කුමාර වෙල්ගමද හමුවිය. යළි කොළඹට පැමිණ උත්සව හා තීරණාත්මක හමු කිහිපයකට එක් වූ හෙතෙම වරාය මූල්‍ය නගරය නිරීක්ෂණය කිරීම, රට පුරා නොමිලේ ගිලන් රථ සේවාව ව්‍යාප්ත කිරීම හා එජාප මැතිවරණ අපේක්ෂකයන් සිරිකොතදී හමුවීමත් සිදු කළේය.
ජනවාරි 01දාට පසළොස්වක පොහොය යෙදී තිබූ බැවින් නව වසරේ කැවුම් කිරිබත් කෑමේ උත්සවය ජනවාරි 02දා අරලියගහ මැඳුරේදී යොදාගෙන තිබිණි. බැඳුම්කර කොමිසමේ වාර්තාවට අදාළ ජනපතිගේ ප්‍රකාශය නිකුත් කිරීම බදාදාට නියමිතව තිබිණි.

"සර් බැඳුම්කර වාර්තාවේ මොනවද තියෙන්නේ" අරලියගහ මැඳුරේදී මැති ඇමැතිවරු මෙන්ම මාධ්‍යවේදීහුද අගමැතිවරයාගෙන් විමසූහ. එහෙත් අගමැතිවරයා ඒ ගැන තැකීමක් කළේ නැත.

"මම කොහොමද දන්නේ. ජනාධිපතිතුමාටයි වාර්තාව භාර දුන්නේ. ඒකේ තියෙන වැදගත්ම කරුණු හෙට එතුමා රටට එළිකරනකම් ඉවසන්න" අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.
මැතිවරණ කාලයකදී ජනමාධ්‍ය විසින් අනුගමනය කළ යුතු නියාමන ගැන මැතිවරණ කොමිසද එවා තිබූ යෝජනාවලට එහිදී එකඟත්වය පළ කරමින් අස්සන් තබා පාර්ලිමේන්තුවට යැවීමටද අගමැතිවරයා ක්‍රියා කළේ කිරිබත් කන ගමන්ය.

ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව ගැන කළ ප්‍රකාශයෙන් පසුව අගමැතිවරයා බ්‍රහස්පතින්දා අරලියගහ මැඳුරට ගියේ රාජකාරි සඳහාය. එදින වෙනදාටත් වඩා වැඩි මැති ඇමැතිවරු පිරිසක් එහි පැමිණ තිබුණේ ජනපතිගේ ප්‍රකාශයට අදාළ අගමැතිවරයාගේ ස්ථාවරය දැන ගැනීමටය.
"ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අනුව ඒ කොමිෂන් වාර්තාව ටිකක් දුබල එකක් බව පෙනී යනවා කියලයි නීති විශාරදයෝ කීප දෙනකු මට කිව්වේ" දයා ගමගේ කී දේ සියලු දෙනා අනුමත කළහ.
"ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ආවේ වාර්තාව අනුවයි. මහ බැංකුව කඩපු මහ මොළකරු අගමැතිතුමා කියලා විපක්ෂයයි ජනමාධ්‍යයි කෑගැහුවට එතුමාට චෝදනා කිසිවක් නෑ" ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.

"මම අර්ජුන පත් කිරීම නීත්‍යනුකූල බව කොමිසම පිළිගෙන තිබෙනවා. ඒත් මම පාර්ලිමේන්තුවේදී අර්ජුන හා සමරසිරි ගැන කතා කළා කියලා ඒ වාර්තාවේ තිබිලා තියෙනවා. වගකීමක් ඇතිව වැඩ කරන්න පත් කරපු ඒ නිලධාරීන් මට කියපු දේවලුයි මම පාර්ලිමේන්තුවේ කිව්වේ. අර්ජුන මහ බැංකු අධිපති, සමරසිරි නියෝජ්‍ය අධිපති හා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියයි. ඔවුන් නොමඟ යැව්වද නැද්ද මම අදටත් දන්නෑ" අගමැතිවරයා පැහැදි කළේය.

"ඔබතුමා ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරලා වාර්තාවකුත් ගත්තා. ඒවා අදාළ අංශවලට හා කෝප් එකේ මේ ප්‍රශ්නය ගැන සොයන්නත් පසුබිම හැදුවා. සමහරුන්ට මේවා මතක නෑ" ගයන්ත කරුණාතිලක මතක් කළේය.

"රවිට අල්ලස් එකේ හා අපරාධ නීතිය යටතේ නඩු දැමිය යුතු බව කොමිසම් වාර්තාව කියලා තියෙන එකයි දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ" වජිර අබේවර්ධන කීවේය.
"අල්ලස් ගත්තා නම් ඒක බැඳුම්කරයට සම්බන්ධ කොහොමද කියලා වාර්තාවේ තිබිය යුතුයි. එහෙම එකක් පේන්න නෑ. එහෙම නම් අල්ලස් කොමිසම මේවා විභාග කරලා ඔප්පු කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව මෙතැනදී එක්කෝ බාගෙට වැඩකරල. නැත්නම් අනවශ්‍ය ප්‍රශ්නයක දැන හෝ නොදැන පැටලිලා කියලයි නීති අංශවල මතය වෙන්නේ" ලක්ෂ්මන් කිරිඇල්ල එල්ල කළේ ඔහුට ලැබුණු විකල්ප මතයකි.
"ජනාධිපතිතුමාත් ඔය අවස්ථාවාදීන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. එතුමාගේ පක්ෂය ශ්‍රී ලනිපය වුණාට එතුමාගේ ඡන්ද පදනම තියෙන්නේ එජාපය එක්කයි. ඒ අනුව වැඩ නොකෙළොත් එතුමාගේ රැකවරණයටත් අන්තිමට කවුරුවත් නැති වේවි" ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ අගමැතිවරයාද අනුමත කළේය.
"අන්තිමට කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක් බැඳුම්කර කොමිසමෙන් සිදු වුණේ කියලයි හුඟ දෙනෙක් දැන් කියන්නේ. රටට පාඩුවක් වුණා නම් ඒ මුදල අයකර ගන්න ඕනෑ. අගමැතිවරයා කීවේ නළල රැළි ගන්වමිනි.

ජනවාරි දෙවැනි සුමානෙ කරණම් සතිය කියා හැඳින්වේ. ඒ අනුව ඉදිරි සතිය තුළ එහෙට මෙහෙට පනින රැසක් දැනට නිහඬව සිටී. කොළඹ මධ්‍යම - වයඹ නියෝජනය කරන කිහිප දෙනෙක්ම දැනටමත් එක්සත් ජාතික පක්ෂයට එක් වෙන්නට සූදානමින් සිටී.

සාමාන්‍යයෙන් පක්ෂයක නායකයා පක්ෂය තරම්ම ප්‍රකටය. එහෙත් එහෙම නැති පක්ෂයක් තිබේ. ඒ පොහොට්ටුවය. පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරණ කටයුතුවලදී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ රුව යොදා නොගැනීම ගැන තමා කනගාටු වන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර කීවේය.
දයාසිරි ඇමැතිතුමනි ඔබතුමාගේ ගුරුතුමා මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා. එතුමාගේ පක්ෂයට වෙනත් නායකයන්ගේ ඡන්දය යොදා ගැනීම ගැන අදහස මොකක්ද? මාධ්‍යවේදියෙක් මෙහෙම අසන විට දයාසිරි කීවේ,
අපටත් තියෙන කනගාටුව ඒකම තමයි. බලන්න කොච්චර ලස්සනද කණ්ණාඩි දෙකක් දාලා මහචාර්යතුමා ඉන්න ලස්සන පින්තූරයක් දැම්මානම් කොච්චර හොඳද කියාය.

පොහොර හිඟය සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට (02දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ‍ෙදාස් පැවැසීය.

මේ වන විට පොහොර හිඟයක් බොහෝ ප්‍රදේශවල පවතිනවා. අපිට ගම්වලට යන්න බෑ. ආණ්ඩුවක් විදියට අපට වෙලාවට පෝරටික බෙදා ගන්න බැරිනම් මොකටද? ජනාධිපතිතුමනි. මොකක්ද මේ විහිළුව සජිත් ජනාධිපතිවරයාව විමසුවේය.
එවිට ප්‍රතිචාර දක්වමින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පොහොර කඩිනමින් ගොවි ජනතාවට ලබාදීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි.
ආනයනය කරනු ලබන පොහොර මෙරටට පැමිණෙන්නේ කවදාද? කියා ඇසුවේ ජනාධිපතිවරයාය.
'මේ සතියේ පොහොර එනවා' දුමින්ද කීය.

එජාපය හා ශ්‍රී ලනිපය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ගිය වසරේ 31 දිනෙන් එම කාලය ඉක්ම ගිය අතර ඒ හේතුවෙන් ශ්‍රී ලනිප මන්ත්‍රිවරු තීරණයක් ගැනීමට (31)දා සවස විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබිණි. මෙම තත්ත්වය තුළ එදින (31)දා යහපාලන ආණ්ඩුවට ඉතාමත් තීරණාත්මක දිනයක් විය.
ආණ්ඩුවේ රැඳෙන්නේද ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳ 30 දින වනවිටත් ශ්‍රී ලනිප මන්ත්‍රිවරු අතර එක මතයක් නොතිබුණු නමුත් ඊයේ පැවැති සාකච්ඡාවේදී අවසන් වශයෙන් එකඟතාවට පැමිණ ඇත්තේ ශ්‍රී ලනිපය තවදුරටත් වත්මන් ආණ්ඩුවේ රැඳී සිටිය යුතු බවය. ආණ්ඩුවෙන් ඉවත්ව එජාප විරෝධී ස්ථාවරයක සිට ඉදිරියේදී කටයුතු කළ යුතුය යන මතයේ සිටි ශ්‍රී ලනිප ජේ‍යෂ්ඨයන් පවා මෙම අවසන් තීරණයට එකඟවී ඇත.

පසුගිය සතියේ දේශපාලන ලෝකයේ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාවක් වූයේ ජනතාවගේ නායකයා අගමැති කරන ගම්පහ දිස්ත්‍රික් සටන ලෙසින් අලවා තිබිණි.
පෝස්ටරයක් සම්බන්ධයෙනි. මහින්දගේත් නෙලුම් පොහොට්ටුවේත් ඡායාරූප යොදා පෝස්ටරය අලවා තිබුණේ ප්‍රසන්නය. ගම්පහ දිස්ත්‍රික්කය පුරා අලවා තිබුණු පෝස්ටරය පක්‍ෂ විපක්‍ෂ කාගෙත් කතාබහට ලක්විය.

'ඔව් සර් මම එහෙම පෝස්ටරයක් ගැහුවා තමයි. මේක තමයි මේ පාර මැතිවරණයේදී අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ තේමාව. අපේ ජනතාවගේ නායකයා වන්නේ ඔබතුමායි. මේ මැතිවරණයෙන් ලබන ජයග්‍රහණයත් එක්ක අපි මේ ආණ්ඩුව ගෙදර යවල අපේ ආණ්ඩුවක් පිහිටුවනවා කියන එක තමයි අපි මේ පෝස්ටර් එකෙන් අදහස් කළේ. අපි 2015 ජනවාරි 09 වැනිදා ඉඳලම පාරට බැහැල ඉන්නේ ඔබතුමා මේ රටේ නායකත්වයට පත් කරන්නයි. මේ මැතිවරණය තමයි අපි ඒකට තියෙන මුල්ම පියවර' ප්‍රසන්න පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සමුළුවක් අඟහරුවාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. අති සාර්ථකව පැවැත්වුණු සමුළුවේ සංවිධාන කටයුතුවලට කරගසා තිබුණේ රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේය.
විශේෂයෙන් රෝහිත සමුළුවට ආරාධිතයකු වශයෙන් එක්වීමටවත් උත්සුක නොවී වෝකිටෝකි යන්ත්‍රයක්ද අතැතිව සමුළුව අවසන් වනතුරුම සංවිධාන කටයුතු මෙහෙයවනු දකින්නට ලැබිණි. සමුළුව අවසන් වීමෙන් පසුව මහින්දගේ නිල නිවෙසට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු ගිය අවස්ථාවේදී මහින්ද පෞද්ගලිකවම රෝහිතට සහ මහින්දානන්දට ස්තුති කළේ සාර්ථක සමුළුවක් පැවැත්වීමට දැක්වූ වෙහෙස අගය කරමිනි. 'ඔයාලා ගොඩක් මහන්සි වෙලා සමුළුව සංවිධාන කරලා තිබුණා. අනෙක් පක්‍ෂ එක්ක බලනකොට සාර්ථක සමුළුවක් පවත්වන්න ලැබුණේ ඒ මහන්සිය හින්දයි. ඔය විදියටම මහන්සි වෙලා මේ ගමන ගියොත් අපිට මේ මැතිවරණයේදී රටම හොල්ලන ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්' මහින්ද පැවැසීය.
'ආණ්ඩුව මොනව කළත් මහජනතාවගේ මතය වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. මේ ආණ්ඩුව ගේන්න මහන්සි වෙච්ච අයට පවා අද ආණ්ඩුව වහකදුරු වෙලා තියෙන්නේ' මහින්ද පැවැසීය.

'ඒක නම් ඇත්ත. බැඳුම්කර මගඩියේ ලොකු මොළකාරයෝ බේරලා තමයි වාර්තාව ලියලා තියෙන්නේ. හරිනම් අර්ජුන මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ ඉඳලා මෙහේ ගෙනාව අගමැති වගේම එයාට මහ බැංකු අධිපතිකම දීපු ජනාධිපතිවරයාත් මේවට වගකියන්න ඕනේ' ජොන්ස්ටන් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා කියනවා කොමිසම් වාර්තාව නීතිපතිට යැව්වා කියලා. අපි දැක්කානේ කොමිසම ඉස්සරහා අගමැතිවරයාගෙන් සාක්‍ෂි ගන්න කොට නීතිපතිවරයා දක්වපු ලිහිල. ඉතින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවයි කිව්වට ගන්නකම් විශ්වාස කරන්න බැහැ' නාමල් පැවැසීය.

'කොහොම හරි මෙයාලා 2020 පහුවෙනකම් මේ නඩුව ඇදගෙන යන්න බලයි' මහින්දානන්ද කීවේය.
'ඔය කොමිසම් වාර්තාවේ කොතැනක හරි මහින්ද මහත්තයාගේ නම ගෑවිලාවත් තිබුණා නම් බලන්න තිබුණා. එහෙම නම් දැන් නඩුවත් අහලා දඬුවමුත් දීලා ඉවරයි. ජනාධිපතිවරයාගේ දෙපැත්ත කැපෙන කඩුවත් හරියට මඩු වලිගය වගේම තමයි. නිකම් වන වන ඉන්නවා විතරයි' ප්‍රසන්න පැවැසීය.

'කෘෂිකර්ම අමාත්‍යාංශයට කෝටි ගණන් කුලී ගෙවන් නිළියන්ගේ ගොඩනැඟිලි ගන්න පුළුවන් වුණාට ගොවියට පොහොර ටිකවත් දීගන්න බැහැ' ජොන්ස්ටන් පැවැසීය.
'අද මේ පොහොර ප්‍රශ්නය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. අපි එදා යුද්ධය තියෙන කොටත් රුපියල් තුන්සිය පනහට පොහොර සහනාධාරය දුන්නා. 2005දී මම පොරොන්දු වුණේ වීවලට විතරක් සහනාධාරයක් දෙන්නයි. හැබැයි මම 2015 අයින් වෙනකොට වී විතරක් නෙවෙයි එළවළු, තේ, රබර්, පලතුරු වගාවලටත් පොහොර සහනාධාරය දෙමින් තිබුණා. මේ ආණ්ඩුව ආවා විතරයි එක පෑන් පාරෙන් පොහොර සහනාධාරය නතර කළා. අද සහන මිලට තියා වැඩි මිලටවත් පොහොර ගන්න නැතිව ගොවියෝ අනාථ වෙලා ඉවරයි' මහින්ද පැහැදිලි කළේය.
'දුමින්ද දිසානායකට සබීතාගේ බිල්ඩිම කුලියට ගන්න තිබුණු හදිසිය ගොවියට පොහොර දෙන්න නැහැ' නාමල් පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවුරුදු උදාවේදී සිටියේ තංගල්ල කාල්ටන් නිවෙසේය. උදෑසන ඔහු හමුවී සුබ පැතීමට හිටපු දේශපාලන හිතවතුන්, ගැමියන් ඇතුළු විශාල පිරිසක් කාල්ටන් නිවෙසට පැමිණ සිටියහ. ඔවුන් සියලු දෙනාම හිටපු ජනාධිපතිවරයා හමුවීමට පැමිණ සිටියේ නෙලුම් පොහොට්ටු රැගෙනය.
මොකද මේ කට්ටිය නෙලුම් පොහොට්ටු අරගෙන... මහින්ද සිනාසෙමින් විමසුවේය.
සර්... මේ පාර සුබ පතන්න බුලත් ගෙනාවෙ නෑ. ඔබතුමාට සුබ පතන්න අරන් ආවේ නෙලුම් පොහොට්ටු... කුමාරසිරි හෙට්ටිගේ කීවේය.
රැස්ව සිටි පිරිස සමඟ සුහද පිළිසඳරකින් අනතුරුව මහින්ද එම පිරිසත් සමඟ පෝදා බණ වැඩසටහනට එක් විය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ නිවෙසේ මාධ්‍යවේදීන් විසින් පසුගියදා සාදයක් සංවිධානය කර තිබිණි. පිරිසක් කේක් ගෙඩියක්ද රැගෙන ඇමැති නිවෙස වෙත පැමිණ සිටියහ. ඒ ඇමැති මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායකගේ උපන් දිනය සමරන්නටය. මාධ්‍යවේදීන් ගෙනා කේක් ගෙඩිය කැපුවේ නිපුන්ය. ඔහුට මුල්ම කේක් කෑල්ල කවනු ලැබුවේ රාජිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon