ඩෙංගු මදුරුවාට එරෙහිව පොල් ගහමුද?

  👤  2341 readers have read this article !
2017-03-17

'ත්‍රි'මලේ දිස්ත්‍රික්කය අවදානම්' යැයි ඊයේ දිනපතා 'මව්බිම' මුල් පුවතින් කියැවිණි. ඊළාම් යුද්ධය නිසා ත්‍රි'මලේ අවදානමට ලක්ව තිබිණි. එහෙත් යළි එවැනි අවදානමකට ලක්ව ඇත්තේ ත්‍රස්තවාදය නිසා නොව ඩෙංගු උවදුර නිසාය.

දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඩෙංගු මරණ ගැන වාර්තා වූ නමුදු, මෙතෙක් ත්‍රි'මලේ දිස්ත්‍රික්කය එවැනි ඉරණමකට ගොදුරු වී තිබුණේ නැත. එහෙත් මේ වන විට ඩෙංගු මරණ 13ක් ත්‍රි'මලේ සිදුවී ඇති අතර, රෝගීන් සංඛ්‍යාව 2100ක් පමණ වේ. ඩෙංගු තර්ජනය හේතුවෙන් ත්‍රි'මලේ කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66ක් ඉකුත් 15දා සිට දින තුනක කාලයකට වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. විශේෂයෙන් කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝගය මාරාන්තික වී ඇති බව පෙනේ. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කින්නියාවෙනි. පාසල් වසා දමා ඇති දින තුන සමඟ සති අන්ත නිවාඩුවද ප්‍රයෝජනයට ගනිමින් තත්ත්වය පාලනය කිරීම සඳහා යුද හමුදා නිලධාරීන් 700ක්ද යොදාගෙන විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව නැඟෙනහිර පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

අපි වැඩ පටන් ගන්නා විට පෙරහර ගිහින් අවසානය. ඩෙංගු මර්දනයේදී නම් වැඩ කෙරෙන්නේම රුවිතෙටය. ඩෙංගු ගැන අවුරුද්දට කීපවතාවක්ම කතා කරන්නට සිදුවී ඇත්තේ ඒ නිසාය. මැලේරියාව සහමුලින්ම මර්දනය කරපු අපිට ඩෙංගු මර්දනය කර ගැනීමට නොහැකිවී ඇත්තේ අන් කිසිවක් නිසා නොව නොසැලකිල්ල නිසාය.

ඩෙංගු මර්දනය බොහෝ දෙනකුට මතක් වන්නේ වැසි අද වැටෙන විටය. අනෙක ඩෙංගු මර්දනය ආණ්ඩුවට පමණක් තනිව කළ හැකි වැඩක් නොවේ. තනි අතින් අත්පුඩි ගැසීමට නොහැකිය. ආණ්ඩුවට 50%ක වගකීමක් ගත හැකිය. ඉතිරි 50% පැවරෙන්නේ පොදු ජනතාවටය. සෞඛ්‍ය බලධාරීන්ගේ ඩෙංගු මර්දන වැඩසටහනේ දුර්වලකම් නැතැයි අපි නොකියමු. රජයේ ඇතැම් නිලධාරීන් රාජකාරිය හැර අන් සියලු දේ කරන නිසා මෙවැනි වැඩසටහන් සාර්ථක කර ගැනීමේදී බාධා පැමිණේ. එවැනි නිලධාරීන්ගේ අඩු ලුහුඬුකම් අල්ලා ගෙන බැන වැදීම බොහෝ දෙනාගේ සිරිතය. ඇතැමුන් සිතා සිටින්නේ ආණ්ඩුව සියල්ල කළ යුතු බවය. ඩෙංගු වසංගතයක් වී ඇත්තේ ආණ්ඩුවේ වරදින් බව කියන්නේ ආණ්ඩු විරෝධීන්ය. තමන්ගේ පක්‍ෂය බලයේ සිටියදීද ඩෙංගු ව්‍යාප්තියේ වෙනසක් නොවූ බව ඔවුන්ට අමතකය. නොඑසේනම් වුවමනාවෙන්ම ඒ බව අමතක කරති.

ආණ්ඩුවට, ඇමැතිට නිලධාරීන්ට බැන-බැන සිටීමෙන් ඩෙංගු මර්දනය වන්නේ නැත. ත්‍රි'මලේ වාර්තා දෙස බලන විට නම් පෙනෙන්නේ තත්ත්වය තරමක් බරපතළ බවය. එනිසා බලධාරීන් මෙන්ම පොදු ජනතාව ඩෙංගු උවදුර මැ¾ඩීමේ ක්‍රියාවලියට වඩා සක්‍රියව දායකවිය යුතුය. තමතමන්ගේ ගෙවත්ත, කාර්යාලය, වැඩබිම සහ අවට පරිසරය මීට වඩා වැඩි සැලකිල්ලකින් පිරිසුදු කිරීම අත්‍යවශ්‍යය. ගමේ නගරයේ කියා වෙනසක් නැතිව මිනිස්සු නොසැලකිලිමත්ව කටයුතු කරති. ගෙවත්තේ කුණු ටික අල්ලපු වත්තට හෝ අල්ලපු ගමට හෝ ගොස් දැමූ විට ඩෙංගුවලින් තමන්ට කරදරයක් නැතැයි ඇතැම් අමනයෝ කල්පනා කරති. එවැන්නන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දුන්නද ඇත්ත තත්ත්වය තේරුම් ගැනීමට නොහැකිය. ඩෙංගු මෙතරම් බරපතළ උවදුරක් වී තිබියදීත් මිනිසුන් කටයුතු කරන්නේ පෙර පරිදිම නම් අන් සියලු දේම කරනවා මෙන් ඩෙංගු මදුරුවාට එරෙහිවද දේවාලයකට ගොස් පොල් ගසාවත් බැලිය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon