ආණ්ඩුව පිළිගන්නා විපක්ෂය සහ පළිගන්නා විපක්ෂය

  👤  10403 readers have read this article !
2017-03-16

'දිනේෂ්ගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවයි!'

මේ පසුගිය සතියේ පත්තර මෙන්ම, අනෙකුත් මාධ්‍ය හැඩකර ඉදිරිපත් කළ ප්‍රධාන පුවතය.

'කතානායක ඒකාධිපතිවරයෙක් වගේ හැසිරෙනවා නේ!'

සමහරුන් දිනේෂ්ව පාර්ලිමේන්තුවෙන් එළියට දැමීම ගැන කිව්වේ එහෙමය.

'පාර්ලිමේන්තුව හරියට පිස්සන් කොටුවක් වගෙයි!'

බෙල්ලන්විල විමලරතන නායක හිමියන් ඒ ගැන කීවේ ඒ විදියටය.

'කරු කතානායකකමින් ඉවතට!'

ඒ අතර සති අන්ත පුවත්පතක් තම ප්‍රධාන ශීර්ෂය කරගෙන තිබුණේ ඉහත දැක්වූ පුවතය.

ඒ පුවත කියවා බැලූ සමහරුන් විමසන්නට වූයේ, 'කරු දිනේෂ්ව ඉවත් කළා.. එතකොට කරු ඉවත් කරන්නේ දිනේෂ්ද?' කියලාය.

දිනේෂ් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නට කරුට පුළුවන් වුණාට කරුව කතානායක තනතුරෙන් ඉවත් කරන්න දිනේෂ්ට හැකියාවක් නැත. එය කරනවා නම් කළ යුත්තේ අගමැති රනිල්ය. වෙන්න යන්නේ කුමක් දැයි තේරෙන්නේ මේ ජවනිකා පෙළ හරියට පෙළගස්වා ගත් විටය.

'ඒකාබද්ධ විපක්ෂයට' අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම් දෙකක් තිබේ. එකක්, ඒකාබද්ධ විපක්ෂයයි. අනෙක අනුබද්ධ විපක්ෂයයි. අනුබද්ධ විපක්ෂය යනුවෙන් ඒකාබද්ධයේ කට්ටිය නම් කර තිබෙන්නේ ටී.එන්.ඒ. හා ජ.වි.පෙ.ය. වත්මන් පාර්ලිමේන්තුව හා කතානායක පිළිගන්නා විපක්ෂය වන්නේ ඒ දෙගොල්ලන්ය. ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රිවරුන් 51ක් සිටියත්, කතානායක එය වෙනම විපක්ෂයක් ලෙස පිළිගන්නේ නැත. පාර්ලිමේන්තුවේ කතා කිරීමට එයට වෙලාව වෙන්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින්ය. ආණ්ඩුව තුළ සිටින සන්ධානයේ කට්ටියටත්, විපක්ෂය තුළ සිටින සන්ධානයේ අයටත් වෙලාව වෙන් කර දෙන්නේ, ආණ්ඩුවේ සිටින සන්ධාන ඇමැති කෙනෙකි. මේ නිසා මන්ත්‍රිවරුන් 51ක් සිටියත් ඒකාබද්ධ විපක්ෂයට, පාර්ලිමේන්තුවේ කතා කරන්නවත් ප්‍රමාණවත් කාල වේලාවක් නොලැබෙන බව පැහැදිලිය.

එහෙත්: ආණ්ඩුව පිළිගන්නා විපක්ෂයට එසේ නොවේය.

දෙමළ ජාතික සන්ධානයට හා ජවිපෙට පමණක් මුළු පාර්ලිමේන්තු කාලයෙන් 30%ක කාලයක් වෙන් වන්නේය. බොහෝ විවාදවලට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් සහභාගි වන්නේ නැත. එවිට ඒ කාලයද ලැබෙන්නේ ජවිපෙ මන්ත්‍රිවරුන් 6 දෙනාටය. පාර්ලිමේන්තුව ජවිපෙ තම රඟමඬලක් බවට පත් කරගෙන තිබෙන්නේ ඒ අනුවය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවන්නේ කාටදැයි තීරණය කරනු ලබන්නේ කතානායකයා විසිනි. ඒකාබද්ධ විපක්ෂයට මන්ත්‍රිවරුන් 51ක් සිටියත්, ඔවුන් මැතිවරණයට තරග කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් නිසා, සන්ධානයේ මහ ලේකම් කතානායකට ලිඛිතව දන්වනු ලැබුවේ විපක්ෂ නායක ධුරය ගැන උනන්දුවක් තමන්ට නැති බවය. සම්බන්දන්ට විපක්ෂ නායකකම ලබා දෙන්න පාර කපා ගත්තේ ඒ ආකාරයටය.

විපක්ෂ සංවිධායක තනතුර දිය යුත්තේ කාටදැයි තීරණය කරන්නේ, විපක්ෂ නායකයා. විපක්ෂ නායක සම්පන්දන් ඒ තනතුර දෙන්නේ ජවිපෙ නායක අනුර දිසානායකටය. විපක්ෂ නායකකමට කැබිනට් ඇමැති කෙනකුගේ වරප්‍රසාද හිමිවන අතර විපක්ෂ සංවිධායකට නියෝජ්‍ය අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද හිමිවන්නේය. සම්බන්දන් හා අනුර ඒ වරප්‍රසාද භුක්ති විඳින්නේ, මන්ත්‍රිවරුන් 16ක් හා 6ක් තබා කරගෙනය. එහෙත් මන්ත්‍රිවරුන් 95ක්, එජාපයට එරෙහිව දිනාදුන් ඡන්දදායකයන්ට අද පාර්ලිමේන්තුවේ තමන්ගේ ආණ්ඩුවකුත් නැත. විපක්ෂයකුත් නැත. තියෙන විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ පිළිගැනීමකුත් නැත. පිළිගැනීම ඇත්තේ සම්පන්දන්ට හා අනුරටය. රටේ මුළු ඡන්දවලින් මේ දෙගොල්ලන්ම ලබා ගත්තේ 9.49%ක ඡන්ද ප්‍රතිශතයක්ය. ඒ සම්බන්දන් 4.62%ක් ලෙසින්ද අනුරගේ ජ.වි.පෙ. 4.87%ක්ද ලෙසින්ය. පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන විකෘතියේ තරම තේරෙන්නේ, මේ හංගන ඇත්ත එළියට ගත් විටය.

පිළිගැනීමට ලක් වී සිටින විපක්ෂය, ජිනීවාවල මංගල ගහන 'ගේම' ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ නැත. ඒ වෙනුවට පිළිගන්නා විපක්ෂයේ, විපක්ෂ නායක එම තනතුර පාවිච්චි කරන්නේ, විදේශ බලපෑමට අත වනන්නටය. පළාත් පාලන ඡන්ද කල් දැමීම පිළිගන්නා විපක්ෂය මොනවත් කියන්නේ නැත. ආරක්ෂක හමුදා බුද්ධිඅංශ දඩයම් කිරීම ගැන ද මේ විපක්ෂය ප්‍රශ්න කරන්නේ නැත. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට දරන ආණ්ඩුවේ උත්සාහය ගැන වුවද වචනයක්වත් කියන්නේ නැත. මේ නිසා පිළිගෙන සිටින විපක්ෂය රටට තීරණාත්මකව බලපාන ප්‍රශ්න ගැන කට අරින්නේ නැතැයි සිතීම සාධාරණය. ඒ වෙනුවට දැනට පිළිගෙන සිටින විපක්ෂය ආණ්ඩුවෙන් අහන්නේ පරණ ආණ්ඩුවේ 'හොරු ඇල්ලීම' තවමත් ප්‍රමාද ඇයි? කියාය. වෙනත් අයුරකින් ඒ අහන්නේ, 'ඒකාබද්ධයෙන්' පළිගැනීම වේගවත් නොකරන්නේ ඇයිද කියාය. ඒ අනුව බැලූ කල පෙනෙන්නේ ආණ්ඩුව පිළිගන්නා විපක්ෂයකුත්, ආණ්ඩුව පළිගන්නා විපක්ෂයකුත් යනුවෙන් දෙකක් දැන් පාර්ලිමේන්තුව තුළ පවතින බවය.

ආණ්ඩුව පිළිගන්නා විපක්ෂයට එක හැන්දකින්ද, පළිගන්නා විපක්ෂයට තව හැන්දකින්ද බෙදන්නේ පිළිගන්නා විපක්ෂයෙන් තම තීරණාත්මක මෙහෙයුමට බාධාවක් එල්ල නොවන බව දන්නා නිසාය. 'මයිනා ගහේ! රිළවා බෙනේ!' යැයි ඩලස් පැවැසුවේ සිදුවී ඇති අලකලංචිය එහෙම හරි පෙන්වා දෙන්නටය. කොහොමෙන් කොහොම හරි දැන් මේ අවනඩුව වෙනුවෙන් 'බිල්ල' බවට පත් කිරීමට නියමිතව ඇත්තේ කතානායක කරු ජයසූරියවය.

කතානායක කරු රනිල්ට වඩා කිට්ටු ජනපති මෛත්‍රිටය. 'කරු ඉන්නකන් මට බය වෙන්න දෙයක් නෑ' කියා ජනපති මෛත්‍රි තම හිතවතුන්ට ප්‍රකාශ කරන්නේ එහෙම කියන්න තරමේ විශ්වාසයක් මේ දෙන්න අතර ඇති වී තිබීම හේතුකොට ගෙනය. මේ නිසා රනිල් ඉන්නේ, කරුව කතානායකකමින් ඉවත් කරන්නට කුරුමානම් අල්ලමිණ්. දිනේෂ්ගේ පාර්ලිමේන්තු සේවය සතියකට තහනම් කරන්න කතානායක තීරණය කළේ අගමැති රනිල්ගේද අවබෝධය ඇතිවය. ඒ තීරණයෙන් බිඳ වැටෙන්නේ කතානායක කරුගේ ප්‍රතිරූපය බව දන්නා රනිල් ඒක වෙන්න ඉඩදී බලා සිටියේ 'එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බාවන්නටය. අන්තිමට, රනිල් සිතූ දේ සිදු විය.

දිනේෂ්ගේ පාර්ලිමේන්තු සේවය සතියකට කල් දැමීමෙන් ජන අප්‍රසාදය එල්ල වූයේ රනිල්ට නොව කරුටය. මෙයින් ගැලවෙන්න කතානායක කරු කළේ පසු දිනක ඒකාබද්ධයේ කට්ටියට තම දුක පාර්ලිමේන්තුව තුළ කියන්නට ඉඩ දීමය. එයට විරෝධය පා සභානායක කිරිඇල්ල සභා ගැබෙන් පිට වූයේ රනිල්ගේ සැලැස්මට අනුකූලවය. දැන් ආණ්ඩුවේ 'පළිගන්නා විපක්ෂයද බනින්නේ කරුටය! එජාපය බනින්නේද කරුටය! ආණ්ඩුවේ පිළිගන්නා විපක්ෂය වූ ජවිපෙ බනින්නේද කරුටය. ඒ තත්ත්වයට කරු පත්කර කතානායකකම තමන්ට හීලෑ වූ කෙනකුට ලබා දීම රනිල්ගේ උපාය වූ බව පැහැදිලිය. 'කරු කතානායකකමින් ඉවතට!' යනුවෙන් සති අන්ත පත්තරයක ශීර්ෂ පාඨ සෑදෙන්නේ ඒ අනුවය.

මෛත්‍රි - රනිල් සීතල යුද්ධය කොහොම වහන්න බැලුවත් හංගන්නට බැරිය. ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ජනපති මෛත්‍රි අගය කළේ බැඳුම්කර කොමිසම හමුවට ගොස් අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ඇත්ත හෙළි කළ නිලධාරිනියවය. ඒ ඇනුම් පදයද එල්ල කළේ රනිල්ට බව නොතේරෙන්නේ දේශපාලන තොත්ත බබාලාටය. මේ සීතල යුද්ධයේදී මෛත්‍රිට එරෙහිව පාර්ලිමේන්තුවෙන් එන්න ඉඩ තියෙන දෝෂාභියෝගයකදී කතානායකගේ විශ්වාසය තහවුරුව පැවැතීම ඉතා වැදගත් බව ජනපති මෛත්‍රිට නොතේරේද? තමන්ට වඩා මෛත්‍රිට හිතවත් කරු කතානායක පුටුවේ සිටීම ලෙඩක් යැයි අගමැති රනිල්ට හිතෙන්නේ හේතුවක් නැතිවද? ඒ නිසා ආණ්ඩුව පිළිගන්නා විපක්ෂයේත්, ආණ්ඩුව පළිගන්නා විපක්ෂයේත්, ප්‍රශ්නය විසඳන්නට බැරිව 'නාගන්නා' කතානායක කරු වෙනුවට තමන්ට වඩාත් විශ්වාසවන්ත කෙනෙක් ඒ පුටුවේ තබන්න රනිල් හිතුවොත් ඒගැන පුදුම විය යුතුද?

ආණ්ඩුව පළිගන්නා විපක්ෂයේ ප්‍රශ්නය විසඳී නැත! එහෙත්, ඒ ප්‍රශ්නයට මැදිව 'අනාගත්' කරු ජයසූරිය කතානායක පුටුවෙන් ඉවත් කර අගමැති රනිල් හදන්නේ තමන්ට ඇති ප්‍රශ්නය විස¼දාගන්නටය!

කවුරුන් හැර ගියද, සොරාගේ සොර හිත සොරා හැර නොයන්නේය. රනිල්ගේද යටිකූට්ටු සිත රනිල් හැර නොයන්නේද ඒ අයුරින්මය. කරු අහුවූයේ රනිල්ගේ උගුලටය. ආණ්ඩුව පිළිගන්නා විපක්ෂයේත්, ආණ්ඩුව පළිගන්නා විපක්ෂයේත් ප්‍රශ්නය එතැනමය. වෙනත් අයුරින් පවසන්නේ නම් තවමත් 'රිළවා බෙනේ'ය. 'මයිනා ගහේ'ය. අගමැති රනිල් කරුගේ ප්‍රශ්නය විස¼දා ගන්නට යන්නේ 'මයිනාට බෙනයක්' 'රිළවාට ගහක්' ලබාදී නොවේ! ආවේ එක ප්‍රශ්නයකි. අගමැති රනිල් විස¼දා ගන්නට යන්නේ තව ප්‍රශ්නයකි. 'විද්දේ පඳුරට වූවාට වැදී ඇත්තේ හාවාට'ය. ඒ අගමැති රනිල්ගේ දුනු ඊතල සෙල්ලමේ හැටිය!

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon