ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිය

  👤  9697 readers have read this article !
2017-03-16

ඩිජිටල් යුගය තුළදී, පාරිභෝගික අයිතිවාසිකම් තේමාව ඔස්සේ ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය ඊයේ සමරනු ලැබීය. 1983 මාර්තු 15 වැනිදා පළමුවැනි වරට මේ දිනය සමරා ඇති අතර, ඇමෙරිකාවේ ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩි විසින් 1962දී පාරිභෝගික අයිතිවාසිකම් දිනයක ඇති අවශ්‍යතාව කොංග්‍රස් මණ්ඩලයට පෙන්වා දී ඇත. එහිදී කෙනඩි ප්‍රකාශ කර තිබෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශවල සෑම ආර්ථික තීරණයකදීම පාරිභෝගික ජනතාව පීඩාවට පත්වන බවත් ඒ නිසාම සිවු වැදෑරුම් ආරක්ෂක උපමාන නීතියෙන් තහවුරු කළ යුතු බවත්ය. සුරක්ෂිතභාවය, තොරතුරු දැනගැනීමේ අයිතිය, තෝරාගැනීමේ අයිතිය හා සවන් යොමු කරවා ගැනීමේ අයිතිය එම උපමාන හතරය. පසු කලෙක තවත් උපමාන හතරක් මීට එක්කර තිබේ.

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට ඒ ඒ රටවල් නීති සම්පාදනය කර තිබුණද, ප්‍රබල ආයතන හා ව්‍යාපාරිකයෝ මේ නීතිවලට අනුව කටයුතු කිරීමට මැළි වෙති. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1985දී සියලු සාමාජික රටවල එකඟතාව මත පාරිභෝගික ආරක්ෂණය සඳහා මාර්ගෝපදේශනාවලියක් සම්මත කරනු ලැබුවේ එනිසාය. පාරිභෝගික අයිතිවාසිකම් දිනයක් නම් කෙරුණේද මේ ක්‍රියාවලියට සමගාමීවය.

පාරිභෝගික අයිතිවාසිකම් දිනය සැමරීමෙන් පලක් නැත. එදින කේන්ද්‍ර කරගනිමින් පාරිභෝගික ජනතාවගේ අයිතියට ගරු කරන වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමට ක්‍රමවත් පරිදී උත්සාහ කළ යුතුය. එය අඛණ්ඩව පෙරට රැගෙන යෑම රජයේ වගකීමය.

භාණ්ඩ හා සේවා සැපයීමේදී මිල දර්ශකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්යවේ. එහෙත් ඒ නීතිය උල්ලංඝනය කරන ස්ථාන වැඩිය. හෝටලවල හා ආපනශාලාවල තේ පානයට ලබාදීමේදී සීනි වෙනම ලබාදිය යුතු යැයි නීතියක් ඇත. එහෙත් බොහෝ පාරිභෝගිකයෝ ඒ බව නොදනිති. සාමාන්‍ය හෝටල හා ආපනශාලා අති බහුතරය ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේද නැත.

පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව වෙනුවෙන් නීති රැසක් බලාත්මක කර තිබුණද දිවයිනේ බොහෝ තැන්වල ඒ කිසිදු නීතියක් බලපවත්වන බවක් නොපෙනේ. ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ අයිතියක් පාරිභෝගිකයන්ට තිබේ. එහෙත් පාරිභෝගිකයන් බොහෝ දෙනාට 'නීති' පිළිබඳ දැනුමක් නැත. මාධ්‍ය හරහා අදාළ නීති රීති පිළිබඳව පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නේ නම් සිය අයිතිවාසිකම් පිළිබඳව ඔවුන් දැනුමෙන් සන්නද්ධ වනු ඇත.

ඩිජිටල් තාක්ෂණය දියුණු ලෝකයක, පාරිභෝගිකයා සමඟ කරන ගනුදෙනුව වඩාත් පහසු වී ඇත. පාරිභෝගික ජනතාව සවිබල ගන්වන වැදගත් මෙවලම් ලෙස ඩිජිටල් තාක්ෂණය යොදා ගත හැකිය. ඩිජිටල් තාක්ෂණය හරහා පාරිභෝගික අයිතිවාසිකම් නොසලකා හැරීමේ තත්ත්වයක්ද උද්ගත වී තිබේ. මේ අයහපත් පිළිවෙත් වළකා පාරිභෝගිකයාට විශ්වාස කළ හැකි ඩිජිටල් වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මඟින් ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කරගත හැකි වනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon