ක්‍රිඩාලෝලී ප්‍රිය මිතුරු මිතුරියනි

  👤  9306 readers have read this article !
2017-03-15

සුබ උදෑසනක් ක්‍රීඩාලෝලී ප්‍රිය මිතුරු මිතුරියනි, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන සියවසේ දැවැන්තම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම්ම තරගයේ අවසාන දිනය වන අද දවසේ විස්තර විචාරක කුටියේ සිට ඔබ අමතන මම සිරිපාල.

ඉතාම පැහැබර කාලගුණයක් සමඟ මඳ වශයෙන් පින්නක් සහිත තණතීරුවක් අප ඉදිරියේ දකින්නට ලැබෙනවා. එහෙත් මේ තණතීරුවේ හැසිරීම කිසිසේත් කල්තබා පැවැසීම අපහසු බව අප අත්දැකීමෙන්ම දන්නා බව කිව යුතුයි. විශේෂයෙන්ම වසර 69ක් පුරා මෙම තණතීරුව හැසිරුණු ආකාරය දෙස බලන විට අද දිනයේ මෙම තණතීරුව කුමන අන්දමේ දායකත්වයක් ලබාදේවිදැයි පැවැසීම අතිශයින්ම දුෂ්කරයි.

කවදත් වගේ ක්‍රීඩාලෝලී හිතවතුන්ගේ උද්යෝගයේ කිසිදු අඩුවක් නම් නැහැ. නිල්පාට, කොළපාට, රතුපාට ඇඳුමින් සැරසීගත් ක්‍රීඩාලෝලීන් දැනටමත් අතුරු සිදුරු නැතිව ක්‍රීඩාංගණයේ සියලුම ඉඩහසර අත්පත් කරගෙන සිටින ආකාරය විස්තර විචාරක කුටියේ සිටින අපට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම දකුණු පස ක්‍රීඩාගාර අන්තයේ තැඹිලි පැහැති ලෝගු හෝ වෙනත් එවැනි ඇඳුමින් සැරසීගත් ක්‍රීඩාලෝලීන් පිරිසක් පසුගිය දින කිහිපයේදීම යම්කිසි ආවේගශීලී හැසිරීමක් පෙන්නුම් කළ නිසා ඔවුන් අද දින ක්‍රීඩාංගණයට ඇතුළත් කරගන්නවාද යන්න පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බව ක්‍රීඩා පරිපාලක ආරංචිමාර්ග හරහා අපට දැනගන්නට ලැබුණත් මේ මොහොතේ නම් ඔවුන් ඉතාම සන්සුන්ව ක්‍රීඩාවට සමවැදී සිටින ආකාරය ඇත්තෙන්ම ඇසට මහත් ප්‍රිය දසුනක් මා හිතවත් ක්‍රීඩාලෝලීනි.

තරගය පැවැති ආකාරය සම්බන්ධයෙන් කෙටි සමාලෝචනයක් කරනවා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දකුණතින් පන්දුවට පහරදෙන සේනානායකගෙන් ලද මන්දගාමී ආරම්භය සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන් එතරම් පහත් හැඟීමක් නොදැක්වුවත්, ඔහුගේ ස්ථාවර ඉනිම සම්බන්ධයෙන් අප ප්‍රසාදය පළ කළ යුතුයි. තාක්ෂණයෙන් අනූන ඉනිමක් ක්‍රීඩා කළත් ලකුණු ලබාගැනීමේ වේගය සම්බන්ධයෙන් නම් ඔහුට මීට වඩා යමක් කළ හැකිව තිබූ බවට සැකයක් නැහැ.

සේනානායකගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ඩයස් ඉතා සුවිශේෂී ක්‍රීඩකයෙක්. ඔහු දෙස බලන අයෙකුට එකවර සිතෙන්නේ ඔහු වමතින් පන්දුවට පහරදෙන අයකු බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු වමතින් සහ දකුණතින් යන දෙකෙන්ම පන්දුවට පහරදීමත්, පන්දුවෙන් පන්දුවට පහරදෙන දිශාව වෙනස් කිරීමත් යන සාධක නිසා ඔහුට එරෙහිව පන්දු යැවීම ඉතා අපහසු කාරියක් වූ බවට සැකයක් නැහැ. ආරම්භයේදී ඉතා වේගවත් ලෙස පන්දුවට පහරදෙමින් ක්‍රීඩාලෝලීන් මුසපත් කරන ඉනිමක් ක්‍රීඩා කළත්, ඉනිමේ අවසානය වනවිට ඔහුගේ පන්දුවට පහරදීම යම්කිසි අර්බුදයකට මුහුණ දුන් ආකාරයක් පෙන්නුම් කළා. අවාසනාවන්ත ලෙස තමන්ගේම පාදය කඩුල්ලේ වැදීමෙන් හටගත් ආබාධ තත්ත්වය මත ක්‍රීඩා පිටියෙන් සමුගත්තත්, ඔහුගේ ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායමේ මතකයේ රැඳෙන සන්ධිස්ථානයක් වූ බවට සැකයක් නැහැ.

සේනානායක සහ ඩයස් අතර පැවැති දුර්වල සම්බන්ධතාවෙන් අනතුරුව පිටියට පිවිසි රත්වත්තේ සහ නන්දසිරි ක්‍රීඩා කළේ ඇත්ත වශයෙන්ම විරුද්ධවාදීන් දෙදෙනකු ලෙස වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ බලවත් අවාසනාවක්. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අවම අගයක පැවැති අවධියක් ලෙස එය හඳුන්වන්න හැකියි. විශේෂයෙන්ම නන්දසිරි ක්‍රීඩකයාගේ පෙලඹවීම මත, තරග නරඹන්නන් පිටියට කඩා වැදී රත්වත්තේ බලෙන් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ගත් උත්සාහය මෙම ඉනිමේ බලවත්ම අර්බුදකාරී අවස්ථාවක් සනිටුහන් කිරීමක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. කැරැලි මර්දන ඒකකය සහ සාමසාධක ඒකකය එක්ව තත්ත්වය පාලනය කරන්න උත්සාහ ගත්තත්, ඔවුන් නරඹන්නන් වෙත දැක්වූ මර්දනකාරී ආකල්පය හේතුවෙන් ඉතාම වටිනා ක්‍රීඩා ලෝලීන් පිරිසක් තුවාල ලැබූ බව සඳහන් කරන්නේ බලවත් කනගාටුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දීර්ඝතම සහ සාර්ථකම ඉනිමක් ක්‍රීඩා කළ ජයවර්ධන පිටියට පිවිසෙන්නේ රත්වත්තේගේ දැවී යෑමෙන් අනතුරුවයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කළ ඉනිමක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. එකම ගැටලුවක් ලෙස සඳහන් කළ හැක්කේ ජයවර්ධන ක්‍රීඩකයා කණ්ඩායම් හැඟීමට වඩා තමන්ගේ පෞද්ගලික ලකුණු රැස්කිරීමේ වේගය පිළිබ¼දව පමණක් අවධානය යොමු කරනවාය යනුවෙන් ඔහුට එල්ල වූ චෝදනාවයි. කෙසේ වෙතත් ජයවර්ධනගේ පන්දුවට පහරදීමේ ශෛලිය පිළිබඳව නන්දසිරි ක්‍රීඩකයා තරග විරාමයේදී ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ විවේචනය කිරීම, පොදුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් අපකීර්තියක් ගෙනදීමට ඉඩ තිබූ බවයි අපගේ අදහස.

ජයවර්ධනගෙන් පසුව පිටියට පිවිසි රණසිංහ වෙනස්ම ආකාරයකට පන්දුවට පහරදුන් ක්‍රීඩකයෙක් බව පැවැසිය යුතුයි. තාක්ෂණය අතින් එතරම් නිවැරැදි නූනත් ලකුණු ලබාගැනීමේ දළ වේගය ගැන සිතුවොත් ඉතා සැලකිල්ලෙන් පන්දුවට පහරදුන් ක්‍රීඩකයකු ලෙස හඳුන්වන්න පුළුවන්, අමුතුම ක්‍රීඩකයෙක් තමයි රණසිංහ. දකුණතින් පන්දුවට පහරදෙන රණසිංහ සහ වමත් ක්‍රීඩක නන්දසිරි අතර ඉනිම අතරවාරයේ නැවතත් ක්‍රීඩාලෝලීන් පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරගය දීර්ඝ වේලාවකට නවතා දැමීමට පවා සිදුවූ බව මේ මොහොතේ සිහිපත් නොකළොත් එය අඩුවක්. අවසානයේ නන්දසිරි ක්‍රීඩකයා දුවද්දී දැවී යෑමට හසුවී පිටියෙන් ඉවත් වීම හා සමඟම රණසිංහ ක්‍රීඩකයාද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකා ඉනිමේ අනාගතය පිළිබඳව විශාල අවිනිශ්චිත භාවයක් ඇතිකිරීමට සමත් වූවාය යන්න අතිශයෝක්තියක් නොවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත්ම ලාලිත්‍යයෙන් හෙබි ඉනිමක් ක්‍රීඩා කළ කුමාරතුංග පිටියට පිවිසීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් නැවත වතාවක් සතුටෙන් පිනාගිය බව අප සඳහන් කළ යුතුයි. ලකුණු ලබාගැනීමේ වේගයට එතරම් අවධානයක් යොමු නොකිරීම සහ වෙනත් ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම එතරම් ස්ථාවර අවධියක පසුවූ කාලයක් නොවෙයි මේ පන්දු ඕවර කිහිපය. කෙසේ වෙතත් කුමාරතුංග ක්‍රීඩකයාගෙන් පසුව පිටියට පිවිසේ යැයි බොහෝ දෙනා සිතා සිටි අනුර වෙනුවට පර්සි පිටියට පිවිසීම ලකුණු ලබාගැනීමේ දළ වේගයට බලවත් තල්ලුවක් වූ බව අප මේ මොහොතේ නොකීවොත් එය බරපතළ වරදක්. විශේෂයෙන්ම සෑහෙන කලක පටන් තරගයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් ක්‍රීඩාංගණයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරය සහ එහිදී ඔහු දැක්වූ දූරදර්ශී ස්වභාවය, හුදෙක්ම ක්‍රීඩකයකු ලෙස පමණක් නොව කෘතහස්ත කළමනාකරුවකු ලෙස ඔහුගේ පරිචයට දෙස් දෙන්නක් බව අප දකිනවා. (ඔහුගේ හිතවත් ක්‍රීඩකයන් ඔහු හැඳින්වූයේ "චයිනාමන්" යන නමින්) කෙසේ වෙතත් ඔහු දැවී ගියෙත් තමන්ගේ පන්දුවට පහරදීමේ හැකියාව පිළිබඳව පැවැති අධි-විශ්වාසය හේතුවෙන් බව කිව යුතුයි. පිට පිටම හයේ පහර දෙකක් අවසානයේ තුන්වෙනි පන්දුවටත් සීමාවෙන් ඉදිරියට පැන වේගවත් පහරක් එල්ල කිරීමට යෑමේ ප්‍රතිඵලයක් ලෙස ස්ටම්ප් කිරීමකට ලක්ව ඔහු දැවී යෑමත් සමඟයි, මා ප්‍රිය ක්‍රීඩා ලෝලීනි, දැන් පන්දුවට පහරදෙන ගොවිගමගේ සහ කොල්පෙටිගේ පිතිකරු යුගලය ක්‍රීඩා කරන්නේ.

ගොවිගමගේ සම්බන්ධයෙන් අප වචනයක් කියනවා නම්, රජරට සාඩම්බර ක්‍රීඩා උරුමය වෙතින් පන්නරය ලබා අරලිය ක්‍රීඩා සමාජයෙන් පිත්තට අත තැබූ මේ ක්‍රීඩකයා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රීඩා පිටියේ දක්නට ලැබුණු චරිතයක්. ඒ කාලයේ ඔහුගේ ප්‍රධානතම වගකීම වූයේ පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට වතුර බෝතල් සැපයීමයි. ඇත්ත වශයෙන්ම මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ වතුර සැපයීම හේතුවෙන් ලද මනා පන්නරය ඔහුගේ වත්මන් ක්‍රීඩා විලාසයෙන් මනාව පෙන්නුම් කරන බව අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ.

කොල්පෙටිගේ ක්‍රීඩකයා සම්බන්ධයෙන් යමක් පවසනවා නම්, ඔහු ඇත්ත වශයෙන්ම ගොවිගමගේ ක්‍රීඩකයාගේ සම්පූර්ණ අනෙක් පැත්ත වශයෙන් අපට සඳහන් කළ හැකියි. රාජකීය විදුහල් බිමෙන් ක්‍රිකට් අත්පොත් තැබූ මේ ක්‍රීඩකයා දීර්ඝ කාලයක් තිස්සේ පන්දු යවන්නකු සහ රකින්නකු ලෙස ක්‍රීඩා කළත්, ඔහුට පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරන්නට අවස්ථාව ලැබුණේ දීර්ඝ කාලයකට පසුවයි. දකුණතින් මඳ වේග පන්දු යවන, දකුණතින් පන්දුවට පහරදෙන කොල්පෙටිගේ ක්‍රීඩකයා පිතිකරුවකු ලෙස මෙතෙක් දක්වා ඇති සාමාන්‍ය අගයන් පිළිබඳව යම් යම් මතභේද තිබුණත් මේ අවස්ථාව වනවිට ඔහුගේ පන්දුවට පහරදීම විචාරකයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව රහසක් නොවෙයි. එසේම ගොවිගමගේ සහ කොල්පෙටිගේ ක්‍රීඩකයන් අතර සම්බන්ධතාව එතරම් විශ්වසනීය නොවන බවටත්, කඩුලු අතර දිවීම එතරම් විශ්වාසයෙන් නොකෙරෙන බවත් විචාරකයන් ලෙස අප යම් යම් අවස්ථාවලදී දකින බව සඳහන් කරන්නේ කනගාටුවෙන්.

කෙසේ වෙතත් තේ පානය සඳහා තරගය මඳකට නවත්වා ඇති මේ මොහොතේ අප සූදානම් යම් කෙටි සාමාලෝචනයක් කරන්න.

යම් හෙයකින් ගොවිගමගේ සහ කොල්පෙටිගේ යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනකු දැවී ගියහොත් පිටියට පිවිසෙන්නේ කවරෙක්ද යන්න පිළිබඳව. දැනට ඒ සඳහා අපට නිශ්චිතව යමක් කිව නොහැකි නමුත් නන්දසේන පාඨලී සහ ශාසනවිජය යන ක්‍රීඩකයන් මේ මොහොතේ යම් බලාපොරොත්තු තබාගත හැකි මට්ටමක සිටින බව කිව හැකියි. නන්දසේන, ඉතාම ප්‍රහාරාත්මක පිතිකරුවෙක්. එහෙත් පිටිය මැදදී ඔහුගේ ආවේගශීලී හැසිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම අපහසුතාවට පත්වීම මීට පෙරත් අප දුටු දෙයක්.

පාඨලී සම්බන්ධයෙන් ඇති විශාලම විවේචනය ඔහු කණ්ඩායම් හැඟීමෙන් තොරව හුදෙක්ම පෞද්ගලික ලකුණු ලබාගැනීම කෙරෙහි උනන්දු වන බවයි. ශාසනවිජය ක්‍රීඩකයා හසල අත්දැකීම් ඇත්තකු වුවත් ඔහුගේ පන්දුවට පහරදීම කෙරෙහි විශ්වාසයක් තබාගන්නට තරම් දෙයක් ඔහු පෙන්වා නොමැති වීම බරපතළ ගැටලුවක්. ඒ සමඟම සඳහන් කළ යුතුයි නවක ක්‍රීඩක දිසානායක සම්බන්ධයෙන් සමාජ ජාලවල විවිධ කතාබහ පැතිර යන නමුත් ඔහු මීළඟ පිතිකරු ලැයිස්තුවට ඇතුළු වීමට තරම් දක්ෂතා දක්වා නොමැති බව.

(පසුබිමින් යම් කතා බහක්)

සමාවන්න මා ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි, ඔබ වෙත දැනුම්දීමට මට ඉතාමත්ම කනගාටුදායක පුවතක් තිබෙනවා. ඒ තමයි, තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය ලබාගෙන ඇත්තේ ණය පදනම මත වීම හේතුවෙන්, එකී ණය මුදල නොගෙවීම නිසා මතුව ඇති තත්ත්වය තුªළ තරගය අතරමඟ නැවැත්වීමට සංවිධායකයන් තීරණය කර ඇති බව.

දැනට දැනගන්නට ඇති ආකාරයට ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩකයන්ගේ සියලු ක්‍රීඩා භාණ්ඩ සිය භාරයට ගැනීමට ලෝක ක්‍රීකට් කවුන්සිලය තීරණය කර ඇති බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

වැඩි විස්තර ලද විගසින් ඔබට ගෙන එන අපේක්ෂාවෙන් මයික්‍රෆෝනය භාරදෙන මා ක්‍රීඩා විස්තර විචාරක සිරිපාල.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්